බලංගොඩ ගල්ගුහාවකින් හමු වූ නූතන මානව පවුලක් | ඇස පාදන රැස


බලංගොඩ ගල්ගුහාවකින් හමු වූ නූතන මානව පවුලක්

 ඡායාරූපය:

බලංගොඩ ගල්ගුහාවකින් හමු වූ නූතන මානව පවුලක්

බලංගොඩ කියූ සැණින් සියල්ලන්ටම පළමුවෙන් මතක් වන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයය. ඒ ප්‍රාග් ඓතිහාසික යුගයේ විසූ ලෝප්‍රකට බලංගොඩ මානවයාගේ

(HOMO SAPIENS BALANGODENSIS) පොසිල හමු වී ඇති නිසාය. එහෙයින් බලංගොඩ දෙස් විදෙස් පුරාවිද්‍යාඥයන්ගේද, ඉතිහාසඥයන්ගේද ආකර්ෂණය දිනා ගැනීමට සමත් ප්‍රදේශයකි. බලංගොඩ මානවයා විසූයේ මීට වසර 16,000 කට පමණ ඉහතදීය. ප්‍රාග් ඓතිහාසික යුගයන්හි ඔවුන්ගේ වාසස්ථාන වූයේ ගල්ගුහාය. එම නිසාවෙන් බලංගොඩ හා ඒ අවට ප්‍රදේශයන් වන කුරුවිට, කිතුල්ගල, රත්නපුර ප්‍රදේශයන්හි බහුලව ගල්ගුහා දක්නට ලැබේ.

ඒ ප්‍රාග් ඓතිහාසික යුගයයි. මේ ගෙවී යන්නේ විසිඑක් වන ශතවර්ෂයයි. එනම් මානවයා දියුණුවේ හිනිපෙත්තටම ගිය වකවානුවයි. එවකට සිටි බලංගොඩ මානවයා වෙනුවට දැන් වෙසෙන්නේ තාක්ෂණික මිනිසුන් කොට්ඨාසයක්ය. බලංගොඩ මානවයා ගල්ගුහාවල විසුවාට වත්මන් තාක්ෂණික මානවයා වෙසෙන්නේ අහස උසට නැගි ප්‍රාසාදවලය. අදහස් අතින් ද චර්යාවන් අතින් ද ඉහළ සාධනීය ලක්ෂණ දක්වන්නා වූ මිනිස්සු කොට්ඨාසයක් වර්තමානයේ ජීවත් වෙති.

මීට වසර දහස් ගණනකට පෙර ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා විසූ ලෙන් තුළ ජීවත් වන නූතන බලංගොඩ මානව පවුලක් පිළිබඳ ශෝචනීය කතා පුවතක් අපට බලංගොඩ ප්‍රදේශයෙන් වාර්තා විය. එයින් කියවුණේ බලංගොඩ සීතාගල ප්‍රදේශයේ විසූ පවුලක් නාය යාම් අවදානම හේතුවෙන් නිවාස හැර ගොස් වසර දෙකක කාලයක් තිස්සේ බලංගොඩ මැද්දෙකන්ද ප්‍රදේශයේ ගල්ගුහාවක දිවි ගෙවනු ලබන බවයි. මේ සම්බන්ධයෙන් විපරම් කරන්නට සිතුවේ බලංගොඩ මානවයාගේ තත්ත්වයටම නූතන මානවයන්ද පත් වී ඇති හේතු කාරණා සෙවීමේ අරමුණෙනි.

මේ කතා පුවතේ අක්මුල් දිව යන්නේ 2016 වසරටය. 2016 යනු ස්වාභාවික ආපදාවන්වලින් මිනිසුන් හෙම්බත් වූ සමයකි. සෑම වසරකම මැයි, ජූනි, ජූලි යනු නිරිතදිග මෝසම් වර්ෂාව නොඅඩුව ලැබෙන සමයකි. නිරිතදිග මෝසමේ මහ වැසි, කුණාටුවල ප්‍රතිඵලය වන්නේ ගංවතුර, නාය යාම් වැනි ආපදාවන් ය. බලංගොඩ ප්‍රදේශයද කාලෙන් කාලෙට නාය යාමේ අවදානම්වලට ගොදුරු වන ප්‍රදේශයකි.

විජිත නන්දසිරි මහතා සිය පවුලේ උදවිය සමඟ විසූයේ බලංගොඩ සීතාගල ප්‍රදේශයේ කඳු පාමුලකය. විටින් විට නාය යෑම් අවදානම් සහිත ප්‍රදේශයක ජීවත් වන ඔවුහු කලක් මරණය දැක දැක ජීවත් වූහ. ඔවුන්ට නාය යාම් අවදානම් සහිත බැවින් ඉන් ඉවත් වන්නට විටින් විට ආපදා කළමණාකරණයෙන් අනතුරු ඇඟෙව්වද, ඔවුන් තම නිවස අත් නොහැරියේ ජීවත් වන්නට හරි හමන් තැනක් නොවුණු නිසාවෙනි. 2016 ජූලි මාසයේ වර්ෂාව අධික වීමේ ප්‍රතිඵලය වූයේ සීතාගල නම් වූ එම කන්දේ එක් විශාල ගල් පර්වතයක් නන්දසිරි පවුල ජීවත් වූ නිවසට පතිත වීමේ දැඩි අවධානමකින් පැවතීමයි. අවසානයේ තම වාසස්ථානය හැර යාමට ඔවුනට සිදු විය.

දින කීපයක් ඥාතීන්ගේ නිවෙස් මේ නන්දසිරි පවුලට හෙවනක් වුවද සදාකල්ම ඔවුන්ට නවාතැන් දෙන්නට එම ඥාතීන්ද අපොහොසත් විය. අවසානයේ ඔවුන් තෝරා ගත්තේ අතීත මීමුත්තන්ගේ නවාතැනයි. එනම් බලංගොඩ මැද්දේකන්ද ප්‍රදේශයේ පිහිටි ගල්ගුහාවක නවාතැන් ගැනීමට ඔවුහූ තීරණය කළහ.

ඔවුන් ප්‍රසන්න පරිසරයක ජීවත්වීමට කැමති මනුෂ්‍යයෝය. දරු මල්ලන් සමඟ ඉඩකඩ සහිත වටපිටාවක, නෙත් ප්‍රිය දසුන් සමඟ ජීවිතයේ ඉතිරි කාලය ගෙවා දැමීමට ඔවුන්ද කැමතිය. නමුදු විජිත නන්දසිරි මහතාට, ඔහුගේ බිරිඳට ද දාසය හැවිරිදි දියණියට හා එකොළොස් හැවිරිදි පුතුට ජීවත් වන්නට සිදු වූයේ ගල් ගුහාවකය.

"අපි හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ. මෙතන මිනිස්සුන්ට ඉන්න පුළුවන් තැනක් නෙමෙයි. රෑ වෙද්දි ළමයි කෑගහනවා බයයි කියලා. මට වැඩිවිය පැමිණි දුවෙකුත් ඉන්නවා. හරියට වැසිලිකි කැසිකිලි පහසුකම්වත් නැහැ. තාවකාලිකව හදාගත්ත තැනකටයි වැසිකිලි යන්නේ. ඔක්කොම දේවල් ඉවසගෙන ඉන්න පුළුවන්. ඒත් මරණ බය ඉවසගෙන ඉන්න බැහැ. මෙතනට පොඩි පොඩි විෂ සත්තු එනවා. සර්පයෝ එනවා. මෙට්ටෙ උඩ, රෙදි අස්සේ සර්පයෝ ඉඳලා තියනවා. ඒ සර්පයෝ ළමයින්ගේ අතටත් අහුවෙලා තියනවා. ඇස් දෙක පියාගන්නෙත් බොහොම බයෙන්."

විජිත නන්දසිරි තමන් ගත කරන දිවියේ කටුකත්වය වචනයට හැරෙව්වේ එසේය. ඔහු කියූ එක්තරා වචන පෙළක හිත නතර වුණි. සියලු දුක්ගැහැට ඔවුනට ඉවසිය හැකිය. නමුදු මරණ බය ඔවුනට ඉවසිය නොහැකිය. රුදුරු ගොර සතුන්ගෙන් ගහන ඝණ වනාන්තරයේ ජීවත් වීම අතිශය කටුකය. මරණ බය පෙනි පෙනී ඒත් සමඟ ජීවිතය ගත කිරීමට ඔවුනට සිදු වී ඇත. එසේ ජීවත් වනවිට මරණ බය තම නවාතැනට පැමිණියහොත් ඔබට කුමක් සිතෙයි ද?

" දවසක් ගල්ගෙයි ඇතුළට නයෙක් ආවා. ඌව එළවන්න කොච්චර උත්සාහ කළත් හරි ගියේ නැහැ. ඉතින් අපි ගල්ගුහාව එහා පැත්තට වෙන්න ගල්තලාවක අට්ටාලයක් ගහගෙන ජීවත් වුණා. ඒ ගල්තලාවේ තැනකින් පැලුමක් තියනවා. දවසක් කළුවරේ යනකොට මගේ නෝනා එතනින් වැටුණා. තාමත් නෝනගේ අතටයි කකුලටයි බෙහෙත් බඳිනවා. ඒ නයා යනතුරුම අපිට ඉන්න වුණා. දැන් ඒ නයා ගිහින් ඒ ළඟ වෙන ගලක් අස්සේ ඉන්නවා."

ඔවුන්ගේ ජීවිතය එහෙමය. ජීවිතයට එන ගැහැට සම සිතින් විඳදරා ගෙන නන්දසිරි පවුල ජීවත් වෙයි. මරණ බය පෙනි පෙනී ජීවත් වීම ඔවුන් ජීවිතය නමින් හඳුන්වයි. කලක් නාය යාම් අවදානම නිසා මරණය අභියස ජීවත් වූ ඔවුන් සොයා ගත් නවාතැන ඊටත් වඩා භයානකය.

