වන අලින්ගේ ජීවිත රැක දෙන්නට ගොස් හිඟමනට වැටුණු මහසෙන්ගම ගොවි රජවරු

 ඡායාරූපය:

වන අලින්ගේ ජීවිත රැක දෙන්නට ගොස් හිඟමනට වැටුණු මහසෙන්ගම ගොවි රජවරු

මහසෙන්ගම ගම්මානය සිගීරියට කිලෝ මීටර් තුන හතරක් නැගෙනහිරට වන්නට පිහිටි කුඩා ගමකි. පවුල් 110 ක් පමණ ජීවත්වන මේ ගම හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කෙළවරේම පිහිටා තිබීම නිසා එය වෙනම රාජ්‍යයක් වැනිය. අප එසේ කියන්නේ තුන් පැත්තකින්ම මහා වනාන්තරයකින් කොටු වී තිබීම නිසා ය.

මහසෙන්ගමට පිවිසීම සඳහා හොඳ මාර්ගයක් තිබෙන නමුත් එහි පොදු මගී ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවේ. රෝහලකට, පොලීසියකට, නගරයකට යන්නට නම් කිලෝ මීටර් තිහ හතළිහක් මේ ගම්මු දුෂ්කර ක්‍රියාවක නිරත විය යුතුය. මහසෙන්ගම පාලනය වන්නේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වන නිසා ඉන් වැඩක් කරවා ගන්නට මහ වංකගිරියක් තරණය කොට ඔවුන් යා යුතුය.

අප මෙම පුර්විකාව සටහන් කරන්නේ මහසෙන් ගමේ ගැමියන් මුහුණ දෙන එදිනෙදා දුෂ්කරතා ගැන කියන්නට නොවේ. වසර කීපයක සිට මේ ගැමියන් මුහුණ දෙන බරපතළ අසාධාරණයක් ගැන කියන්නට ය.

මහසෙන්ගම මිනිසුන්ගෙන් අති මහත් බහුතරයක් ගොවිතැනින් තම ජීවිත ගැට ගසා ගත්තෝ වෙති. හේන් ගොවිතැනට වඩා මොවුන් ප්‍රධාන තැන දුන්නේ වී ගොවිතැනට ය. ඒ සඳහා කදිම වැවක් ඔවුනට දායද වී තිබිණි. ඒ ගල්ළිඳ මහවැව ය. මහසෙන් රජතුමා ඉදිකළ මින්නේරිය වැවේ පරිවාර වැවක් ලෙස සැලකෙන ගල්ළිඳ මහවැව මහ වනාන්තරයක් මැද පිහිටි අතිශය රමණීය වැවකි.

මහසෙන්ගම ගැමියෝ චිරාත් කාලයක් තිස්සේ එම වැවේ පහස ලැබුවෝය. අක්කර හැට හැත්තෑවක් මේ වැව යටතේ කුඹුරු අස්වද්දා ඔවුන් ගොවිතැන් බතක් කර ගත්තේ කාටත් අත නොපා ජීවත්වීමට මේ වැව ආශිර්වාදයක් වී තිබීම නිසා ය. මින්නේරිය අඩවියට අරක්ගත් මහසෙන් දෙවියන්ගේ ‘වර්තමානය’ ලෙස හඳුන්වන සී.පී.ද සිල්වා මහතාගේ උපදෙස් මත ආරම්භ වන මහසෙන්ගම ගල්ළිඳ මහවැව ගොවි ජනපදය අනූව දශකය දක්වාම ඉතාම සාර්ථක ලෙස ක්‍රියාත්මක විය. අලි ඇතුන් ඇතුළුව වන ජීවීන් බහුල ලෙස ජීවත්වන වනාන්තරයක් මැද මේ කුඩා ගොවි ජනපදය පිහිටියද වන සතුන්ගෙන් ඊට බාධා පැමිණියේ ඉතාම කලාතුරකිනි.

අනූව දශකයේ මුලදී මින්නේරිය ජාතික වනෝද්‍යානය ගැසට් කිරීමත් සමඟම එතෙක් සශ්‍රීක කුඹුරුයායක් ලෙස පැවැති ගල්ළිඳ මහවැව ගොවි ජනපදයට කණ කොකා හැඬවෙන්නට විය. ඒ ජාතික වනෝද්‍යානයට ඇතුළත් වන පරිදි ගල්ළිඳ මහවැව කුඹුරු යායද ගැසට් වී තිබීම නිසා ය. එතැන් සිට මහසෙන්ගම ගැමියන් හා වනජීවි නිලධාරීන් අතර විවිධ මත ගැටුම් ඇති වූ අතර එහි අවසාන ප්‍රතිඵලය 2015 ජනවාරි 15 දා සිට ගල්ළිඳ මහවැවට ඇතුළුවීම ගම්මුන්ට සම්පුර්ණයෙන්ම තහනම් වීම ය.

ගල්ළිඳ මහවැව මහසෙන් ගොවි සංවිධානයේ සභාපති එස්.එම්. සෝමරත්න මහතා ඒ ගැන කීවේ මෙවැන්නකි.

