පතා ගෙන ම නූපන්නත් එක නුවර සහෝදරව උන්නේ අප එක ගෙදර

 ඡායාරූපය:

පතා ගෙන ම නූපන්නත් එක නුවර සහෝදරව උන්නේ අප එක ගෙදර

ප්‍රවීන ගායනවේදී ගුණදාස කපුගේ ශූරීන් නික්ම ගොස් අදට(03) හරියටම වසර 15කි. ලාංකේය සංගීතයේ නොමැකෙන සටහන් රැසක් තැබු ‘ජනතාවගේ ගායකයා’ ලෙස පුද ලද ඔහුගේ ‘භාව පූර්ණ’ කාන්තිය තවමත් නොනිවී පවති.
අද රැස ‘මාත්‍රා’ වෙන් වෙන්නේ ඔහු වෙනුවෙනි.

 


එක්තරා කොවුළෙකුට......   

අනුරපුරේ රජරට සේවයෙ වැඩද  
රුහුණුකරේ තණබද්දේගම ගියෙද  
කොළඹ රටේ යාළුවෙකුට කරදරද  
නුඹට අවුරුද්ද කොවුළෝ අමතකද
 
ගෙවී ගිය වසර සතියක් මෙන් දැනුනී  
නුඹේ සිංදු කණ ළග වාගෙම ඇසුනී  
ඉබේ ඇහැ ඇරී ඒ හීනය බිඳුනී  
හැබෑව නම් නුඹ ළඟ නැති එක පමණී  

පතා ගෙන ම නූපන්නත් එක නුවර  
සහෝදරව උන්නේ අප එක ගෙදර  
කතාවත් නොකර නුඹ ගිය දින බැහැර  
හිතා ගන්න බැරි මේ ලෝකයෙ නපුර
 
මලක් නම් වැටෙයි රැඳුනත් ගස මුදුන  
අනන්ත මල් ඇති ඒ වෙනුවට පිපෙන  
කොවුල් හඬත් එහෙමයි හැම තැන ඇසෙන  
මනුස්සයෙක් නුඹ වගෙ දකිමිද කොතැන
මේ රත්න ශ්‍රී විජේසිංහයන්ගේ අතින් ලියවුණු කවියක්. එක්තරා  මිනිසෙක් මියගොස් වසරක් ඇවෑමෙන් පසුව ලියවුණු කවියක්. මැරුණු මිනිසා  කවියාගේ මිතුරෙක්. මැරුණු මිනිසා මිනිසෙක්....මින්සුන් අතර පිරිමැසිය  නොහැකි මිනිසෙක්.... ඒ නිසායි රත්න ශ්‍රී මේ විදිහට ලියන්නේ....  

මලක් නම් වැටෙයි රැඳුනත් ගස මුදුන  
අනන්ත මල් ඇති ඒ වෙනුවට පිපෙන  
කොවුල් හඬත් එහෙමයි හැම තැන ඇසෙන  
මනුස්සයෙක් නුඹ වගෙ දකිමිද කොතැන......  
මේ කල්‍යාණ මිතුදම නිසා උපන් කඳුළක කවියක්. හෙළූ අනන්ත කඳුළුවලින් පෙනෙන්නට ඉතිරි වූ කඳුළක්... ඒ කඳුළ කවියක්..... ඇයි මේ මිතුදම  කඳුළකින් කෙළවර වුණේ.... තමන්ට පෙර මිතුරා තමන් හැර ගිය බැවින්. මේ මිතුරා  කවුද?මිතුරා සිංදු කියන මිතුරෙක්.  

