වැසිකිළි නැතිව මැරෙන මිනිස්සු

 ඡායාරූපය:

වැසිකිළි නැතිව මැරෙන මිනිස්සු

ආහාර, ඇඳුම් සහ නිවාස මිනිසාගේ මූලික අවශ්‍යතා ලෙස සැලකුණද ඒ හා සමාන වැදගත්කමක් සනීපාරක්ෂාවටද හිමිවන බව අසත්‍යයක් නොවේ. ලොව පුරා මිනිසුන් දස දහස් ගණනින් ගොදුරු වී තිබෙන බෝවන රෝගවලට මෙන්ම අකල් මරණවලට හේතුව නිසි සනීපාරක්ෂක ක්‍රම භාවිත නොකිරීම බව හෙළිවූයේ අද ඊයේ නොවේ. එහෙත් එම තත්ත්වය මේ වන විට වඩාත් බරපතළ වී තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය හෙළිකොට තිබේ. සනීපාරක්ෂාව කෙරෙහි බලපාන මූලිකම සාධක දෙක වන්නේ පිරිසිදු ජලය භාවිතය සහ සෞඛ්‍යාරක්ෂිත වැසිකිළි පහසුකම් භාවිත කිරීමය. පිරිසිදු ජලය සහ සෞඛ්‍යාරක්ෂිත වැසිකිළි පහසුකම් භාවිත නොකිරීම නිසා ලොව පුරා පුද්ගලයන් මිලියන 1.5ක් පමණ වාර්ෂිකව මියයන බවත් ඒ හේතුවෙන් පසුගිය වසරේදී පමණක් අඩු ආදායම්ලාභී රටවල වයස අවුරුදු 15ට අඩු දරුවන් 361,000ක් මරණයට පත්ව ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා අනාවරණය කර තිබිණි.

එපමණක් නොව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම දත්ත වාර්තා අනුව හෙළිවී තිබුණේ අනාරක්ෂිත ජලය සහ සනීපාරක්ෂක ක්‍රම හේතුවෙන් වසරකට පාචනීය මරණ 829,000ක් සිදුවන බවය. ලොව පුරා බිලියන 2.3ක පමණ ජනතාවකට මූලික සනීපාරක්ෂක පහසුකම් නොමැති අතර එයින් මිලියන 892ක් තවමත් විවෘත පරිසරයේ මළපහ කරන බව ඇසීම ඇතැම්විට විස්මයට හේතුවනු ඇත. එහෙත් එයින් පුද්ගල සෞඛ්‍යයට මෙන්ම සමාජයටද සිදුවන අහිතකර බලපෑම සුළුපටු නොවේ. කොලරාව, පාචනය, අතීසාරය, හෙපටයිටිස් ඒ, ටයිපොයිඩ් සහ පෝලියෝ වැනි රෝග රාශියක් බෝවීමට මෙන්ම මන්දපෝෂණය ඇතිවීමට ප්‍රධාන හේතුවක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය සම්පන්න පරිසර හා සමාජ නිර්ණයන් පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෛද්‍ය මරියා නීරා සඳහන් කර තිබිණි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පිළිබඳ දත්ත උපුටා දක්වමින් ඇය ඒ බව සඳහන් කර ඇති අතර, රටවල් 90ක මූලික සනීපාරක්ෂාව සඳහා වන ප්‍රගතිය ඉතා මන්දගාමී බව අනාවරණය වී ඇති බවද පවසා තිබේ. ශ්‍රි ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල්වල ලෙඩරෝග නිසා ඇතිවන මරණවලින් සියයට 30ක පමණ හේතු වන්නේ ජීවත්වන පරිසරය අවට අපිරිසිදු පරිසරය සහ අවදානම් සෞඛ්‍ය පිළිවෙත්ය. විශේෂයෙන්ම මෙරට ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගෙන් හරි අඩකටත් වඩා මලද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකරන බව සහ අපිරිසිදු පානීය ජලය භාවිත කරන බවද සංඛ්‍යාලේඛනවලින් හෙළි වී තිබේ.

සනීපාරක්ෂාව යනු සුළුවෙන් තැකිය හැකි මාතෘකාවක් නොවන අතර, රටක ජනතාවගේ සනීපාරක්ෂාවේ තත්ත්වය තුළින් එරට ජනතාවගේ ජීවන තත්ත්වය, පරිසරය, සෞඛ්‍ය තත්ත්වය සහ රජය ජනතාවගේ සුබසාධනය සම්බන්ධයෙන් මැදිහත් වන ප්‍රමාණය වැනි බොහෝ සාධක නිරූපණය වේ. එමෙන්ම සනීපාරක්ෂාව යනු රටක ආර්ථිකයේ පිළිබිඹුවක් වන අතර, ජනතාවගේ අධ්‍යාපන මට්ටමද එමඟින් පිළිබිඹු වන බව කිව යුතුය. ලොව පුරා කෝටි 110ක පමණ ජනතාවක් එළිමහනේ මලපහ කරන අතර, දකුණු ආසියාවේ ඇතැම් රටවල්වල ජනතාවගේ සනීපාරක්ෂක මට්ටම යහපත් මට්ටමක නොපවතින බවද හෙළි වී තිබේ .ඉන්දියාවේ මුළු ජනගහනයෙන් අඩක් පමණ එළිමහනේ වැසිකිළි කටයුතු සිදුකරන අතර වාර්ෂිකව ඉන්දියාවේ දරුවන් ලක්ෂ 2කට ආසන්න සංඛ්‍යාවක් නිසි සනීපාරක්ෂක පහසුකම් නොමැතිවීම නිසා ඇතිවන රෝගවලින් මියයන බව පැවසේ. 2015 වසරේදී ඉන්දියාවේ 17 හැවිරිදි යුවතියක සිය නිවෙසේ වැසිකිළියක් ඉදිකිරීමට දෙමවුපියන් විරුද්ධ වීම නිසා සියදිවි හානිකරගත් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණ. එම පුවත වඩාත් ශෝචනීය වූයේ ඇගේ මවුපියන් වැසිකිළියක් තැනීමට වැයවන මුදල සිය දියණියගේ විවාහ උත්සවය වෙනුවෙන් ඉතිරි කරගෙන තිබීමය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ජනතාවට සනීපාරක්ෂාව සැලසීම මූලික ප්‍රතිපත්තිය කරගනිමින් 2019 වන විට ඉන්දියාවේ සියලුම නිවෙස්වලට වැසිකිළියක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලෙස බලධාරීන්ට උපදෙස් දුන්නේ එම සිදුවීමෙන් පසුවය. එළිමහනේ මලමුත්‍රා කිරීම ඕලන්දයේ නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර, චීනයේ වයඹ දිග ශියෑන් නගරයේ පොදු වැසිකිළිවල පවිත්‍රතාව පවත්වාගෙන යාම සඳහා සනීපාරක්ෂක නිලධාරීන් පත්කරමින් වැසිකිළි විප්ලවයක් ආරම්භ කර තිබේ. නවීන තාක්ෂණයෙන් යුත් සනීපාරක්ෂක වැසිකිළි ඇතිකළ එම ව්‍යාපෘතිය නිසා පසුගිය වසරේදී ශියෑන් නගරයට පැමිණ සංචාරකයන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගිය බවද වාර්තා විය.

ආසියාවේ අනෙක් රටවල් සමඟ සසඳන විට මෙරට සනීපාරක්ෂක දත්තයන් හොඳ මට්ටමක පවතින බව පිළිගත හැකි වුවද, මෙරට පාසල්වල සනීපාරක්‍ෂක තත්ත්වය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවද කිව යුතුය. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුව 2013 වසරේ ලංකාවේ රජයේ පාසල් ප්‍රමාණය 10,002ක් වූ අතර, වැඩිම පාසල් සංඛ්‍යාවක් අයත් වන්නේ මධ්‍යම පළාතටයි. එහි පාසල් 1,530ක් පිහිටා තිබෙන අතර බස්නාහිර පළාතේ පාසල් 1,368ක් පිහිටා තිබේ. 2013 වසරේ සංඛ්‍යාලේඛන අනුව මෙරට පාසල් සිසුන්ගෙන් සියයට 75ක් පමණ ග්‍රාමීය වර්ගීකරණයට අයත් වේ. පාසල් සිසුන්ගේ වැසිකිළි අවශ්‍යතාව ජාත්‍යන්තර සම්මතයන් අනුව තීරණය කර ඇත්තේ, සිසුන් 50 දෙනෙකුට එක් වැසිකිළියක් ලෙසත්, ගුරුවරුන් 10 දෙනෙකුට 01ක් ලෙසත් සනීපාරක්‍ෂක වැසිකිළි තිබිය යුතු බවයි. 2013 වසරේදී මෙරට පාසල්වලින් ප්‍රමාණවත් සහ සනීපාරක්ෂක වැසිකිළි පහසුකම් තිබී ඇත්තේ සියයට 33ක් වන පාසල් සංඛ්‍යාවකට පමණි. පාසල් 518කට සනීපාරක්‍ෂාව ලැබිය යුතු මට්ටමෙන් සියයට 25ක ප්‍රමාණයක් ලැබෙන අතර කිසිදු පහසුකමක් නොමැති පාසල් සංඛ්‍යාව 188ක් බව වාර්තා වේ. එය 2015 වසර වන විට එම සංඛ්‍යාව පාසල් 74 දක්වා අඩු වී තිබුණද වතුකරය ආශ්‍රිව ඇති පාසල් 449න් පාසල් 307ක් පිහිටා තිබෙන නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් සිසුන්ට තිබෙන සනීපාරක්‍ෂක පහසුකම්ද ප්‍රමාණවත් නොවේ. ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය මඟින් ග්‍රාමීය ජල හා සනීපාරක්ෂක අංශය මඟින් දිස්ත්‍රික් ග්‍රාමීය ජල හා සනීපාරක්ෂක මධ්‍යස්ථාන පිහිටුවමින් ජනතාවගේ සනීපාරක්ෂක පහසුකම් දියුණු කිරීමට කටයුතු කර තිබීම ප්‍රසංශනීයය. එම ව්‍යාපෘතිය යටතේ සෞඛ්‍යාරක්ෂික වැසිකිළි භාවිතය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සහ වැසිකිළි ඉදිකිරීමට මූල්‍ය ශක්තිය ලබාදීමටද කටයුතු කර තිබිණ.

