කැස්බෑ සංරක්ෂණය මුවාවෙන් නීති විරෝධී ජාවාරමක්

 ඡායාරූපය:

කැස්බෑ සංරක්ෂණය මුවාවෙන් නීති විරෝධී ජාවාරමක්

ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ එක් වරක් හෝ සංචාරයක නිරත වී, කැස්බෑවුන් නොබැලූ සංචාරකයකු වෙතොත්, ඒ 'කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බැලූ තරම්' දුලබ සිදුවීමකි. ඒ කැස්බෑවුන් නැරඹීම දකුණු වෙරළ තීරයට පැමිණෙන විදේශීය සංචාරකයන් අතර ඒ තරමටම ජනප්‍රිය අංගයක් බැවිනි. විදේශීය සංචාරකයන් පමණක් නොව අධ්‍යාපන චාරිකාවල නිරතවන පාසල් දරුවන්ගේද ප්‍රියතම නැවතුම්පොළක් වන්නේ වෙරළාශ්‍රිතව පවත්වාගෙන යන කැස්බෑවුන් සංරක්ෂණය කිරීමේ මධ්‍යස්ථානයි.

එසේ වුවද කැස්බෑ සංරක්ෂණයේ මුවාවෙන් පවත්වාගෙන යනු ලබන සියලු පුද්ගලික කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කිසිදු අවසරයකින් තොරව පවත්වාගෙන යනු ලබන නීතිවිරෝධී ඒවා බව තොරතුරු දැනගැනීමේ පනතට අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කළ විමසුමකදී හෙළි විය. වඩාත් මවිතයට කරුණ නම් අතිවිශාල ආදායමක් උපයන මෙම නීති විරෝධී ව්‍යාපාරයට එරෙහිව බලධාරීන් මේ වන තෙක් කිසිදු පියවරක් ගෙන නොතිබීමය.

රජයට කිසිදු බදු මුදලක් නොගෙවා කැස්බෑ සංරක්ෂණයේ මුවාවෙන් පවත්වාගෙන යන මෙම මධ්‍යස්ථාන දිනකට විශාල මුදලක් උපයාගනු ලබන්නේ විදෙස් සංචාරකයෙකුගෙන් රුපියල් 1000ක් හා දේශීය සංචාරකයෙකුගෙන් රුපියල් 50 සිට 100 දක්වා මුදලක් අය කොට එම මධ්‍යස්ථාන නැරඹීම සඳහා අවස්ථාව සලසා දෙමිනි.

එමෙන්ම කැස්බෑ පැටවුන් නිදහස් කිරීම සඳහා දෙස් විදෙස් සෑම සංචාරකයෙකුම අදාළ මධ්‍යස්ථානය වෙත රුපියල් 1500ක මුදලක් ගෙවිය යුතු අතර එහිදී කැස්බෑ පැටවුන් පස් දෙනෙකු මුහුදට නිදහස් කිරීමේ අවස්ථාව ඔවුන්ට හිමිවේ.

රතු පොතට ගිය කැස්බෑවා

කැස්බෑවා ලෝකයේ වඳ වී යාමේ තර්ජනයට ලක්වෙමින් යන සත්ත්ව විශේෂ අතරින් රතු දත්ත ලේඛනයටද ඇතුළත්ව සිටින සත්ත්වයෙකි. සාගර හා වෙරළ ආශ්‍රිත මිනිස් ක්‍රියාකාරකම් මෙම තර්ජනයට දැඩි ලෙස හේතු වී ඇත. එවැනි සාගර කැස්බෑවන් සංරක්ෂණය සඳහා ඉතාම වැදගත් වන මධ්‍යස්ථානයක් වන ශ්‍රී ලංකාවේ මුහුදු තීරය වෙත ලොව සාගරවාසී කැස්බෑ විශේෂ 7න්, විශේෂ 5ක්ම බිත්තර දැමීම සඳහා පැමිණේ.