ගෙවී ගිය වසර සතියක් මෙන් දැනුනී  
නුඹේ සිංදු කණ ළඟ වාගෙම ඇසුනී  
ඉබේ ඇහැ ඇරී ඒ සිහිනය බිඳුනී  
හැබෑව නම් නුළ ළඟ නැති එක පමණී.....  
නොසිතූ මොහොතක සිංදු කියන මිතුරා ඔහුව හැර ගොසිනි.ඒ මිතුරා කවුද?  
මේ මිතුරා අනෙකෙකු නොව විශාරද ගුණදාස කපුගේ ය.ගුණදාස කපුගේ  මිය ගොස් වසරක් ඇවෑමෙන් පසු රත්න ශ්‍රී අතින් ලියවුණු ශෝක ප්‍රකාශයයි මේ.  
මිතුරෙක් වෙනුවෙන් මිතුරෙක් මෙතරම් සංවේදී වන්නට නම් ඔහු කලණ මිතුරෙකුම විය යුතුමය.   
රත්න ශ්‍රී වැනි සංවේදී කවියෙකුට කලණ මිතුරකු වන්නට එසේ මෙසේ  මිනිසෙකුට හැකි නොවේ. ඔහුද එවන් ම සංවේදී අයෙකු විය යුතුය. ඒ සංවේදී  පුද්ගලයා සත්‍ය මිනිසෙකු විය යුතුය. සත්‍ය මිනිසෙක් විය යුතුය යනුවෙන්  කියුවේ මිනිසුන් ලෙස අප අතර ගැවසෙන බොහෝ මිනිසුන් මිනිසුන් නොවන නිසාය.   
එසේම කපුගේ වැනි සංවේදී මිනිසෙකුට කලණ මිතුරකු වන්නටද හැමෝටම බැරිය. එසේ මිතුරකු වන්නාද කපුගේ සේම සංවේදී සැබෑ මිනිසෙකු විය යුතුය.  
එහෙත් රත්න ශ්‍රීට කලණ මිතුරෙකු වන්නට කපුගේ සතුව අවශ්‍ය  තරම් සුදුසු කම් තිබුණි. එසේම කපුගේට කලණ මිතුරෙකු වන්නට අවශ්‍ය තරම්  සුදුසුකම් රත්න ශ්‍රී සතුවද තිබුණි. මේ සුදුසුකම් සාමාන්‍ය මනුෂ්‍යාත්මය  තුළ පමණක් නොව ඔවුන් සංවේදී වූ කලා ක්ෂේත්‍රය තුළදී ද නොමදව තිබුණි. මේ බව  ලිවිමට වඩා පහසුවෙන් උදාහරණ මගින් කිව හැකි යැයි සිතේ.  
රත්න ශ්‍රි විසින් කපුගේට ලියූ මුල්ම ගීතය කුමක්දැයි රත්න  ශ්‍රී විමසුවහොත් සොයාගත හැකි වුවත්, මම එය සොයන්නට උත්සාහ නොකළෙමි. මුල්ම  ගීතය කුමක් වුවත් ඔවුන් බැඳුණේ ආත්ම දෙකිනි. ඒ මේ මිනිසුන් දෙදෙනා තුළ වූ  සුවිශේෂ මානුෂික ගුණාංග සේම ආත්ම ප්‍රකාශන බඳු නිර්මාණ නිසාවෙනි.  
මහගම සේකර සහ අමරදේව යුගලය තුළ දුටු කලණ මිතුරු ඇසුර මම ඇසින්  දැක නැත්තෙමි. ඒ ඇසුර තබා සේකරයන්වත් මම සියැසින් දැක නැත්තෙමි. එහෙත්  කපුගේ ද රත්න ශ්‍රී ද සියැසින් දැකීමේ පින මතු නොව ඒ දෙදෙනාව ම සමීපව ඇසුරු  කිරීමේ වාසනාවද ලද්දෙමි. ඒ බැවින්ම මේ දෙදෙනාගේ කල්‍යාණ මිත්‍රත්වයටද මගේ  දෑසම වුව සාක්ෂි දරයි.ඔවුන්ගේ මිතු දම පිළිබඳව බොහෝ දේ කතා කළ හැකි වුවද මේ  ඊට අවස්ථාව නොවේ. මේ උත්සාහය රත්න ශ්‍රී - කපුගේ කළ්‍යාණ මිතුදම තුරුල්ලේ  බිහි වූ නිර්මාණ කිහිපයක් විමසීමේ සරල උත්සාහයකි. මේ විමසුම තුළින් ඒ  පිළිබඳව යම් හැඳින්වීමක් පමණක් අරමුණු කරගෙන කරන්නට උත්සාහ කළ නිසාවෙනි සරල  උත්සාහයක් යැයි කීවේ. ගැඹුරින් විමසන්නෙකුට නම් මේ නිර්මාණ කුලකය මහඟු  මිණකි.  
කපුගේ යනු ගීතයක පද පෙළ තුළ සැඟුවුණු අරුත් රස සෙවූවෙකි.  කවියා ගීතය රචනා කොට දීමෙන් අනුතුරුව රසිකයාට ඇහෙන්නේ ගායකයාගේ සහ  සංගීතඥයාගේ හඬයි. ගීත රසිකයෙක් ගීතය තුළ ජීවත්වන ගීත රචකයාගේ ආත්මය දකින්නේ  ඒ හඬ තුළිනි. සංගීතඥයා සිය තනුව සහ සංගීත නිර්මාණය තුළින් මතුකරන තරමට අපට  ගීතය තුළින් ගීත රචකයා පෙනෙයි. ගායකයා කරනුයේ වඩාත් ඔහු ව මතුකොට ගෙන  බැබලවීමයි.  
සංගීතඥයාගේ තනු නිර්මාණය සහ සංගීත නිර්මාණය ගී පද රචනය තුළ  සැඟව සිටින ගීත රචකයා මතු කරන්නට අසමත් වුවහොත් අපට ඔහු සැම දා සැඟවුණු  අමුත්තකු වනු ඇත. එහි අනෙක් අදහස නම් ගීත රචකයාට කියන්නට ඇවැසි වුණු දේ  සැමදා බොර දිය යට සැඟවුණු මිණි කැටයක්ම වීමය.  
මේ සංසිද්ධිය පැහැදිලි කිරීමට හොඳම උදාහරණයක් මේ දෙපළ අතින්ම  බිහි වූ නිර්මාණයක් මගින්ම පෙන් විය හැකි වීම වාසනාවකි. ඒ ලෙසම යම් කාලයක  ප්‍රමාදයකින් පසුව හෝ තමන් ලද ගී පද රචනය තුළ සැඟවුණු තම මිතුරු ගීත රචකයා  සොයා ගැනිමට සංගීතඥ කපුගේ ගත් වෙහෙස ඉන් නිරූපනය වෙයි. තම තනු සහ සංගීත  නිර්මාණය තුළ සැඟව අතර මං වූ තම මිතුරු ගීත රචකයා නැවත සෙවීමට කපුගේ ට සිය  නිර්මාණාත්මක ශ්‍රමයද.... කාලය සහ මුදල් ද...... කට හඬද...... නැවත වියදම්  කරන්නට සිදුවිය. එහෙත් ඔහු එසේ වියදම් කොට තම මිතුරු ගීත රචකයා තමන්ගේම  නිර්මාණයෙන් ගලවා ගෙන තමන්ගේම නිර්මාණයක් තුළ බැබළවීය. කලණ මිතු දම එය  නොවේද?  
අප සැවොම දන්නා පුරුදු හොඳ ගීතයක් ගැනයි මේ පුරෝකථනය.... ඒ අනෙකක් නොව නින්ද නැති රැයේ - සඳ කඳුළු මීදුමේ ගීතයයි.  
 මේ ගීතය තුළ ඇත්තේ කුමක්ද? අනිවාර්යයෙන්ම මෙහි රත්න ශ්‍රී  නොපෙනේ. ඒ අනෙකක් නිසා නොව තනුව විසින් රත්න ශ්‍රීට මතුවන්නට ඉඩ දී නොමැති  බැවිනි. රත්න ශ්‍රී ගේ පරිකල්පනය තුළ දුක් විඳින, එක් වීම යනු සිහිනයක්  පමණක් වූ පෙම් යුවලකගේ හද පෑරෙන වේදනාව ඉන් මතු නොවෙයි. එවැනි දෙයක් එහි  ඇති දැයි පවා නොසිතෙන තරමට එය ප්‍රාථමික වෙයි. ඒ මතු නොව ඒ ගීත විසින්  කපුගේ නමැති සංගීතඥයා වත් කපුගේ නමැති ගායකයා වත් මතු නොකරයි. ඔහුගේම තනුව  විසින් ඔහුවද සඟවා ඇත. හරියටම තමන්ගේම මිනිස්සු තමන්ව පැහැරගෙන ගොස් සඟවා  ඇත්තා සේය.  
නින්ද නැති රැයේ - සද කඳුළු මීදුමේ  
හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ  
තාරකා දියේ ගිලී - නිල් එළිය නිවේ  
වැහි බිංදු වැටේවී - රෝස පෙති කඩා හැලේ....  
සිය තනුවට අනුව නිම වුණු ගීතය කපුගේ විසින් සිය වර දහස් වර  අසන්නට ඇත. විවිධ පොත පත කියවන එතුළ අරුත් තුළ කිමිදෙන සාහිත්‍ය දැනුමක් සහ  රසයක් ඇති සංගීතඥ කපුගේ ට තමන් ගේ ම ගීතය තුළ තම මිතුරු රත්න ශ්‍රී  වත්.... තමන් වත් නැති බව වැටහෙන්නට ඇත. ඒ නිසාම ඔහු ඒ තුළ රත්න ශ්‍රී වත්  තමන්වත් සොයන්නට වෙහෙසෙන්නට ඇත. මේ පසුව යෙදුණු තනුව හා සංගීත නිර්මාණය  විසින් රත්න ශ්‍රී ට එම කවෙන් කියන්නට අවැසිව තිබූ දේ කපුගේ විසින් සොයා  ගෙන ඇති වග ඔබට ද දැනෙන්නට ඇත. ඒ අනුව දැන් එහි රත්න ශ්‍රී පෙනෙයි. දැන්  එහි කපුගේ නමැති සංගීතඥයාත් ගායකයාත් පෙනෙයි. නොඑසේ නම් ඒ තුළ කැටි වුණු  සැබෑ මිනිස් හැඟීම් ප්‍රකට වෙයි.  
රත්න ශ්‍රී විසින් වචනවලට පෙරලා ලියා දෙන මිනිස්  හැඟීම් සංඟීතවත් භාෂාවකට හරවා රසික ජනතාව වෙත හොඳින්ම ගෙන ගිය සංගීතඥයා  කපුගේ ය. මා ඉහත තරමකින් ලියා තැබූ කලණ මිතු දමට හේතුව ඒ සංවේදීතාවමයි. ඒ  තේරුම් ගැනීමමයි.  
කොතරම් හොඳ පද  පෙළක් තිබුණත් එය දුර්වල තනුවක් තුළ බහා දුර්වල සංගීතයෙන් සරසා හැඟීමක්  නොමැති හඬකින් ගායනා කළාට එය රසබර හැඟුම් බර ගීතයක් නොවෙයි. මේ පිළිබඳව  රත්න ශ්‍රී ගේ ම රචනයකට අනුව නිමවුණු ගීතයක් මවිසින් උදාහරනයට ගන්නේ එයම මා  දැඩි ප්‍රහාරයකට ගොදුරු වන්නට හේතුවක් විය හැකි බව නොදැනුවත්ව නොවේ. එහෙත්  පහන් ටැම් අසල ගැවසෙමින් එහි එළියම මිස පහන් ටැඹේ අඳුරු සෙවනැල්ල නොදකින  අය මාත් සමග උරණ වනු ඇත. එළිය පමණක් විහිදුවන කිසිදු පහන් ටැඹක් නැත. තුන්  පැත්තකින් එළිය විහිදවූවත් එක් පැත්තක හෝ එහි අඳුරු සෙවනැල්ල ඒ පස අඳුරු  කරයි. පහන් ටැඹේ එළියට වශී වුනු අයෙක් මේ අඳුරද සැපයි යනුවෙන් දොඩනු  අරුමයක් නොවේ. එහෙත් සමහරු අඳුරට අඳුර කියති. මේ එවැනි නිර්මාණයකි.
මේ  ගීතය මරණයක් පිළිබඳවය. මරණයේ ඇති සීතල බව අන් අයට දැනිය යුතුය. මරණය  උණුසුම් එකක් නොවන නිසාය. ඉන් දැනෙන්නේ උණුසුමක් නම් එහි මරණයක් නිසා ඇතිවන  දුක වේදනාව කම්පාව නොදැනී තිබෙනු ඇත.  
එහෙත්  රත්න ශ්‍රී විසින් ජානක වික්‍රමසිංහ ට ගැයීම සඳහා කපුගේ ට සංගීතවත් කිරීම  පිනිස ලියා දුන් මේ ගීතය බලන්න. ඔහු එහි ඇතුළාන්තයට කොතරම් නම් රිංගා ඇතිද  කියා. මේ ද එක්තරා මළගමක් පිළිබඳවය. බාහිරින් විමසුව හොත් කිඳුරු මළගමක්  පිළිබඳවය. ගැඹුරින් විමසුවහොත් එහි ඇත්තේ කිඳුරු මළගමට මුවා වූ අන් මළගමකි.  

සඳ කිඳරා මියැදුණා - ගමට එන්න නංගියේ
පසලොස්වක පෝය දා - අවසන් කටයුතු කළා....  
කිසියම්  හේතුවකට සඳ කිඳුරා මිය ගිහින්... මේ මළගම පිළිබඳ නොවරදවා සැලකළ යුතු,  එහෙත් අද වන විටත් ගමේ නැති කෙනෙක් ඉන්නවා.... එයාට තමයි යම් කෙනෙක් මේ  ගීතය ඔස්සේ ඇරියුම් කරන්නේ ගමට එන ලෙස. ඒ නංගී කෙනෙකි.  
මේ නංගී කවුද? ඒ නංගි සඳ කිඳුරාගේ කවුද? සඳ කිඳුරා මේ නංගිගේ කවුද?  

ගමේ නාඩගම් පොලේ - කිඳුරිය වී නුඹ එදා
ගැයු ලියු ගී විකුණන්නට - කොළොම් තොටට ඉගිළුනා
කණ කෙකිනිය ගමට ඇවිත් - හැඬුවා නුඹ ගැන කියා
හැඬුවා නුඹ ගැන කියා....  
ඈ  තමයි එදා ගමේ සඳ කිඳුරුව නටන වෙලාවේ කිඳුරියට ඇන්දේ.... කිඳුරාට ඇන්දේ  ඔහුයි. නාටකයේදි වගේම ජීවිතයේදීද ඔවුන් සමීප වූයේ මේ බැඳීම නිසා.... ඒත්  සියල්ල දවසක වෙනස් වුණේ ඈට ගමෙන් නගරෙට එන්නටත් කමතෙන් වෙදිකාවේ රඟන්නත්  ඇරියුම් ලැබුණු දා සිටය..... කාගේවත් කැමැත්ත නොකතා ඈ ගිය නිසාය.....  
කෙටි  කලකින් ඈ නගරයේ ජනප්‍රිය නිලියකි. එහෙත් ඒ සඳහා ඈට විකුණන්නට වූ දේබොහෝය.  හැකියාව රූපය සහ හැදියාව යන සියල්ල ඒ වෙනුවෙන් ඈට විකුණන්නට සිදු වුණි.
මේ  ආරංචිය කිසිවෙක් නගරයේ සිට ගමට ගෙනාවේය. ගමේ පැතිරුණු ආරංචිය කිඳුරාගේ කණේ  තියන්නට එමට අය සිටියහ.........එදා සිට කිඳුරා සිටියේ මහත් වූ ශෝකයෙන්....  

