සලිතව යන තරම් හදවත් තිබෙන දන අලි තව සිටීවිද මේ ලෙස මියෙන කල

 ඡායාරූපය:

සලිතව යන තරම් හදවත් තිබෙන දන අලි තව සිටීවිද මේ ලෙස මියෙන කල

මුහුදේ ගිලී මියැදුණු සිරියානු සරණාගත දරුවා සිත්වල ඉපදවූ තරම් කම්පාවකි. මීරියබැද්ද, කොස්ලන්ද නාය යාමෙන් පණ පිටින් පොළොවේ වැළලුණු මිනිසුන්ගේ මළ කඳන් එකිනෙක ගොඩගනිද්දී ඒ වෙනුවෙන් නැඟුණු කඳුළුවලට වැඩි වෙනසක් මෙහි නොවේ. ඒ තරම් කම්පාවක් පරිසරවේදීන්ගේ, සත්ත්වවේදීන්ගේ පමණක් නොවේ. මුළු රටේම ඇත්තන්ගේ සිත්වල ඇති කළේ පසුගිය දෙවැනිදා සවස් වනවිටය.

ඒ පොලොන්නරුවේ කෙළවරකට වන්නට වන සතුන්ම මිස මිනිස් පුළුටක් සොයා ගැනීමට දුෂ්කර ජාතික ජල ගැලුම් ජාතික වනෝද්‍යාන සීමාවෙනි. ඉන් කියැවුණේ එකම රෑනකට අයිති අලි ඇතුන් ගණනාවක් කුඩා පැටවුන්ද සමඟ මඩේ එරී මියගිය ඛේදාන්තයකි.

ඉඳින් මේ පුවත සමඟ රට තොට කතාබහ තුළ අලුත්වූ මතක ගොන්නකි. ඇතැමකු කීවේ ලෝක යුද සමයේදී සතුරු ගුවන් යානා බිලි ගැනීමට මතුපිටින් නොපෙනෙන මෙවැනි උගුල් ඇටවූ බවත් එවකට ඒවා ශ්‍රී ලංකාවේද වූ බවත්ය.

එහෙත් එවැනි උගුලක් හෝ කිසිවකුගේ වුවමනාවට සිදු නොවූවක් බවට හෙළිව තිබෙන ජල ගැලුම් ජාතික වනෝද්‍යානයේ දිවුලාන විල්ලුවට බිලිවූ අලි ඇතුන් සත් දෙනා සම්බන්ධයෙන් ඊයේ වනවිටත් බලධාරින්ගේ අවධානය යොමුව තිබිණ. විශේෂයෙන් අදාළ විල්ලු ප්‍රදේශයේ එරී තිබුණු අලි ඇතුන්ගේ මළ කඳන් ගොඩගෙන හමාර කරන ලද්දේ ඊයේ දිනයේදීය. ඒ බැකෝ යන්ත්‍ර යොදා ගනිමිනි. එම අවස්ථාවට වනජීවී සංරක්ෂණ විෂයය භාර නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුමද එක්ව සිටියේය.

විල්ලුවේ මඩ ගොහොරුවේ එරීගෙන ඉන් ගොඩ ඒගත නොහැකිව ඊටම අවසන් හුස්ම පොද මුසුකළ මේ දැවැන්තයන්ගේ සුදු පැහැ ගැන්වෙමින් පැවැති සිරුරු දකින කාටත් ඇති වූයේ කම්පාවකි. මිනිස් ක්‍රියාකාරකම් ප්‍රධාන විවිධ උවදුරු හේතුවෙන් සිදුවන අලි ඇතුන්ගේ මරණ ඕනෑ තරම් දැක හුරු පුරුදු වනජීවියේ ඇත්තන්ගේ දෑත්ද මේ අකල් මරණ හේතුවෙන් කීරි ගැහී ඇති සැටියකි ඊයේ මෙම ජල ගැලුම් නිම්න වනෝද්‍යානයේ පුදූර් ප්‍රදේශයේදී දුටුවේ.

සැබැවින්ම ලංකා ඉතිහාසයේ මේ තරම් ඛේදවාචකයක් මෙම අනතුර සිදුවූ ජල ගැලුම් නිම්න වනෝද්‍යානයෙන් හෝ වෙනත් කිසිම වනෝද්‍යානයකින් වාර්තා වී නැති බව වනජීවියේ බොහෝ දෙනකුගේද අදහසය. එහෙත් හමුදා කඳවුරකට විදුලිය ලබා ගත් අධි බලැති රැහැනක ගැටී එකම රෑනේ අලි ඇතුන් සිව් දෙනකු එකම තැනකදී එකටම මැරී වැටී සිටි ශෝකාන්තයක් නම් පොලොන්නරුවේ ජනතාවට තවමත් මතකය. ඒ දශකයක් තරම් ඈතදී මඩකළපුවට නුදුරු පුනානිහිදීය.

