දෙහිඅත්තකණ්ඩියේ වකුගඩු රෝගීන් අනතුරේ

 ඡායාරූපය:

දෙහිඅත්තකණ්ඩියේ වකුගඩු රෝගීන් අනතුරේ

“දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නා වකුගඩු රෝගීන් සංඛ්‍යාව පමණක් තුන්දහසකට ආසන්නයි. කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ හිඟකම හේතුවෙන් මෙම මූලික රෝහලේ වකුගඩු රෝගී ප්‍රතිකාර එකකයේ රුධිර කාන්දුපෙරනය කිරීම සීමාකර තියෙනවා. මේ නිසා අපේ ප්‍රදේශවල වකුගඩු රෝගීන් දැඩි අසීරුතාවකට පත්වෙලා. දැන් වකුගඩු රෝගය උත්සන්න වී රුධිරය පිරිසිදු කළ යුතු මහවැලි සී කලාපයේ පදිංචි රෝගීන්ට පොළොන්නරුව සහ මහනුවර වැනි ඈත පිහිටි රෝහල්වලට යන්න සිද්ධවෙලා තියෙනවා. ඉතා දුප්පත් ආර්ථික අපහසුතා ඇති රෝගීන්ට මෙය පුදුම කරදරයක් වෙලා. ඒ නිසා අපේ රෝහලේ තිබෙන කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ අඩුපාඩුව කඩිනමින් සම්පූර්ණකර දෙන ලෙස ඉල්ලා සිටිනවා.” යැයි නැඟෙනහිර හා තමන්කඩුව යන දෙපළාතේ ප්‍රධාන සංඝනායක මකුරුප්පේ පඤ්ඤාසේකර නා හිමියෝ පවසා සිටියහ.

මේ වන විට රෝහලේ අත්‍යවශ්‍ය සේවාවක් වන වකුගඩු ඒකකයේ රුධිර පිරිසිදු කිරීමේ සේවා කටයුතු සීමා වී ඇති බව එහි නිරීක්ෂණයක යෙදුණු අපට පැහැදිලි විය. කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ හිඟය ඒ සදහා ඍජුවම බලපා ඇති බව පඤ්ඤාසේකර නාහිමියෝ තවදුරටත් පැහැදිලි කළහ.

“මෙම රෝහල ඒ ශ්‍රේණියේ මූලික රෝහලක්. ඒ සදහා කනිෂ්ඨ කාර්ය මණ්ඩලය 150ක් අනුමතයි. නමුත් දැනට ඉන්නේ 64 දෙනයි. මේ පිරිසෙන් 08 දෙනෙක් 2019දී විශ්‍රාම යනවා. තව දෙදෙනෙකු ලිපිකරු විභාගය සමත්වී සිටිනවා. එවිට ඉතුරු වෙන්නේ 54යි. 2018 අගෝස්තු මාසේ නැඟෙනහිර පළාත් සභාවෙහි සෞඛ්‍ය සේවා කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට 82ක් බඳවාගෙන තිබෙනවා. ඒ අයගෙන් දෙහිඅත්තකණ්ඩියට ආවේ හතර දෙනයි. කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ හිඟකම රෝහලේ සමස්ත ක්‍රියාවලියටම බලපා තිබෙනවා.”

දෙහිඅත්තකණ්ඩිය ප්‍රජා සංවිධාන එකමුතුවේ සභාපති අරුණ අබේකෝන් මහතා ප්‍රදේශයේ රෝගී ජනතාව පත්වී ඇති අපහසුතාව තවදුරටත් පැහැදිලි කළේය.

