වසරක් තිස්සේ දුක් විඳින මිනිසුන්

 ඡායාරූපය:

වසරක් තිස්සේ දුක් විඳින මිනිසුන්

2017 වසරේ මැයි මස 26 වන දින පාන්දර යාමය. මහ වරුසාවක සීතල සමඟින් අත්වැල්තොට ග්‍රාමයේ සියල්ලෝම පසු වූයේ තද නින්දේය. භද්‍රාවතීගේ පවුලේ උදවියද උන්නේ තද නින්දේ පසුවෙමිනි. එක් වරම මහා විශාල පිපිරුම් හඬක් නැගුණි. මොහොතකින් ඇසු⁣ණේ මිනිසුන්ගේ විලාප හඬවල්ය. "අනේ අපිව බේරාගන්න " යැයි පැවසෙන අඳෝනාවල්ය. එදා රාත්‍රිය මුළුල්ලේ ඇද වැටුණු වර්ෂාව මැයි මස 26 වන දින උදෑසන 5.30 පමණ වෙද්දී ජීවිත නවයක් මරු තුරුලට ගෙන⁣ ගොස් තිබිණි.

අත්වැල්තොට ග්‍රාමයේ සිදු වූ නාය යෑම් ඛේදවාචකය ජීවිත බිලි ගත්තේ එලෙසය.

"අපේ ගේ තියෙන්නේ කන්ද මුදුනේ. සද්දෙට ඇහැරිලා බලනකොට හැම තැනම පස්, මඩ පාට වතුර ගලනවා. මහා විනාශයක් වෙලා ඉවරයි." ඒ කඳු මුඳුනේ නිවස පිහිටි යන්තමින් දිවි ගලවා ගත් භද්‍රාවතීගේ හඬයි.

එලෙස ජීවිත අහිමි වෙද්දී කලවාන මතුගම ප්‍රධාන මාර්ගය අඩි ගණනාවක් උසට පස් වලින් වැසී තිබිණි.

දැන් එම ඛේදවාචකය සිදුවී වසරකට ආසන්න කාලයක් ගෙවී යමින් තිබේ. එසේ නායගිය ස්ථානය ඛේදවාචකය සිදුවීමට පෙර අවදානම් කලාපයක් ලෙස නම් කල ස්ථානයක්ද නොවේ. දශක ගණනාවක් තිස්සේ තම දරු පවුල් සමඟ ගෙවල් දොරවල් හදාගෙන අහිංසකව ජීවත් වෙන ගම් වැසියන් පිරිසක් එම ප්‍රදේශයේ ජීවත් වේ. මෙම සිදුවීමෙන් පසුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මඟින් ලබා දුන් වාර්තාවක් අනුව අදාල ප්‍රදේශයේ ජීවත් වූ පවුල් හතලිහක් පමණ එම ප්‍රදේශයෙන් ඉවත් කර තිබුණේ නායයෑම් සඳහා දැඩි අවදානම් කලාපයක් ලෙස එම ප්‍රදේශය නම් කරමිනි.

එසේ ඉවත් කිරීමෙදී රජයෙන් මාස හයක කාලයක් සඳහා ගෙවල් කුලී වශයෙන් මුදල් ලබා දී තිබුනද ඉන් පසුව එයද ඇනහිට තිබේ. පසුව රාජ්‍ය නොවන සංවිධානයක මැදිහත්වීමෙන් අසරණ වූ මේ පවුල් සඳහා ලෑලිවලින් සකස් කළ නිවාස තනාදී ඇත. ඒ සඳහා තවකාලිකව ඉඩකඩම් ලබාදී ඇත්තේද ගමේ හිතවත් ජනතාව විසිනි. කිසිඳු පහසුකමක් නොමැතිව ඒ අසරණ පවුල් අද ගෙවන්නේ බොහෝ දුක්ඛිත දිවියකි. ඇති හැකි පිරිස ඉඩකඩම් රැගෙන අමාරුවෙන් හෝ නැවත නව නිවෙස් තනවා ගනිද්දී එදා වේල අමාරුවෙන් හරි හම්බු කර ගන්නා අසරණ පවුල් තවමත් ඒ ලෑලි නිවෙස් වල කිසිදු පහසුකමක් නොමැතිව අසරණව දිවි ගෙවති. බලධාරීන් බලා සිටින්නේ ඔවුන් නැවත අවධානම් කලාප⁣යේ නිවෙස්වල පදිංචියට ගොස් තවත් ජීවිත ගණනාවක් අහිමි වෙන තෙක් දැයි නොතේරේ.

"රජයෙන් අපිට ෆ්ලැට් ගෙවල් ⁣හදලා මේ අවුරුද්දේ පෙබරවාරිවල යතුරු බාර දෙනවා කිව්වා , තාම මුල් ගලක්වත් තියලා නෑ. ඉඩකඩම් හොයා ගන්න, ඒ සඳහා වන්දි මුදල් දෙන්නම් කිව්වා. ඉඩම් හොයාගත්තම කියනවා එ්වායේ රජය බලාපොරොත්තු වෙන ප්‍රමිතිය නැතිලු. ප්‍රාදේශීය ලේකම්තුමා හමුවුනාම කියනවා හැමදේටම සල්ලි පාස්වෙලා කියලා. හැබැයි තවම කිසිඳු ප්‍රතිචාරයක් නෑ. අපි හැමදාම ගිහින් රස්තියාදු වෙනවා. හැමකෙනාම දුප්පත් අහිංසක අපිටම තමයි මෙහෙම කරන්නේ,, අපිට අඩුම තරමේ ඉඩම් කෑල්ලක් හරි ලැබෙනවා නම් ඇති මහත්තයෝ. යන්තම් වහලක් අටෝගෙන ජීවත් වෙන්න අපිට පුළුවන්."

ඒ මේ දුප්පත් මිනිසුන්ගේ හඬයි.

බලධාරීන්ගේ දෑස් විවර නොවන මොහොතක සංවේදී හදවත් ඇත්තන්ගේ හෝ දෙනෙත් විවර වෙන බලාපොරොත්තුවෙන් මේ සටහන තැබේ.

සමුගෙන එන මොහොතේ ඔවුන් පැවසූ වදන් හදවත ශෝකයෙන් පුරවාලීය.

" අපිත් ඒ නායටම අහුවෙලා පොලවට පස් වෙලාම ගියා නම් හරි මහත්තයෝ. එහෙනම් මෙහෙම දුක් විඳින්න උවමනා නෑනේ."

සිතීම ඔබට භාරය.

[ගිම්සර මධුරංග]

ඡායා [භාග්‍ය චතුරංග]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?