රත්නපුර නායයෑම් වැළැක්විය නොහැකිද?

 ඡායාරූපය:

රත්නපුර නායයෑම් වැළැක්විය නොහැකිද?

වැසි සමයක් ඇරඹෙන විටම බියද අවිනිශ්චිත බවද රත්නපුරය වෙළාගනී. දිගු කලක පටන්, රත්නපුර දිස්ත්‍රික්කයේ අයහපත් කාලගුණ තත්ත්වය හේතු කොට සිදු වන විපත්, දිවයිනේ සෙසු ප්‍රදේශ අභිභවා ඉහළ අගයක් ගැනීම ඊට හේතුවයි. ගංවතුර විපත් පිළිබඳව යම් තාක් දුරට පූර්ව සූදානමක් විය හැකි වුවද නායයෑම් පිළිබඳ තත්ත්වය ඊට වඩා බෙහෙවින් අවිනිශ්චිතය. මේ සටහන ලියැවෙන මොහොත වන විටත් රත්නපුර දිස්ත්‍රික්කය සඳහා නායයෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර ඇති තත්ත්වයක් තුළ ඒ ගැන කතාබහ ඉතා වැදගත්ය.

නාය යෑම් හේතුවෙන් පසුගිය කාලයේ රත්නපුර දිස්ත්‍රික්කය තුළ බිලිගෙන ඇති මිනිස් ජීවිත සංඛ්‍යාව සිය ගණනකි. තවත් සැලකිය යුතු පිරිසක් අාබාධිත තත්ත්වයට පත්ව සිටිති.

රත්නපුර දිස්ත්‍රික්කය බහුල වශයෙන් නාය යෑමට ගොදුරු වන ප්‍රදේශයක් ලෙස ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් හඳුනාගෙන තිබේ. NBRO රත්නපුර දිස්ත්‍රික් කාර්යාලයේ දත්ත පෙන්වා දෙන්නේ නිරන්තරයෙන්ම පාහේ ආපදාවලට ගොදුරු වන මෙම දිස්ත්‍රික්කය තුළ එදා මෙදා තුර සිදු වූ ස්වභාවික විපත් අතුරින් වැඩිම මිනිස් ජීවිත අහිමි කළ අපදාව ලෙස නාය යෑම් මුලට පැමිණ තිබෙන බවයි.

නායයෑම් පුරාණය

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රථම නාය යෑම වාර්තා වී ඇත්තේ 1969 වර්ෂයේ දෙසැම්බර් 09 වෙනිදා කොලොන්න ප්‍රදේශයෙනි. එහිදී නිවාස හයක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව පුද්ගලයන් පස් දෙනෙකුගේ ජීවිත අහිමි විය. රත්නපුර දිස්ත්‍රික්කයේ භූ විෂමතාව අනුව එක් කොටසකට වාර්ෂිකව මි.මී. 4,500 ක පමණ වර්ෂාවක් පවතින අතර අනිත් කෙළවරට ලැබෙන්නේ මි.මි. 1500 කටත් අඩු ප්‍රමාණයකි. මේ හේතුවෙන් එක් ප්‍රදේශයකට වියළි දේශගුණයක් මෙන්ම තවත් ප්‍රදේශයකට වර්ෂා සහිත තෙත් කාලගුණයක් පවතී.

එ.ජා. සංවිධාන වැඩසටහන මඟින් ගංවතුර හා නාය යෑම් පිළිබඳ සකසන ලද වාර්තාවක 1989 දී නාය යෑම් මඟින් හටගත් ව්‍යසනයන් සඳහන් වේ. මෙහිදී වැඩිම හානියට පත් වූ ප්‍රදේශ හැටියට සඳහන් වන්නේ සබරගමුව පළාතයි. මේ කාලයේදීම රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 19,000 ක් ගංවතුර හා නායයෑම් මඟින් විපතට පත් වූ බව සඳහන් වේ.

2003 තෙක් රත්නපුර දිස්ත්‍රික්ක තුළ ඇතිවන ආපදා තත්ත්වයන්ට මුහුණ දිමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීය. 2008 වර්ෂයේදී රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සැලැස්ම රත්නපුර දිසාපති කාර්යාලය මඟින් සකස් කිරීම සිදු වූ බව එවකට දිසාපතිවරිය ලෙස කටයුතු කළ මාලනි ප්‍රේමරත්න මහත්මිය සඳහන් කළාය.

කිහිපවරක්ම නාය යෑමේ අවස්ථාවලට පත්වූ රත්නපුර හෙළ උඩ කොටසට අදාළ මීහිටිය කන්ද මීට වසර 200, 300 කට පෙර දරුණු ලෙස නාය යෑමකට ගොදුරු වීමත් සමඟ කළු ගඟේ ප්‍රධාන කොටසක් මුළුමනින්ම වැසුණු බවත්, පසුව වෙනත් ස්ථානයක් ඔස්සේ කළු ගඟේ එතැනින් එහාට ගමන් මඟ නිර්මාණය වී තිබෙන බවත් දශක දෙකකට පෙර කොළඹ විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයෙන් සිදු කළ පර්යේෂණ අධ්‍යයන වාර්තාවකින් සනාථ වේ.

අවදානම් කලාප

2012 - 2018 ජනවාරි දක්වා වසර තුළ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් නිකුත් කළ වාර්තාවකට අධි අවදානම් සහිත ස්ථාන 1034 ක්ද, අඩු අවදානම් ස්ථාන 65ක් හඳුනාගෙන ඇති අතර එමඟින් තාවකාලිකව ඉවත් කළ යුතු පවුල් 102 ක්ද, ස්ථීර වශයෙන් ඉවත් කළ යුතු පවුල් සංඛ්‍යාව 461 ක් බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. මීට අමතරව 2017 මැයි සිට 2018 ජනවාරි දක්වා අධි අවදානම් 1,589 ක්ද, මධ්‍ය අවදානම් 1,260 ක්ද, හඳුනාගෙන තිබේ.

නායයෑම් වැළැක්වීමට හෝ එයින් සිදු වන හානි වළක්වා ගැනීමට ගත හැකි පියවර මොනවාද? මේ විෂය පිළිබඳ ප්‍රාමාණිකයින් කිහිපදෙනෙකුගෙන් අපි ඒ ගැන විමසා බැලුවෙමු.

රත්නපුර දිස්ත්‍රික්කයේ නායයෑම් පිළිබඳ දශක දෙකට අධික කාලයක් අධ්‍යයන හා පර්යේෂණ රැසක් සිදු කළ සබරගමුව විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා හා පරිසර කළමණාකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය කේ. පී. එල්. නිශාන්ත පටබැඳි:

"රත්නපුර දිස්ත්‍රික්කය නිරන්තරයෙන් වර්ෂාව පවතින ප්‍රදේශයක්. තේ වගාව සඳහා භූමි සකස් කිරීමේ අක්‍රමවත් බව මෙම නාය යෑමට එක් හේතුවක්. භූමි පරිහරණයේදී ජනතාව මීට වඩා දැනුවත් කිරීමට අදාළ අංශ උනන්දු විය යුතුයි. එමෙන්ම අවිධිමත් මාර්ග තැනීමේදී පස් කඳු කඩා වැටීම් රැසක් වාර්තාවෙනවා. විශේෂයෙන් රත්නපුර වේවැල්වත්ත මාර්ගය, රත්නපුර - කලවාන, කිරිඇල්ල - අයගම, රත්නපුර - පලාවෙල, හරහා කරවිට ඇතුළු තවත් මාර්ග රැසක පස් කඳු කඩා වැටීම වර්ධනය වී තිබෙනවා."

ගංවතුර සමයේ අනතුරු

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ හිටපු අංශාධිපති, භූ විද්‍යා පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල දහනායක:

"රත්නපුරේ බොහොමයක් නාය ගොස් ඇත්තේ ගංවතුරත් සමඟ වීම විශේෂත්වයක්. නාය ගිය ප්‍රදේශ රැසක් නැවත වරක් නාය ගිය බවට සිදු කළ පර්යේෂණවලින් සනාථ වුණා. මෙබඳු සිදුවීම් රත්නපුර, කලවාන නිවිතිගල, ඇහැලියගොඩ, බලන්ගොඩ, අයගම, ඇලපාත යන ප්‍රදේශවල නාය යෑමෙන් පැහැදිලි වුණා.

