මධුර චාරිකා විඳින්න හැකිද?

 ඡායාරූපය:

මධුර චාරිකා විඳින්න හැකිද?

සමාන්තර සිනමාව, එය අප රටට හඳුන්වා දුන් එචි. ඩී. ප්‍රේමරත්න තරමටම ඒ  සිනමා ගමන් මග යන උදය කාන්ත වර්ණසූරියද සිය නිර්මාණ සඳහා විවිද තේමාවන්  විෂය කර ගනිමින් ඔහුටම ආවේනික පේක්ෂකාගාරයක් නිර්මාණාය කර ගැනීමට සමත්ව  තිබිණද. මෙවර අපමණ වූ අමුද්‍රව්‍ය තිබු "මධුර චාරිකා" තේමාව වෙනුවෙන් හොඳ  තිරපිටපතක් රචනා නොවීමෙන් එය මැද මාවතින් මාවත අද්දර කාණුවකට වැටී ඇති  ආකාරයක් දක්නට තිබේ.
මෙහිදි පළමුව  සඳහන් කළ යුත්තේ මෙහි ප්‍රධාන චරිතය මෙරට සිනමා නලුවෙකු පිළිබඳව බව තිරනාටක  රචක සහ අධ්‍යක්ෂවරයාගේ මතකයෙන් ගිලිහී් යෑම පිළිබඳවය. අසූව දශකයේ  ආරමිභයේදී රූපවාහිනී ආගමනය සිදු වුවද, අනූව දශකය තෙක් මෙරට සිනමාවෙන්  ජනප්‍රියත්වය ලැබූ චරිතයනට සමාජයේ සුවිශේෂතාවයක් හිමිව තිබිණි. එවන්  චරිතයක් රඟපෑමෙන් ඉවත්ව ගියද, පේක්ෂකයාගේ මතකයෙන් ගිලිහී නොගියා සේම එවන්  නලු හෝ නිළි චරිතයන් සමාජය හමුවේ කැපී පෙනෙන චරිතයක් ලෙස හැසිරෙන ආකාරයක්  දැකිය හැකිය. එහෙත් "මධුර චාරිකා" හි මෙම පැරණි සිනමා නලුවා තූළින් නලු  නිළියනට ආවේනික එවන් ගති ලක්ෂණ පළ නොකෙරේ.  
මෙම සිනමාපටයේ හි ප්‍රධාන චරිතය පැරණි සිනමා නලුවා බසයෙන් යන විට,  තම මුණුබුරාගේ ශාරිරික අවශ්‍යතාවයක් සඳහා බස් රථය නවත්වාගනුයේ  කොන්දොස්තරවරයා අමතා කරනා හුදු ආයාචනාත්මක ස්වරයකිනි. රංගන ශිල්පියෙක් යනු  සමාජයේ සෑම ස්ථරයකම චරිතයන් ඇසුරු කරන්නෙකි. එහිදි ඔහුට ලැබෙනා පිළිගැනීම  මත ඔහු හෝ ඇයගේ ගති ලක්ෂණද ඊට අනුරුපව තම ප්‍රතිරූපයට අනුකූලව ගොඩ නැගේ.  එවැන්නෙක් හැසිරෙනුයේ සියවෘත්තීය අභිමානය රැකෙන පරිදිය. මෙම සිනමාපටයේ  වැඩිහිටි රංගන ශිල්පියාගේ හැසිරිම සිය ආත්ම අභිමානයටද කැළැලකි. එම චරිතයේ  ප්‍රවීණ බවටද කැළලකි.  