“අම්පාර, බදුල්ල, මාතලේ, පොළොන්නරුව දිස්ත්‍රික්කවල පදිංචි රෝගීන් විශාල පිරිසක් දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලෙන් සේවා පහසුකම් ලබා ගන්නවා. ඒ වගේම රෝහලේ දියුණුව වෙනුවෙන් ස්වේච්ඡාවෙන් සේවය ලබාදීම අපි සිදු කරනවා. වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුපෙරන ඒකකයේ සේවාව කාර්යක්ෂම විය යුතුයි. දිනකට තිස් දෙනෙකුට සේවා සපයන්න පහසුකම් තිබියදී කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ හිඟකම නිසා දැන් සේවාව සපයන්නේ දිනකට රෝගීන් හතර පස්දෙනෙකුට පමණයි. මේ පළාතේ ඉන්නේ බොහොම දුප්පත් වකුගඩු රෝගීන්. ඒ අයට දවස් දෙකෙන් දෙකට පොළොන්නරුව හෝ මහනුවර රෝහල්වලට ලේ පිරිසිදු කිරීමට යෑම දරා ගන්න බැරි වියදමක් වී තිබෙනවා. අපේ ප්‍රදේශවල ලේ පිරිසිදු කිරීමට නිර්දේශ වී සිටින වකුගඩු රෝගීන් මෙම රෝහලට එන්න අහනවා. නමුත් සේවක හිඟය නිසා රෝගීන් ඇතුළු කිරීම සීමාකර තිබෙනවා. එය රෝගීන්ට විශාල අවාසියක්. රජයේ මුදල් කොටි ගණනක් වියදම්කරලා ගොඩනැඟිලි හදලා තියෙනවා. තවත් රුපියල් කෝටිගණනක යන්ත්‍ර සවිකරලා රෝගීන්ට හරිහමන් සේවාවක් නොකර තියෙනවා කියන්නේ මොනතරම් අපරාධයක්ද?” අරුණ මහතා ප්‍රශ්න කර සිටියේය.

කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ හිඟකම නිසා රටට බත සපයන මිනිසුන් පීඩාවට පත්වී සිටින ආකාරය දෙහිඅත්තකණ්ඩිය නගරයේ ව්‍යාපාරික එච්. ඩබ්. ඥානසිරි මහතා මෙලෙස වචනයට ගොනු කළේය.

“දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහල අයත්වන්නේ අම්පාර දිස්ත්‍රික්කයට වුණත්, ප්‍රතිකාර ලබා දීමේදී රෝගියා කුමන පළාතේ කෙනෙක්ද කියා බලන්නේ නැහැ. දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ ලේ පිරිසිදු කිරීමේ සේවාව ආරම්භ වූ බව දැනගත් පසු අපට ලොකු සතුටක් දැනුණා. නමුත් එහි සේවාව කාර්ය මණ්ඩලයේ හිඟයක් නිසා සීමා වී ඇති බව දැනගත් පසු කනගාටුවක් ඇතිවුණා. වෛද්‍යවරු, හෙද කාර්ය මණ්ඩලය සිටියදී කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ අඩුපාඩු මත මෙවැනි අත්‍යවශ්‍ය සේවා සීමා වීම ජනතාවට සිදුකරන බලවත් අසාධාරණයක්. දෙහිඅත්තකණ්ඩිය රෝහල අවට ගම්වල, සිය ගණනක් සෞඛ්‍ය කනිෂ්ට කාර්ය මණ්ඩලයේ අය ස්ථීර පදිංචිකරුවන් විදියට ඉන්නවා. නමුත් මේ අය සේවය කරන්නේ මධ්‍යම රජයේ මහ රෝහල්වල. මධ්‍යම රජයේ අවධානය යොමු වී මෙම රෝහලේ අවශ්‍යතාව සම්පූර්ණ කළ හැකි නම් එය උතුම් කටයුත්තක් බව කිව යුතුයි.”

කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ හිඟකම පමණක් නොව සෞඛ්‍ය බලධාරීන් අවධානය යොමු කළ යුතු තවත් කරුණු කීපයක් නීතිවේදී බී. කේ. එස්. කේ. සුමතිපාල මහතා අනාවරණය කළේය.