එම සිද්ධියටම තවත් දිගුවක් එක් කළ මෙම අලි ඇතුන්ගේ මරණ හතට හේතුව එම සතුන් මෙම විල්ලුව වරදවා වටහා ගැනීමක් විය හැකි බව මේ වනවිට බහුලව පළවන මතයකි. එමෙන්ම එම සතුන්ගේ මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණද කෙරෙමින් පැවැති හෙයින් තවමත් ඊට කරුණු කියන්නට ඉක්මන් වැඩිය.

ඒ කෙසේ වුවත් විල්ලුවේ ගිලී මළ අලි ඇතුන් අතරේ සිට බඩපිස්සාය කිව හැකි වයස අවුරුදු අටකට නොවැඩි බව හඳුනාගෙන තිබෙන පැටවාගේ මරණයට අදාළ වාර්තාව නම් පොලොන්නරුව සහකාර වනජීවි අධ්‍යක්ෂ කාර්යාලයට ලැබී තිබිණ. ඉන් ඇඟවී තිබුණේද මෙම සතුන් ජලය සහ ආහාර සොයාගෙන ඕනෑගම ගම්මානය බලා ගමන් ගනිද්දී මේ විපත සිදුව ඇති බවය.

පොලොන්නරුව - සෝමාවතිය මාර්ගයේ බොහෝ දුරක් ගෙවා ළඟාවිය යුතු ඕනෑගම ජල ගැලුම් නිම්න වනෝද්‍යානයේ බොහෝ අලි ඇතුන්ට අමුතු තැනක් නොවේ. ඒ අස්වනු කැපෙන කාලයට ඒ ගමට වැදී කිරි වැදුණු වී අහුරක දෙකක රස බැලීමේ පුරුද්ද නිසාය.

එහෙත් රංචු පිටින් ඔවුන් යනෙන ඒ මඟ ඉතිහාසයේ සිට වරදවා ගැනීමක් මේ අලි ඇතුන්ගේ සනුහරයේ කිසිවකුගෙන් නොවීය. එය එසේ තිබියදී මේ අන්දමට විල්ලුවේ එරෙන බව නොදැන ඒ මතින් ගමනේ යෙදුණු මේ ඉලන්දාරි අලි රංචුවවත් තමන්ට පය ගසා ගත් තැනින් ආපිට ගොඩ ඒගත නොහැකි වනු ඇතැයි නොසිතන්නට ඇති. ඒ අඩි හයකට ආසන්න ගිලා බැස්මක් ඔවුන් පිටතට ගොඩබිමක් සේ පෙනෙන ඒ ජපන් ජබර යායෙන් නොදුටු හෙයිනි. සැබැවින්ම මේ සතුන්ට නොව මිනිසකු පවා මේ මර උගුලට ගොදුරු විය හැකි බවත් එහෙත් එය සොබාදහමේම නිමැවුමක් මිසෙක කිසිවකු ඇටවූ උගුලක් නොවන්නකි.

විල්ලුවෙන් ගොඩ ගත් සෙසු මළ කඳන්වලට අනුව බැලු බැල්මට එම සතුන්ද වයස අවුරුදු තිහත් හතළිහත් අතර පසුවන බව බොහෝ දෙනාගේ මතයයි.එමෙන්ම මේ සත් දෙනා හැරෙන්නට තවත් විල්ලුවේ එරුණු සතුන් සිටීදැයි දිගින් දිගට කළ පරික්ෂණද දැන් නිමාවට පත්ව තිබේ. එහිදී හෙළිවී ඇත්තේ මේ හැරෙන්නට වෙනත් අලි ඇතුන් ඊට ගොදුරුව නැති බවකි.

මේ අතරතුර ගිරිතලේ වනජීවී රෝහල කාර්ය බහුලව තිබිණ. විල්ලුවෙන් ගොඩ ගෙන මරණ පරික්ෂණවලට ගෙනෙනා අලි ඇතුන් මළ කඳන් හේතුවෙනි. මෙම වසරේම එහි ප්‍රතිකාර ලැබූ වළසකු ඉන් පැන යාමේ සිද්ධිය සහ කළහකාරීව සිටියදි එම සත්ත්වයාට වන ජීවියම වෙඩි තබා ඝාතනය කිරීමද මෙම අලි ඇතුන්ගේ මරණ සිද්ධියටද නරකට බලපා තිබුණු බවත් පෙනුණි. ඒ කලක් තිස්සේම ඒ සම්බන්ධයෙන් වැඩ තහනමට ලක් කොට සිටි පශු වෛද්‍යවරියක නැවත සේවයේ පිහිටුවීමට එම දෙපාර්තමේන්තුව පමා වීම ආදී කාරණා හේතුවෙන් පශු වෛද්‍යවරු ළතැවිල්ලෙන් පසුවූ බැවිනි.

