සමහරු මට අංගොඩ ගිහින් බෙහෙත් ගන්න කිව්වා - එම්. එස්. එච් මොහොමඩ්

 ඡායාරූපය:

සමහරු මට අංගොඩ ගිහින් බෙහෙත් ගන්න කිව්වා - එම්. එස්. එච් මොහොමඩ්

මැරෙන්න යන පුද්ගලයෙකුගේ ජීවිතයට පුංචි බලාපොරොත්තුවක් දෙන්න පුළුවන් නම්? සමහර විට ඒ බලාපොරොත්තුව නිසාම ඔහු ජීවත් කරවන්න පුළුවන්. මහරගම අපේක්ෂා රෝහලට පිළිකාව පහසුවෙන් හඳුනාගත හැකි පෙට් ස්කෑන් යන්ත්‍රයක් නොමැති වීම නිසා රෝගීන් අපහසුතා රාශියකට මුහුණ දුන්නා. පිළිකාව මුල් අවස්ථාවේදීම හඳුනාගත හැකි මේ යන්ත්‍රය නොමැති නිසා විශාල ජීවිත සංඛ්‍යාවක්ද රටට අහිමි වුණා. මේ අඩුපාඩු මධ්‍යයේ ක්‍රියාත්මක අපේක්ෂා රෝහලට නව අපේක්ෂාවක්, බලාපොරොත්තුවක් දෙන්න එක රත්තරං හදවතක් තියෙන පුද්ගලයෙකුට හැකි වුණා. ඔහු නමින් එම්. එස්. එච් මොහොමඩ්ය. මේ ඔහු සමඟ “රැස” පුවත්පත කළ සංවාදයකි. 

වසර ගණනාවකට පෙර ඔබේ ජීවිතේ කඩා වැටුණ සිදුවීමක් වුණා. මතක් කරන්න අකමැති වුණත් ඔබ කැමති ආකාරයට ඒ සිදුවීම ගැන කියන්න ?
(මේ කතාව ආරම්භ කරන්න ඒ සිදුවීම වැදගත් නිසා)
මීට වසර පහකට පෙර මගේ පුතාට පිළිකාවක් හැදුණා. එතකොට එයාට අවුරුදු 18යි. එයා හොඳ කරන්න වසර දෙකක් විතර පිටරට ගිහින් නවීන තාක්ෂණයත් එක්ක ලොකු සටනක් කළා. ඒත් ඒ ප්‍රතිකාරවලින් ලොකු ප්‍රගතියක් අත් නොවුණ නිසා මහරගම අපේක්ෂා රෝහලට පුතා ඇතුළු කළා. නවීන තාක්ෂණයත් එක්ක පිටරටදි ප්‍රතිකාර කළත් අපේක්ෂා රෝහලේ තිබුණ තාක්ෂණය දිහා බැලුවාම විශාල කළකිරීමක් ඇති වුණා. ඒ කාලේ මමයි මගේ පවුලේ අයයි ආර්ථික අතින්, මානසික අතින් විශාල බිඳ වැටීමකට ලක් වුණා. අපිට උපදේශන සේවා කළේ මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍ය සමුදිත සේනාරත්න. ඒ උපදේශන සේවා නිසා තමයි මට මේ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන් මානසික තත්ත්වයක් ඇති වුණේ.   
අක්කර 14ක විහිදී පවතින අපේක්ෂා රෝහලේ වෛද්‍යවරු 275ක්, සේවකයින් 1500ක් පමණ සේවය කරනවා. දවසට රෝගීන් 1500ක් විතර ප්‍රතිකාර සඳහා එනවා. ඒ වගේම වාර්ෂිකව විශාල පිළිකා රෝගීන් සංඛ්‍යාවක් මැරෙනවා. පෙට් ස්කෑන් යන්ත්‍රය හොයාගෙන දැනට වසර 40ක් විතර වෙනවා. ඒත් ලංකාවේ පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර ලබා දෙන එකම රෝහලේ මේ යන්ත්‍රයක් නෑ කියලා දැන ගත්තම මට ලොකු කළකිරීමක් ඇති වුණා. මගේ පුතාගේ පෙට් ස්කෑන් එක මම පෞද්ගලික රෝහලකින් ලක්ෂ එකහමාරක් විතර වියදම් කරලා සිදු කළේ. මට සල්ලි තිබුණ නිසා එහෙම කරන්න පුළුවන් වුණත් දුප්පත් අහිංසක මිනිස්සුන්ට එහෙම කරන්න බැහැ. මේ ගැන දැන ගත්තාම මගේ පුතා ජීවිතේ පළවෙනි වතාවට මගෙන් එක ඉල්ලීමක් කළා. එයා ඉල්ලුවේ පෙට් ස්කෑන් යන්ත්‍රයක් අරන් දෙන්න කියලා. ඒත් මගේ අතේ සල්ලි නෑ කිව්වාම පුතා කිව්වා තාත්තට තියෙන සම්බන්ධතා භාවිත කරලා ඒක කරන්න කියලා. මගේ පුතාගේ ඒ සිතුවිල්ල තමයි අද මේ මල්ඵල ගැන්විලා තිබෙන්නේ. ඒකට මීට වසර කිහිපයකට පෙර ආරම්භ කළ “කදීජා” පදනමේ සහයෝගය අරගෙන 2016 මාර්තු 4 වෙනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අදහස එළිදැක්වූවා.   