“නැෙඟනහිර පළාතේ දිස්ත්‍රික්ක තුනක් තියෙනවා. නමුත් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා බල ප්‍රදේශ හතරක් තියෙනවා. ඒකට හේතුව අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ ප්‍රදේශය වෙනම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කොට්ඨාසයක් ලෙස වෙන් කිරීම. පසුගිය වර්ෂයේ නැෙඟනහිර පළාත් සෞඛ්‍ය අංශයේ ප්‍රවර්ධන කටයුතුවලට මධ්‍යම රජය රුපියල් මිලියන 5608ක් ලබා දුන්නා. මෙම මුදලින් කල්මුණේට රුපියල් මිලියන 4621ක්ම වෙන් කරලා තියෙනවා. ඉතිරි රුපියල් මිලියන 987ක මුදල මඩකළපුව, ත්‍රිකුණාමලය සහ අම්පාර යන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කොට්ඨාස තුනට බෙදනවා. එවිට අම්පාරට ලැබෙන්නේ මිලියන 321යි. මෙම මුදල අම්පාරේ ඉඳන් බෙදාගෙන දෙහිඅත්තකණ්ඩියට එද්දි ඉතිරිවෙන්නේ සොච්චමයි. දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලෙන් වාර්ෂිකව රෝගීන් (1,43,000) එක්ලක්ෂ හතළිස් තුන්දහසක් බාහිරව ප්‍රතිකාර ගන්නවා. නේවාසිකව (27,000) විසි හත්දහසක් ප්‍රතිකාර ගන්නවා. දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ රෝගීන්ට වැඩිදුර ප්‍රතිකාර සඳහා අම්පාර මහ රෝහලට කිලෝමීටර් 160ක දුරකුත් පොළොන්නරුව මහ රෝහලට කිලෝමීටර් 60ක දුරකුත් යන්න වෙනවා. ඒක අසීරු කටයුත්තක්. ඒ නිසා දෙහිඅත්තකණ්ඩිය රෝහල මධ්‍යම රජයට පවරාගෙන කඩිනමින් සංවර්ධනය කළ යුතු බව අපි අවධාරණය කරනවා.”

දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ පහසුකම් නොතිබුණු කාලයේ වකුගඩු රෝගයට ගොදුරු වූ විශාල පිරිසක් ඈත පළාත්වල රෝහල්වලට ප්‍රතිකාර ලබා ගැනීමට නොගොස් ජීවන ගමනට අකාලයේ තිත තැබූහ. මෙලෙස වකුගඩු රෝගයට ගොදුරු වූ සැමියන් වෙනුවෙන් අදත් කඳුළු හෙලන මවුවරු හා දූදරුවෝ දහස් ගණනක් වෙති.

දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ විශේෂ හෙද නිලධාරිනි ඩී. ජී. පී. ආර්. ගලතරගේ මහත්මිය රුධිර කාන්දුකරණයේදී හෙද නිලධාරීන්ගේ කාර්භාරය ගැන පැහැදිලි කළාය.

“රුධිර කාන්දුපෙරනය ට රුධිර නාල සැකසීම පොළොන්නරුව මහ රෝහලෙන් සිදු කරනවා. අපි කරන්නේ වකුගඩු රුධිර කාන්දු ඒකකයේ මැෂින්වලට රෝගියා සවි කිරීම. එමෙන්ම මැෂින් පිරිසිදු කිරීමත් හෙද නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ කළ යුතු වෙනවා. ඒ වගේම මෙම රෝහලේ රුධිර කාන්දුපෙරනය පිළිබඳව අවශ්‍ය උපදෙස් ලබාදෙන්නේ පොළොන්නරුව මහ රෝහලේ වකුගඩු පිළිබඳව විශේෂඥ වෛද්‍යතුමා. මෙම ඒකකය හා අනෙකුත් උපකරණ පිරිසිදු කිරීම නිතරම කළ යුතුයි. ඒ සඳහා කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවය අවශ්‍යයි.

