සුළුපන්න ධීවරයන්ගේ ‘මුහුදු උප්පැන්න’ උදුරාගත්  ජාවාරම්කාරයෝ

 ඡායාරූපය:

සුළුපන්න ධීවරයන්ගේ ‘මුහුදු උප්පැන්න’ උදුරාගත්  ජාවාරම්කාරයෝ

නීල නිලට දිලිහෙන නිල් ආකාසේද රහස් ගොන්නක් තම හද පතුල මත රඳවා ගෙන සිටින හෝ හඬ පමණක්ම කණට කොඳුරන නිල් සයුරද හැරුණුකොට ඔවුන්ට කිසිදු සෙවණක් නැත. ඈත දියඹ දෙස නෙත් යොමු කරන ඔවුන් දවස සරි කරන්නට කරන වෑයම දන්නේ මහ මුහුදත් නිල් ආකාසයත් පමණි. කීමට ඇති අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ද බලාපොරොත්තුද අසා සිටින්නේ නිතර නිතර ළඟින් දැවටෙන මුහුදු සුළං පමණි.

සිව් දෙසින් මහ මුහුදින් වට වුණු රමණීය දූපතක් වීම නිසා ලංකාවට නිරායාසයෙන්ම හිමිව ඇති ධීවර කර්මාන්තය වෙරළබඩ වාසීන්ගේ ජනප්‍රියම වෘත්තිය බව කවුරුත් දන්නා කරුණකි. ලංකාවේ වෙරළබඩ කලාපයේ ප්‍රදේශ අතුරින් ස්වාභාවිකව පිහිටි වරායත් ඒ ආශ්‍රිතව පිහිටි බොකු සහ කළපුත් හේතුවෙන් ත්‍රිකුණාමලය යනු ලංකාවේ සුළු හා මහා පරිමාණ වශයෙන් ධීවර කර්මාන්තය ඉතා සාර්ථකව සිදු කරනු ලබන ප්‍රදේශයකි. එහෙත් මෙවර අපට ත්‍රිකුණාමලය ධීවර ජනතාවගෙන් ඇසෙන්නේ එතරම් සුබවාදී ආකල්ප නොවේ. එය හුදෙක් චෝදනාවකි. තවත් අතකින් ධීවර කර්මාන්තයේ පරිහානියට මුලපිරීමකි.

තහනම් පන්න ක්‍රම යොදා ගෙන ත්‍රිකුණාමලය මුහුදේ මසුන් ඇල්ලීම නිසා සුළු පන්න ධීවර කර්මාන්තය කඩාවැටී ඇති අතර සුළු පන්න ධීවර කාර්මිකයන් අසරණ තත්ත්වයට වැටී ඇති බවට එම ධීවර කර්මාන්තකරුවෝ චෝදනා කරති. මේ පිළිබඳව කරුණු සොයා යාමට "රැස" තීරණය කළේය.

ධීවර හා ජලජ සම්පත් පිළිබඳව විවිධ නීති හා රීති ක්‍රියාත්මක වේ. එයට හේතුව ධීවර කර්මාන්තය සඳහා වාරණ නොපවතින්නේ නම් එහි අභාවය ළඟාවීමය. මත්ස්‍ය කර්මාන්තයේ නිරත වීමේදී පවතින නීති රීති නොපිළිපැදීම හේතුවෙන් ජලජ සම්පත් ආදිය විනාශ වීම නිසා ස්වාභාවික පරිසරයට හානි සිදුවනවා මෙන්ම ධීවර කර්මාන්තයද අඩාළ වෙයි.

ත්‍රිකුණාමල ධීවරයන් පවසන අන්දමට නීති විරෝධී මාළු ඇල්ලීම නිසා සාගර සම්පත් විනාශ වී යෑමෙන් මුහුදේ මාළුන්ගේ පැවැත්මට හානිදායක වන අතර මෙය සුළු පන්න ධීවර කාර්මිකයන්ට පමණක් නොව අනාගතයේදි සියලු ධීවර ක්ෂේත්‍රයන්ටද බලපෑම් එල්ල කරයි.

