කබලෙන් ළිපට වැටුණු ත්‍රිකෝණමඩුවේ මිනිස්සු

 ඡායාරූපය:

කබලෙන් ළිපට වැටුණු ත්‍රිකෝණමඩුවේ මිනිස්සු

“පිට ප්‍රදේශයක පදිංචිවෙලා හිටපු මට, මේ ප්‍රදේශයේ පදිංචියට එන්න කිව්වේ අපවත් වුණු සේරුවිල ලොකු හාමුදුරුවෝ. එහෙම ආපු මම පවුලේ අය එක්ක සෝමාවතී පාරේ ගැමුණුපුර පදිංචි වුණේ ගොඩ ගොවිතැන් කරගෙන ජීවත්වෙන්න. දැන් අවුරුදු හයකට පස්සේ කියනවා මේවා වනජීවී ඉඩම් නිසා අපිට ඉවත් වෙලා යන්න කියලා. අපි පුදුම විදියට අසරණවෙලා ඉන්නේ.” සේරුවිල, සෝමාවතී පාරේ ගැමුණුපුර පදිංචි

ඩබ්. ජී. නිමල් රත්නායක මහතා ‘රැස’ට මෙසේ පැවසුවේ අනාගත බලාපොරොත්තු සියල්ල තමා අතහැර ඇති බව කියමින්ය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් සේරුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි සෝමාවතී පාරේ ගැමුණුපුර පදිංචි පවුල් සංඛ්‍යාව 103කි. මෙම ප්‍රදේශය ත්‍රිකෝණමඩුව රක්ෂිතයට අයත්ය. පසුගිය රජය සමයේ මෙම රක්ෂිතය හරහා සේරුවිල පුදබිම හා සෝමාවතී පුදබිම යාවන ලෙස මාර්ගයක් ඉදිකරන ලදී. බලධාරීන් මේවා කළේ මෙම ප්‍රදේශය වනජීවී රක්ෂිතයක් බව දැන දැනය. අපවත් වී වදාළ සේරුවිල සරණකිත්ති හිමියෝ මෙම මාර්ගය දෙපස පවුල් 103ක් පදිංචි කිරීමට කටයුතු කළහ. මාර්ගය දෙපස අලි - මිනිස් ගැටුම අවම කිරීම සඳහා එවකට ක්‍රියාත්මක වූ ආර්ථික කටයුතු අමාත්‍යංශය අලි වැටක් ඉදිකිරීමට කටයුතු කළේය. පිට ප්‍රදේශවලින් පවුල් ගෙනැවිත් පදිංචි කරද්දී එම මිනිසුන්ගෙන් බොහොමයක් තමන්ගේ මුල් ගෙවල් දොරවල් විකුණා, එසේත් නොමැතිනම් අතහැර පදිංචියට පැමිණි පිරිස වූහ. තවත් පිරිසක් ඉන්න හිටින්න නැති වූවෝය.

“මම කරන්නේ ගොඩ ගොවිතැන්. ගොවිතැන් නැති කාලෙට කුලී වැඩටත් යනවා. මම ගේ හැදුවේ නිවාස අධිකාරියෙන් ණය අරන්. අපි පදිංචිවෙලා ඉන්නේ රක්ෂිතයක නම් නිවාස අධිකාරියෙන් අපට ණය දුන්නේ කොහොමද? අලි කරදර එන නිසා විදුලි වැටක් පවා ආණ්ඩුවෙන් ඉදිකරලා දීලා තියෙනවා. ගොඩ බෝග අතරින් පොල් ගස් 35ක් අපිට තියෙනවා. දැන් පොල් කැඩෙන කාලේ. එකපාරටම අපි වනජීවී රක්ෂිත කියලා කොහේ යන්නද?” සෝමාවතී පාරේ, ගැමුණුපුර පදිංචි ඩබ්. ජී. නිමල් රත්නායක මහතා මේ බව පැවසුවේ කනස්සල්ලෙනි.

සේරුවිල පුද බිමේ සිට සෝමාවතී පුදබිම දක්වා කිලෝමීටර් 54ක් ඇත. ඉන් ත්‍රිකෝණමඩු රක්ෂිතය මැදින් කිලෝමීටර් 47ක මාර්ගයක් ඉදිකර තිබේ. එමෙන්ම මෙම මාර්ගයට සමාන්තරව විදුලි රැහැන් දිවෙන අතර රක්ෂිතයක මෙවැනි ඉදිකිරීම් සිදුකළ නොහැකි අතර එම මාර්ගවල වාහන ධාවනය කළ නොහැකිය.

