මාවතේ ජීවිතවලට සෙවණක් ගෙනා ඇත් පවුරේ ශාන්ත

 ඡායාරූපය:

මාවතේ ජීවිතවලට සෙවණක් ගෙනා ඇත් පවුරේ ශාන්ත

තුන් දිනක් තුළ බත් හුළක්
කහට උගුරක් හෝ නොලත්
වීදි දරුවෙක්...
සිත් තොසින් ගෙන සිතියමක්
කඩා කෑවා
ආසියාවෙන් බාගයක්

කොළඹ යුගයේ කවියන් ලංකාවේ දරිද්‍රතාවය දුටුවේ එසේය. බඩගින්න නිවාගන්නට ඔවුනට ආසියාවෙන් භාගයක් කඩාගෙන කෑවත් මදිය. කලාන්තරයක පටන් "සංවර්ධන වෙමින් පවතින" යැයි ලේබලයක් යටතේ නම් කරන ලද ශ්‍රී ලංකාවේ එකල මෙකල කියා වෙනසක් නැත. දරිද්‍රතාවය තුන්කාලයටම කුඩා පොදු ගුණාකාරයක් වෙමින් වැසියන් දිනෙන් දින පීඩාවට පත් කරමින් සිටින්නේය.

එවන් රටක උපතින්ම නැති බැරිකම දෝත දරාගෙන සපැමිණ නැති බැරි මිනිසුන් සමඟ එකට ගැටෙමින් ජීවත්ව ඒ නැති බැරි මිනිසුන් වෙනුවෙන්ම යමක් කරන්නට කෙනෙක් කැප වන්නේ ද, ඔහුගේ හෝ ඇයගේ සත්ක්‍රියාව අගය කළ යුතුමය. මේ වෘත්තාන්තය දිගහැරෙන්නේ එවන් අපූරු මිනිසෙකුගේ අපූරු ක්‍රියාවක් වස්තු විෂය කොට ගෙනය.

ඔහු නමින් එස්.ආර්.ඩබ්ලිව් ශාන්ත කුමාරය. උපන් ගම විජිතපුර. උපතින්ම දරිද්‍රතාවයෙන් මිරිකී ගිය පවුලක උපත ලද ශාන්තගේ පියා ආබාධිතය. කුඩා කළ පටන්ම ශාන්තගේ රැකියාව වුණේ තම ආබාධිත පියා සමඟ ගෙන් ගෙට ගොසින් අතපාමින් ජීවිතය අයැදිමය. එහෙත් වයසින් මුහුකුරා යන ශාන්තට මේ ක්‍රමය වෙනස් කරන්නට අවශ්‍ය විය. ඔහු දුප්පත්කම තුරන් කරන්නට අවශ්‍ය මාර්ග සොයන්නට විය. ඒ තමාට පමණක් නොව දරිද්‍රතාවයෙන් පීඩාවිඳින තමා වැනිම වූ මිනිසුන් සියල්ලන්ටම ජීවිතයේ යම් හැරවුල් ලක්ෂයක් සනිටුහන් කිරීමට ඔහුට හැකි විය.

"පොඩි කාලේ ඉඳන්ම අපි ගෙවල්වලට ගිහින් නැති බැරිකම් කිය කිය මිනිස්සු දෙන දේවල්වලින් ජීවත් වුණේ. කාලයක් ගිහින් මට ඕනේ වුණා මේක නතර කරන්න. හිඟා කාලා ජීවත් වෙන එක නතර කරලා මම විජිතපුර සරත්චන්ද්‍ර ට්‍රේඩර්ස් කියන කඩේ පත්තර විකුණන්න පටන්ගත්තා. මේ කාලෙදි තමයි මට හිතුණේ අපි වගේම හිඟා කාලා ජීවත් වෙන අසරණ මිනිස්සු ටිකක් එකතු කරලා ගම්මානයක් හදන්න. ඉතින් වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ මහත්තුරුන්ට මේ කතාව කිව්වාම එයාලා අලිවංගුවේ මේ ඉඩමේ ඉන්න පුළුවන් කියලා කිව්වා. මුලින්ම පවුල් තුනයි හිටියේ. දැන් මේ ගමේ පවුල් තිහක් විතර ඉන්නවා. "

මේ සත්ක්‍රියාවට මුලපිරූ හැටි ශාන්ත රැසට කිව්වේ එසේය. මේ "ඇත්පවුර" ගම්මානයේ ජීවත් වන පිරිසෙන් අතිශය බහුතරයක ජීවනෝපාය වී ඇත්තේ සිඟමන් යැදීමය. මින්නේරිය, පොලොන්නරුව, පානදුර, ගාල්ල යන රටේ සතර දිබ්බාගයෙන්ම පැමිණි මිනිසුන් මේ ගම්මානයේ ජීවත් වී තිබේ. ඔවුන් තුනවේල බඩකට පුරා කෑමට තරම් හරි හමන් අහරක් දින ගණනාවකින් දැක නැත. දුප්පත්කමෙන් ඉහත්තාවටම පැමිණි පවුල්වල ඉපදුණු ඔවුන්ට උපතින්ම උරුම වී ඇත්තේ අනෙකෙකුට අත පා ජීවත් වීමය. ඉන්නට හිටින්නට ඉහට උඩින් වහලයක් නැති ඔවුන් පැල්පත් තුළ අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් ජීවත්ව තිබේ.