එසේ ලංකාව තුළ දැකිය හැකි කැස්බෑ විශේෂ 5ක් වන බටු කැස්බෑවා (Olive ridley turtle), ඔළුගෙඩි කැස්බෑවා (Loggerhead), ගල් කැස්බෑවා (Green turtle), පොතු කැස්බෑවා (Hawksbill turtle), දාර කැස්බෑවා (Leatherback turtle) යන කැස්බෑවන් දකුණු වෙරළ තිරයේදී දක්නට ලැබේ.

එසේ කැස්බෑවන් දකුණු වෙරළ තීරයේදී නිරන්තරයෙන් දක්නට ඇති ප්‍රදේශ ලෙස මිරිස්ස, වැලිගම, හබරාදුව, හම්බන්තොට, අංගොඩ, රැකව, බුන්දල යන ප්‍රදේශ පෙන්වා දිය හැකිය. මෙම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නේද එම එම ප්‍රදේශ පදනම් කරගනිමිනි. මේ සියල්ල අතරින්, නීත්‍යනුකූල පදනමක් සහිත එකම ස්ථානය නම් හික්කඩුව ජාතික උද්‍යානයතුල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර තිබෙන කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයයි.

මොකද්ද මේ කැස්බෑ සංරක්ෂණය?

මුළු ජීවිත කාලයම මුහුදේ ගත කළත්, සාගරවාසී කැස්බෑවුන් විශේෂ සියල්ලම බිත්තර දැමීම සඳහා පැමිණෙන්නේ වෙරළ කරාය. මේ ආකාරයෙන් මුහුදු වෙරළේ දමන බිත්තර විලෝපිකයින් සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශ වෙයි. මේ නිසා මෙම බිත්තර එකතු කර තබා, ඒවායින් බිහි වන පැටවුන් මුහුදට මුදා හැරීම සහ ආබාධිත කැස්බෑවුන් ‍රැක බලා ගැනීම ‘සංරක්ෂණ මධ්‍යස්ථානවල’ කාර්යභාරය බව පැවසේ.

තත්ත්වය එසේ වුවත්, දකුණු වෙරළ තීරය දිගේ පවත්වාගෙන යන මෙම මධ්‍යස්ථාන නීති විරෝධී වනවා පමණක් නොවේ. කැස්බෑවුන් සංරක්ෂණය කරනු ලබන්නේ කැස්බෑවුන්ට සරිලන කිසිදු ජීවවිද්‍යාත්මක ක්‍රමයක් අනුව නොවන බවද එම මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමෙන් හෙළි වන කරුණකි. මෙම මධ්‍යස්ථානවල හිමිකරුවෝ වෙරළාශ්‍රිතව වෙසෙන්නන්ට හා ධීවරයින්ට බිත්තරයකට රුපියල් 50 සිට 100 දක්වා මුදල් ගෙවා ඔවුන් හරහා තම මධ්‍යස්ථානවලට බිත්තර රැස් කර ගනිති.

සංරක්ෂණයද විනාශයද?

සංරක්ෂණය මුවාවෙන් පවත්වාගත්තත්, මෙම මධ්‍යස්ථාන මගින් සිදු වන්නේ කැස්බෑවුන්ගේ පැවැත්මට ඉතාම හානිදායක දෙයකි. චලතාපී සත්ත්ව කොටසක් වන කැස්බෑවුන් බිත්තරයක් තුළ වැඩෙන පැටවාගේ ලිංගය තීරණය වෙන්නෙ බිත්තරයට ලැබෙන තාපය අනුවය. කැස්බෑ මවක් සුදුසු ස්ථානයක් ‍තෝරාගෙන, වළක් හාරා බිත්තර දමන විට, කුටියේ ගැඹුරත්, හැඩයත්, බිත්තර දමන ආනතියත් නිසා පැටවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය ආසන්න වශයෙන් 1:1 ආකාරයෙන් වන බව පරිසරවේදීහු පෙන්වා දෙති.

නමුත් ‘සංරක්ෂණය’ සඳහා වළ හාරා, බිත්තර පිටතට ගෙන ‘සංරක්ෂණ මධ්‍යස්ථාන’ වලට ගෙනවිත් නැවත වළ දමන්නවුන්ට මෙම ජීව විද්‍යාත්මක කරුණු පිළිබඳව කිසිම දැනුමක් නැති නිසා කැස්බෑ ‘සංරක්ෂණ’ මධ්‍යස්ථානවලින් නැවත වළ දමන බිත්තරවලින් බිහිවන පැටවුන්ගෙන් සියයට 97ක්ම පිරිමි සතුන්වන බව පරිසර විද්‍යාඥයෝ පෙන්වා දෙති.

