නොහික්මුණු මිනිසුන් නිසා ඉගිලෙන්න තහනම් කුරුල්ලෝ

 ඡායාරූපය:

නොහික්මුණු මිනිසුන් නිසා ඉගිලෙන්න තහනම් කුරුල්ලෝ

"භාරහාර ඔප්පුකරන්න මිනිස්සු කුරුල්ලෝ අරන් ඇවිත් නිදහස් කරනවා. ඒ කුරුල්ලන්ට එළිමහන හුරු නැහැ. රැලට භාරගන්නෙත් නෑ. අතරමං වෙලා මැරිලා යනවා. එක අතකට කුරුල්ලෝ නිදහස් කරන එකෙන් කරන්නේ අපරාධයක්. කරන්න ඕන කුරුල්ලෝ කූඩුකරන එක නතර කරන එකයි " මෙහෙම කීවේ පරිසරවේදියෙකු වන සජීව චාමිකරය.
මිනිස්සු ජීවත් වීම උදෙසා බොහෝ දේ සිදුකරති. ජීවිත ජීවත් කිරීම උදෙසා කුමක් හෝ කළ යුතු බව ඇත්තය. එහෙත් එය වංචාවක්නම්,ඊට සමාව දිය නොහැකිය. මේ කතා කරන්නේ එවැනි අප්‍රකට වංචාවක් ගැනය.
පුදපූජා හෝ යාගහෝම කටයුතුවලට කුරුල්ලන්  යොදා ගැනීම මේ වනවිට එය ජාවාරමක් බවට පත් වී තිබේ.
" බාරහාරවලට නිදහස්කරන බොහෝ සතුන් මියයන බව කිසි කෙනෙක් දන්නේ නැහැ. අවසානයේ මිනිස්සු එක් පාපයකින් මිදෙන්න තවත් විශාල පාපයකට මුලපිරීමක් කරන්නේ. ඒ සත්තු නගරවලට ගෙනත් බාරහාරවලට කියලා නිදහස් කරනවා. අවසානයේ සිද්ධවෙන්නේ ආහාර නොමැතිව සතුන් මියයාම. ඒ වගේම ඒ සත්තුන්ට මේ පරිසරය හුරු නැහැ. හුරුනැති පරිසරයක පියඹද්දී ගොඩනැගිලිවල වැදිලා හොට කැඩිලා මියයනවා. මේවා ගැන කිසි කෙනෙක් අවධානය යොමු කරන්නේ නැහැ. මේවා විශාල අපරාධ " ලෙස සජීව චාමිකර වැඩිදුරටත් පැවසීය.
"ඒ වගේම මේ හේතුවෙන් පාරසරික සමතුලිතතාවයටත් විශාල බලපෑමක් වෙනවා. රෑන ගිරවා වගේ ආක්‍රමණශීලී කුරුල්ලෙක් මෙහෙම නොගැළපෙන පරිසරයකට ගෙනත් අතහැරීමෙන් අනෙත් සතුන්ගේ බෙන ආක්‍රමණය කරලා ඒ සතුන්ගේ ගහණය පවා අඩුවීමක් වෙන්න පුළුවන්"
කුරුල්ලන් අල්ලා කූඩුවල සිරකරන පුද්ගලයන් පිළිබඳව ද බොහෝ තොරතුරු ලැබෙමින් පවතින බව රැසට වාර්තා විය. කොළඹ වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක බී. එස්. සුමනරත්න ඒ සම්බන්ධයෙන් මෙසේ පැවසීය.