ශාන්ත කුමාරගේ මූලිකත්වයෙන් ආරම්භ කළ මෙම ගම්මානයේ මේ වන විට පවුල් 30ක 147 දෙනෙකු පමණ ජීවත් වෙයි. මූලික අවශ්‍යතාවයන්වත් සපුරාගන්නට තරම් වත්කමක් නැති මේ මිනිසුන් දරිද්‍රතාවයෙන් හෙම්බත් වී ජීවිතය ජීවත් කරවන්නට මාර්ග සොයමින් සිටී.

"පොඩියට ගෙවල් හදලා මේ අයව, පදිංචි කළා. හොඳ නරක කියලා දුන්නා. අරක්කු බිලා රණ්ඩු සරුවල් කරන එක නවත්තලා ඉස්කෝලවලට යන්නේ නැති

කීපදෙනෙක් ඉස්කෝලවලට යවලා, හිඟමනේ යන එකට අමතරව පොල් කඩන්න, යකඩ එකතු කරන්ඩ ලස්සන පිංතූර විකුණන්න හුරු කෙරුවා. ඒ අතරදී අකුරු ලියන්න දන්න අය ළඟට ගිහින් මැති ඇමතිවරුන්ට ලියුම් ලියවගෙන ගිහින් කිව්වා. මම ළඟ තියෙනවා එහෙම ලියපු ලියුම් තුන්දාහක් විතර. මේ අයට ගෙවල් හදාගන්ඩ වතුර ගන්න, ලයිට් ගන්න උදව් කරන්න කියලා. පස්සේ හාමුදුරු කෙනෙක් පන්සලෙන් අයින් කරපු කැඩුණු බුදු පිළිමයක් අරගෙන ඇවිත් බෝ ඇට ගෙනල්ලා පැළ කරලා කුඩා මඩුවක් හදලා ගමේ අයට වැදුම් පිදුම් උගන්නලා හොඳ මිනිසුන් බවට පත් කළා. හදන්න බැරි කීපදෙනෙක් ගමෙන් එළවලාත් දැම්මා. "

ශාන්ත ටිකෙන් ටික මේ යාචක ජීවිතවලට ජීවත් වන්නට බලාපොරොත්තු පෙළ ගැස්වූවේ එසේය. ශාන්ත මේ සියල්ලම කරන්නේ කිසිදු ලාභ ප්‍රයෝජනයක් පිණිස නොව සියල්ලන් සමඟම හොඳ පුරවැසියන් ලෙස ජීවත් වීමේ අභිප්‍රායෙන්ය.

ඒ සියල්ලම එසේ සිදුවෙමින් පවතින විට අලිවංගුව වැසියන්ට ඊළඟට මුහුණ දීමට සිදු වූයේ තමා මෙන්ම මේ මනුස්ස ලෝකය තුළ ජීවත් වන්නා වූ මිනිසුන් වී ඉපදුණු තිරිසනුන්ගේ ගැහැටයි. ඔවුනට බඩගින්න ඉවසා දරාගෙන සිටිය හැකිය. ඒ ඉපදුණු දා පටන් ඔවුන්ගේ තනි නොතනියට සිටින්නේ කුසගින්න පමණක් නිසාම ය. ඔවුන්ට ගිනි කාෂ්ටක අව්වට පිච්චෙමින් හෙන ගහන වැස්සට තෙමෙමින් හිසට වහලක් නැතිව ජීවත් විය හැකිය. එහෙත් මිනිසුන් මෙන් සිටිනා නොමිනිසුන්ගේ නොමනා ක්‍රියාවන් ඔවුන් විඳදරා සිටින්නේ කෙසේ ද?

" බබාලා හම්බෙන්න ක්ලිනික් එකට ගියාම මිසීලා අපිව කොන් කරනවා. අපි ළමයි දෙතුන් දෙනෙක් හැදුවාම මිසීලා අපිට කියනවා කරල් දාගන්න ඔයාලට ළමයි හැඳුවා කියලා දෙන්න බූදලයක් නැහැ

කියලා. අපේ ළමයින්ට බෙහෙත් විඳින්න ගියාම වලස්වැව ගමේ අයගේ කාඩ් ටික මුලින්ම අරගෙන එයාලට බෙහෙත් විදිනවා.

ඊටපස්සේ අපේ ළමයින්ට බෙහෙත් විදින්න බැහැ බෙහෙත් ඉවරයි කියනවා. මේ වගේ පස් හය වතාවක්ම ළමයින්ව ආපහු අරන් ඇවිල්ලා තියනවා. එයාලා අපිට මෙහෙම කරන්න ඇත්තේ අපේ දුප්පත්කම නිසා වෙන්නැති."