මෙම හේතුව නිසා ප්‍රජනන කාර්යය සඳහා ගැහැනු සතුන් සාගරයට මුදා හැරෙන්නේ නැති තරම් වන සේම මෙම මධ්‍යස්ථානවල බිත්තර කුටීරයන්හි බිත්තර තැන්පත් කිරීමේ දී නියමිත දුර ප්‍රමාණයන්ට අනුව තැන්පත් නොකරන නිසා, දිලීර ආසාදන නිසා පැටවුන්ගේ මරණ අනුපාතය සැලකිය යුතු තරමින් ඉහළ යන බවද පරිසර වේදීහු පෙන්වා දෙති.

ස්වාභාවික පරිසර තත්ත්වයන් යටතේ දී බිත්තරයකින් කැස්බෑ පැටවෙකු බිහි වූ විට වෙරළේ සිට එසැණින් මුහුද කරා ඇදී ගොස් පැය 48ක් පමණ කාලයක් එක දිගට පිහිනීම සිදු වේ. ‘බාලක උන්මාදය’ (juvenile frenzy) ලෙස හැඳින්වෙන මෙම ක්‍රියාවලියෙන් ස්වභාවධර්මයා විසින් ශක්තිමත් පැටවුන් පමණක් ඉතිරි කර දුර්වලයින් ඉවත් කෙරේ. මෙම පැටවුන් තනිව ආහාර සොයා ගැනීම අරඹන්නේ මෙම පැය 48 පිහිනා විඩා නිවීමෙන් පසුවය. තම ජීවිත කාලයේම සංචරණය, මග සොයාගැනීම සඳහා අතිශය වැදගත් වන පෘථිවියේ චුම්බක පද්ධතිය පැටවුන් විසින් තම ජෛව පද්ධතියට ග්‍රහණය කරගන්නේද මෙම කාලයේදී බව නීතිඥ පරිසරවේදී ජගත් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.

ශක්තිය අහිමි කිරීම

නමුත් මෙම ‘සංරක්ෂණ’ මධ්‍යස්ථානවලින් බිහිවන පැටවුන්ට මෙම අතිශය වැදගත් ස්වාභාවික ක්‍රියාවලියට මුහුණ පෑමේ අවස්ථාව අහිමි කර තිබේ. ඔවුන්ව මුහුදට මුදා හැරෙන්නේ උපතින් පසු දින කීපයක් කොන්ක්‍රීට් ටැංකිවල තබා ගැනීමෙන් අනතුරුවයි. මෙයින් සිදුවන හානියද විශාල වන අතර ප්‍රධාන වශයෙන්ම බිත්තරයෙන් බිහිව පැය 48ක් පමණ දියඹට පිහිනීමට අවශ්‍ය ශක්තිය පැටවාට ලැබෙන්නේ බිත්තරයේ පෝෂ්‍ය ද්‍රව්‍යවලිනි. නමුත් දින කීපයක් සිමෙන්ති ටැංකියක් තුළ ඔබමොබ පිහිනීමෙන් පැටවු මෙම ශක්තිය අහිමි කර ගනිති. එනිසා මොවුන් මුදා හැරිය විට පිහිනීමට ඇති ශක්තිය මඳකමින් වෙරළාසන්නයේදීම විලෝපිකයින්ට ගොදුරු වන නිසා දියඹට පීනා යන්නේ ඉතාම සුළු කැස්බෑ පැටවුන් ප්‍රමාණයක් පමණක් බවත් එය කැස්බෑ ගහනයේ වර්ධනයට සෘජු ලෙස දැඩිව බලපා තිබෙන බවත් ජගත් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.