“මෙම ඒකකයට එක රෝගියෙක් ඇතුලත් කළත් සම්පූර්ණයෙන් පිරිසිදු කළ යුතුයි. ඉදිරියේදී දින දෙකකට වරක් රෝගීන්ගේ රුධිරය පිරිසිදු කිරීම් කරන්න කියලා විශේෂඥ වෛද්‍ය උපදෙස් ලැබී තියෙනවා. රුධිරය පිරිසිදු කරන්න පුහුණු වෛද්‍යවරු හා හෙද නිලධාරිනියන් අවශ්‍ය තරම් ඉන්නවා. රුධිර කාන්දුපෙරනය පිළිබඳව වෛද්‍යවරු මාසයක පුහුණුවක් ලැබුවා. හෙද නිලධාරිනියන් මාස තුනක විශේෂ පුහුණුවක් ලැබුවා. කනිෂ්ඨ කාර්ය මණ්ඩලය පුහුණු කිරීම අපිට කරන්න පුළුවන්. දැනට දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ වකුගඩු සායනය සදහා 2500 – 3000ක් අතර පිරිසක් ලියාපදිංචි වී සිටිනවා. මේ රෝගීන් ගණන දවසෙන් දවස වෙනස් වෙනවා.”

වකුගඩු රෝගීන් පත්වී සිටින අපහසුතාව පිළිබඳව දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි මහේෂ් දහනායක මහතාගෙන් විමසීමේදී ඔහු පැවසුවේ මෙවන් අදහසක්.

“දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ වකුගඩු ප්‍රතිකාර ඒකකයේ රුධිර කාන්දුපෙරනය ආරම්භ කරපු දවසේ ඉඳලා මේ වෙනකම් හැම දවසකම වැඩ කළා. මේ රෝහලේ රුධිරය පිරිසිදු කිරීම් කරන්න 13දෙනෙකු ලියාපදිංචි වෙලා ඉන්නවා. වකුගඩු සායනයට 3000කට ආසන්න පිරිසක් ලියාපදිංචි වෙලා ඉන්නවා. ඒ අතරින් 1657 දෙනෙකු අනිවාර්යයෙන් එනවා. නමුත් රෝගීන් කියන විදියට ලේ පිරිසිදු කිරීම සීමා කිරීමක් කරන්න වුණේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ හිඟකම නිසා. අපේ රෝහලේ තියෙන රුධිර කාන්දුෙපරන ඒකකයේ එකවර රෝගීන් දහ දෙනෙකුගේ ලේ පිරිසිදු කිරීමේ හැකියාව තියෙනවා. දිනකට තුන් වාරයක් ලේ පිරිසිදු කිරීම් කරන්න පුළුවන් නම් තිස් දෙනෙකුට සේවාව සපයන්න පුළුවන්. හදිසි අවස්ථාවක් සඳහා එක් ඇඳක් හිස්ව තබා ගන්න පුළුවන් නම් දිනකට අවම වශයෙන් රෝගීන් විසිහත් දෙනෙකුගේවත් රුධිරය පිරිසිදු කිරීම් කරන්න පුළුවන්. නමුත් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ හිඟකම නිසා දැන් රුධිරය පිරිසිදු කිරීම් කරන්නේ දිනකට රෝගීන් පස්දෙනෙකුගේ පමණයි. කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ හිඟකම සම්පූර්ණ වුණොත් මහනුවර, පොළොන්නරුව වැනි දුර බැහැර රෝහල්වලට ලේ පිරිසිදු කිරීම් සඳහා යන රෝගීන්ට මෙම රෝහලෙන් පහසුකම් ලබා ගන්න පුළුවන්. එතකොට එම රෝහල්වල පවතින තදබදයත් අවම වෙනවා. කනිෂ්ඨ කාර්යමණ්ඩලයේ අවශ්‍යතාව පිළිබඳව මේ වෙද්දි අදාල අංශ දැනුවත් කර තියෙනවා. ඒ නිසා එම අඩුපාඩුව කඩිනමින් සම්පූර්ණවේවි කියන විශ්වාසය අපිට තියෙනවා.”

දිස්ත්‍රික්ක හතරක රෝගී ජනතාවට සේවය සලසන දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ දැනට සිටින කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට දෙගුණයක් වැඩ කිරීමට සිදුවී ඇත. අපහසුතා මැද වුවත් ඔවුන්ගේ කැපවීම අගය කළ යුතුය. අවශ්‍ය කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ලබා දීමට රජයේ අදාළ අංශවල විශේෂ අවධානය යොමු විය යුතුය.

සටහන හා ඡායා දිඹුලාගල සමූහ [ප්‍රසන්න සිල්වා]

මාතෘකා