ගල්ළිඳ මහවැව යටතේ අක්කර තුනේ කුඹුරු කට්ටි 37 ක් තියෙනවා. ගොවියෝ පනහක් - හැටක් මේ වැව යටතේ වගා කරනවා. අපේ ගමේ හැම පවුලක්ම වගේ ජීවිත ගැටගසා ගත්තේ මේ වැව යටතේ වගා කරන කුඹුරුවලින්. සී.පී. ද සිල්වා මහත්තයා තමයි අපේ අයට ගල්ළිඳ මහවැව යටතේ වගා කරන්න අවසර දීලා තියෙන්නේ. එතැන් සිට 2015 ජනවාරි මාසය වෙනකම්ම අපි වැව යටතේ කුඹුරු වගා කළා. ඊට පස්සේ වනජීවී එක බැරියර් එකක් දාලා අපිට කුඹුරුවලට ඇතුළුවෙන එක නැවැත්තුවා.

එදා ඉඳලා මේ වෙනකම් අපි මේකට විරුද්ධව සටන් කළා. ජනාධිපතිවරයාගේ ඉඳලා පහළට ඉන්න හැමෝටම කිව්වා. උද්ඝෝෂණ කළා. නමුත් අපට කිසිම සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැ.

මේ කුඹුරු බොෙහාමයට ජයභූමි ඔප්පු බලපත්‍ර තියෙනවා. ඒ කාලේ අපට ඒවා දුන්නේ ඇස් කන් නැති නිලධාරීන් නෙමෙයි. වනජීවී එක ආවේ පස්සේ. අපි කලින්ම ගොවිතැන් කළ අය. අපට කාගෙන්වත් සාධාරණයක් නැහැ.

මේ මහසෙන්ගම යු.ජී.අබේසිංහ මහතා කියන කතාවය.

ගල්ළිඳ මහවැව අපේ ඉඩම්වලට වාර්ෂික බලපත්‍ර දෙන්නේ 1970 මැයි 12 දා. මම ඒ කාලේ ඉඳලම මේ ඉඩම් වගා කළා. බුසල් 06 ක් විතර මට තිබුණා. තෙල් පොහොර මොනවත් නැතිව බුසලට පනහ හැට පැහුණා. වනජීවිය බලහත්කාරයෙන් අපේ ඉඩම් ගත්තා. පස්සේ අපට ජීවත් වෙන්න මාර්ගයක් නැති වුණා. ජීවි‍තේට හාල් සල්ලිවලට කාපු නැති අපි දැන් ගිනි ගණන්වලට හාල් ගන්නේ කඩෙන්.

බී.මුදියන්සේ මහතාට ගල්ළිඳ මහවැවේ කුඹුරු අහිමි වීම මහත් වේදනාවක් වී තිබේ. ඒ ගැන නිතර කල්පනා කළ ඔහු ඒ හේතුවෙන්ම රෝගියෙක් විය. මේ මුදියන්සේ මාමා පවසන කතාවය.

"මම බුසල් 11 ක් වගා කළා. මේ වැව කැලේ මැද තිබුණට වන අලින්ගෙන්වත්, වෙනත් සත්තුන්ගෙන් හානියක් වුණෙත් නැහැ. මේ කුඹුරු ටික අපිට නැතිවීම දරා ගන්න බැහැ. මම මේ ගැන හිතලම ලෙඩෙක් වුණා."

හේරත් බන්ඩා මහතා පැවසුවේ මෙවැනි කතාවකි.

අපි මේ කැලේට ආවට කිසිම සතෙකුට හිරිහැරයක් කළේ නැහැ. සත්තු වුණත් අපේ වගාවට එහෙමට කියලා හානියක් කළේ නැහැ. මින්නේරිය දෙවියන්ට බාර හාර වුණා. අපට කිසිම කරදරයක් වුණේ නැහැ. අපි කවුරුත් එකතු වෙලා සහයෝගයෙන් කුඹුරු කළා. ගොඩ බෝග වගා කළා. වස විස නැතිව ගොවිතැන් බත් කළා. ඒත් අවුරුදු තුන හතරක ඉඳල වනජීවී එක අපට ඒ ඔක්කෝම නැති කළා. අපේ අවනඩුව කාට කියන්නද?

ගල්ළිඳ මහවැලි ඕපපාතිකව බිහි වුණු ගොවි ජනපදයක් නොවේ. එවකට වාරිමාර්ග අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සී.පී. ද සිල්වා මහතා මෙයට යම් මැදිහත්වීමක් සිදු කර තිබේ. ඔහුගේ අදහස වී ඇත්තේ ගල්ළිඳ මහවැව දියුණු ගමක් බවට පත් කිරීමය. ඩී.බී. හීන්බණ්ඩා මහතා ඒ ගැන කීවේ මෙවැනි කතාවකි.

"මම අවුරුදු 15 ඉඳලා මේ වැවත් එක්ක හැ‍දුණේ වැඩුණේ. හරක් පට්ටියක් දාගෙන හොඳට වගා කළා. එදා සී.පී.ද සිල්වා ඇමතිතුමා මෙතන ඉස්කෝලයක්, ඉස්පිරිතාලයක් දාන්න කියලා ඒකට ඉඩම් පවා වෙන් කළා. මේක මැදින් මහකුළු වැවට යන්න පාරක් කපන්නත් යෝජනා කළා.