ඔවුන් මෙසේ පවසන්නේ කාලාන්තරයක් තිස්සේ සිදුවන මෙම නීති විරෝධී මාළු ඇල්ලීම නිසා ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් අතුරුදන් වෙමින් පවතින ධීවර කර්මාන්තය පිළිබඳ චෝදනා මුඛයෙනි. සුළු පන්න ධීවර කර්මාන්ත වන රිටි පන්නය, පිති පන්නය වර්තමානයේ ත්‍රිකුණාමලයෙන් නැති වී ගොස් ඇති බව මෙම ධීවරයෝ චෝදනා කරති. එනම් පුපුරන ද්‍රව්‍ය යොදා මාළු ඇල්ලීම, හැඹිලි දැල් හා සුරුක්කු, ලයිලා වැනි තහනම් දැල් දමා මාළු ඇල්ලීම මෙයට ප්‍රධාන හේතුව බවත් ධීවරයෝ පෙන්වා දෙති.

මේ පිළිබඳව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ධීවරයින්ගෙන් අපි අදහස් විමසුවෙමු. පුපුරන ද්‍රව්‍ය යෙදීමෙන් මැරෙන මාළු සුරුක්කු දැල් දමා අල්ලා ගැනීමෙන් මුහුද විනාශ වී ගොස් ඇති බවට චෝදනා කළ ත්‍රිකුණාමලය පුම්පුහාර පදිංචි සුළු පන්න ධීවරයෙකු වන එම්. එම්. රහීම් මහතා මීට පෙර කළ ධීවර කර්මාන්තය වර්තමානයේ අහිමිව ගොස් ඇති බවට සංසන්දනාත්මකව පෙන්වා දුන්නේය.

"මම කාර්මාන්තයට ආවේ 1975 දි. ඒ කාලේ අල්ලපු මාළු දැන් මුහුදේ නැහැ. කූඩ දාල මාළු අල්ලපු, නැත්නම් පිත්තෙන් මාළු අල්ලපු මම අද අසරණ වෙලා ඉන්නේ. ඒ කාලේ විසි දැල් දාලා මාළු අල්ලපු ධීවරයෝ අද නැහැ. වෙඩි දාලා මාළු අල්ලන කොට කුඩා මාළුවාගේ ඉඳලා මැරෙනවා. අවසානයේදි මාළුන්ගේ පැවැත්මක් නැහැ. ඉතින් කොහොමද සුළු පන්න ධීවර කර්මාන්තය රැකෙන්නේ?" යැයි ඔහුගේ කතාව අවසානයේ ප්‍රශ්නාර්ථයක් මතු කළේය.

මහා සාගරය යනු කිසිවෙකුටත් අයත් සම්පතක් නොවේ. එය අයත් වන්නේ සකල ලෝක වාසීන්‍ටය. එහෙත් මෙවැනි ක්‍රියා කරන්නන් හැසිරෙන්නේ මහා සාගරය තමන්ගේ පුද්ගලික සම්පතක් ලෙස සිතාය. කෙසේ වුවද මෙයින් රටට අහිමි වන්නේ ධීවර කර්මාන්තය පමණක් නොව ස්වාභාවික පරිසරයයි.

පොලිසිය, ධීවර බලධාරින් සහ නාවික හමුදාව නිරන්තරයෙන් මේ සම්බන්ධයෙන් වැටලිම් කළද සුළු පිරිසක් වන ජාවාරම්කරුවන් මහා පරිමාණයෙන් මේ නීති විරෝධි කටයුතුවල යෙදී සිටින අයුරු දැකගත හැකිය. මෙම පිරිස සිදුකරන විනාශයෙන් බහුතරයක ධීවරයන්ගේ ආර්ථිකයට බලපෑම් එල්ල කරනවා සේම සංවේදී පාරිසරික සම්පත් විනාශ කරයි. ජාවාරම්කරුවන් තමන්ගේ ගොඩ වැඩිකර ගැනීම පමණක් සිදුකරන්නේ අනාගතයේ කර්මාන්තය මතු පරපුරට අහිමි කරමිනි.

ත්‍රිකුණාමලය, ජමාලියා පදිංචි එක් දින ධීවර යාත්‍රා හිමිකරුවකු වන පීර් පංසා පයිරුස් මහතා මේ තත්වය තුළ ජාවාරම්කරුවන් රජ වී ඇති බවට චෝදනා කළේය. ඔහු කියන අන්දමට බලධාරීන් මුදලට යට වී ඇති නිසා තහනම් පන්න ක්‍රම නැවැත්වීමට ධීවර බලධාරීහු මැලිකමක් දක්වති.

"වැටලීම් කරන ධීවර නිලධාරින් මුදලට යට වෙලා ඉතින් කොහොමද ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නේ? කෝස් දැල්, ඩිස්කෝ දැල් කියන මේ තහනම් දැල් දාල අදටත් මාළු අල්ලනවා. ඒ දැල්වලට කුඩා මාළුවාගේ ඉඳලා මාළු ටික හූරලා ගන්නවා. හෙට දවසට අපට අල්ලන්න මාළු නැහැ."

ස්වාභාවික සම්පත් භාවිතයේදී එය අන් අයටත් භාවිතා කිරීමට හැකි වන පරිදි භාවිතා කළ යුතුය. එහෙත් මෙම මහා පරිමාණ ජාවාරම්කරුවන්ගේ ක්‍රියාකලාපයෙන් සිදුවන්නේ කිසිවෙකුටත් ස්වාභාවික සම්පත් භුක්ති විඳිය නොහැකි වීමයි. මොවුන් මෙලෙස චෝදනා නගන්නේ එබැවිනි.

බලධාරින් මෙසේ මුදලට යට වී හෝ නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බැව් කියමින් ධීවර කාර්මිකයන් අවස්ථා කිහිපයකදී උද්ඝෝෂණ, පෙළපාළි ගොස් බලධාරීන්ගේ අවධානය යොමුකළ අවස්ථාද ත්‍රිකුණාමලයේ දක්නට තිබේ. බලධාරීන් කියන්නේ සෑම අවස්ථාවකදීම වැටලීම් සිදුකරන බවයි.

නීති විරෝධි මාළු අල්ලා විශාල වශයෙන් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම නිසා මිල පහත බැසීමෙන් නීත්‍යානුකුල විදිහට මාළු අල්ලන ධීවරයාගේ මාළු අස්වැන්න විකුණා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. ත්‍රිකුණාමලය සිරිමාපුර පදිංචි ඒ. එල්. ලීලසේන මහතා එය ධීවරයා අසරණ වන තවත් එක් අවස්ථාවක් බවට ප්‍රකාශ කළේය.

"මම අවුරුදු 40ක් තිස්සේ ධීවර කර්මාන්තයේ නියැළුණු කෙනෙක්. ඔරුවෙන් ගිහින් මාළු අල්ලලා මම ජීවත් වුණේ. ඩිස්කෝ දැල්, ඩයිනමයිට්කාරයෝ බෝවුණාට පස්සේ රස්සාවත් අපට නැති වුණා. ඒ නිසා මම කර්මාන්තය අත්හැරියා. වැඩිපුර හම්බ කරන්න කරන මේ වැඩේ නිසා මුහුදේ මාළු ටික නැති වෙනවා විතරක් නොවෙයි. ප්‍රමාණය ඉක්මවා වැඩියෙන් හම්බ කරන්න මාළු අල්ලලා වෙළෙඳපොළට දැමීමෙන් මිල පහත බහින කොට එදාවේල හම්බ කරගෙන කන ධීවරයන්ගේ මාළු ටිකට මිලක් නැති වෙනවා" යැයි ඔහු චෝදනා කළේය.

ත්‍රිකුණාමල ධීවරයන්ට උද්ගත වී ඇති මෙම තත්ත්වය පිළිබඳව සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා අප සමඟ අදහස් දැක්වූවේය.

සමස්ත ධීවර කර්මාන්තයට එල්ල වී ඇති මෙම බලපෑමට අරගලයක් කළ යුතු බවට දැඩි ස්වරයකින් කථා කළ සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායකවරයා ලංකාවේ වැඩිම සුළු පන්න කර්මාන්තකරුවන් ප්‍රමාණයක් සිටි ත්‍රිකුණාමලයේ මෙම කර්මාන්තය කඩා වැටී ඇති බවට ප්‍රකාශ කළේය.

"අපි ආණ්ඩුවට දිගින් දිගටම කිව්වා. ඒත් ඒවාට කන් දෙන්නේ නැහැ. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ගත්තාම ලංකාවේ අනෙකුත් සෙසු දිස්ත්‍රික්කවලට වඩා සුළු පන්න ධීවර කර්මාන්තය තිබුණේ මෙහේ. මේ තහනම් පන්න ක්‍රමය නිසා සුළු පන්න ධීවර කාර්මාන්තකරුවන් 95%ක් කර්මාන්තයෙන් ඉවත් වෙලා" යැයි හෙතෙම පැවසීය.

ත්‍රිකුණාමලයේ පැවැති සාම්ප්‍රදායික ධීවර කර්මාන්තය අද නැත. රිටිපන්නය, පිතිපන්නය, විසිදැල අද නැත. ඒ වෙනුවට ජාවාරම්කාර මුදලාලිලා පිරිසක් බිහිවී සිටිති. මේ තත්ත්වය වෙනස් නොවුණහොත් ඉදිරියේදි බහුදින ධීවර කර්මාන්තයටත් කණකොකා හැඬීම වැඩි ඈතක නොවන බවට බොහෝ දෙනා මත පළ කරති.