පෙට් ස්කෑන් යන්ත්‍රයක් පිළිකා රෝගීන්ට වැදගත් වන්නේ කෙසේද ?
පෙට් ස්කෑන් යන්ත්‍රය කියන්නේ ඩිස්පැන්සරියක තිබෙන උණ කටුවක් වගේ. උණ කටුවකින් උණ තියබනවාද කියා බලන්න පුළුවන් වගේ පෙට් ස්කෑන් යන්ත්‍රයකින් පිළිකාවක් තිබෙන තැන හරියටම බලා ගන්න පුළුවන්. ඒත් මහරගම අපේක්ෂා රෝහලට මේ උණ කටුව තිබ්බේ නැහැ. ඒ නිසා පිළිකා රෝගීන් දැඩි ලෙස පීඩා වින්දා.   


මේකේ මිල කීයක් වෙනවාද ?
මේ යන්ත්‍රයේ මිල රුපියල් මිලියන 200ක් වෙනවා. ඒ කියන්නේ කෝටි 20ක්.   


මේ වගේ මුදලක් හොයන්න පුළුවන් වෙයි කියලා ඔබට විශ්වාසයක් තිබුණාද ?
ඔව්..... මගේ පුතාගේ වචනෙත් එක්ක මට ලොකු හයියක් ආවා. හිතපු නැති විදිහට ලංකාවේ රත්තරං හදවත් තියෙන මිනිස්සු නිසා මාස තුනක් ඇතුළත සල්ලි හොයාගන්න හැකියාවක් ලැබුණා. ඒ වගේම බිඳ වැටුණ අපේ මානසිකත්වය ගොඩ ගත්ත මහරගම අපේක්ෂා රෝහලේ උපදේශන සේවාවන්ටත් ස්තූති වෙනවා. ඒ අය නැත්නම් මේ දේ කරන්න මගේ හිත හදාගන්න අමාරුයි.  


මේ වැඩේට පටන් ගත්තේ රුපියල් කීයකින්ද ?
මේ වැඩේට මමවත් මම සම්බන්ධ වෙලා ඉන්න කදීජා පදනමේ සාමාජිකයින්වත් සල්ලි දැම්මේ නැහැ. මේකට සම්පූර්ණ දායකත්වය දුන්නේ මේ රටේ ජනතාව. ලංකාවේ උණුවෙන හදවත් තියෙන 73,512 දෙනෙකු දිවයින පුරා විසිරී පවතින ලංකා බැංකු 635කට රුපියල් පනහේ සිට තුන්කෝටි හැටදහසක් දක්වා මුදල් තැන්පත් කළා. මම සහ අපේ Fight Cancer Team කණ්ඩායම කළේ මේ දේ කරන්න අවශ්‍ය පාර කැපුව එක විතරයි.   


මේ වැඩේ කරගෙන යද්දී ඔබට චෝදනා එල්ල වුණාද?
ඔව්. සමහරු කිව්වා මට පිස්සු. අංගොඩ ගිහින් ප්‍රතිකාර ගන්න කියලා. තවත් සමහර යාළුවෝ කිව්වා මේක අපි සිංහල මිනිහෙක්ගේ නමින් කරමු. මම මුස්ලිම් නිසා මේකට සල්ලි දෙන එකක් නැහැ කියලා. ඒත් එහෙම චෝදනා කළ අය දන්නේ නැහැ මම කළුතර ඥානෝදය පාසලේ අධ්‍යාපනය ලැබූ සිංහල සාහිත්‍ය, බුද්ධ ධර්මය හොඳින් ඉගෙන ගත්ත කෙනෙක් කියලා. මම හොඳට බුදු බණත්, කුරාණයත් දන්නවා. මේ හැම චෝදනාවක්ම නැතිවුණා මිලියන 20ක් වූ ජනතාවගේ දායකත්වය නිසා. මේ අරමුදල නිසා එක දෙයක් ඔප්පු වුණා. වඳ පෙතියි, ජාතිවාදයයි කිය කිය කෑ ගහන මිනිස්සුන්ට හොඳ පාඩමක් ඉගැන්නුවා. ජාතීන් අතර සංහිඳියාව ඇති කරන්න මේක හොඳ පාලමක් වුණා කිව්වොත් නිවැරදියි.   


