පීඩනය ලියන්න පෙළඹෙව්වා සහෝදරවරු අඟුරු කෑලිවලින් කවි ලිව්වා

 ඡායාරූපය:

පීඩනය ලියන්න පෙළඹෙව්වා සහෝදරවරු අඟුරු කෑලිවලින් කවි ලිව්වා

1971 අප්‍රේල් 5 සිදු වූ තරුණ නැගිටීම විවිධ ක්ෂේත්‍ර වෙත දැඩි බලපෑමක් ඇති කළා. කලා, සංස්කෘතික ක්ෂේත්‍රයේ වෙනස් සංවාදයක් ගොඩනැගුණා. විශේෂයෙන් කවි, චිත්‍ර ආදිය එම අරගලයට සම්බන්ධව පසුව අත්අඩංගුවට පත්ව හිරගෙයි සිටි අය වෙතින් බිහිවුණා. යූ. ආර්. පෙරේරා විසින් රචිත ‘ 71 කුරුටු ගී ‘ කෘතිය නිර්මාණය වන්නේ එහි සිරගතව සිටි අය විසින් ලියන ලද විවිධ නිර්මාණ ඇසුරිණි. එම කෘතිය  (05)දින  උදෑසන 10.00 ට මහජන පුස්තකාලයේදී එළිදැක්වේ. එහි කර්තෘ වන යූ. ආර්. පෙරේරා රැසට මෙසේ අදහස් දැක්වීය.


    කැරැල්ලට දැන් අවුරුදු 47ක්. ඒ මතකය දැනෙන්නේ කොහොමද?
ඒ මතකය අමතක වෙන්නේ නැහැ. අපි ඒ සමඟ සක්‍රීයව දායක වුණු නිසා ඒ ගැන පැහැදිලි, නිවැරදි මතකයක් තියෙනවා. අපි දැන් වියපත්. ඒත් ඒක ගාම්භීර මතකයක්. 71 කැරැල්ල නෙවෙයි, 71 නැගිටීම කියලා කියන්නයි අපි කැමති.  


ආපහු හැරිලා බලද්දී ඒ ගැන හිතෙන්නේ මොනවද?
ඒ ගැන කිසිම පසුතැවීමක් නැහැ. සමාජීය වශයෙන් ඉදිරියට ගමන් කිරීමේදී ඒ ප්‍රශ්නවලට විසඳුම් සොයන්න අපිට තිබුණු අත්දැකීම් අනුව, එදා ආණ්ඩුවෙන් තරුණ, උගත් අයට නිශ්චිත ජනතා වැඩපිළිවෙළක් තිබුණෙත් නැහැ. ගම්බද, උගත් තරුණ පරම්පරාව ගත්තු උත්සාහයක් ඒක.   


  කැරැල්ල අත්වැරැද්දක් කියලා අද හිතෙන්නේ නැද්ද?
නැහැ. ඒත් එය නොකළ යුතු අවස්ථාවක සිදුවුණු ක්‍රියාදාමයක්. ඒ වෙද්දි ආණ්ඩුව පූර්ණ වශයෙන් ජනතා අප්‍රසාදයට පත්වෙලා තිබුණේ නැහැ. ඒ නිසා යම් යම් අත්වැරදීම් සිදුවෙන්න ඇති. නොකළ යුතු අවස්ථාවක සිදුවුණු දෙයක් ලෙස අපි මේක දකින්නේ ඒකයි. ඒ වගේම ඒ කාලය තුළ ජ.වි.පෙ ට මූලික අඩිතාලමක් තිබුණට හොඳ දැක්මක් ලෙස ගොඩනැගිලා තිබුණේ නැහැ.

   
ලංකාව කැරලි දෙකකට මුහුණ දුන්නු රටක්. හැබැයි ප්‍රතිඵල සාර්ථක නැහැ නේද?