අන්තිමට අනූ ගණන්වල මින්නේරිය වනෝද්‍යානය ගැසට් කලාට පස්සේ තමයි අපිට මේ නස්පැත්තිය සිද්ධ වුණේ. එදා ඕක ගැසට් කරනකොට අපේ ඉඩම් අත හැරලා ඒක කරන්න තිබුණා. නමුත් නිලධාරීන් ඒක කළේ නැහැ. අපි තමයි ඒකෙන් අසරණ වුණේ. දැන් අපි නිකං හරි මේකට ඇතුළු වුණොත් බොරු චෝදනා හරි දාලා උසාවි අරන් යනවා. අපි එදා ඉඳන් කාටවත් අත නොපා ජීවත් වුණ මිනිස්සු. ඒත් අද අපි කුලීකරුවෝ කරලා. ජීවත් වෙන්න කිසිම විදියක් නැති නිකම්මු බවට පත් කරලා. අපේ දුක මින්නේරිය දෙයියන්ට පෙන්න ඕනෑ.

එච්.එම්. සමන් කුමාර මහසෙන් ගමේ තරුණයෙකි. ඔහුගේ පියාට අයත්ව තිබූ අක්කර තුනක කුඹුර ද දැන් වනගතව තිබේ. මේ ඒ ගැන ඔහු කියන කතාවයි.

අපේ තාත්තට අක්කර තුනක් තිබුණා. පවුලම ජීවත් වුණේ ඔය කුඹුරෙන්. කුඹුරු ඉඩම වනජීවී එකෙන් ගත්තට පස්සේ තාත්තා දැන් කුලී වැඩ කරන්නේ. ගමේ වෙන ක‍ාටවත් කුඹුරු නැහැ. තුන්වේල බත් කාපු ගමේ මිනිස්සු දැන් හාල් ගෙනියන්නේ කඩෙන්.

මහසෙන්ගම ගැමියන්ගේ මේ ගැටලුව සම්බන්ධයෙන් අප මින්නේරිය ජාතික වනෝද්‍යානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් කරුණු විමසුවෙමු.

"මහසෙන්ගම ගොවීන් කියන කතාව අසාධාරණයක් නැහැ. නමුත් ගල්ළිඳ මහවැව මින්නේරිය ජාතික වනෝද්‍යානය අතුළේ තියෙන්නේ. ඔය වැව යටතේ හැට ගණන්වල කුඹුරු වගා කරන කොට අලි ගහනය විසිරිලා හිටියේ. දැන් ගොඩක් ගම්මාන වට කරලා විදුලි වැට ඉදි කරලා නිසා අලින් තුන් හාරසීයක් සමහර විට ඊ‍ටත් වඩා ඔය ගල්ළිඳ මහවැව ආශ්‍රීතව ජීවත් වෙනවා. ඒ නිසා නැවත ගල්ළිඳ මහවැව යටතේ ගොවීන්ට වගා කිරීමට අවසර දීම කරන්න අමාරු වෙයි.

අපේ දෙපාර්තමේන්තුවයි, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයි මේ ගොවීන්ට වගා කිරීම සඳහා විකල්ප ඉඩමක් හඳුනාගෙන තියෙනවා. ඒක මිනුම් කරන්න කටයුතු කරලා තියෙන්නේ. මේ ගොවීන්ට මැදිරිගිරිය ප්‍රදේශයෙන් ඉඩම් දෙන්න යෝජනා කළත් ඔවුන් ඊට එකඟ වූණේ නැහැ. ඒ නිසා අපි වරින් වර සාකච්ඡා කීපයක් පැවැත්වූවා . අවසාන වශයෙන් ඔවුනුත් විකල්ප යෝජනාවට එකඟත්වය පළ කරලා තියෙනවා. අපි උත්සාහ කරන්නේ වන අලින්ටයි, මහසෙන්ගම ගොවීන්ටයි දෙගොල්ලටම අසාධාරණයක් නොවෙන්න කටයුතු කරන්න යි."

මහසෙන්ගම පාරම්පරික ගම්මානයකි. ඔවුන්ගේ එකම ජීවනෝපාය ගොවිතැනයි. තුන්වේල බත් කෑ ඔවුන්ට දැන් එය අහිමියි. ගල්ළිඳ මහවැවේ පිහිටීම අනුව එය වන අලින්ගේ තෝතැන්නකි. ඒ අවට මිනිස් ක්‍රියාකාරකම් සිදුවීම දෙපාර්ශ්වයටම අනතුරුදායක ය. ඒ නිසා ගොවීන්ටත් වන සතුන්ටත් අගතියක් නොවන පරිදි මීට විසඳුමක් සෙවිය යුතු ය. එය ඉක්මන් වන තරමට කාට කාටත් හොඳ බව අවසාන වශයෙන් සටහන් කරමු.

පොලොන්නරුව [වාසල බණ්ඩාර]

මාතෘකා