‘‘අවාසනාවකට මෙන් මෙම කැස්බෑ පැටවුන් මෙම කාලයට වඩා වැඩි කාලයක් මිනිසුන් ළඟ තබා ගැනීම නිසා එම සතුන්ට විශාල කුසගින්නක් ඇති වන විට ආසන්නයේ ඇති දේවල් ආහාරයට ගැනීම තුළ කැස්බෑ පැටවුන් රංචු වශයෙන් තබා ගැනීමේ දී එකිනෙකාව හපාගෙන කෑමට පටන්ගන්නවා. ඒ නිසා සමහර සතුන්ගේ ශරීර කොටස් අහිමි වෙනවා. එසේම ආසාදන තත්වද ඇති විය හැකියි. බීජ සමය පසු කළ කැස්බෑ පැටවා පිටින් ආහාර ගැනීම පටන්ගන්නා විට තම ශරීරයේ බර වැඩි වීම නිසා වතුරට මුදා හැරියද බොහෝ දුර පීනා ගොස් නිරුපද්‍රිත මුහුදු සීමාවකට යෑමේ අවකාශය අඩුයි. ඇතැම් විට එසේ දාපු පැටවුන් නැවත වෙරළාසන්න ප්‍රදේශවලට ගසාගෙන එනවා. එවිට ජලචර පක්ෂීන්ගෙන් හා විශාල මත්ස්‍යයින්ගෙන් අනතුරට ලක්වීමේ ඉඩකඩ වැඩිවෙනවා’’ ඔහු පැවසුවේය.

කැස්බෑවුන් සිරගත කිරීම

එමන්ම මෙම පැටවුන් ටැංකි වලට දමන්නේ සියලුම විශේෂ එකට සිටින ලෙසය. එම නිසා මෙම ඇතැම් විශේෂ අනෙක් විශේෂයන් නසා දමන නිසා පැටවුන් එකිනෙකාගේ ගාත්‍රා ආදිය සපා කා හානි කර, විනාශ කර දැමීමට සිදු වේ. මේ නිසා මොවුන් ජීවත් වීමේ සම්භාවිතාව තව තවත් පහළ වැටේ. මිට අමතරව මෙම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන මුදල් ඉපැයීමේ අරමුණෙන් සංචාරකයින් ලවා මෙම පැටවුන් මුහුදටම ගෙන ගොස් අතහැරීම සිදුකරයි. කැස්බෑ පැටවුන් මුහුදට මුදා හැරීම කළ යුත්තේ රාත්‍රියේ දී වුණත්, මුදල් ඉපැයීමේ අරමුණෙන් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට මොවුන් මෙම පැටවුන් දිවා කාලයේ මුහුදට මුදා හැරීම තුළින් එයින් ඔවුන්ගේ ජීවත් වීමේ ඉඩකඩ තව තවත් පහළ වැටෙන බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.

බොහොමයක් කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන තුළ විශාල කැස්බෑවන් පවා රඳවා ගෙන සිටින්නේ ඉතාම කුඩා ඉඩකඩක් සහිත සිමෙන්ති ටැංකි තුළය. විශාල සාගරයක වසර 300 ට ආසන්න කාලයක් ජීවත්වීමේ වාසනාවක් ඇති සතෙකු මෙවැනි ස්ථානයක සිරකර තබා ගැනීමට සදාචාරාත්මකමෙන්ම නීතිමය අයිතියක්ද නොමැති පසුබිමක, මෙවැනි ජාවාරම් පවත්වාගෙන යන්නේ වනජීවී සංරක්ෂණය වෙනුවෙන් පවතින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කිසිදු නීතියක් ක්‍රියාත්මක කිරීමක් නොමැති නිසාත්, කැස්බෑ සංරක්ෂණය කෙරෙහි අදාළ රාජ්‍ය ආයතනය දක්වන අඩු සැලකිල්ල නිසාත් බව මෙයින් පැහැදිලි වේ.

සංරක්ෂකයෝ මෙසේ කියති

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සමස්ත ලංකා මුහුදු කැස්බෑ සංරක්ෂණ සංගමයේ සභාපති ජීවන් කස්තුරිආරච්චි පළකර සිටියේ මෙවන් අදහසකි.