“මම නැති වෙලාවේ වන ජීවියෙන් ඇවිත් ගේ කඩන්න කියලා තියෙනවා. මට ලැබුණු ඉඩමේ මම හදපු ගේ කඩන්නේ කොහොමද? මේක අසාධාරණයි. අලින්ගෙන් බේරෙන්න අලි වැටක් ගහලා දීලා තියෙනවා. ඉඩම් කච්චේරි තියලා තමයි මට මේ ඉඩම ලැබුණේ. අපට එහෙම දාලා යන්න බැහැ. මේ වැරැද්ද කරලා තියෙන්නේ නිලධාරීන්මයි.” තිස්සමහාරාමයේ සිට පැමිණ පදිංචි වීමට ගෙයක් සාදන යුද හමුදාවේ සේවය කරන බී. එම්. උපාලි මහතා පවසයි.

මහින්දපුර ග්‍රාම නිලධාරි වසමට අයත් ගැමුණුපුර ගම්මානයේ වනජීවී රක්ෂිත තුළ පදිංචි යැයි කියන ජනතාවට මෙම ස්ථානවල ඡන්ද අයිතිය පවා තිබේ. රක්ෂිතයක් යැයි පවසන මෙම ප්‍රදේශයට විදුලියද ලබාදී ඇති අතර ග්‍රාම නිලධාරියකු යටතේ පරිපාලන කටයුතුද සිදුවේ. ගැටලුව වන්නේ වනජීවී රක්ෂිතයක් තුළ එසේ වූයේ කෙසේදැයි යන්නය. මේ පිළිබඳව අදාළ බලධාරීන් සොයා බැලිය යුතුය. ඇතැම් පදිංචිකරුවන් වගා කටයුතු සඳහා පොහොර සහනාධාරයද ලබාගෙන මෙතෙක් වගා කටයුතු සිදුකරගෙන ජීවිකාව ගෙන යන අයුරු දැකගත හැකි විය.

වනජීවී ප්‍රදේශයක් නම් තමන් පදිංචි වෙද්දී කිසිම නිලධාරියකු එයට විරුද්ධ නොවුණේ මන්දැයි ගැමුණුපුර පදිංචි ආර්. එම්. චන්දිමා මදුරංගනි මහත්මිය විමසන්නීය. “වනජීවී මහත්වරු ඇවිල්ලා කියනවා අපිව ඉවත් කරනවා කියලා. අපි ඉන්නේ රක්ෂිතයෙලු. මුලින් දැනගත්තා නම් පදිංචියට එන්නෙත් නැහැ. අපවත් වුණු නායක හාමුදුරුවෝ විශ්වාස කරල අපි පදිංචියට ආවේ. ඒකෙන් වුණේ හිටපු තැනත් නැතිවෙලා, දැන් ඉන්න තැනෙනුත් යන්න වෙන එක.”

තිබෙන ඉදිකිරීම්වලට අමතරව නව ඉදිකිරීමක් කිරීමට හෝ තම නිවසෙහි අලුත්වැඩියාවක් කිරීමට අයිතියක් නැති සෝමාවතී පාරේ ගැමුණුපුර ජනතාව වැසිකිළිවළක්වත් කපා ගැනීමට නොහැකි තත්ත්වයක් තුළ අසරණ වී සිටිති. මෙම ප්‍රදේශයේ රජයේ විවිධ දෙපාර්තමේන්තු යටතේ ලියාපදිංචි කළ ගොවි සංවිධානත්, ග්‍රාමීය සමිති ගණනාවකුත් ඇති අතර මරණාධාර සමිතියක්ද තිබේ. ඒ තරමට ප්‍රදේශවාසීන් මෙම ප්‍රදේශයේ ස්ථීරවම පදිංචියට පැමිණි පිරිසක් බවට පත් වී තිබේ.

අලුත් ඉදිකිරීමකට වන ජීවියෙන් අවසර නැති බවට පැවසූ ගැමුණුපුර පදිංචි එම්. ප්‍රදීපා නිල්මිණි මහත්මිය යාබද ඉඩමේ කළ ඉදිකිරීමක් ගලවා දැමූ බව අපට පෙන්වීය. “මේ බලන්න මේ ඉදිකිරීම් ඉවත් කරලා. අපටත් ඉවත් වෙන්න ලිපි එවනවා කිව්වා. අපි මෙහේ පදිංචියට ඇවිත් විදුලිය අරන් ගෙවල් හැදුවා. පොල් ගස් වැව්වා. පලදාව ලැබෙන කාලේ අතේ තියන සබ්බ සකලමනාවම වියදම් කරලා හදපු ගෙවල් අතෑරලා කොහේ යන්නද? හරියට නොකා නොබී ගොවිතැනින් හොයාගත්තු තුට්ටු දෙකෙන් මේ හැමදේම කළේ. අපි වෙන ඉතිරි කරගත්තු දේකුත් නැහැ.”

ගැටලුව සම්බන්ධයෙන් කිසිඳු පාර්ශ්වයකින් උදව්වක් නොමැති අවස්ථාවක මෙම අවනඩුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචි නිලමේ මහතා මැදිහත් වී පාර්ලිමේන්තුවේ කථානායකගේ හා මහජන පෙත්සම් කාරක සභාවටත් යොමුකර තිබේ. මේ පිළිබඳව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතා පැවසුවේ මෙවන් අදහසක්. “මේ ගැටලුව නිරවුල් කරලා දෙන්න කියලා මම කථානායකට හා මහජන පෙත්සම් කාරක සභාවට යොමු කළා. පෙත්සම විභාග කර අවසන් කරන තෙක් වනජීවී නිලධාරීන්ගෙන් එම ජනතාවට එල්ලවන ක්‍රියාකාරකම් නවත්වන්න කියලා මම ඉල්ලුවා. වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්ට උපදෙස් දෙන්න කියලා මම ඉල්ලලා තියෙනවා. සේරුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට තියෙන්නේ මේ ප්‍රශ්නය විතරක් නෙවෙයි. ත්‍රිකෝණමඩු රක්ෂිතයට මහින්දපුර හා මහවැලිගම කියලා ග්‍රාම නිලධාරි වසම් දෙකක් අහුවෙනවා. මේක රක්ෂිතයක් විදිහට ගැසට් කරලා තියෙන්නේ 1986.10.24 දවසේ. ඊට කලින් ඉඩම් බලපත්‍ර පහක් දීලා තියෙනවා. රක්ෂිතයක් වුණාට පස්සේ ඉඩම් බලපත්‍ර 140ක් දීලා තියෙනවා.”

සේරුවිල ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ගැමුණුපුර අයත් මහින්දපුර කොට්ඨාසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රි කේ. ඒ. කුමාරසේන මහතා මේ පිළිබඳ දැකුවූයේ මෙවන් අදහසකි.

“ඔය ප්‍රදේශයේ ජනතාවට ආණ්ඩුව ජලය, විදුලිය ආදී යටිතල පහසුකම් ලබා දීලා තියෙනවා. නිවාස ණය ලබා දීලා තියෙනවා. පන්සලක් තියෙනව. ග්‍රාම නිලධාරිවරයෙක් රාජකාරි කරනවා. වනජීවී රක්ෂිතයක නම් මේ ක්‍රියාකාරකම් කිසිවක් වෙන්න බැහැ. නමුත් මේ ප්‍රදේශය ත්‍රිකෝණමඩු රක්ෂිතයට අයත්වෙන කතාව ඇත්ත. එහෙනම් දැන් කරන්න තියෙන්නේ මිනිස්සු පදිංචිවෙලා ඉන්න කොටස නිදහස් කරලා දීලා ඉතිරි ටික යළි ගැස‍ට් කරන එක”

මේ ගැටලුව පිළිබඳ වනජීවී රක්ෂණ දෙපාර්තමේන්තුවද අදහස් දැක්වීය. සේරුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස භාර කන්තලේ වනජීවී අඩවි ආරක්ෂක පී. එම්. බී. විජේකෝන් මහතා පැවසුවේ මෙවන් අදහසකි. “සෝමාවතී පාරේ ගැමුණුපුර අයිතිවන්නේ ත්‍රිකෝණමඩු රක්ෂිතයට. ආයෙත් ඒ ගැන තර්කයක් නැහැ. 1986.10.24 දින අංක 424/26 දරන ගැසට් පත්‍රය මඟින් මෙය රක්ෂිතයක් ලෙස ප්‍රකාශ වුණාට පස්සේ තමයි ගෙවල් හදලා තියෙන්නේ. අලුතින් කරපු ඉදිකිරීම්වලට අවසර දෙන්න අපට අයිතියක් නැහැ. මේ පිළිබඳවත් අපි මුතූර් මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා. ගෙවල් කැඩීමේ අවශ්‍යතාවක් අපට නැහැ. මේ ස්ථානයේ ජනතාව පදිංචිවෙලා ඉන්න කොටස ඉවත් කරලා නැවත ගැසට් කිරීමක් කරන්නේ නැත්නම් ඒකට විකල්ප ඉඩම් දිය යුතු වෙනවා.”

අයිතිය වෙනුවෙන් උද්ඝෝෂණ කරනු විනා ඒ මිනිසුන්ට තවත් කිරීමට දෙයක් නැත. වගකිව යුතු නිලධාරීන් මේ වෙනුවෙන් යමක් කළ යුත්තේ ඒ නිසාය.

[ඒ. ටී. එම්. ගුණානන්ද] ත්‍රි/මලය විශේෂ

මාතෘකා