වෙල් දෙණි ඕවිටි පුරා - තනිවම සී පද කියා
තනිව සිටිය කින්නරා - ළය දැදුරුව මිය ගියා
කණකෙනිනිය හඬන්නෙ නෑ - ඇහේ කඳුළු නැති නිසා
ඇහේ කඳුළු නැති නිසා....  
ඉතින්  කිඳුරාට ජීවත්ව ඇති ඵලය කුමක්ද? හද සොවින් සිටි කිඳුරා දිනක් ළය පැලීමෙන්  මියැදුණා... එක් අයෙක් පමණක් කිඳුරු මළගම වෙනුවෙන් හැඬුවේ නෑ. ඒ කිඳුරිය  ගැන අනන්තවත් කඳුළු සැළුව කණ කෙකිනියයි. කිඳුරිය ගැන ඈ කොතරම් කඳුළු සැලීද  යත් කිඳුරා ගැන හඬන්නට තරම් කඳුළක් ඒ වන විට ඈට ඉතිරිව තිබුණෙ නෑ... කාටත්  මෙය පැහැදිලියි..... කිඳුරාට කිඳුරිය නැති වීම ගැන සොවින් ළය දැදුරුව මිය  ගියා වැනි දෙයක් මෙහි මතුපිටින් කිය වුණත්....මේ කිඳුරියට ඈවම නැතිවීම  ගැනයි මෙහි ඇත්තම කතාව තුළ දුවන්නේ....  
තවත්  ගැඹුරට හිතුවොත් අපේ සංස්කෘතිය සාරධර්ම දින දින යට යන අන්දම පිළිබඳව ශෝක  ප්‍රකාශය නොවේද මේ. ඒ නිසයි මා කිව්වේ මේ නම් , ගැඹුරින් විමසුවහොත් කිඳුරු  මළගමට මුවා වූ අන් මළගමක්ය කියා.මේ ගීතයේ තනුව සංහ සංගීතය යෙදී ඇති සැටි  එක විටක් ඇසු පමණින් වටහාගත හැක. එහි තනුව විසින් කර ඇත්තේ ගීතය තුළ රත්න  ශ්‍රී ගේ පරිකල්පනය මතුකර උස් ආසනයක වැජඹෙන්නට සැලැස්වීමය. එහි තනුව එහි  අදහස ප්‍රකම්පිත කරයි. තනුව මගින් ඉල්ලා සිටින සංගීත මුසුව තනුව හා  නොදෙවෙනි ව සේවය කරන්නේ රත්න ශ්‍රී ගේ පද පෙළටය. මේ ගීතය ගයන්නේ ජානක  වික්‍රමසිංහ ය. එහෙත් කුමන හේතුවක් දැයි නොදනිම්, මට එහි ඇසෙන්නේ ගුණදාස  කපුගේ ගේ හඬයි. ජානක ගේ මෙහි ගායනය තුළ වරදක් දකිනවා නොවේ. එහෙත් ගීතයට  සුදුසු ම කට හඬ දෙන්නේ ගුණදාස කපුගේ යැයි මට සිතේ. ජානක ගේ කට හඬේ ගැඹුරක්  තිබුණද මේ ගීතයට කපුගේ ගේ ගැඹුරු හඬ ලැබුණා නම් මහත් ආලෝකයැකැයි මට සිතේ. ඒ  අහි ආත්මය ඉල්ලා සිටින්නේ එවැනි දැවැන්ත කටහඬකි.  
මේ  කට හඬ ගැන කතා කරණ විට වරක් අපේ මිතුරු සමාගමක සැඳෑ හමුවකදී ඇති වූ පැණසර  වීමක් මට මතක් වෙයි. මේ හමුවේ මමත් සමග සිටි අනෙක් අය අතර වූයේ සංගීතඥ රෝහණ  ධර්මකීර්ති, සංගිතඥ නවරත්න ගමගේ, ප්‍රවීන නිවේදක වසන්ත රෝහණ, මාධ්‍යව්දී  බුලිත ප්‍රදීප් කුමාර, ගායක ඉමාන් පෙරේරා, මිතුරු කමලසිරි බණ්ඩාර ආදීන් ය.  හමුවේදී ගී ගැයුම් එමට විය. ගී ගැයුම් අතරේ ගී වැණුම්ද වෙයි. විශේෂයෙන්  රෝහණ ධර්මකීර්ති සිටින හමුවල ගැයූ ගීය වැණුම සාමාන්‍ය දෙයකි. මේ ගී අතරේ  කපුගේ ගේ ගී රැසක් ද අනිවාර්ය වෙයි. මතක හැටියට ගායනා කොට සාකච්ඡාවට බඳුන්  වෙමින් තිබුණේ පබළු නගේ ( සුමනෝ නුඹ ඇයි නැත්තේ ) ගීතයයි. එක් වරම රෝහණ  පැණයක් නැගී.  
කාටද කියන්න පුළුවන් ඇයි කපුගේ ගේ හඬට මිනිස්සු මෙපමණ කැමති කියලා?  
පිරිස විවිධ පිළිතුරු කීහ. අවසානයේ එළඹුනේ මෙන්න මේ නිගමණයටය.  
අපි කාටත් කියා නිම කරගන්න බැරි දුකක් හිතේ තියෙනවා. ඒ දුක කියන්න හොඳම කට හඬ තියෙන්නේ කපුගේට.....
මේ  නිගමනයට එරෙහි කිසිවෙක් නොවීය. අවසන එවැනි දුක් කන්දරාවක් කියන්නට කපුගේ  ගේ කට හඬ උපයෝගී වන විදිහට උදාහරණ ගැයෙයි. ඒ සුන්දර රාත්‍රිය මට මතකයට ආවේ  ගීතයකට කට හඬ වැදගත් වන්නේ කෙලෙසකදැයි පැහැදිලි කිරීමට අතුරු කතාවක් ලෙසය.  
මේ සඳ කිඳුරා මියැදුනා ගීතය දැනටත්  විශිෂ්ටය. එහෙත් කපුගේ විසින් ගැයුවා නම් එය අති විශිෂ්ට වනු ඇත. මක්  නිසාදයත් එහි ගැබ්ව ඇති දුක කියන්නට හොඳම කට හඬ තිබුණේ එය සංගීතවත් කළ  කපුගේ ට මය.

 

යසනාත් ධම්මික බණ්ඩාර