මේ විශ්වාසභංගයට කිසිම පදනමක් නෑ - ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මහජන අදහස් කමිටු‍වේ නීතිවේදී ලාල් විජේනායක

 ඡායාරූපය:

මේ විශ්වාසභංගයට කිසිම පදනමක් නෑ - ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මහජන අදහස් කමිටු‍වේ නීතිවේදී ලාල් විජේනායක

මේ  දිනවල පාර්ලිමේන්තු මන්ත්‍රණ සභාව උණුසුම් කරන සංවාද විවාදවලට තුඩු දුන්  කාරණාවක් ලෙස අගමැති රනිල් වික්‍රමසිංහට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛව  ගෙන ආ විශ්වාසභංග යෝජනාව හැඳින්විය හැකිය. මුළු රටම දෑස් දල්වා බලා  සිටින්නේ එහි තීන්දුව පිළිබඳවය. මෙය විශ්වාසභංගයට පක්ෂව  හෝ විපක්ෂව පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන හා සුළු පක්ෂ හා කණ්ඩායම්  විවිධ තීරණයන්හී එළඹ ඇති, විවිධ සාකච්ඡා පවත්වන තීරණාත්මක වකවානුවකි. එම  නිසා අප අගමැති රනිල් වික්‍රමසිංහට විරුද්ධව ගෙන ආ මෙම විශ්වාසභංග යෝජනාව  පිළිබඳව, එහි නීතිමය පැතිකඩ පිළිබඳව සහ එහි අතුරු ප්‍රතිඵල පිළිබඳව  ව්‍යවස්ථා සම්පාදන මහජන කමිටු සාමාජිකයකු හා දේශපාලන විචාරකයෙකු වන නීතිවේදී ලාල් විජේනායකයන්  සමඟ මෙසේ කාලීන දේශපාලන සංවාදයක යෙදුණෙමු.

අගමැතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව පිළිබඳව ඔබ දරන ස්ථාවය කුමක් ද?
මේ  විශ්වාසභංගය සම්බන්ධයෙන් මගේ ස්ථාවරය කරුණු දෙකක් ඔස්සේ පෙන්වන්න පුළුවන්.  දේශපාලන වශයෙන් සහ නීතිමය වශයෙන් මේ සම්බන්ධයෙන් මම කරුණු දක්වන්නම්.  දේශපාලන වශයෙන් මම මේ විශ්වාසභංගය සාර්ථකයි කියන්න හේතුවක් මම දකින්නේ  නැහැ. විශ්වාසභංග යෝජනාව ගෙන ආ අය එයට හේතුව වශයෙන් කියන්නේ දූෂණය.  එහෙත් ඒ සඳහා ආණ්ඩුවෙන්ම කොමිෂන් සභාවක් පත් කරලා විමර්ශන වාර්තාව ඉදිරිපත්  කරලා ඉවරයි. දැන් ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා කටයුතු කරයි. ඒකෙන්  අගමැතිවරයා නිදොස් වෙලා ඉවරයි. විශ්වාසභංගය ගැන කතා කරන්න කලින් මේ ආණ්ඩුවේ  අර්බුදකාරී තත්ත්වයක් තියෙනවාද කියලා බලන්න ඕනේ. මේක අයවැය තුනක්  පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දෙන් සම්මත කරපු ආණ්ඩුවක්. ඒ වගේම වැදගත් පනත්  බොහොමයක් වැඩි ඡන්දෙන් සම්මත වෙලා තියෙනවා. ඒ අනුව මේ වසර තුන ආණ්ඩුව ඉතා  සාර්ථකව කටයුතු කළා. පාර්ලිමේන්තුවේ අර්බුදයක් තියෙන්නෙ විදිහක් නැහැ. මේක  අර්බුදයක් මවාපාන්න කරන වැඩක්. ඒ වගේම තමයි විශ්වාසභංගයක් ගැන නීතිමය  වශයෙන් විශ්ලේෂණය කළොත්, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙ පැහැදිලිවම සඳහන්  වෙනවා අගමැතිවරයා ඉවත් කරන්න බැහැ කියලා. අගමැතිවරයාට විතරක් නෙමෙයි,  එහෙනම් මුළු කැබිනට් මණ්ඩලේටම එරෙහිව විශ්වාසභංගයක් ගේන්න ඕනේ. ඒ නිසා මේ  විශ්වාසභංග යෝජනාව කිසිම නීතිමය පදනමකින් ගෙනාපු එකක් නෙමෙයි.  

ලංකාවේ විශ්වාසභංග ඉතිහාසය සමඟ සසඳනකොට මේ විශ්වාසභංගය පිළිබඳ
ඔබේ අදහස මොකක්ද?