"සමහර අවස්ථාවලදී නායයෑම්වලින් අපට මිදිය නොහැකියි. එවැනි නායයෑම් පාලනය කළ නොහැකි උග්‍ර අවස්ථාවලදී, ඒවායින් ඉවත් විය යුතුයි. නමුත් බොහෝ අවස්ථාවලදී අපට නායයෑම් සමඟ ජීවත් වීමට හැකියාව පවතිනවා. නායයෑම් සමඟ ජීවත්වීමට නම් ඒවා ගැන දැන සිටිය යුතුයි."

රත්නපුර දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරි සනත් පද්ම කුමාර (භූගෝල විද්‍යා විශේෂවේදී) මහතා:

ජනගහනය වැඩි වීම නිසා ඉඩම් පරිහරණය අක්‍රමත් වීම නායයෑමේ අාපදාවන් ඉහළ යෑමට හේතු වී තිබෙනවා. කඳු කපා නිවාස ඉදිකිරීම, නොගැළපෙන වගාවන් බෑවුම් සහිත ඉඩම්වල සිදුකිරීම හා ජනතාව පාංශු රක්ෂණය පිළිබඳ කිසිම අවබෝධයකින් තොරව කටයුතු කිරීම හා දේශපාලන අධිකාරියේ අවශ්‍යතා මත, බෙදා නොදිය යුතු ඉඩම් බෙදා දීම සිදු වුණා. ආපදා කමිටු දිගු කාලීනව සැලසුමක් අනුව ක්‍රියා කළ යුතුයි. ජනතාවට නිවැරදි ඉඩම් පරිහරණය පිළිබඳ අවබෝධයක් ලබාදිය යුතුයි.

ආපදා සිතියම

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ රත්නපුර දිස්ත්‍රික් ඉංජිනේරු අභීත වනසුන්දර මහතා:

"2011 වසරේදී රත්නපුර දිස්ත්‍රික් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ආරම්භ කළා. එමඟින් නාය යෑම්වලින් සිදු වන අනතුරු අවම කිරීමේ කාර්යයන් සඳහා විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙනවා. අවදානම් ප්‍රදේශ සිතියම්ගත කිරීම, නැවත පදිංචියට සුදුසු ස්ථාන නිර්දේශ කිරීම, දැනුවත් කිරීමේ වැඩසටහන්, වර්ෂාපතනය අනුව අනතුරු අැඟවීමේ නිවේදන ලබාදීම අපගේ කාර්යයන් අතර වෙනවා."

"මේ වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ නාය යෑමේ ආපදාවට ලක්වූ ස්ථාන සිතියම් ගත කිරීමට ආරම්භ කොට තිබෙනවා. එහි සියයට 60ක් පමණ කටයුතු අවසන් වී තිබෙනවා. එම සිතියම්වල අවදානම් තත්ත්වයේ පවතින නිවාස 10,000 කට අධික බව දැනට අනාවරණය කර තිබෙනවා. මෙම සිතියම් මඟින් නායයෑමේ අවදානම් සහිත ස්ථාන පහසුවෙන් හඳුනාගන්න පුළුවන්. භූ විෂමතා නොසලකා නිවාස ඉදිකිරීම්ද තවමත් සිදු වන බැවින් එම තත්ත්වයන්ද නිවාස ගොඩනැඟිලි ඉදිකිරීමේදී සැලකිලිමත් විය යුතුයි."

හරිත උදය ජාතික ව්‍යාපාරයේ මහ ලේකම්, පරිසරවේදී, ශාස්ත්‍රපති හේමචන්ද්‍ර උඩුමුල්ල මහතා:

 

"ජනගහනය වැඩි වීමත් සමඟ නිවාස ඉදිකිරීම්, අනවසරයෙන් කැලෑ විනාශ කිරීම් වැඩි වෙනවා. සංවර්ධන කටයුතුවල ක්‍රමවත් බවක් නොමැති කමින් පරිසරය විනාශ වෙනවා. ගංගාවල අධිපීඩන මඟින් මැණික් ඉල්ලම් ගැනීම නිසා ගං ඉවුරු ඛාදනය වී විනාශයට පත් වෙලා. පරිසරයට උචිත නොවන වගාවන් සිදු කරනවා. අනවසර වගාවන් කිරීම නිසාවෙන් සිදුකරනවා. අනවසර වගාවන් නිසා ලෝක උරුම සිංහරාජයේ පවා භූමි ප්‍රමාණය අඩු වෙමින් පවතිනවා. ආපදා අවස්ථාවලදී බොහෝ නිලධාරීන් කටයුතු කරන්නේ දේශපාලන න්‍යාය පත්‍ර අනුවයි. ඇතැම් නිලධාරීන්ට ආපදා පිළිබඳ වැටහීමක් නැහැ."

සංරක්ෂණය නොකිරීම

විශ්‍රාමලත් භූගෝල විද්‍යා ගුරු උපදේශක ජේ.කේ. සෝමරත්න (භූගෝල විද්‍යා ගෞරව-ජ'පුර) මහතාද නාය යෑම් සම්බන්ධව විද්වතෙකි.

"රත්නපුරේ නාය යෑම් දශක දෙකක කාල සීමාව ඇතුළත බහුල වී තිබෙනවා. නාය යෑම් ගැන බොහෝ දෙනා කතා කළාට නාය ගිය ප්‍රදේශ සංරක්ෂණය ආදී කටයුතු නොකළ බවක් පේන්නට තිබෙනවා. නාය ගියාට පසු එම අවස්ථාවලදී පිළියම් යෙදුවාට පසුව ඒ පිළිබඳව කිසිදු සොයා බැලීමක් සිදු වන්නේ නෑ. තවත් බොහෝ තැන් නාය යෑමේ අවදානම පවතිනවා. ඉදිරියේදී නාය යෑමේ අවදානම ඇති ප්‍රදේශ පිළිබඳ පරීක්ෂණ සිදු කොට ජනතාව දැනුවත් කළ යුතුයි. රත්නපුර දිස්ත්‍රික්කයේ නාය ගිය සමහර ස්ථානවල ජනතාව ඉවත් කර ඔවුන් සඳහා වෙනත් ඉඩම් ලබාදුන්නද, නැවත වරක් ඒවාද විකුණා නැවත නාය ගිය ස්ථාන කරා ජනතාව පැමිණීමද ගැටලුවක් වී තිබෙනවා.

දිගුකාලීන වැඩපිළිවෙළක්

රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය:

"2017 මැයි 26 දා ඇති වූ ගංවතුර හා නාය යෑම් හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයට මෑත භාගයේදී සිදු වූ විශාලතම විනාශය සිදු වුණා. එහිදී පවුල් 60,064 ආපදාවට ලක් වුණා. 86 දෙනෙක් මිය ගියා. 15 ක් අතුරුදන් වුණා. නිවාස 932 ක් සහමුලින්ම විනාශයට පත්ව නිවාස 14,386 ක් අර්ධ හානි සිදු වුණා. නාය යෑම්වලින් ජීවිත 67 ක් අහිමි වුණා.

"රත්නපුර දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් හා නායයාමට ගොදුරු වී සිටින පවුල්වලින් පවුල් 126ක් තම පාරම්පරික ඉඩම්වලින් ඉවත් නොවන බැව් දිවුරුම් ප්‍රකාශ ලබා දී තිබෙනවා. පසු ගිය වර්ෂයේ (2017) රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 1,790ක් ආපදාවට ලක් වුණා. මේ අයට පදිංචි ඉඩම් ලබා දීමට සිදු වී තිබෙනවා. හඳුනාගත් ඉඩම් බොහෝමයක් පදිංචියට සුදුසු නොවන බැව් NBRO ආයතනය නිර්දේශ කර තිබෙනවා. ඒ නිසා ඉඩම් සොයා ගැනීම දුෂ්කර වී ඇති නමුත් අප දිගටම එම උත්සාහයේ නිරත වෙනවා. රත්නපුරේ මේ වැනි ආපදාවලදී මුහුණ දිම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙළකට යා යුතුයි. ඒ සඳහා ජනතාව උපරිම සහාය ලබාදිය යුතුයි."

[අසිත ඉන්දික වීරවර්ධන]

මාතෘකා