''ලෝකය දියුණු වෙලා. නව තාක්ෂණික දේවල් මුහුදට ඇවිල්ලා තියෙනවා. මෙම සතුන්ට දැන් මුහුදේ ජීවත්වීමට හැකියාවක් නෑ. ඒ නිසා දැන් මේ සතුන්ට සංරක්ෂණ මධ්‍යස්ථාන පවා අවශ්‍ය වෙලා තියෙනවා. මේ සතුන්ට උද්ගතවෙලා තියෙන තත්වයත් සමග සමහර සුළු පිරිසක් කරන වැරදි නිසා මේ සතුන්ට මේ තත්වය උදාවෙලා තියෙනවා

දැනට වසර 05කට පමණ පෙර ලංකාවේ කිසිදු සංරක්ෂණ මධ්‍යස්ථානයක් හෝ සංගමයක් බිහිවෙලා තිබුණෙ නෑ. ඒ කාලෙ එක් එක් තැන් තැන්වල පොඩි පොඩි වශයෙන් පවත්වාගෙන ගිය කැස්බෑවුන් ආරක්ෂා කරන තැන් එකතැනකට ගෙනැල්ලා සංගමයක් පිහිටුවලා කැස්බෑවුන් සංරක්ෂණ මධ්‍යස්ථානයක් ආරම්භ කළ යුතු බව එවක සිටි වනජීවී අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා ඇතුළු වනජීවී නිලධාරීන් තීරණය කරනු ලැබුවා නමුත් ඒක වුණේ නෑ.

සමහර මධ්‍යස්ථානවල කැස්බෑවන්ට හරිම අකටයුතු දේවල් සිදුවෙනවා. සමහර කැස්බෑවුන්ට සති දෙකක් පමණ කෑම ලබාදෙන්නෙ නෑ. සමහර සංරක්ෂණ මධ්‍යස්ථාන, මේක ව්‍යාපාරයක් ලෙස හිතනවා මිස ඒ සත්වයාට සැලකිය යුතු ආකාරය ගැන හිතන්නෙ නෑ. සතුන් අතින් අල්ලනවා. ඡායාරූප ගන්නවා. එම කිරණ එම සතුන්ට වදිනවා. ඒ පිළිබඳ කිසිදු දැනීමක් නෑ. වනජීවී නිලධාරීන් ඒ පිළිබඳ දැනුවත් කළ යුතු වෙනවා.''

මෙහි දී මූලිකවම සිදුවෙලා තියෙන්නේ සංචාරක ආකර්ෂණය නිසා අධිකව මුදල් උපයන ස්ථාන බවට පත් වෙලා තිබීම. අපි මේ පිළිබඳව වනජීවී නිලධාරී මහතුන් දැනුවත් කරලා තියෙනවා. මේ පිළිබඳව අපි නීති උපදෙස් ලබාගැනීම සඳහා අදාළ අංශවලට යොමු කරලා තියෙනවා. කැස්බෑවන් සංරක්ෂණය කියන එකට මූලිකත්වය දිය යුතුයි.එසේ නොකර එවැනි වැරදි කරන අය හඳුනාගෙන ඒවා නොකරන්නට ඒ අයට උපදෙස් දීලා එම සතුන් ආරක්ෂා කරගැනීමට උපදෙස් දීලා එම බිත්තර මිනිසුන්ගේ ආහාර බවට පත්වීම වලක්වා ඒවා ආරක්ෂා කරගැනීමට ක්‍රමවේදයක් සකසා දෙන්න ඕන.

''වෙරළ තීරය තුළ ටැංකි 4ක් 5ක් හදාගෙන ධීවරයින්ගේ මාර්ගයෙන් කැස්බෑවො ටිකක් දැලක පටලවලා ටැංකිවලට ගෙනත් දාගන්නවා. ඉතින් ටිකට් එකක් ගහලා පෙන්වනවා. මේක සමහර අය ව්‍යාපාරයක් කරගෙන. පසුගිය කාලයේ ඉදි කරපු සහ දැනට ඉදිවෙමින් පවතින එවැනි ස්ථාන තියෙනවා. නමුත් සංගමයක් හැටියට අපට අවසරයකුත් නෑ එවැනි ස්ථාන නිරික්ෂණය කරලා යම් පියවරක් ගන්න. වනජීවී දෙපාර්තමේන්තුවෙන් මේකට විසඳුමක් සොයාගත යුතුයි. හතු පිපෙන්න වගේ රට පුරා කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන බිහිවෙනවා. කැස්බෑ පැටවුන් බිහි වූ විගසම මුහුදට මුදා හැරීම කළ යුතුයි. නමුත් සති ගණන් ටැංකිවල තියාගෙන අතින් අල්ලලා සියලු දෙනාට පෙන්වීම තුළින් කැස්බෑ පැටවුන්ට හානි වෙනවා" ජීවන් කස්තුරිආරච්චි මහතා පැවසුවේය.

