මිනිස් ජීවිත සූරා කන ත්‍රි’මලේ වැලි ජාවාරම

 ඡායාරූපය:

මිනිස් ජීවිත සූරා කන ත්‍රි’මලේ වැලි ජාවාරම

ලංකාවේ සිදු කෙරෙන නීති විරෝධී ජාවාරම් අතරින් වැලි ජාවාරම දෙවැනි වන්නේ,මත් ද්‍රව්‍ය ජාවාරමට පමණක් යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවනු ඇත. මහවැලි ගඟ මුල් කර ගනිමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ආශ්‍රිතව ක්‍රියාත්මක වැලි ජාවාරම කැපී පෙනෙන ජාවාරමක් බවට පත්වී ඇත. මේ සම්බන්ධයෙන් කටයුතු කරන වගකිව යුතු ආයතන යම් යම් වරදාන හේතුවෙන් ක්‍රියාත්මක නොවීම හා අල්ලසට දූෂණයට එකී ආයතන යටවීම ඊට හේතුව බව අල්ල ගොවි ජනපදිකයන්ගේ චෝදනාවයි.

ත්‍රිකුණාමලය සේරුවිල හා මූතුර් ප්‍රදේශයේ මහවැලි ගඟ ආශ්‍රිතව දිගු කාලයක් මුළුල්ලේ සිදු කෙරෙන නීති විරෝධී වැලි ජාවාරම් හේතුවෙන් මේ වන විටත් දැඩි පාරිසරික හා සාමාජීය ගැටලු රැසක් පැන නැගී ඇති බව පොලිසිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා පරිසර සංවිධානද කියා සිටිති. එහෙත් මේ ව්‍යසනයන්ට එකී ආයතනවල අයථා ක්‍රියා ද බලපා ඇති බව රහසක් නොවේ. මෙකී විනාශය හේතුවෙන් වැඩිම අවදානමකට ලක්ව ඇත්තේ, මූතුර් හා සේරුවිල ගොවි ජනතාව හා ධීවර ප්‍රජාවයි.

කරදිය ජලය ගඟ දිගේ රට අභ්‍යන්තරයට ගමන් කිරීම හේතුවෙන් කෘෂි කාර්මික කටයුතුවලට බාධා පැමිණවීම හා මිරිදිය ජලය නිසි කලට ගංමෝය හරහා වරාය මුහුදු තීරයට නොපැමිණීම හේතුවෙන් ධීවර කටයුතු අඩාළවීම ද නොසලකා හැරිය නොහැක්කකි. මහවැලි ගඟ ත්‍රිකුණාමලයෙන් මුහුදට වැටීම වෙනුවට, මහ මුහුද මහවැලි ගඟ ඔස්සේ රට තුළය ගලා ඒම ගොවි ජනතාව මුහුණ දී සිටින බරපතළම ගැටලුවයි.මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අල්ල ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති අනුරුද්ධ විශ්වන්ත මහතා මෙසේ කියා සිටී.

“ගඟේ පහළ කොටසේ ගඟ මැද හාරලා නිසා මුහුදෙ වතුර ගඟ දිගේ ඇතුළට එනවා.මේ නිසා අපට ගොවිතැනට විතරක් නෙවෙයි, බොන්නත් වතුර නැති තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. දැන් ගඟේ වතුරට කරදිය මුහුවෙලා. ට්‍රැක්ටර් ගඟට දාන නිසා ගං ඉවුර විනාශ වෙලා ගස් කොළන් පරිසරය විනාශ වෙලා. ටිපර්, ට්‍රැක්ටර ගිහිල්ලම ගං වතුර ආරක්ෂණ වේල්ල විනාශ වෙලා ගිහින්. අපේ ගොවි බිම්වලට යන පාරවල් කුඩා ඇලවේලි මේ හැම එකක්ම විනාශ වෙලා ගිහිල්ලා. දිසාපතිගේ ඉඳන් භූ විද්‍යාවට, පරිසරයට, වාරි මාර්ගෙට මේ හැමෝටම මේ ගැන පැමිණිලි කරලත් විසඳුමක් නොලැබීම නිසා අපට මේ ආයතන ගැන තියෙන්නේ ලොකු සැකයක්..”