කෙසේ වෙතත් මේ කලාතුරකින් වන අනතුරකි. මිනිස් ලොවදී එවැනි අනතුරු වාර්තා වෙනවාටත් වඩා මෙය දුරුලභය. එහෙයින් තවමත් මේ සතුන්ට සිදුවූ විපත පිළිබඳ මිනිස් සමාජය විසින් සොයමින් පවතී. ඒ අනුව අහම්බෙන් සිදුවූ මේ විපත කාගේ දොසකින් වූයේදැයි තවමත් ජනතාව කතා බහ කරමින් සිටිති.

මෙරට වාසය කරන අලි ඇතුන් ගණන පිළිබඳව ද විවිධ ඇස්‌තමේන්තු තිබේ. ඇතැම් සංඛ්‍යාලේඛන අනුව එය 2,500ත් 4,000ත් අතර ප්‍රමාණයකි. වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට අනුව මේ ප්‍රමාණය 5,000-6,000 අතර වේ. එහෙත් නිරන්තරව මිය යන අලි ප්‍රමාණය සැලකිල්ලට ගත් විට ඉහත දත්ත වේගයෙන් වෙනස් වෙයි. සෑම මාසයකම නොවරදවාම අලියකු දෙදනෙකු පිළිබඳව හද කම්පා කරවන දසුන් දක්‌නට ලැබෙයි.

සමහරු මෙය අලි මිනිස් ගැටුමක් බවට අර්ථ දැක්වූවද එහෙම ගැටුමක් නැත. මිනිස්සු අලි එක්ක තරහක් නැත. තිබෙන්නේ ජීවිත අරගලයකි.

අලි - මිනිස්‌ අරගලය නිසා වසරකට අලි 250ක් පමණ මිය යයි. මෙය සමස්‌ත අලි ගහනයට සාපේක්‌ෂව බලන විට 4% කි.

මෙයිනුත් 40% පමණ සිදුවන්නේ වෙඩි තැබීම් නිසාය. දුම්රිය අනතුරු ඇතුලු සෙසු අස්‌වාභාවික හේතු මෙන්ම ස්‌වාභාවික හේතු නිසා මිය යන්නෝද මේ 250 අතරට වැටේ.

කාලයත් සමඟ එම ප්‍රමාණය ඉහවහා ගොස් තිබේ. ආන්තික කාලගුණ තත්ත්වය, හක්‌ක පටාස්‌ වැනි කුරිරු උපක්‍රම සුලබ වීම ආදියද මේ අලි මරණවලට හේතු වී ඇත.

"මහරජ, අහස සරන කුරුල්ලන්ට ද පොළොවේ සියලූ සතුන්ට ද මහ පොළොවේ ඕනෑ ම තැනක හැසිරීමේ අයිතිය හා නිදහස ඔබට මෙන්ම ඇත. ඔබ එහි අයිතිකරු නොව, භාරකරු පමණි”

මෙහෙම දේශනා කළේ මිහිඳු හිමිය. එහෙත් කාලානුරූපීව සියලු අයිතිය මිනිසා පමණක්ම උරුම කරගනිමින් සිටින සෙයක් දක්නට ලැබේ. සතුන් අතර බලවත්ම සතා නිසාත්, මානසික ශක්තිය උසස් නිසාත් ස්වකීය පැවැත්ම උදෙසා අහස පොළව සියල්ල සන්තක කරගැනීම මිනිසාගේ අභිප්‍රාය වී තිබේ.

එයින් පුපුරා යන්නේ අනෙක් සතුන්ගේ වේදනාව සහ පීඩාවය.

අලියා අපගේ ජාතික සම්පතක්‌ පමණක්‌ නොව සංස්‌කෘතික සම්පතක්ද වෙයි... චිරාත් කාලයක සිට අලියා සිංහල ජන ජීවිතය සහ රාජ්‍ය පාලනය කෙරෙහි බද්ධ වූ ගාම්භීර තිරිසනෙකි.

අවාසනාව වන්නේ සාතිශය ඛේදනීය ලෙස උන්ගේ නික්ම යාම සිදු වීමය.

[ගාමිණී ඔබේසේකර] [නුවන් මහේෂ් ජයවික්‍රම]

ඡායා [ගාමිණී ඔබේසේකර]

මාතෘකා