නිතිය ක්‍රියාත්මක නොවීම

ශ්‍රී ලංකා වනසත්ව හා වෘක්ෂලතා ආඥා පණතේ III වන කොටසේ 30 වන වගන්තියට ප්‍රකාරව 'ඇ' සිට 'උ' දක්වා වගන්ති තුළ සදහන් නීතිරීතිවලට අනුව කැස්බෑවුන් මැරීම, තුවාල කිරීම, බිත්තර එකතු කිරීම, කූඩු විනාශ කිරීම, ළඟ තබා ගැනීම, සහ කැස්බෑ කොටස් ළඟ තබා ගැනීම ආදී ක්‍රියාවන් සපුරා තහනම් වේ . එපමණක් නොව, එහි 30 (2) වගන්තිය යටතේ එම ක්‍රියාවන්හි නිරතවන වැරදිකරුවන්ට ලබා දිය යුතු දඬුවම් පැහැදිලිවම දක්වා තිබෙන අතර ඒ අනුව අදාළ වැරැද්ද සිදු කරන තැනත්තා, රුපියල් දසදහසකට අඩු නොවන රුපියල් තිස්දහසකට වැඩි නොවන දඩයකට හෝ අවුරුදු දෙකකට අඩු නොවන සහ අවුරුදු පහකට වැඩි නොවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක වූ බන්ධනාගාර ගතකිරීම හෝ, ඒ දෙකටම යටත් කළ හැකිය. එසේ වුවත් වසර ගණනක් මුළුල්ලේ නීති විරෝධිව සත්ව හිංසනයන්ද සිදු කරමින් පවත්වාගෙන යන මෙම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන සම්බන්ධයෙන් කිසිදු වැටලීමක්, අත්අඩංගුවට ගැනීමක්, නඩු පැවරීමක් කර නොමැති බව තොරතුරු දැනගැනීමේ පනතට අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් තොරතුරු මගින් හෙළි වේ.

රාජ්‍ය ආයතනයක් වන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ලංකාවේ වනජීවීන් නිසා විශාල ලාභයක් ලබන බව තොරතුරු පනතින් වනජීවී දෙපාර්තමේන්තුව මගින් ලබාගත් තොරතුරුවලින් අනාවරණ වන නමුත් වනජීවීන්ගේ ආරක්ෂාව හා සංරක්ෂණය සම්බන්ධයෙන් මෙවැනි නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමද පුදුම සහගතය.

මෙම නීතිවිරෝදී කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන සම්බන්ධයෙන් නිතිය ක්‍රියාත්මක නොකිරීම හා ප්‍රමාණවත් විධිමත් කැස්බෑ සංරක්ෂණ රජයේ මධ්‍යස්ථාන ඇති නොකිරීම සම්බන්ධයෙන් කළ විමසීමකදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් ඉක්මනින් සොයා බලා කටයුතු කරන බවයි. ''මෙය සෑහෙන කාලයක් තිස්සේ පවත්වාගෙන එන එකක්. මේවායේ නීතිවිරෝධී කටයුතු වළක්වන්න වැටලීම් කරන එක තවත් එක ක්‍රමයක් පමණයි. මේ ආශ්‍රිත මිනිසුන්ගේ ආර්ථිකයක් ගොඩනැගී තිබෙන බැවින් මෙය නියාමනය කිරීමට අපගේ අවධානය යොමු කරනවා."-

[රාහුල් සමන්ත හෙට්ටිආරච්චි] හම්බන්තොට

 

මාතෘකා