එසේම මෙම  ප්‍රධාන චරිතය පැරණි සිනමා නලුවෙකු වන විට බසයට ගෙවදින විටම එහි සිටින   මගීන් දෙවරක් හැරී ඔහු දෙස බලන තත්වයක් තිබිය යුතුය. මන්ද අද දිනයේද පැරණි  සිනමා නලුවෙක හෝ නිළියක දකින විට මිනිසුන් දෙවරක් හැරී බලන පුරුද්දක් පවතින  බැවිනි. ඉන් එක් හේතුවක් වනුයේ ඔහු හෝ ඇය පැරණි කලාකරුවෙකු වීමය. අනෙක  එවැන්නෙක් දකිනා පැරණි රසිකයාද මොහොතකට සිය අතීතය කරා පිය නගනා  බැවිනි.  එහෙත් මෙහි තිරනාටක රචකයා වන අධ්‍යක්ෂවරයා පැරණි නලු නිළියන්ගේ මෙවන්  ඇවතුමි පැවතුමි ගැඹුරින් අධ්‍යයනය කර නොමැති බවක් ඉන් පළවේ. මගී බස් රථය  කාර්මික දෝෂයකට ලක් වූ අවස්ථාවේ, එය අලුත්වැඩියා කරනා අතර තුර  කිසිදු  මගියෙකු මෙම පැරණි රංගන ශිල්පියා හඳුනා ගෙන ඔහු හා කතාබහකට නොපැමිණේ. එය  සමිපූර්ණයෙන් අතාත්වික සිදුවීමකි. මෙවන් අවස්ථාවකදී නොව අවමංගල්‍යය  උත්සවයකට ගියද ඇතැමි බොළඳ සිනමා ලෝලින් පැරණි නලු නිළියන් වට කර ගෙන එකළ  සිටි රංගන ශිල්පීන් පිළිබඳව ඕපා දූප අසන පුරුද්දක් දැකිය හැකිය. එවැන්නක්  උදය කාන්තට දකින්න නොලැබුණ නිසාදෝ එවන් සිදුවීමි සිය තිරනාටකයට ඇතුළත් කර  නැත. එහෙත් සැබෑ ලොව රංගන ශිල්පියෙක් හමුවූ විට ඔහු ගැන පමණක් නොව එකළ  ජනප්‍රියව සිටි ඇතැමි නලු නිළියන්ගේ නමි කියමින් ඔවුන් අතර සැබෑ ප්‍රේම  සමිබන්ධතා පැවතීයේද යන්න පවා ඇසීමට රසිකයින් පෙලඹෙන ආකාරය පැරණි සිනමා  ශිල්පීන් ජනතාව අතරට ගිය විට අපට අසන්නට ලැබී ඇත. එහෙත් පුදුමය නමි උදය  කාන්ත අධ්‍යක්ෂවරයාට දක්නට නොලැබී තිබීමය.
සැබවින්ම පැරණි රංගන ශිල්පියෙකුගේ ජීවන අත්දැකීමි පිළිබඳව  ගැඹුරු විවරණයක යෙදීමෙන් අනතුරුව මෙම සිනමාපටය නිර්මාණය වූයේ නමි පැයක්  වැනි කෙටි කාලයකින් මෙම සිනමාපටය නිමා නොවෙන්නට ඉඩ තිබිණි. "මධුර චාරිකා" සිනමා පටයට වස්තු වන කාලය වන්නේ සිනමාව ප්‍රධාන කලා මාධ්‍ය බවට පත්වූ පනහේ  සහ හැටේ දශකයයි. එම කාලයේ රුක්මණි දේවිය හඬන විට කඳුලු සළන කාන්තාවන්, සහ  නලුවන් සටන් කරනා විට ඊට ප්‍රතිචාර පළ කරනා රසිකාගාරයක් මෙහි විය. ඒ විරයාට  විසිල් කර සහයෝගය දෙමින් සහ දුෂ්ඨයාට හූ හඬ නගමින් විරෝධය පළකරමිනි. එහෙත්  ඔවුන් එකිනෙකා අසුනින් සටන් කළේ නැත. සිදු කළේ ප්‍රධාන ප්‍රතිවාදියා දුෂ්ඨ  ලෙස සළකා ඔහුට සිය විරෝධය දක්වන ප්‍රතිචාර පළ කිරීමය. එහෙත් මෙහි සිනමා  රසිකයින් එකිනෙකාට පහර එල්ල කර ගැනීම අතාත්වික බවෙි අන්තයට පේක්ෂකයා රැගෙන  යයි.
මෙම සිනමාපටයේ සිනමා උළෙලක  පහන් දල්වන අවස්ථාවේදී එක් පැරණි සිනමා නලුවෙකු සොයා ගෙන ගොස් ඔහුට පහන්  සිළ දැල්වීමට අවස්ථාව ලබාදේ. ඒ චරිතයට පෙනී සිටිනුයේ 1961 වර්ෂයේ තිරගත කළ "කූරුලු බැද්ද" චිත්‍රපටයේ රඟපෑ ෂෙල්ටන් සිල්වා නම් රංගන ශිල්පියාය. එය  තිරගත වී වසර පනස් හතකට (57) පසුව අදත් අපට එම රංගන ශිල්පියා හඳුනා ගැනීමට  හැකි වූයේ පී කේ ඩී සෙනෙවිරත්නගේ කතාවක් ඇසුරින් නිපදවූ එම උසස් සිනමාපටය  පසු කලෙක නැරඹීමට අපගේ පාසැල් සාහිත්‍යය ගූරුවරුන් අප පෙළඹවූ නිසාවෙනි. ඒ  ආකාරයෙන් උදය කාන්තගේ මෙම සිනමාපටයේ පැරණි නලුවා පිටකොටුව බස් නැවතුමේදී  රෝගී වන විට එහි සිටි කිසිවෙකු විසින් මෙම පැරණි නලුවා හඳුනා නොගැනීම  අස්වාභාවික සිදුවීමක් නොවන්නේද?  