අවසර පත්‍ර
"විසිතුරු සතුන් විකුණන වෙළෙන්දන් කුරුල්ලන් විකුණන්නත් අවසර පත්‍රයක් අරගෙන තියෙනවා. ඒත් කිසිම කෙනෙකුට අයිතියක් නැහැ පුංචි කූඩුවක ගොඩක් කුරුල්ලන් හිරකරගෙන ඉන්න. කුරුල්ලෝ කියන්නේ නිදහසේ ඉන්න කැමති සත්ත්ව කොට්ඨාසයක්. මේ පිළිබඳ අපිට  බොහෝ පැමිණිලි ලැබිලා තියෙනවා. ඒ වගේම එවැනි අයට අපි නඩු පවරලත් තියෙනවා " ලෙස පැවසීය.
පරිසරවේදී සජීව චාමිකරගේ අදහස මෙසේය.
" අපිට තොරතුරු එන හැම තැනක්ම වනජීවී වැටලීම් අංශයෙන් වැටලීම් කරවලා තියෙනවා. බෙල්ලන්විල පන්සල, පිල්ලෑව පන්සල ළඟ කුරුල්ලන් ජාවාරම අපි නවත්තලා තියෙනවා. ඒ වගේම මහවැව, මාදම්පේ ප්‍රදේශයේ පහුගිය කාලයේ මහා පරිමාණයෙන් කුරුලු ජාවාරම සිදුවුණා. එවැනි ස්ථාන ගණනාවක් වියළි කලාපයෙන් අපට වාර්තා වෙනවා.
බොහෝ අය නොදන්නවා වුණාට කුරුලු ජාවාරම සිදු වෙන්නේ කුඹුරු ආශ්‍රිතව. නිදසුන් විදියට අම්පාර දිස්ත්‍රික්කයේ සියඹලාන්ඩුව, රඹුක්කන වැනි ප්‍රදේශවල මේ වගේ කුරුල්ලන් එකතු කිරීම සිදුකරනවා. ඒ වගේම පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව ප්‍රදේශයත් මෙවැනි ජාවාරම් සිදුවන ප්‍රදේශ ලෙස හඳුනගෙන තියෙනවා. බුත්තල, කතරගම පාරේ මේ වගේ තැන් තියෙන බවට තොරතුරු ලැබිලා තියෙනවා. ප්‍රධාන වශයෙන් රාත්‍රී කාලයේ පක්ෂීන් ලගින ස්ථාන සොයාගෙන උන් අල්ලා ගැනීම සිදුකරනවා. තිත් වී කුරුල්ලා, පිට සුදු වී කුරුල්ලා සහ රෑන ගිරවා මේ වගේ හසුවන කුරුල්ලන්"


නීතිෙය් හිඩැස්
කුරුල්ලන් මෙසේ හසුකර ගැනීමට එම ජාවාරම්කරුවන් පෙළඹී ඇත්තේ ලංකාවෙහි නීතිමය තත්ත්වයේ ඇති හිඩැස් හේතුවෙනි. මෙවැනි ජාවාරම්කරුවන්ට මෙන්ම වෙළෙන්දන්ටද තමන්ගේ නීති විරෝධී ක්‍රියාවන් දිගටම ගෙන යාමේ හැකියාව වක්‍රාකාරව සකස් කර ඇත. මෙහි නීතිමය හිඩැස් පිළිබඳ වනජීවි අඩවි ආරක්ෂක සුමනරත්න අදහස් පළ කළේය.
" පුත්තලම, ආනමඩුව වගේ කුඹුරු ගොවිතැන වැඩි ස්ථානවලින් තමයි බොහෝ කුරුල්ලන් අල්ලගන්නේ. ලොකු දැල් එළලා කුරුල්ලෝ අල්ලගෙන යනවා. අරන් ඇවිත් කොළඹ විකුණනවා. මේකට හේතුව වී කුරුල්ලන් සහ රෑන ගිරවුන් සලකන්නේ සංරක්ෂණය නොකළ කුරුල්ලන් විදියට. මේක අපේ නීති පද්ධතියේ ඇති අඩුපාඩුවක්. මොකද නීතියේ හැටියට වගාවට හානි කරන සතුන් ඇල්ලීමේ හැකියාව මිනිසුන්ට තියෙනවා "
පරිසරවේදී සජීව චාමිකර මෙහි නීතිමය තත්ත්වය පිළිබඳ අදහස් පළ කළේය.
" වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතට අනුව පුද්ගලික වගා බිමකදී පමණයි සංරක්ෂණය නොකළ සතුන් අල්ලන්න හැකියාව තියෙන්නේ. පුද්ගලික වගාබිමකින් පරිබාහිරව කිසිම විදියකින් ඒ සතුන්ව හිංසනයට ලක්කරන්න බැහැ. එම පනතට අනුව ඇල්ලීම, රඳවා තබා ගැනීම, විකිණීම, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම, විකිණීමේ පරමාර්ථයෙන් ළඟ තබා ගැනිම යනාදී සියලු කාරණා නීති විරෝධී වෙනවා.
මෙවැනි ක්‍රියාවක් කරන කිසියම් පුද්ගලයෙක් පිළිබඳ පොලිසියට හෝ වනජීවී දෙපාර්තමේන්තුවට වරෙන්තුවක් නොමැතිව 'සංඥ වැරදි'වලට අනුව අත්අඩංගුවට ගැනීමට හැකියාව තියෙනවා. මේ පිළිබඳ ඒ ජාවාරම්කරුවන් හෝ සාමාන්‍ය මිනිසුන් දැනුවත් නැහැ. ඒකයි මෙතැන ඇති විශාලතම ගැටලුව වෙන්නේ".