71 නැගිටීම නොකළ යුතු අවස්ථාවක සිදු වූවක්. 88/ 89 කැරැල්ල නුසුදුසු ක්‍රියාමාර්ගයක් ලෙස අපි දකිනවා. ජනතා සහයෝගය අඩුවීම තමයි මෙම අසාර්ථකත්වයට මූලික හේතුව.  


අද නිකුත්වෙන පොත දිගුකාලීන මතකයන් නැවත ආවර්ජනය කිරීමක් නේද?
ඔව්. අපේ මතක අලුත් වෙයි. ඒ වගේම අලුත් පරම්පරාවට මහඟු ආදර්ශයක් වෙයි.   


ඒ මතක කියන තරම් සුන්දර නැහැ නේද?
කොහෙත්ම සුන්දර නැහැ. මට මතකයි හැමන්හිල් දූපතේ මිනිස්සු හිරකරගෙන හිටිය හැටි. ඒ දූපත බිම් ගෙවල් ගබඩාවක්. සියයක් ඇතුල් කරන්න පුළුවන් ගබඩාවකට තුන්සියයක් මිනිස්සු දාලා හිටියා. දවසටම විනාඩි 15යි මිනිස්සුන්ව එළියට දැම්මේ. මිනිස්සු ලෙඩ්ඩු වුණා. ඇඟවල් පුරා තුවාල දැම්මා. ඒ පීඩනය තමයි මිනිසුන්ට දේවල් ලියන්න පෙළඹෙව්වේ. ඒ කාලේ කොළ, පෑන් තිබුණේ නැහැ. අද වගේ නිදහස් පරිසරයක් හිරගෙවල්වල තිබුණේ නැහැ. අඟුරු කෑලි අරගෙන විශාල උත්සාහයකින් ඔවුන් තමන්ගේ අත්දැකීම් අකුරු කළේ.  


ඔබ මේ නිර්මාණ එකතුකරන්නේ මොන කාලෙද?
මම 1972 නොවැම්බර් අත්අඩංගුවට පත්වෙලා 1975 වෙනකම් අත්අඩංගුවේ හිටියා. අප්‍රේල් කැරැල්ල අවසානයේ අත්අඩංගුවට ගැනීම් කරන කාලේ අපි හැංගිලා හිටියා. නැවත සංවිධානය කරන කාලේ තමයි අහුවුණේ. මම මම මේ කවි, කතා, නිසඳැස් එකතු කළේ ඒ කාලයේ. මේ පොතේ තියෙන්නේ 1971 කැරැල්ල වෙනුවෙන් සිරගත වූවන්ගේ ජීවමාන අත්දැකීම්. ඒ අත්දැකීම්වල තියෙන ජීව ගුණය මේ හැම කවියකම, නිසඳැසකම තියෙනවා. සමහර අය තමන්ගේම අත්දැකීම්, තවත් අය තමන් ඇසින් දුටු සිදුවීම්.  


ඒ කාලේ මේ කවි ලියැවෙන්නේ කොහෙද?
හැමන්හිල් දූපත, යාපනය බන්ධනාගාරය, මීගමුව බන්ධනාගාරය, මැගසින් බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාරය වැනි බන්ධනාගාර වගේම එළිමහන් කඳවුරු වන කිලිනොච්චිය අක්කරායන්කුලම්, රිදියගම, පල්ලේකැලේ වගේ ස්ථානවල කැරැල්ලට සම්බන්ධව සිරගත වූ මිනිසුන්ගේ අත්දැකීම් නැවතත් මතක් කරගන්න පුළුවන් පොතක්. අඟුරු කෑලිවලින් වගේම ගස්වල කඳේ කොටලා ලියපු බොහෝ කවි මෙයට ඇතුළත්.  