ලංකා  ඉතිහාසයේ අගමැතිවරුන්ට විරුද්ධව මීට පෙර අවස්ථා දෙකකදී විශ්වාසභංග දෙකක්  ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ එස්. ඩබ්ලිව්. ආර්. ඩී  බණ්ඩාරනායක මැතිතුමාට සහ  සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට විරුද්ධව ගෙන ආ විශ්වාසභංග. ඒ දෙකම පරාජය  වුණු ඒවා. අයවැය ලේඛනය හෝ ප්‍රතිපත්ති ප්‍රකාශය පරාජය වුණොත් තමයි  අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව ඉවත් විය යුත්තේ. මට මතකයි බණ්ඩාරනායක මැතිනියට  ප්‍රතිපත්ති ප්‍රකාශය පරාජය වෙලා ආණ්ඩු බලය අහිමි වුණා. මේ සියල්ල එක්ක  බලද්දි පේනවා මේ අගමැතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට කිසිම පදනමක්  නෑ කියලා. දේශපාලන අර්බුදයක් මවා පාන්න ගෙනාපු එකක් මේක.  
අගමැතිවරයාට  එරෙහිව ගෙන ආ මේ විශ්වාසභංග යෝජනාවට මුල්වෙලා කටයුතු කළේ ඒකාබද්ධ විපක්ෂය.  ඒ පාර්ශ්වයට මෙසේ විශ්වාසභංග යොජනාවක් ගෙන එන්න සදාචාරාත්මක අයිතියක්  තියෙනවා ද?
කොහෙත්ම නැහැ. එයාලා මේක ගේන්න පදනම කරගත්තේ දූෂණය. ඒත්  ගිය ආණ්ඩුවේ දූෂණ ගැන විමර්ශන ජනාධිපති කොමිෂන් සභා නිර්දේශවලටත් ඔවුන්  විරුද්ධ වුණා. ඒ එයාලගෙ හොර අහුවෙයි කියලා. ඉතින් එහෙම පදනමක ඉන්න ඒකාබද්ධ  විපක්ෂයට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ අගමැතිවරයාට විරුද්ධව එහෙම  විශ්වාසභංගයක් ගෙන එන්න.  

මේ තීරණාත්මක මොහොතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භූමිකාව කුමක් විය යුතුද?
ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කොටසක් ඇමතිවරුන් හැටියට ඉන්නවා.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නෙ කැබිනට් මණ්ඩලය සතුව සාමූහික වගකීම  තියෙන්න ඕනේ කියලා. ඒ කැබිනට් මණ්ඩලේ ඉඳන් කැබිනට් මණ්ඩලේ ප්‍රධානියාට  එරෙහිව විශ්වාසභංග යෝජනාවට පක්ෂ වෙන්න පුළුවන් ද කියන ප්‍රශ්නය ශ්‍රී ලංකා  නිදහස් පක්ෂෙ ක්‍රියාකලාපය දැක්කම පැන නගිනවා. එහෙම විශ්වාසභංග යෝජනාවට  පක්ෂ වෙන්න ඕනේ නම් ඔවුන් සියලුදෙනාම දරන ඇමතිධුරවලින් ඉවත් වෙලා පක්ෂ  වෙන්න ඕනේ. ඔවුන්ට පාර්ලිමේන්තුවෙ පදනම උල්ලාංඝනය නොකර කැබිනට් මණ්ඩලේ  මූලධර්ම කඩනොකර ඇමතිධුරයෙන් ඉල්ලා අස්වෙලා මේ නිර්මාණය කරපු අර්බුදයට සහය  දෙන්න අවශ්‍ය නම් ඒකට ඉඩකඩ තියෙනවා.  

සමහරු කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මත දෙකක් ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ ගැන ඔබේ අදහස කුමක් ද?
ඒ  ගැන මට තියෙන්නෙ අවිනිශ්චිත අදහසක්. ඒත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධියේ කරන ප්‍රකාශවලින් පේනවා ඔවුන් සතුව මත දෙකක්  තියෙනවා කියලා. එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත්  කියන්නේ මේ විශ්වාසභංග යෝජනාවට විරුද්ධ නොවී ඉන්න බැහැ කියලා. ඒත් ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක දරන්නේ ඊට විරුද්ධ මතය. මේ නිසා  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් දැන් දෙකට බෙදිලා ඉවරයි.  මම හිතනවා ශ්‍රී ලංකා  නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 15ක් පමණ මේ විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය  ප්‍රකාශ කරයි කියලා. මේකෙදි අවසානයේ කොන් වෙන්නේ ජනාධිපතිතුමා.  

මේ යන ගමනෙ කෙළවර වෙන්නෙ ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක්
ගෙන ඒමෙන් වෙන්න බැරි ද?

වෙන්න  පුළුවන්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් නොයෙක් අය එක්ක විධායක ජනාධිපති  ක්‍රමය අහෝසි කරන්න සාකච්ඡා කරනවා. එහෙම යෝජනාවක් ගෙන ආවොත් සහ ඒ සඳහා  එක්සත් ජාතික පක්ෂය පක්ෂ වුණොත් ජනාධිපති ධුරය කෙළවර වෙනවා. මම හිතනවා මේ  අර්බුදයේ ප්‍රතිඵලක් හැටියට ජනාධිපති ධුරය අහෝසි වෙයි කියලා.  

මේ හැමදෙයකින්ම වෙන්නෙ 2015දි ලබාදුන්න ජනවරම අසාර්ථකයි කියලා ඔප්පු වෙන එක නේද?
2015  ජනවාරි 8 වෙනිදා ජනතාව ලබාදුන්න ජනවරම සාර්ථකයි කියලා ඔප්පු කරන්න ඕනේ. ඒක  සාර්ථකයි කියන්න පුළුවන් දුන් පොරොන්දු ඉටු කළාට පස්සේ. දූෂණය නැති කරන්න  දුන් පොරොන්දුව තාමත් ඉෂ්ට කරන්න තියෙනවා. මේ අවුරුදු තුන ඇතුළත ගොඩක්  දුර ගිහින් තියෙනවා. ඒ වගේම මේ ආණ්ඩුවට තව විශාල වැඩ කොටසක් කරන්න තියෙනවා.  ඒකයි යහපාලන ආණ්ඩුව ගැන ජනතාවගේ අපේක්ෂාව. ඒත් ආණ්ඩුවට විරුද්ධ බලවේග පටු  දේශපාලන බලය අරමුණු කරගෙන විවිධ දේවල් කරනවා.  

මේ මොහොතේ දෙමල සන්ධානයේ සහ අනෙකුත් සුළු පක්ෂවල හැසිරීම සම්බන්ධයෙන්
ඔබේ අදහස කිව්වොත්?

මම  හිතන විදිහට දෙමළ සන්ධානය මේ විශ්වසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය දෙන එකක්  නැහැ. ඒ අය මේකට ඡන්දය නොදී ඉඳීවි. එහෙම නැත්නම් විශ්වාසභංගයට විරුද්ධව  ඡන්දය ප්‍රකාශ කරාවි. ඒ වගේම අනෙකුත් සුළු පක්ෂවලටත් මේකට පක්ෂව ඡන්දය  දෙන්න හේතුවක් නැහැ.  

"විශ්වාසභංගය දිනුවත් පැරදුණත් අපි දිනුම්" කියලා බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කියනවා. ඇත්තටම විශ්වාසභංගය නිසා ඒකාබද්ධය
දිනුම් ද?

මට  100%ක් විශ්වාසයි ඒකාබද්ධ විපක්ෂයට මේ විශ්වාසභංගය දිනන්න බැහැ කියලා.  පාර්ලිමේන්තුවේ සංයුතිය සහ යථාර්ථය අනුව බලනකොට අගමැතිට දේශපාලන අර්බුදයක්  නැහැ කියලා පේනවා. එයාලා දින්නත් පැරදුණත් දිනුම් කියන්නේ එයාලා පැරදෙන බව  දන්න නිසා.  

සමහරු නම් කියන්නේ වසර 5ක ආණ්ඩුවේ අවසානය දැන් එළඹිලා කියලා.
ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

අවසානය  එළඹෙන්න පුළුවන් වෙන්නේ පාර්ලිමේන්තුව විසිරුවා හරින දවසක් ආවොත් විතරයි.  ඒකාබද්දෙට තනියම ආණ්ඩුවක් හදන්න බැහැ කියලා හැමෝටම පේනවා. 19 වෙනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව අගමැති ඉවත් වුණොත් විතරයි  පාර්ලිමේන්තු විසුරවලා අලුත් ආණ්ඩුවක් හදන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා 2016  අගෝස්තු ඉඳලා 2019 අගෝස්තු වෙනතෙක් පාර්ලිමේන්තු විසුරුවා හරින්න බැහැ.  විසුරුවා හැරලා අලුත් ආණ්ඩුවක් හැදුවත් හදන්න වෙන්නෙ මේ ඉන්න  මන්ත්‍රීවරුන්ගෙන් විතරයි.  

මේ විශ්වාසභංගයත් එක්ක නව ව්‍යවස්ථා සංශෝධනය සහමුලින්ම සිහිනයක්
වෙනවා නේද?

මේ  විශ්වාසභංගය ගේන එකෙත් අරමුණ එයම තමයි. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුව  කටයුතු කරන නිසා දැන් ජාත්‍යන්තර වශයෙන් අපිට පිළිගැනීමක් තියෙනවා.  සිරිමාවෝ බණ්ඩාරනායක සමයේ අපිව පිළිගත්තා වගේ වගේ ජාත්‍යන්තරය අපේ රට ගැන  ප්‍රසාදය පළ කරනවා. මේ සියල්ලම කඩාකප්පල් කරන්න තමයි විරුද්ධ පාර්ශ්ව  කටයුතු කරන්නේ.

මාතෘකා