සූක්ෂ්ම ව්‍යාපාරයක්
රක්ෂිත වනාන්තරවල සහ රජයට අයත් තේ වතු පරිශ්‍රවල දැවැන්ත ගස්වල ‘බෙන’ තුළ වෙසෙන දුර්ලභ ගණයේ දේශීය පක්ෂීන් සූක්ෂ්ම ලෙස අල්ලා අධික මුදල්වලට අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු හෙළිදරව් වන බවට විද්‍යුත් මාධ්‍ය කරන ලද අනාවරණයකින් පසු කුරුල්ලන් පිළිබඳ කතාබහට නැවතත් ඉඩ වෙන් වී තිබේ. මෙය සිදුකරන්නේ පරිසරවේදීන්ගේ දෑස් වසාලමින් බව බොහෝ දෙනා කරන චෝදනාවකි. මේ පිළිබඳ පරිසරවේදීන්ද නොදැනුවත් වීම ගැටලුකාරී තත්වයයි.
ඔත්තු බලන්නන් යොදවා ගනිමින් ආරක්ෂිත ක්‍රමවේදයක් භාවිත කරමින් දැවැන්ත ගස්වලට නඟින මෙම ජාවාරම්කරුවන් විශාල යකඩ ඇණ ගස්වලට ගසා ඒවා ආධාරක ලෙස උපයෝගී කරගනිමින් ගස් බෙන තුළ වෙසෙන මාල ගිරවුන්, සැළලිහිණියන්, මයිනන් හා වෙනත් වර්ණයන්ගෙන් යුතු දුර්ලභ වූ පක්ෂීන් අල්ලා අලෙවි කරන බවට අනාවරණය වී තිබේ.
වනාන්තරවල වෙසෙන මෙම දුර්ලභ පක්ෂීන් අල්ලාගන්නා කල්ලියට දසදෙනෙකු පමණ ඇතුළත් වන බවත් ඔවුන් හන්තාන රක්ෂිත කඳු වනාන්තර පෙදෙස්හි මනා පළපුරුදුකරුවන් බවත් එම ප්‍රදේශවාසීහු පවසති. එමෙන්ම මෙම පක්ෂීන්  රුපියල් 25000කට සහ රුපියල් 50000වැනි මුදලකට අලෙවිකරන බවද පැවසේ. අනවශ්‍ය ප්‍රශ්න පටලවා ගැනීමට නොහැකි යැයි බොහෝ මිනිසුන් තමා දන්නා තොරතුරුද වසන් කිරීමට පෙළඹී තිබීම මෙහි ඇති අවාසනාවන්ත තත්වයයි. ප්‍රසිද්ධ මාධ්‍යයක මෙම පුවත වීඩියෝ සහිතව පළ වුවත් ඒ පිළිබඳව බලධාරීන් දැනුවත් වී ඇති ප්‍රමාණය සතුටුදායක නොවේ.


දඩයක්කරුවෝ
ඉතාමත් දුෂ්කර ලෙස දැවැන්ත ගස්වලට නඟින මේ කුරුළු දඩයම්කරුවන් ආරක්ෂිත පටි ඉඟ වටා බැඳගෙන අත්පොරෝ යොදාගෙන ගස් බෙන කපා හාරා එම බෙන තුළ වෙසෙන පක්ෂීන් අල්ලාගන්නා දර්ශන ද එම නාලිකාව විසින් අනාවරණය කර තිබුණි. හන්තාන කඳු පරිශ්‍රයේ සිදුවන කුරුලු දඩයම පිළිබඳ දැනුවත්දැයි අපි පරිසරවේදීන් කිහිප දෙනෙකුගෙන් විමසීමක් කළ අතර ඔවුන් පැවසුවේ ඒ පිළිබඳ දැනුවත් නැති බවයි. පරිසරවේදී ජගත් ගුණවර්ධන මෙසේ පැවසීය.
" හන්තාන ප්‍රදේශයේ කියන තරම් විශාල කුරුලු ගහණයක් නැහැ. ඒ වගේම මට මේ පිළිබඳ සැකයක් මතුවෙනවා, මොකද යම්කිසි මාධ්‍යයක් එම සැබෑ කුරුලු දඩයක්කරුවන් වීඩියෝගත කළා නම්, ඔවුන් පොලිසියට අල්ලා දෙන්න කටයුතු නොකළේ ඇයි කියන ප්‍රශ්නය මට තියෙනවා. මොකද එවැනි පුද්ගලයෙක් හෝ කිහිපදෙනෙක් අත්අඩංගුවට ගත් බවක් අපට ආරංචිවෙලා නැහැ. ඒත් මේ කාරණාව සත්‍යයක් නම් මේ වනවිටත් මේ පිළිබඳ පියවර නොගැනීම පිළිබඳ ගැටලුවක් මතුවෙනවා"
මේ පිළිබඳව කොළඹ වනජීවී කාර්යාලයෙන් කරන ලද විමසීමකදී ඔවුන්ට ද මෙවැනි යමක් පිළිබඳව දැනුවත් කිරීමක් සිදුකර නැති බව දැනගන්නට ලැබුණි. ඉන්පසු අප රන්ටැඹේ වනජීවී කාර්යාලය ඇමතූ පසුව එහි නිලධාරියෙක් මෙසේ කීය.
" අපිට හන්තානේ කුරුල්ලන් අල්ලනවා කියන පණිවිඩය ලැබුණා. ඒත් ඒ පණිවිඩය නිර්නාමිකයි. වැඩි විස්තරයක් කිවුවෙත් නැහැ. අපි ඒ පිළිබඳ හසලක වනජීවී කාර්යාලයට දැනුම්දීමක් කළා"
හසලක වනජීවි කාර්යාලයෙන් කරනලද විමසීමේදී ඔවුන් පැවසුවේ මේ වනවිට ඒ පිළිබඳ දැනුවත්වීමක් ලැබී ඇති අතර කරුණු සොයා බලා එම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවයි.
කුරුල්ලකු සේ නිදහසේ පියඹන්න හීන මවන මිනිසුන්, නිදහසේ පියාඹන කුරුල්ලන්ගේ ජීවිතවලට සිදුකරන අසාධාරණයට විරුද්ධ විය යුතු කාලය එළැඹ තිබේ. කූඩුවක සිදුකර තැබුවහොත්, තම මවුපියන්ගෙන්, යහලුවන්ගෙන් ඈත්කර තැබුවහොත් කුමක් සිතෙනු ඇත්දැයි සිතන්න. පණ ඇති කිසිම ජීවියකුගේ නිදහස උදුරා ගැනීමට අයිතියක් කිසිවකු ලබා දී නොමැත. සැබැවින්ම සිදුකළ යුත්තේ මෙවැනි පුද්ගලයන් හසුකර කුඩා දඬුවමක් කර මුදා හැර නැවතත් වරදට පෙළඹවීම නොවේ. අවශ්‍යව ඇත්තේ ආකල්පමය වෙනසකි. ඒ ආකල්පමය වෙනස ඇතිවිය යුත්තේ ඔබ තුළමය.

මාතෘකා