කවි ලියපු අය කවුද?
රෝහණ විජේවීරගේ කවි හා නිසඳැස් පවා මෙහි ඇතුළත්. හැමෝගෙම අනන්‍යතා හෙළිකරන්න බැහැ. මොකද මම ලියපු කවිත් තියනවා. නම නොලියා. ලියපු අයට තමන් ලීවා කියලා මතකයි. මට ගොඩක් කවි, ගීත මතකයේ තියෙනවා. ඉස්සර අපි සතියකට වතාවක් කඳවුරුවල ගී ගායනා කරනවා. ඒක කරන්නේ සමූහ වශයෙන්. බත් කද්දි බෙලෙක් පිඟන්වලට තට්ටුකරලා මේ ගී ගායනා කරන නිසා අපිට ගාථා වගේ ඒවා මතකයේ තිබුණා.


රෝහණ විජේවීර සහෝදරයා එක්ක සමීප සම්බන්ධතා තිබුණද?
නායකයා සහ අපිට මග පෙන්වපු පුද්ගලයා ලෙස සමීප සම්බන්ධතාවයක් තිබුණා. ඒ ඇරෙන්න පුද්ගලික සම්බන්ධතාවයක් තිබුණේ නැහැ.  


කැරැල්ලට ඔබ සම්බන්ධවෙන්නේ මොන කාලෙද?
1969 දි මම නාලාන්දා විද්‍යාලයේ උසස් පෙළ පන්තියේ ඉගෙනගනිද්දි. මගේ තාත්තා වමේ ව්‍යාපාරයේ නායකයෙක්. ඔහු යූ. වී. පෙරේරා.   


කැරැල්ලට සම්බන්ධ හිතවත්ම දේශපාලන මිත්‍රයෝ වුණේ කවුද?
දේශපාලන වශයෙන් ළඟම යහළුවො වුණේ මහ නඩුවේ 38 වැනි සැකකරු වුණු ප්‍රේමපාල හේවාබටගේ සහ කුරුණෑගල දිස්ත්‍රික් නායක, විල්පත්තු ගරිල්ලා කණ්ඩායමේ බෝල සමරේ යන දෙදෙනා.  


දැන් තියෙන අරගල ගැන මොකද හිතෙන්නේ?
නිදහසෙන් පස්සේ නිවැරදි දේශපාලන නායකත්වයක් හෝ ජනහිතකාමී පක්ෂ බිහිවුණේ නැහැ. රටේ වාර්ගික ගැටලු වගේම සමාජ පසුගාමී තත්ත්වයක් තියෙන්නේ. සටන් කරලා නිදහස දිනාගත් රටවල් වන කාම්බෝජය, වියට්නාමය, ලාඹ්සය, මැලේසියාව, සිංගප්පූරුව වැනි රටවල් එක්ක බලද්දි අපි ඉන්නේ පුදුම පසුගාමී තත්ත්වයක.   


දශක හතරක් පුරා තාමත් කැරැල්ල සැමරෙනවා. ඒ ගැන මොනවද හිතෙන්නේ?
සතුටුයි. අපේ ජීවිත කාලය පුරාම අපි ඒ සතුටත් එක්ක ජීවත් වෙනවා. 71 කැරැල්ල ගැන සමාජගත වෙලා තියෙන දේ නිවැරදි මතයක් නෙවෙයි. අපි 71 දි හරියටම වුණේ මොකක්ද කියන දේ ජනගත කරන්න ඕන.  


 කැරැල්ල ගහපු අය විසිරිලා. දැන් ඒ අය ඉන්නේ එකම මතවාදයක නෙවෙයි නේද?
නැහැ. සමහර අය දේශපාලනයෙන්ම ඉවත්වෙලා. සමහර අය වෙනත් දේශපාලන පක්ෂවලට එකතුවෙලා. සමහරු ජවිපෙ එක්ක පූර්ණකාලීනව සම්බන්ධවෙලා ඉන්නවා. ඒත් තවත් පිරිසක් ජවිපෙ සමග මතවාදීව එකඟතාවයෙන් ඉන්නවා, ඒත් ක්‍රියාකාරී දායකත්වයක් නැහැ. අපි 71 සංසදය විදිහට වෙනස් මතවාද දරමින්, නමුත් එකට ඉන්නවා.

මාතෘකා