2013 වසරේදී එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහ ලේකම්වරයා විසින් වසර 2025 වන විට එළිමහනේ සිදුකරන මලපහ කිරීම සම්පූර්ණයෙන් නතර කිරීමට පියවර ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක්ද කරනු ලැබිණ. ආරක්ෂිත ජලය සහ සනීපාරක්ෂිත වැසිකිළි භාවිත කිරීමෙන් වාර්ෂිකව සිදුවන පාචනීය මරණ 829,000ක් සැලකිය යුතු ලෙස අඩුකළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. සනීපාරක්ෂක කටයුතු සඳහා ආයෝජනය කරන සෑම ඇමෙරිකානු ඩොලරයකින්ම සනීපාරක්ෂාව පිළිබඳ ප්‍රතිලාභ හය ගුණයකින් වැඩිකර ගත හැකි බවද ඔවුහු ඇස්තමේන්තු කරති.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සනීපාරක්ෂාව හා සෞඛ්‍යය පිළිබඳ නව මාර්ගෝපදේශන සකස් කර තිබෙන අතර, මෙය අනාරක්ෂිත වැසිකිළිවලින් කාන්දු වන අපද්‍රව්‍ය නිසා පොදු ජනතාව ලෙඩරෝගවලට ගොදුරු වීම වැළැක්විය යුතු බවද දැඩිව අවධාරණය කර තිබේ. සෑම රටකම පළාත් පාලන ආයතනවල සැලසුම් සහ සේවා සැපයීම්වලට සනීපාරක්ෂාව බද්ධ කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලික යෝජනාවකි.

ඒ අනුව ඉන්දියාව වැසිකිළි භාවිතය පිළිබඳ තම රට මුහුණ දී සිටින අභියෝගය ජයගැනීමට අගමැතිවරයාගේ නායකත්වය තුළ 'පිරිසිදු ඉන්දියා වැඩසටහන' යටතේ මූලික සනීපාරක්ෂක පහසුකම් කඩිනමින් ළඟා කර ගැනීමට කටයුතු කරමින් සිටී. යුනිසෙෆ් සංවිධානයද ලෝක ප්‍රජාවගේ සනීපාරක්ෂක පහසුකම් දියුණු කිරීමේ වැඩසටහනට සිය දායකත්වය දක්වන අතර වසර 2030 වන විට සියලු දෙනාටම ආරක්ෂිත ජලය සහ සනීපාරක්ෂක පහසුකම් ලබාදීමට මාර්ගෝපදේශකත්වය දක්වයි. ඒ අනුව 2030 වන විට ආරක්ෂිත ජලය සහ සනීපාරක්ෂාව දියුණු කිරීමෙන් විශේෂයෙන් කාන්තාවන් සහ ගැහැනු ළමුන් සඳහා ප්‍රමාණවත් හා සාධාරණ සනීපාරක්ෂක පහසුකම් ලබාදීමෙන් බෝවන රෝග ඇතුළු ප්‍රධාන රෝග වසංගත අවසන් කිරීම, අන්තරායකාරී රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී වාතය, ජලය සහ පස දූෂණය වීමෙන් සිදුවන මරණ සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමින් අඩු කිරීම සහ මාතෘ මරණ සංඛ්‍යාව අවම කිරීම සහ වළක්වාගත හැකිය.

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා