පුත්තලමේ බලධාරීන්ගේ ඇස් ඇරවූ මාධ්‍ය සත්කාරය

 ඡායාරූපය:

පුත්තලමේ බලධාරීන්ගේ ඇස් ඇරවූ මාධ්‍ය සත්කාරය

පුත්තලම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් පුත්තලම 4 කණුව වෙප්පමඩුව ප්‍රදේශයේ දැනට වසර ගණනාවක සිට ගව ඝාතකාගාරවලින් ඉවත් කරන අස්ථි කොටස් සහ අබලි කරවල යොදා ගනිමින් පවත්වාගෙන යනු ලබන මහා පරිමාණ සත්ත්ව ආහාර නිෂ්පාදනාගාරයක් නිසාවෙන් අවට උග්‍ර පාරිසරික ගැටලු රැසක් උද්ගතව තිබේ. ප්‍රදේශවාසීන් වසර ගණනාවක සිට රජයේ වගකිව යුතු බලධාරීන්ට ඒ පිළිබඳ නිරන්තරයෙන් දැනුම් දුන්නද ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගැනීම නිසා මාධ්‍යට ඒ සඳහා මැදිහත් වන්නට සිදුවිය.

ඒ අනුව අදාළ කර්මාන්ත ශාලාවේ හිමිකරුට විරුද්ධව නඩු පැවරීමට පුත්තලම පොලිසිය කටයුතු සිදුකර තිබිණ. අදාළ සත්ත්ව නිෂ්පාදනාගාරය එහි හිමිකරු විසින් දැනට වසර ගණනාවක සිට පුත්තලම මන්නාරම් ප්‍රධාන මාර්ගයට මීටර් දහයක් පමණ දුරකින් පවත්වාගෙන යනු ලැබේ. ඊට යාබදව මීටර් 50ට ආසන්න දුරින් වෙප්පමඩුව රජයේ මුස්ලිම් විද්‍යාලය පිහිටා ඇති අතර ඉන් මීටර් 20ට පමණ දුරින් ප්‍රදේශයේ ජනතාව දිය නාන තොටුපළ පිහිටා තිබෙන බවද වාර්තා වේ. අදාළ සත්ත්ව නිෂ්පාදනාගාරයෙන් ඉවත් කරන ගවයන්ගේ අස්ථි කොටස් ඇතුළු අනෙකුත් අබලි ද්‍රව්‍ය කර්මාන්තශාලාව අවට ඉවක් බවක් නොතකා දිගින් දිගටම බැහැර කිරීම නිසාවෙන් අවට ප්‍රදේශය පුරා දැඩි දුගඳක් වහනය වන බවටත් ඒ අවට පිහිටි ජල මූලාශ්‍ර සම්පූර්ණයෙන්ම අපවිත්‍ර වී ඇති බවටත් ප්‍රදේශවාසීහු චෝදනා කරති. එපමණක් නොව එලෙස ගව ගව ඝාතකාගාරවලින් ඉවත් කරන අස්ථි කොටස් මන්නාරම, මඩකළපුව, කුරුණෑගල, පුත්තලම සිට ලොරි රථ මඟින් ප්‍රවාහනය කරගෙන විත් මෙම ප්‍රදේශයේ ගබඩාකර ඉන් පසුව එම කොටස් මෙහිදී යන්ත්‍රාණුසාරයෙන් අඹරා කුකුළු කෑම සහ පොහොර නිෂ්පාදනය කරන බවද පැවසේ. එසේ අඹරණ අස්ථි කොටස් හේතුවෙන් ප්‍රදේශය පුරා නිරන්තරයෙන්ම දැඩි දුර්ගන්ධයක් වහනය වීම නිසාවෙන් අවට පරිසරය දැඩි ලෙස අපිරිසුදු වීමේ ප්‍රවණතාවක්ද ඇතිවී තිබේ. එම සත්ත්ව කොටස් උපයෝගී කරගනිමින් එම කර්මාන්තශාලාවෙන් දිනකට සත්ත්ව ආහාර කිලෝ 2000කට 3000කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කර එයින් ඉවත් කරන සියලු කසළ පරිසරය අපිරිසුදු වන අයුරින් කර්මාන්තශාලා භුමියේ තැනින් තැන බැහැර කිරීම පුරුද්දක් වශයෙන් සිදුකර තිබිණි.

ඒ සම්බන්ධයෙන් පුත්තලම මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය, පුත්තලම මහජන සෞඛ්‍ය පරික්ෂකවරු, පුත්තලම මධ්‍යම පළාත් පරිසර අධිකාරිය, පුත්තලම ප්‍රාදේශීය සභාව, 606 මනල්තිව් ග්‍රාම නිලධාරි ඇතුළු පාරිසරික පොලිස් කම්ටුව කිසිදු පියවරක් නොගැනීම නිසා අවට පරිසරයට සිදුව ඇත්තේ සුළුපටු හානියක් නොවේ. නිලධාරීන්ගෙන් සහ බලධාරීන්ගෙන් පිහිටක් නැති තැන මහජනතාව මාධ්‍යයේ සරණ පතන්නේ ඉන් අනතුරුවය. මාධ්‍ය ඒ සම්බන්ධයෙන් හෙළිකරමින් තම වගකීම අකුරට ඉටුකරද්දී නිලධාරීන්ගේද ඇස් කන් විවර විය. ඒ අනුව එම ස්ථානයට පැමිණි මධ්‍යම පළාත් පරිසර අධිකාරිය, පුත්තලම ප්‍රාදේශීය සභාව, පුත්තලම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු පුත්තලම පොලිසියේ පාරිසරික අංශය එම ස්ථානය දැඩි නිරීක්ෂණයකට ලක් කළහ. මාධ්‍ය නිලධාරීන් වෙත යොමුකළ ප්‍රශ්න හමුවේ ක්‍රියාත්මක වන්නට නිලධාරීන්ට සිදුවිය. ඒ අනුව නිලධාරීන් විසින් ආයතන හිමිකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ එම ස්ථානයේ අදාළ කර්මාන්තශාලාව පවත්වාගෙන යෑම සඳහා මෙම වසර වෙනුවෙන් බලපත්‍රයක් පවා ලබාගෙන නොමැති බවයි. මීට පෙර තමන් බලපත්‍ර ලබාගත්තේ පුත්තලම ප්‍රාදේශීය සභාවේ බදු එකතු කරන නිලධාරියකුගෙන් බවත් එයද ලබාගත්තේ එකී නිලධාරියා තම කර්මාන්තශාලාවට පැමිණෙන අවස්ථාවේදී බවත් එහිදී අයිතිකරු විසින් හෙළිකර තිබේ. පුත්තලම ප්‍රාදේශීය සභාවේ බදු අය කරන නිලධාරියකුට එසේ පාරිසරික තක්සේරු වාර්තාවක් හෝ වෙනත් වාර්තාවක් නොමැතිව බලපත්‍ර ලබාදීමේ බලයක් පවරා දී ඇත්තේ කවුරුන්ද යන්න ප්‍රශ්නයකි. පසුව අදාළ ආයතන හිමිකරුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව පවසමින් ඔහු ඇතුළු තවත් සේවකයන් දෙදෙනකු පුත්තලම පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු සිදුකළේය.

සටහන, සේයා රූ - වනාතවිල්ලුව සමූහ

[කේ. ප්‍රියංකර කළුපහන]

මාතෘකා