මේ තත්ත්වයට මුහුණ දී සිටින සුළුපන්න ධීවර කර්මිකයෙකු වූ ත්‍රිකුණාමලය සිරිමාපුර පදිංචි එච්. ඩබ්. ශාන්ත මහතා පවසන්නේ නීතිය ක්‍රියාත්මක වී අත්අඩංගුවට ගන්නා තහනම් පන්න ක්‍රම රාජසන්තක කරන්නේ නම් මෙය පාලනය වන බවයි.

"ඩිස්කෝ, හැඹිලි දැල් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළාම දඩයකට යටත් කරලා දැල් ආපහු දෙනවා. ආයෙත් කරන්නේ අර තහනම් වැඩේම තමයි. ඒකයි මම යෝජනා කරන්නේ අත්අඩංගුවට ගත්තාම ඒවා රාජසන්තක කරන්න කියලා"

ඒ ඔහුගේ චෝදනාවයි. ත්‍රිකුණාමල සුළු ධීවර කාර්මිකයන් මුහුණ දී ඇති තත්ත්වය ඔබට වැටහෙනවා ඇත. මහා සාගරය තමන්ගේ සම්පතක් ලෙස සිතා සිටින ජාවාරම්කරුවන් පරිසරයට මෙන්ම ඔවුන්ගේ ජීවිතවලට කරන විනාශයද මෙම ධීවරකරුවෝ විඳ දරා ගනිමින් සිටිති.

ධීවර කර්මාන්තයේදී ලයිලා, සුරුක්කු, හැඹිලි, ඩිස්කෝ ආදි දැල් තහනම් වෙන්නේ දැලේ කොටුවක් සම්මත මිනුම්වලට වඩා කුඩා වීම නිසාය. එම දැලෙන් කුඩා මාළු පැටවාට රිංගා යාමට නොහැකි වීම හේතුවෙන් මාළුන්ගේ පැවැත්මක් නැත. මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සහාකර අධ්‍යක්ෂ ඊ. එම්. සී. බෝයගොඩ මහතා මෙසේ පැවසීය.

"අපේ නිලධාරීන් මුදලට යට වෙලා නැහැ. අපට ලැබෙන තොරතුරු අනුව නාවික හමුදාව නැති නම් පොලිසිය සමඟ වැටලීම් කරනවා. අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කළාම තහනම් දැල් රාජසන්තක කරනවා. බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරලා මාළු අල්ලන දැල් රාජසන්තක කරන්න බැහැ. නිරන්තරව නීති විරෝධි පන්න ක්‍රම සම්බන්ධයෙන් පැමිණිලි ලැබුණාම අපි වැටලීම් කරනවා. එසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සමහර පන්න ක්‍රමවලට තවමත් විභාගවන නඩු තියනවා."

කෙසේ වුවද මෙම හානියෙන් සිදු වන්නේ ධීවර කර්මාන්තකරුවන්ට මසුන් අස්වැන්න අහිමි වීම පමණක් නොව ස්වාභාවික සම්පත් මතු පරපුරට අහිමි වීමය. සොබාදහම ඉතා සංවේදීය. එයට අප දක්වන සියලුම ප්‍රතික්‍රියා අවශෝෂණය කර ගනිමින් සියල්ල දරා ගනිමින් සිටියි. එහෙත් එය සොබාදහමට දරා ගත නොහැකි වූ විට ඒ හා සමාන ප්‍රතික්‍රියාවකින්ම මිනිසාට සංග්‍රහ කරනු ලබයි. එම නිසා ලොව වටා ඇති සාගර සම්පත් අවදානමකට ලක්ව පවතින මෙවැනි මොහොතක ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ හේතුවෙන් සංචාරක කර්මාන්තය මහා පරිමාණයෙන් සිදු කෙරෙමින් පවතින රටක් ලෙස සාගර සම්පත් පිළිබඳව මීට වඩා අවධානයෙන් සොයා බැලිය යුතුය. මෙවැනි ඛේදවාචක සඳහා වහා පියවර ගත යුතුය.

නැතහොත් අනාගතයේදී සියල්ලන්ටම සිදුවන්නේ වෛරයෙන් කැකෑරුණු සොබාදහම ලබාදෙන්නා වූ ප්‍රතික්‍රියා විඳ දරා ගැනීමය.

ත්‍රි/මලය විශේෂ [ඒ. ටී. එම්. ගුණානන්ද]

මාතෘකා