 සාමාන්‍යයෙන් අතීත කලාකරුවෙකුගේ දරුවෝ තම වැඩිහිටියන් ගැන සහ ඒ අතීත  සෞභාග්‍ය ගැන පැවසීමට දැඩි රුචියක් දක්වති. ඒ අනුව මෙම සිනමා පටයේ පැරණි  රංගන ශිල්පියා ලෙොස රඟන හේමසිරි ලියනගේ පුතා සහ ලේලියගේ චරිත යහපත් පවුල්  දිවියක් ගත කරනා යුවලක් ලෙස පෙන්වයි. එවන් යුවලක් තම පුත්‍රයා ඉදිරියේ සිය  නලු පියාගේ අතීත ජනප්‍රියත්වය කතා නොකරනු ඇතැයි සිතිය නොහැක. එසේ නෝ තම  සීයා සමග කොළඹ පිටකොටුව බස් නැවතුමේදි අසනීප වන අවස්ථාවේදී තම සීයා  කවුරුන්දැයි අසල සිටියවුනට මුණුබුරා විසින් කියනු ඇත. එසේ නමි මෙම පැරණි  සිනමා නලුවාට අසරණයෙක් ලෙස බස්නැවතුමක මිය යෑමට සිදුවන්නේ නැත. මෙම පැරණි  සිනමා නලුවා මරා දමා ඇත්තේ තිරනාටක රචකයා විසිනි. තිරනාටක රචකයාද  නිෂ්පාදකවරයාද උදය කාන්ත වර්ණසූරිය වන නිසා ඔහු අපූරුවට ගොඩ නැගිය හැකි  චරිතයක් මෙලෙස මරා දැමීම ගැන අපට දුකක් ඇති වන්නේ ඔහු බයිස්කෝප් කාරයෙක්  නොව නිර්මාණශීලි අධ්‍යක්ෂවරයෙකු වන හෙයිනි.  
සිනමා ලොව සිටින එහි සැරිසරණ ප්‍රකට කලාකරුවෙකු අතින් පැරණි රංගන  ශිල්පියාට මෙලෙස ඉරණමක් අත්වෙද්දී එය එනමි "මධුර චාරිකා" සිනමාපටය පිළිබඳව  මහමග අද්දර අලවා ඇති පෝස්ටර දකින විට අප මතකයට නැගෙනුයේ අතීතයේ සිදුවීමි  පෙළක් එකට එක් කරමින් දයානන්ද ගූණවර්ධයන් නිර්මාණ කළ "මධුර ජවනිකා" වෙිදිකා  නාට්‍යයයි. සිනමාහලට ගොස් එහි අසුන් ගන්නා විටද අපට "මධුර ජවනිකා" මතකයට  නැගිනි. එහෙත් සිනමාපටයේ එකින් එක ජවනිකා පෙළ ගැසෙද්දී අප හදවත් හඬා වැටුණේ  අප සිතින් හෝ දයානන්ද ගූණවර්ධනයන්ට අපහාසයක් කළා දැයි සිතීමෙනි.
මෙය උසස් සිනමාපටයක් නිර්මාණය කිරීමට ගත් උත්සාහයක්  බවට  එහි අධ්‍යක්ෂවරයා මාධයයට පවසා තිබෙනු දක්නට ලැබිණි. කූමන උසස් සිනමාපටයකට  වුව ගැබි වන චරිත සහ සිදුවීමි විශ්වාසනීයත්වයෙන් යුක්ත විය යුතුය. මෙහි  බොහෝ සිදුවීම සහ ප්‍රධාන චරිතයේ අවතුමි පැවතුම් අස්වාභාවික නම් එහි  අයෙෂ්මන්ත හෙටිටිආරචිචි මනා රූපරාමු නිර්මාණය කළ පමණින්, හෝ හොඳින්  සංස්කරණය කර තිබීම සහ නවරත්න ගමගේ සංගීතය මනාව නිර්මාණය කළ පමණින් එය උසස්  සිනමා නිර්මාණයක් වන්නේ නැත. සත්‍යජිත් රායි ලෝක පූජිත වූයේ ඉන්දියාවේ බෙංගාලි ජීවිත සහ සංස්කෘතිය සැබෑ ලෙසින් සිනමා කාචයෙන් සටහන් කර ගැනීමට  දැක්වූ  දක්ෂතාවය මත මිස, එම චරිත මතු පිටින් ස්පර්ශ කළ නිසා නොවේ. "මධුර  චාරිකා" හිදී චිත්‍ර කතා ශිල්පියෙකු, තිරනාටක රචකයෙකු, අධ්‍යක්ෂවරයෙකු සහ  නිෂ්පාදකවරයෙකු වූ උදය කාන්ත වර්ණසුරිය සිදු කර ඇත්තේ පැරණි සිනමා නලු  චරිතයක් මතු පිටින් ස්පර්ශ කිරීම පමණි. ඒ නිසාම මෙහි පැරණි රංගන ශිල්පියා  පිටකොටුව බස් නැවතුමේදි මිය යෑමට පෙර තිරනාටක රචනයේදීම නිර්මාණ ශිල්පියා  විසින් ඉතා කෲර ලෙස මරණයට පත් කර තිබු බව කණගාටුවෙන් යුතුව කිව යුතුව ඇත.