එසේ කියන්නේ අලිවංගුව ගම්මානයේ වෙසෙන ජීවා කුමාරි නම් තෙදරු මවයි. තමාට පමණක් නොව තම කිරිකැටියන්ටද ඔවුන් කරන්නා වූ නොපනත්කම් ඒ ගැහැණු හිත් ඉවසා දරා සිටින ආකාරය පුදුම සහගතය. ඒ සියල්ලටම මුල ඔවුන් දුප්පත්ව ඉපදීම යැයි ඈ නිගමනය කරන්නීය.

අලිවංගුව ගම්මානයේ වැසියන් සියලුදෙනාම පාහේ පාසල් අධ්‍යාපනයක් නොලද පිරිසකි. ශාන්ත කුමාර කියූ පරිදි මරණාධාර සමිතියේ නාමලේඛනය තීන්ත වලින් පිරී ගොස් ඇත්තේ කණ අත්සන් වලිනි. මෙම ගම්මානයේ 40කට ආසන්න දරුවන් සියල්ලන්ටමද ඒ ඉරණමම අත් වීමට ඉඩ තිබිණි. නමුත් අදාල බලධාරීන්ගේ මැදිහත් වීෙමන් අලිවංගුව ගම්මානයේ පුංචි මල් කැකුළු දැන් සිත් සේ පාසල් අධ්‍යාපනය ලබයි. ශාන්ත කුමාර කියු පරිදි මේ වන විට අලිවංගුව ඇත්පවුර ගම්මානයට පෙර පාසලක් ද ඇත. එහෙත් එයට මේස හා පුටු නැත. කුඩා දරුවන් මූලික අධ්‍යාපනය ලබන්නේ පොළොව මත ඇතිරූ පැදුරු කඩමාලුවල වාඩි වීය.

අලිවංගුව ගම්මානයේ වෙසෙන පවුල්වලින් බහුතරයක් දෙමහල්ලන් විවාහා වී නැත. වසර ගණනාවක් තිස්සේ එකට එක්ව පවුලක් සේ ජීවත් වුව ද ඔවුන් සතුව විවාහ සහතිකයක් නොමැත. මෙය ප්‍රබල ලෙසම බලපාන්නේ ඔවුන්ගේ දරුවන්ටය. එම දරුවන් පාසල්වලට දැමීමට නොහැකි වන්නේ ඔවුන් සතුව විවාහා සහතිකයක් නොමැති නිසා ය.

මේ වන විට අලිවංගුව ගම්වාසීන්ගේ යම් යම් ගැටළු රජය මැදිහත්ව නිරාකරණය කරමින් පවතියි. ඔවුන්ගේ මූලික අවශ්‍යතාවයන්ගෙන් එකක් වන නිවාස අවශ්‍යතාවය සපුරා ගැනීමට රජය මැදිහත්ව කටයුතු කර ඇත.

"සජිත් ප්‍රේමදාස මහත්තයා නිවාස ඇමති වුණාට පස්සේ මගේ ඉල්ලීමකට නිවාස 30ක් හදාගන්න උදව් කළා. එක පවුලකට රුපියල් ලක්ෂ පහ බැගින් දුන්නා. ඒ මුදලින් ගෙවල් හදන්න බැරි නිසා වියදම් අඩු කරගන්ට ගමේ පිරිමි අයට පෙදරේරු වැෙඩ් උගන්වලා ඒ අය හරහා ගෙවල් ටික දැන් හදාගෙන යනවා. ගල්නෑව පොලිසිය, ප්‍රාදේශීය ලේකම්තුමා ග්‍රාම නිලධාරීතුමා මේ කටයුත්තේදී මට ගොඩක් උදව් කළා." ශාන්ත තමන්ගේ හිතේ ධෛර්යය ක්‍රියාවට නංවා ඇත්තේ එසේය.

කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොමැතිව ශාන්ත කුමාර තමන් වැනිම වූ අහිංසක අසරණ කොට්ඨාසයකට සිදු කර ඇත්තේ සුළුපටු මෙහෙයක් නොවේ. මහ මග සිඟමන් යදිමින් විවිධ අකටයුතුකම්වල නියැලෙමින් පිරිහෙමින් සිටින මේ මිනිසුන් යහමගට ගෙන ඔවුනට යහපත් පුරවැසියන් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය පහසුකම් සියල්ලම පාහේ ශාන්ත විසින් ලබාදී ඇත.

දැන් ඔවුන්ට ජීවත් වීමට මාර්ගයක් අවශ්‍ය ය. ශාන්ත පවසන පරිදි ඔවුනට ජීවත් වීමට කළ හැකි එකම කාර්යය වන්නේ ගොවිතැනයි. අලිවංගුව ප්‍රදේශයේ පස ගොවිතැනට සුදුසු බැවින් ඒ සඳහා අවශ්‍ය වගා ළිඳක් ඉදිකර දෙන මෙන් ශාන්ත ඉහල බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. ශාන්තගේ ඊළඟ වෑයම වන්නේ අලිවංගුව ප්‍රදේශවාසීන්ට ගොවිතැන පුරුදු පුහුණු කිරීමය.

[නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?