මේ වැඩේ කරගෙන යද්දි ආව බාධා මොනවාද ?
අපට සල්ලි එකතු කරන්න පුළුවන් වුණේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ගිණුමකට. ඒ ගිණුමට සල්ලි වැටුණත් ටෙන්ඩර් පටිපාටිය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසා වසර එකහමාරක් මේක ගේන්න පරක්කු වුණා. ඒ කාලය තුළ කොතරම් පිළිකා රෝගීන් මියයන්න ඇත්ද ? මේ ටෙන්ඩර් පටිපාටි ක්‍රමය, ප්‍රසම්පාදන ක්‍රමය නැත්නම් මීට කලින් මේ පෙට් ස්කෑන් යන්ත්‍රය ලංකාවට එන්නේ.   


ඔබට උදව් කළ මාධ්‍ය ආයතන ගැන දැනුවත් කළොත් ?
මේකට එක මාධ්‍යයක් විතරක් නෙවෙයි උදව් කළේ. ලංකාවේ තිබෙන විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතන 49ක් උපකාරී කළා. මාස 9ක් ඇතුළත කෝටි විසි හයක් එකතු කර ගන්න හැකි වුණේ මේ මාධ්‍ය ආයතන 49 සම සහකරුවන් ලෙස එකාවගේ සහයෝගයෙන් කටයුතු කරන්න හැකි වුණ නිසා.   


මේ ගමනේදී ඔබට හමුවුණ විශේෂ චරිත කවුරුන්ද?
මම කලිනුත් කිව්වා වගේ මේක අරමුදලට රුපියල් තුන්කෝටි හැට දාහක් දාපු පුද්ගලයෙක් හිටියා. එයාගේ නම සුනිල් මුතුමාල. මම කවදාවත් එයාව හමුවෙලා නැහැ. ඒත් කතා දුරකථනයෙන් කරලා තිබෙනවා.   


එදා වේල හම්බ කරන මිනිස්සුත් ඔබට මේ සඳහා උදව් කළාද ?
ඔව්.... මම හැමදාම මේ ගිණුම පරීක්ෂා කරනවා. මතුගම පොළක පලා වෙළෙදාම් කරන වයසක ආච්චි අම්මා කෙනෙක් රුපියල් 50ක් මේ ගිණුමට දාලා තිබුණා. මම මේ ගැන හෙව්වත් බැංකුවේ මැනේජර්වත් මේ ගැන දැනගෙන ඉඳලා නැහැ. ඒත් තවත් දවසක මේ ආච්චි අම්මාම තවත් රුපියල් 100ක් දාන්න ඇවිත් තිබෙනවා. ඒ ආච්චිට අකුරු ලියන්න බැරි නිසා මුරකරු තමයි රිසිට් එක ලියලා තිබෙන්නේ. ඒ මුරකරු අර ආච්චි අම්මාව මැනේජර් ගාවට එක්කගෙන ගියාට පස්සේ මාත් එක්ක දුරකථනෙන් කතා කළ. මම ඇහුවා ඔබ දවසකට රුපියල් කීයක් විතර හොයනවාද කියලා. ඒ ආච්චි කිව්වා රුපියල් 300ක් විතර හොයනවා කියලා. ඒ වගේ පොඩි මුදලක් හොයන පුද්ගලයින් පවා මේ අරමුදලට සල්ලි දැම්මා.  


අපේක්ෂා රෝහලේ ඔබ දකින අඩුපාඩු මොනවාද ?
මහරගම අපේක්ෂා රෝහලේ දැනට භාවිත කරන සී.ටී ස්කෑන් යන්ත්‍රය ඩිජිටල් එකක් නෙමෙයි. වසර 15ක් විතර පරණ යල් පැණ ගියපු තාක්ෂණයක් සහිත ඇනලොග් යන්ත්‍රයක්. ඒකේ රූපවල කොලිටි එක ස්ලයිසස් 6යි. ඒත් ලෝකේ අලුතින් ආපු සී.ටී ස්කෑන් යන්ත්‍රවල රූපවල කොලිටි එක ස්ලයිසස් 64, 128, 256 වගේ විශාල අගයන් ගන්නවා. ඒ කියන්නේ එක් අංශුවකින් 256 ගුණයක් කුඩා කොටසක පවතින පිළිකා කාරකයක් පවා හොයා ගන්න පුළුවන්. ඒ ඒ වගේ යන්ත්‍රයක් අපිට නැහැ. ඒ වගේම එම්.ආර්.අයි යන්ත්‍රයත් පරණයි. Radioiodine කියන ගැබ්ගෙල පිළිකා සොයන යන්ත්‍රයෙන් පරීක්ෂණයක් කර ගන්න මාස හයක් පෝලිමේ ඉන්න ඕන. මීටත් වඩා පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය පරීක්ෂණ සිදුකරන යන්ත්‍ර කැඩිලා. එහෙම නැත්නම් යල් පැනපු තාක්ෂණයක් තිබෙන්නේ. මේ හැම දේකටම විසඳුම් අපේ පදනම හරහා හොයන්න පුළුවන්. ඒත් තනිවම මේකට විසඳුම් හොයන්න බැහැ කියලා මතක් කරන්න ඕන.  


මේ පෙට් ස්කෑන් යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න ලංකාවේ තාක්ෂණයක් සහ ශිල්පීන් ඉන්නවාද ?
ලංකාවේ මේ වගේ යන්ත්‍රයකින් වැඩ කරන්න පුළුවන් පුහුණු වෛද්‍යවරු තාම නැහැ. ඒ අය පුහුණු වෙන්න පිටරට යන්න අවශ්‍යයි. මේ සඳහා වෛද්‍යවරු නව දෙනෙකු ඇමරිකාවට යවන්න සූදානම්. ඒත් ඒ අයගෙන් සමහර අය ඇමරිකාවට නෙමෙයි එංගලන්තයට යන්න අහනවා. ඒකට හේතු ඇහුවම කිව්වේ එයා කලින් ඇමරිකාවට ගියාලු. ඒ වගේම තවත් අය ගෙදර මිනිස්සුත් ඇමරිකාවට එක්කගෙන යන්න අහනවා. දැන් අවුරුද්දත් ළඟ එනවා. ඒත් තාම මේ පුහුණුවට රට යන්න කවුරුත් සූදානම් නැහැ. මේ නිසා තවත් අසරණ ජීවිත කිහිපයක් රටට අහිමි වෙන එක තමයි වෙන්නේ.  


ශ්‍රී ලාංකිකයින්ගේ මනුෂත්වය ගැන ඔබට කියන්න තියෙන්නේ මොනවාද ?
ලංකාවේ ඉන්නේ රත්තරං හදවත් ඉන්න මිනිස්සු. ඒ මිනිස්සු නිසා තමයි මේ දේ කරන්න අපිට හැකි වුණේ. ඇත්තටම අපිට කෝටි 20 ඉක්මවා මුදල් ලැබුණා. යුධ හමුදාවෙන් කෝටි 6ක් දෙන්න පොරොන්දු වුණා. රක්ෂණ නියෝජිතයින්ගේ සංගමයෙන් කෝටි 4ක් දෙන්න පොරොන්දු වුණා. ඒ වගේ ගොඩාක් සමාගම්, සංගම් අපි එක්ක එකතු වුණා. ඒත් මිලියන 20ක් ජනතාව මාස 3න් කොටි 26ක් අපිට දුන්න නිසා අපි ඒ ආයතනවලින් සල්ලි ගත්තේ නැහැ. ඉදිරියේදී පිළිකා රෝගීන් වෙනුවෙන් තව වැඩ කරන්න පුළුවන් තරම් සල්ලි අපිට තිබෙනවා. විශේෂයෙන් ලංකාවේ මාධ්‍යවේදීන් 200කගේ විතර සම්බන්ධතා නිසා තමයි මේ වැඩේ පහසු වුණේ.   


ඔබ නියෝජනය කරන Fight Cancer Team එකේ අනාගත අරමුණු මොනවාද ?
අපිට එක අරමුණයි තිබෙන්නේ. ඒ 2022 වෙනකොට මහරගම අපේක්ෂා රෝහල දකුණු ආසියාවේ පිහිටි තිබෙන පිළිකා රෝගය සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබා දෙන හොඳම රෝහල බවට පත් කර එක. අපි ඉදිරියේදී අපේක්ෂා රෝහලට අලුත් MRI යන්ත්‍රයක් මිලදී ගන්න අදහසක් තිබෙනවා. ඒත් මගේ යාළුවෝ කියනවා තව අවුරුද්දකින් විතර ඒ වැඩේ පටන් ගමුද කියලා. ඒත් මම මේ රටේ ජීවත්වන මිලියන 20ක් වූ ජනතාවගෙන් අහනවා මේ වැඩේ කවද්ද පටන් ගන්න ඕන කියලා. ජනතාව කැමති නම් අද වුණත් මේ වැඩේ පටන් ගන්න කැමතියි.  

මාතෘකා