මෙම තත්ත්වය අනුව මූතුර් ප්‍රදේශයට පානීය ජලය ලබා දෙන නීලපොල ජල පොම්පාගාරය පවා අවදානමට ලක්ව ඇති බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයද කියා සිටී. මහවැලි ගගේ ජලය මුහුදට මුසු නොවීම හේතුවෙන් පසුගිය කාර්තුවේ ඇතුළු වරායේ මත්ස්‍ය අස්වැන්න අසාමාන්‍ය ලෙස පහත වැටුණු බව චීනවරාය එකමුතු ධීවර සමූපකාර සමිතියේ සභාපති තුෂාර නික්ෂන් මහතා කියා සිටී.

“නීත්‍යානුකූලව ගියොත්, වැලි පර්මිට් එකක් ගන්න අවුරුදු දෙක තුනක්වත් යනවා. හැබැයි, මහත්වරුන්ට ජරාව දීලා වැඩේ කර ගන්න මාස දෙක තුනක්වත් යන්නේ නැහැ. වැලි කැණීම් බලපත්‍ර වලට ඉල්ලුම් පත්‍රය පවා දෙන්නේ, කන්තලේ වන සංරක්ෂණ කාර්යාලයෙන්. ඉස්සර ත්‍රිකුණාමලයේ කාර්යාලයෙන් කරද්දී, ඉල්ලුම් පත්‍රයට ගන්නත්, එතන නෝනට රුපියල් 2000 ක් දෙන්න වුණා. දැන් එහෙම නැහැ. වැලි කැණීම් බලපත්‍රයක් නියම ක්‍රමයට ගන්න ගියොත්, අවුරුද්දක් දෙකක් නැත්නම් තුනක් ගත වෙනවා. හැබැයි, වන සංරක්ෂණේ සමහර නිලධාරීන් ඉන්නවා රුපියල් 10000 ක් අරගෙන ෆයිල් එක ගෙදරටම ගෙනත් බාර දීලා යන.මේවා කවුරුත් හෙලි නොකරන්නේ, හැමෝම බලන්නේ, කාගේ හරි නමකින් දාලා වැලි බලපත්‍රයක් අර ගෙන වැඩිපුර ගානක් හොයා ගන්නයි. ඒ නිසා පගාව ජරාව ත්‍රිකුණාමලයේ සාමාන්‍ය දෙයක් වෙලා..” එසේ කියන්නේ නම හෙලි කිරීමට අකමැති, දැනටමත් වැලි ව්‍යාපාරයේ යෙදී සිටින්නෙකි.

තොරතුරු දැන ගැනීමේ පනත හරහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් ලබාගත් තොරතුරුවලට අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මේ වන විට ක්‍රියාත්මක වැලි මංකඩ ප්‍රමාණය 52 කි. ඉන් වැඩිම මංකඩ ප්‍රමාණයක් පිහිටා ඇත්තේ, මූතුර්, කින්නියා, කුච්චවේලි හා පදවි ශ්‍රී පුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළය. පසුගිය වසර තුළ පමණක් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් වැලි කැණීම් බලපත්‍ර 397 ක් නිකුත් කර ඇති බව කියයි.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය බොහෝ විට පළමු අවස්ථාවේ උපරිමය කියුබ් 35ක් වන සේ කැණීම් බලපත්‍ර නිකුත් කළද, එම ප්‍රමාණය 100 සිට 215 දක්වා ලබා දෙන අවස්ථාද නැතුවාම නොවේ. වැලි කැණීම් බලපත්‍ර හිමියෙකු එක් ටිපරයක වැලි, වැලි ව්‍යාපාරිකයෙකුට විකුණන්නේ රුපියල් 8500 ත් 10000 අතර මුදලකටය.

ඒ අනුව මාසිකව කියුබ් 35 හිමි වැලි කැණීම් බලපත්‍ර හිමියෙකු මාසිකව 110000 ක මුදලක් උපයන අතර, රාජ්‍ය භාගය ලෙස 25350 ක මුදලක් ද, වැලි පරීක්ෂණ ගාස්තුව ලෙස රුපියල් 1200 ක මුදලක් ද ගෙවිය යුතුය.වැලි කියුබ් 35ක් හිමි වැලි කැණීම් බලපත්‍ර ලාභියෙකු අවම වශයෙන් සියලු වියදම් හැර මාසිකව රුපියල් 85000 ක් උපයන අතර, වැලි කියුබ් 100 සිට 215 දක්වා වු වැලි කැණීම් බලපත්‍ර හිමියෙකු උපයන ලාභය මුලින් සඳහන් කළ මුදල මෙන් දෙතුන් ගුණයකි. නීත්‍යානුකූල ලෙස එක් පුද්ගලයෙකුට ලබාගත හැක්කේ,එක් වැලි කැණීම් බලපත්‍රයකි. එහෙත්,මෙම ව්‍යාපාරයේ නිරත බොහෝ දෙනෙකු එක් බලපත්‍රයකින් සීමා වී නැත.

වැලි කියුබ් 03 ක් ගොඩ දැමීම සඳහා කම්කරුවන් 5 කු යොදා ගන්නා අතර,ඒ සඳහා රුපියල් 6000 සිට 8000 මුදලක් ගෙවිය යුතුය. වැලි ටිපරයක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙහි මේ වන විට අලෙවි කෙරෙන්නේ,35000/40000 අතර මුදලකටය.එය අගනුවරදී අලෙවි වනුයේ,රුපියල් 50000/55000 මිලකටය.

“සාමාන්‍ය‍යෙන් වැලි ටිපර් එකක් ත්‍රිකුණාමලයෙදී රුපියල් 24000 ට දෙන්න පුළුවන්. ඒක කොළඹට යද්දී 35000 ක් වෙයි. නමුත්, හැම තැනටම ජරාව දීලා මේ ව්‍යාපාරය කරන්න සිද්ධ වෙලා තියෙන නිසයි මෙහෙම වෙලා තියෙන්නේ. වැලි ගඟෙන් ගොඩ දාන තැන ඉඳලා පාරිභෝගිකයෙකුට බාන තැන දක්වා පොලිසියට සල්ලි දෙන්න වෙනවා.වැලි ප්‍රවහනය කරද්දී හැම පොයින්ට් එකකටම රුපියල් 500,1000 දෙන්න ඕනේ. ඊට අමතරව ට්‍රැෆික් එකට රුපියල් 100,200 දෙන්න ඕනේ. මූතුර් පොලිසියේ හිටපු ඒ.එස්.පි කෙනෙක්ට විරුද්ධව මම අදටත් නඩු කියනවා. එයා ඉල්ලපු ජරාව නොදුන් නිසයි ඒ ප්‍රශ්නය ඇති වුණේ...” එසේ කියන්නේ, කන්තලේ ප්‍රදේශයේ ප්‍රකට වැලි ව්‍යාපාරිකයෙකු වන එස්.ජී.ස්ටැන්ලි මහතායි.

මෙම වැලි ගබඩා බලපත්‍ර දඩමීමා කර ගනිමින් වැලි ජාවාරම්කරුවන් රක්ෂිතයේ වළවල් කපා වැලි ගොඩ දමන බව නොරහසකි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු මූතූර් පොලිසියේ සථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නන්දලාල් පත්මනාථ මහතා කියා සිටියේ, මෙම ජාවාරමට එරෙහිව ගත හැකි සෑම පියවරක්ම මේ වන විට ගෙන ඇති බවයි.

වැලි ව්‍යාපාරය සිදු කෙරෙන ප්‍රදේශයන්හි හඳුනා ගත් ස්ථාන කිහිපයක විශේෂ කාර්ය බළකාය අනුබද්ධව පොලිස් මුර පොළවල් පිහිටුවිය යුතු බව ඔහු පවසයි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයෙහි පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ කාර්යාලයට වැලි කැණීම් හා වැලි ගබඩා බලපත්‍ර හා ප්‍රවාහන බලපත්‍ර ලබා ගැනීමේ කටයුතු සඳහා පැමිණෙන වැඩි පිරිසක් දේශපාලඥයෝ මෙන්ම ඔවුන්ගේ ආධාරකරුවෝය. ඇතැම් අය විශ්‍රාම වැටුප් ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුය. තවත් පිරිසක් ප්‍රධාන පක්ෂයන්හි සංවිධායකවරුය. වැඩි පිරිස රජයේ ඉහළ නිලධාරින්ගේ ඥාති හිතමිත්‍රාදීන්ය.මේ අය අතරින් වැඩිම පිරිස කාන්තාවන්වීමද විශේෂත්වයකි.මෙම වැලි ජාවාරම මුදල් අල්ලසට පමණක් නොව ලිංගික අල්ලසට ද යට වී ඇති බව අල්ල ව්‍යාපාරය සුරැකීමේ සංවිධානයේ සභාපති තුෂාර ජයසූරිය මහතා චෝදනා කර සිටියි.

මහවැලි ගඟේ ඉවුරට හානි කරමින් හා රක්ෂිතයේ වෘක්ෂ ලතා විනාශ කරමින් සිදු කෙරෙන පරිසර හානිය සුළුපට නොවේ.මේ වනවිට මහවැලි ගඟ රක්ෂිතය තුළ වැලි ජාවාරමට මුවා වී සිදු කෙරෙන කුඹුක් දැව ජාවාරම සම්බන්ධයෙන් බලධාරීන් මුනිවත රැකීම මවිතයක් බව සේරුවිල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සුගත් රාමනායක මහතා පවසයි.

“අපි නීති විරෝධි ව්‍යාපාරයක් කරන්නේ නැහැ.මේ වෙන කොටත් මහවැලි ගඟේ වැලිවලින් මේ ත්‍රිකුණාමලයේ දෙතුන් දාහක් ජීවත් වෙනවා. මේක නැති වුණොත්,අපිට යන එන මං නැති වෙනවා.අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ,වැරදි කරන අයගේ බලපත්‍ර අවලංගු කරන්න. මංකඩවල තහනම් කරන්න. නීතිරීති කඩ නොකර රස්සාව කරන අපේ බඩට ගහන්න එපා..” එසේ කියන්නේ සංකෙන් ලංකා වැලි සමිතියේ සභාපති ගයාන් ධනුෂ්ක මහතායි.

අපි මාසයකට රජයට රාජ්‍ය භාගය හැටියට විතරක් රුපියල් බිලියන 5.6 ක් ගෙවනවා.ඒ සමාන මුදලක් මේ වැලි ව්‍යාපාරය කරන අය අතර බෙදෙනවා.මේක නතර කරනවා කියන්නේ,සහගහන අපරාධයක්...”හෙතෙම වැඩි දුරටත් කියා සිටී.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ දත්තවලට අනුව පසුගිය වසරේ ඔවුන් නිකුත් කර ඇති වැලි බලපත්‍ර 397 ක් මගින් රාජ්‍ය භාගය ලෙස රුපියල් 73,162,934.40 අයකර ගෙන ඇත. ත්‍රිකුණාමලය මහවැලි ගඟ ආශ්‍රිතව වැලි ව්‍යාපාරය මගින් මෙපමණ ආදායමක් රජයට උප්පාදනය කරවද්දී, එම ආයතන දෙක මගින් සේවයේ යොදවා ඇති නිලධාරීන් ප්‍රමාණය සම්බන්ධයෙන් කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බව ක්ෂේත්‍රයේ නියුතු පිරිස්ගේ අදහස වී තිබේ.

එසේම මෙම කාර්යාලයන් හි නිලධාරීන් වසරකට වඩා කාලයක් සේවයේ නොයෙදවීම දූෂණයට වැට බැඳිය හැකි එක් ක්‍රියා මාර්ගයක් බව වැලි ව්‍යාපාරිකයන්ගේම අදහසයි.

අවිධිමත් වැලි ගොඩ දැමීමට හා ඒ ආශ්‍රිතව සිදුවන පාරිසරික හානිය අවම කිරීමට මේ වන විට ගත යුතු සෑම පියවරක්ම ගෙන ඇති බව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් එන්.එන්.ඒ.පුෂ්පකුමාර මහතා කියා සිටි. පසුගිය කාලයේ සිදුවු දූෂිත ක්‍රියාවලට දැනටමත් වැට බැඳ ඇති බව දිසාපතිවරයා පෙන්වා දෙයි.

“ගං ඉවුර කපපු තැන්වල වැලි කොට්ට ගහලා ඒක යථා තත්වයට පත් කරන්න කියලා උපදෙස් දීලා තියෙනවා.ගංවතුර ආරක්ෂණ වේල්ල වහාම අළුත් වැඩියා කරන්නත් උපදෙස් ලබා දී තිබෙනවා. ගඟට ට්‍රැක්ටර් බස්සන එක සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා ලෙස පොලිසියට උපදෙස් ලබා දී තිබෙනවා.” දිසාපතිවරයා වැඩිදුරටත් කියන්නේ එසේය.

“ මේ වැලි ජාවාරම නතර කිරීමට රජය වහා පියවර ගත යුතුයි.මේ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක්. යුද්ධයෙන් බැට කෑ ජනතාව තව දුරටත් පීඩාවට පත් නොවිය යුතුයි.මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ සම්බන්ධයෙන් කඩිනම් විසදුම් ලබා දෙන්න කියලා.. ”

පසුගිය දිනක පැවති ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ද අභිමුව එසේ දැඩි ස්වරයෙන් කියා සිටියේ, ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදි ජනරජයේ විපක්ෂ නායක ආර්.සම්පන්දනන් මහතායි.

[මංගලනාත් ලියනආරච්චි] ත්‍රිකුණාමලය

මාතෘකා