නන්දසිරි පවුලේ පියා වන විජිත නන්දසිරි මහතා වෘත්තියෙන් ගොවියෙකි. බතින් බුලතින් එතරම් අහේනියක් මේ පවුලට නැති වුවද රුදුරු සතුන් සමඟ ගල්ගුහාවක ඔවුනට ජීවත්විය නොහැකිය. මේ වන විට වසර දෙකකට අධික කාලයක් ඔවුහු එහි ගත කරමින් සිටිති. මෙතරම් කාලයක් ඔවුනට කිසිවෙකු පිහිට නොවූයේ මන්ද? රජය මැදිහත්ව ඔවුනට පිළිසරණක් නොවූයේ මන්ද? ගමේ සමිති සමාගම් ඔවුනගේ වාසස්ථාන ප්‍රශ්නයට පිළිතුරු සොයා නොදුන්නේ මන්ද? මේ සියල්ල ගැටලුය. ඒ සඳහා විජිත නන්දසිරි මහතා පිළිතුරු දුන්නේ මෙසේය.

"අපිට ගෙයක් ගන්න මම ගියෙ නැති තැනක් නැහැ. කියන්න ඕනේ හැම නිලධාරියෙක්ටම කිව්වා. ඒවායේ ලිපිගොනු තාමත් මං ළඟ තියනවා. ඉහළින් ඒවට පිළිතුරු එවනවා. ඒත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මෙහාට එවා එන්නෙ නැහැ. ග්‍රාමසේවක මහත්තයා මැදිහත් වෙලා ගොඩනැඟිලි පර්යේෂණ වාර්තාව ගත්තා. ඒක එන්නත් මාස 5ක් විතර ගියා. "

ලංකාවේ රාජ්‍ය සේවය කවදත් එසේය. කාර්යක්ෂම විය යුතුම තැන ඔවුන් අකාර්යක්ෂම වෙයි. වසර දෙකක් තිස්සේ ඔවුන් ඉහට උඩින් වහලක් සෑදීමට නොගත් උත්සාහයක් නැත. නොකී කෙනෙක් ද නැත. අවසානයේ ඔවුනට එක්තරා විසඳුමක් ලැබී ඇත.

සබරගමු පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියට මේ නන්දසිරි පවුල ගැන දැන ගන්නට ලැබී ඇත. පසුගිය 15 වැනිදා ආණ්ඩුකාරවරිය නන්දසිරි පවුල වෙසෙන ගල්ගුහාව වෙත ගොස් තොරතුරු විමසන ලදී. අවසන මසක් තුළ ස්ථීර නිවසක ඔවුන්ව පදිංචි කරන බවට ඇය පවසන ලදී. මේ වන විට ඔවුනට ඉඩමක්ද ලැබී ඇති අතර ඉදිරියේදී එහි නිවසක් ඉදිකිරීමට නියමිතය.

ඛේදවාචකය වන්නේ නන්දසිරි පවුල වසර දෙකකට ආසන්න කාලයක් ගල්ගුහාවක දිවි ගෙවීම නොව අන්ත අසරණ දුක්විඳිනා නන්දසිරි පවුලට සේම එවැනිම වූ අනෙකුත් පවුල් සඳහා මෙතෙක් රාජ්‍ය මැදිහත් නොවීමය. සත්මහල් ප්‍රසාදවල සිට ප්‍රජාතන්ත්‍රවාදය ගැන, රටේ අඩුපාඩු ගැන විවේචනය කරනා ඇත්තන්ටද, ඔවුන් හා සැබැදි සියලුම රාජ්‍ය ආයතනවල ඇත්තන්ටද, දෑස් ලැබී ඇත්තේ වසර දෙකකට පසුවය. නන්දසිරි පවුල පිළිබඳ මාධ්‍ය මඟින් ප්‍රචාරය කළ පසු ඔවුන්ට දෑස් ලැබී ඇත. එසේ නැත්නම් දෑස්වලට දෘෂ්ටිය ලැබී ඇත. කියන්නට ඇත්තේ මෙපමණකි. ලෝකය දිනෙන් දින ඉදිරියට යන විට, තාක්ෂණයෙන්, සංවර්ධනයෙන්, හිනිපෙත්තටම යන විට පරම්පරා තුනක් තිස්සේ

" සංවර්ධන වෙමින් පවතින" ලේබලය ගැසූ රටක අන්ත අසරණ පවුල් ගල්ගුහාවල ජීවත් වන්නට සිදුවන රටක උපදින්නට ලැබීමද, ඒ ඛේදවාචකයන් දෑසට දකින්න ලැබීමද අවාසනාවට කාරණයකි.

[නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා