ලසන්ත නිල ඝාතකයින්ගේ නොනිල ගොදුර

 ඡායාරූපය:

ලසන්ත නිල ඝාතකයින්ගේ නොනිල ගොදුර

සන්ඩේ ලීඩර්  හිටපු කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට අදාළව සාක්ෂි වසන් කිරීමේ චෝදනාව මත  අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාල මාර්තු  15 වැනිදා තෙක් යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 2 වෙනිදා  නියෝග කළේය. මෙකී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය  පොලිස්පතිවරයා එවකදී ගල්කිස්ස දිසාව බාරව කටයුතු කළ අතර, ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළව ගල්කිස්ස පොලීසියේ බල අපරාධ  සටහන් පොතේ පිටු ගලවා ඉවත් කිරීම, ඒවා අස්ථානගත කිරීම සහ ලසන්තගේ ක්ෂේත්‍ර සටහන් පොතේ පිටු ඉවත් කිරීම යන චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් ඔහුව අත්අඩංගුවට  ගත්තේ පසුගිය  පෙබරවාරි 14 වැනිදාය. පොලීසියේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු ලෙස අපරාධයක සාක්ෂි විනාශ කිරීම බරපතළ වරදක් බවත්, මෙවැනි ඉහළ නිලධාරියෙකුගෙන් තබා එවැන්නක් සාමාන්‍ය සිවිල් පුරවැසියෙකුගෙන්  හෝ බලාපොරොත්තු නොවිය හැක්කක් බව ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දැඩිව කියා සිටින ලදී.

තිස්සසිරි සහ හේමන්ත

ගල්කිස්ස මූලස්ථාන පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිව සිටි උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාලව අත්අඩංගුවට ගෙන තිබුණේ   ඉකුත්  ජනවාරි 31 වැනිදාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණීමට දැන්වීමෙන්  පසුව ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන අතර දහවල් විවේකයෙන් පසුව ඔහු පැනගොස් ඇත. තිස්සසිරි සුගතපාල එදිනම ඔහුගේ කළුතර නිවසේදී    අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව කටයුතු කර ඇත. එවක ගල්කිස්ස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීව සිටි හේමන්ත අධිකාරීද   අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ප්‍රකාශයක් ලබා දී ඇති අතර,  ඉකුත් පෙබරවාරි  21 වෙනිදා ඔහු ලසන්ත පරීක්ෂණයේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබාදෙන ලදී.

ජයන්ත සහ වාකිෂ්ඨ

අත්අඩංගුවට ගැනුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය  පොලිස්පතිවරයා හෙළිකර ඇති තොරතුරු අනුව එවක සිටි පොලිස්පති ජයන්ත වික්‍රමරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණයට දන්වන ලදී. එහිදී   හිටපු පොලිස්පතිවරයා විසින් තමන්ව අත්අඩංගුවට නොගන්නා ලෙස අතුරු තහනම් නියෝගයක් පෙබරවාරි 20 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, ඒ අනුව පෙබරවාරි 28 වැනිදා අධිකරණය අතුරු තහනම් නියෝග‍යක් නිකුත් කරමින්, ඔහුව අත්අඩංගුවට ගැනීම තාවකාලිකව වළකන ලදී. එමෙන්ම අත්අඩංගුවේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ලබාදී ඇති සාක්ෂි අනුව තමන් එම සටහන් පොත්වල පිටු ඉවත්කර ලබා දුන්ෙන් තිබුණේ එවකට රාජ්‍ය බුද්ධි ප්‍රධානියෙකු සහ ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රධානීව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ඨට බව ප්‍රකාශ කර තිෙබ්. ඒ අනුව   හිටපු  නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ඨව ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව පසුගිය සතියේදී මාධ්‍ය වාර්තා කරන ලදී. එමෙන්ම අපරාධ  පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු පහදමින් සඳහන් කර තිබුණේ මේවන විට ලසන්ත ඝාතනයට අදාලව 950කගෙන්  සාක්ෂි ලබාගෙන ඇති බවත්, ඉන් 295ක පිරිස යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් බවත්ය.

ගෝඨාභයගෙන් පැහැදිලි කිරීම්

මෙකී අත්අඩංගුවට ගැනීම් සහ රහස් ප්‍රකාශවලින් පසුව ඉකුත් සතියේදී හිටපු ආරක්ෂක ලේකම් පුවත්පත් ගණනාවක් සහ ඔහුගේ නිල ෆේස්බුක් ගිණුම් හරහා ලසන්ත ඝාතනය ගැන පැහැදිලි කිරීම් කීපයක් පළකර තිබේ. ඒවායෙහි සඳහන් වන්නේ ලසන්ත ඝාතනය සම්බන්ධව තමන්ට චෝදනා එල්ල කිරීමට වත්මන් රජය ක්‍රියා කරමින් ඉන්නා බවත්, එවකදි යුද හමුදා බුද්ධි අංශ සරත් ෆොන්සේකාගේ අනු දැනුමෙන් ක්‍රියාත්මක වූ බවත්ය. එමෙන්ම ලසන්ත ඝාතනය වෙනුවෙන් එවකදී පාර්ලිමේන්තුව තුළදී   අගමැති රනිල් වික්‍රමසිංහ විසින් සරත් ෆොන්සේකාට ඍජුව චෝදනා කළ බවද, ඒ අනුවම හිටපු කතා නායක ජෝෂප් මයිකල් පෙරේරාද චෝදනා කළ බව එම නිවේදනවල සඳහන් කර තිබේ. මිග් යානා ගණුදෙනුවට අදාලව ලසන්ත වික්‍රමතුංග සන්ඩේ ලීඩර් පුවත්පතේ කළ හෙළිකිරීම් සාවද්‍ය ඒවා වූ බැවින් තමන් එදා ඊට එරෙහිව නඩු මඟට ගොස් එම විරසකය ගෞරවාන්විතව බේරාගත් බවත්, සරත් ෆොන්සේකාට පොලීසිය බාරදීම නරියාට  කුකුල්ලු බාර දීමක් බවත් එහි වැඩිදුරටත් සඳහන් කර ඇත. ලසන්ත ඝාතනයට අදාළව සාක්ෂි වසන් කිරීෙම් ෙචා්දනාවට සැකකරුවන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමත් සමඟ හිටපු අාරක්ෂක ෙල්කම්වරයා බියට පත්ව  ඇති නිසා ෙම ෙලස ප්‍රකාශ නිකුත් කරමින් සිටින බව ඊට ප්‍රතිචාර දක්වමින් විවිධ මාධ්‍ය නොයෙක් මත ඉදිරිපත් කරමින් සිටී.

ලසන්ත ඝාතනය

2009 ජනවාරි 8 වෙනිදා උදෑසන   8.20 ට පමණ පූර්වාරාම පාරේ කන්දෙවත්ත ටෙරස්හි පිහිටි තම නිවසෙන් පිටත්ව තිබේ. ලසන්තට අයත් බත්තරමුල්ලේ   නිවසේ සේවකයෙකු අසනීප බැවින් පළමුව එහි ගොස් බිරිඳ සමඟ සේවකයාට බෙහෙත් රැගෙන දී තිබේ. බෙහෙත් ලබා ගැනීමෙන් පසුව පැමිණීමේදී යතුරු පැදි දෙකක් තම මෝටර් රථය පසුපස එන බව දැක ලසන්ත  ගේට්ටුව ඇතුළට රථය පැදවීමට කටයුතු කර තිබේ. යතුරු පැදි ලසන්තගේ ගේට්ටුව පසුකර ගොස් ඇති අතර, ඉන් ටික වේලාවකට පසුව ඔහු රත්මලානේ කටුකුරුන්දවත්ත පාරේ ලීඩර් කාර්යාලයට යෑමට පිටත්ව ඇත. ඊට පෙර ජපන් මිත්‍රත්ව පාරට ගොස් නීතිඥවරයෙකුද මුණගැසී තිබේ.ලසන්ත සිය මෝටර් රථයෙන් එමින් සිටියදී අවසන් වරට තම ජංගම දුරකථනයෙන් කතා කරමින් පැමිණ ඇත්තේ මලික් සමරවික්‍රම සහ අසාත් සාලි සමඟය. තම රථය පිටුපසින් මෝටර් බයිසිකල් දෙකක් ලුහුබඳින බව 10.21ට පමණ කතා කළ මලික් සමරවික්‍රමට ලසන්ත පවසා ඇති අතර එහිදී මලික් පවසා ඇත්තේ ඒවායෙහි අංක ලියා ගන්නා ලෙසත්, වහාම ආරක්ෂිත ස්ථානයක් කරා යන ලෙසත්ය.

යතුරු පැදි අංක

ඒ අනුව ලසන්ත රථය පදවන අතරතුර තම සටහන් පොතෙහි එම අංක දෙක සටහන් කරගෙන ඇත.ලීඩර් කාර්යාලයට  එමින් සිටි ලසන්ත ඝාතනය වන්නේ උදෑසන 10.30ට පමණ ගල්කිස්ස අත්තිඩියේ මලගල කනිෂ්ඨ විද්‍යාලය ඉදිරිපිට මහපාරේය. එම සිදුවීම ඇසින් දුටු පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට සාක්ෂි ලබා දී තිබේ. පාසල ඉදිරිපිට කහ ඉර අසල බස් රථයක් නතර කළ බවත්, ඒ  අනුව වේගය අඩු වූ ලසන්තගේ මෝටර් රථය ඉදිරිපිට යතුරු පැදි දෙකක් හරස්කළ බවත්, තවත් යතුරු පැදි දෙකක් දෙපස  නතරකර ඉන් බැසගත් පුද්ගලයෙකු කූරක් වැනි යමකින් ඇතුළත සිටි පුද්ගලයාට  අනිනු දුටු බවත් එහිදී  ප්‍රකාශ කර ඇත. හිස සහ මොළය ආශ්‍රිතව සිදු වූ තුවාල සමඟ ලසන්තව වෑන් රථයක් මඟින් කලුබෝවිල රෝහල වෙත, පාරේ ගමන් කළ පුද්ගලයන් කීපදෙනෙකු විසින් රැගෙන ගොස් තිබේ.  
මෙම සිදුවීමට පෙර කන්දෙවත්ත ටෙරස්හි ලසන්තගේ නිවස අසල ඇති කඩය ආසන්නයේ පුද්ගලයන් දෙදෙනෙකු යතුරු පැදියක් සමඟ සිටි බවත්, ලසන්ත නිවසින් පිටත්වනවාත් සමඟම ඔවුන් ලසන්ත පසුපස හඹා ගිය බවත් එහි සිටි ත්‍රීරෝද රථ රියැදුරෙකු කඩ හිමියාට පවසා තිබේ. ලසන්තගේ රියදුරු මද වේලාවකට පසුව කඩයට පැමිණ ඇති අතර සිදුවීම සැලවීමෙන් පසුව ඔහු ලීඩර් කාර්යාලයට ගොස් එහි කළමණාකරුවෙකු වෙත ඒ බව දන්වා ඇත. ඒ වනවිටත් ලසන්ත එහි නොපැමිණ තිබී ඇත.

මරණ පරීක්ෂණය

ලසන්තගේ ශල්‍යකර්මය වෙනුවෙන් මහාචාර්ය මොහාන් සිල්වා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් එහි පැමිණ ශල්‍යකර්ම සිදුකළද, තුවාලවල ඇති බරපතළ තත්වය හේතුවෙන් එදින දහවල් ලසන්ත මිය ගියේය. ශල්‍යකර්මය සිදුකළ මහාචාර්ය වරයා සිය වාර්තාව පශ්චාත් මරණ පරීක්ෂකට ලබාදෙමින් 2009 ජනවාරි 12 වැනිදා ප්‍රකාශ කර ඇත්තේ ලසන්ත ඝාතනය වෙඩි තැබීමකින් සිදු නොවූ බවත්, ශරීරයේ උන්ඩ කොටස් හෝ වෙඩි උන්ඩ පිට වූ ස්ථානයක් ද හමු නොවූ බවයි.  එවක රජයේ රස පරීක්ෂකවරයාද සිය වාර්තාව ලබා දෙමින් ලසන්ත ඝාතනයට හේතුව වෙඩි තැබීමක් නොවන බව වාර්තා කර ඇත. යමකින් අනිනු ඇසින් දුටු සාක්ෂි තිබියදී සහ මහාචාර්යවරයා ඇතුළු රස පරීක්ෂක වාර්තාව එලෙස තිබියදී ලසන්තගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලබා දී තිබී ඇත්තේ එය වෙඩි තැබීමකින් සිදුවූවක් බවටය. එවකට එම පරස්පර විරෝධී  පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලබා දී තිබුණේ වර්තමාන සයිටම් ආයතනයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලෙස කටයුතු කරන වෛද්‍ය සුනිල් කුමාර විසිනි. අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මීට පෙර කියා සිටියේ එලෙස වෙනස් කරන ලද වාර්තාවක් ලබාදීමට මූලික හේතුව වූයේ අදාල වෛද්‍යවරයාට ඉහළින් කළ බලපෑම් හේතුවෙන් බවය.

'බෝල්ට් අවිය'

ඉන් වසර හය හමාරකට පමණ පසුව එනම් 2016 සැප්තැම්බර්  27 වැනිදා උදෑසන 8.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව කළ ඉල්ලීමකට අනුව ලසන්ත වික්‍රමතුංගගේ  සිරුර  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල්  ඉදිරියේ ගොඩගන්නා ලදී.  2017 මාර්තු 20 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කරමින් කොළඹ දිස්ත්‍රික් අධිකරණ වෛද්‍ය අජිත් තෙන්නකෝන්, කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජීන් පෙරේරා  සහ මහනුවර විශේෂඥ වෛද්‍ය ශිව සුබ්‍රමනියම් විසින් සම්පාදිත වාර්තාව ඉදිරිපත් කරන ලදී. එහිදී කියැවුණේ ඝාතකයන් ලසන්තට වෙඩි තබා නොමැති බවත්, විදේශයන්හි ගොවිපලවල බැටලුවන් හා ගවයන් ඝාතනය කිරීමට යොදාගන්නා ' බෝල්ට්අවියකින් ( සතුන්ගේ හිසට තබා තද කළ විට හිස තුළට ගොස් නැවත පැමිණෙන යකඩ උලක් සහිත අවියක්)   කළ පහරදීමක් හේතුවෙන් හිසට සහ මොළයට සිදු වූ මරණීය තුවාල හේතුවෙන් ඝාතනය වී ඇති බවය.

පරීක්ෂණ ආරම්භය

2009 ජනවාරි 8 සිදු වූ ඝාතනය වෙනුවෙන් පළමුව පරීක්ෂණ ආරම්භ කර තිබුණේ ගල්කිස්ස මූලස්ථාන පොලීසිය විසින්  මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ අධීක්ෂණය යටතේය. ඒ අනුව මේ වනවිට අත්අඩංගුවේ පසුවන ගල්කිස්ස මූලස්ථාන පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස හෙට්ටිආරච්චිගේ තිස්සසිරි සුගතපාල විසින් පරීක්ෂණ පළමුව ආරම්භ කර තිබේ. ලසන්ත ඝාතනය වී තිබූ ස්ථානයට ගොස් සාක්ෂි සටහන් කරගෙන තිබූ අතර පොලිස් පරීක්ෂක ලලිත් වීරසිංහ ද එයට සහාය වී තිබේ. ලසන්තගේ රථයේ තිබූ ඔහුගේ ක්ෂේත්‍ර සටහන් පොත ඇතුළු දේපළ වීරසිංහ විසින් පොලිස් කුවිතාන්සි පිටු අංක 101/09 යටතේ ඇතුළත් කර තිබී ඇත. ලසන්තගේ සටහන් පොතේ පිටු 160කින් පිටු 126ක යම් යම් දේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියා තිබී ඇති අතර, එම සටහන් පොතේ ඉදිරිපස සහ පිටුපස පිටුවල වාහන අංක දෙකක් සටහන් කර තිබී ඇත. එම සටහන් පොත  පොලිස් නඩු භාන්ඩ පොතේ කුවිතාන්සි අංක  154/09 යටතේ තිස්සසිරි සුගතපාල විසින් නඩු භාන්ඩයක් ලෙස ඇතුළත් කර තිබී ඇත. අදාල අංක දෙක පිළිබඳව ලසන්තගේ පවුලේ ඥාතීන් ප්‍රකාශ කළ කරුණු අනුව ඒවා යතුරු පැදි අංක බවට සැක කළ සුගතපාල ඒ පිළිබඳව පොලිස් බල අපරාධ සටහන් පොතේ ඒ බව සඳහන් කර ඇත. ඒ ඔස්සේ පරීක්ෂණ කිරීමේදි ඉන් එක් යතුරු  පැදියක් ජා ඇල සහ අනෙක බොරලැස්ගමුවේ බව අනාවරණය වී තිබේ.

සාක්ෂි විනාශ කිරීම

බොරලැස්ගමුවේ යතුරු පැදිය සෙවීමට යෑමේදී සුගතපාලට දුරකථනයෙන් අමතා ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී පවසා ඇත්තේ ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානයක්කාර හමුවීමට දැන්වූ බවත් එහි යෑමට තමන් සමඟ පැමිණෙන ලෙසත්ය. ඒ අනුව ඔවුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හමු වී ඇති අතර, එහිදී ලසන්තගේ සටහන් පොත පරීක්ෂා කර තිබේ.  එහි තිබූ සටහන් හා එවකදී ලීඩර් පුවත්පත මඟින් අනාවරණය කළ  ආන්දෝලනාත්මක   හෙළි කිරීමකට අදාල නඩුවක තොරතුරු දුරකථනය මගින් එවක පොලිස්පති ජයන්ත වික්‍රමරත්නට දන්වා  ඇති අතර, ලසන්තගේ සටහන් පොත තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා තිබේ. එහිදී සුගතපාල විසින් එම සටහන් පොත හමුවීම පිළිබඳව  ගල්කිස්ස පොලිස් බල අපරාධ පොතේ සටහන් කර ඇති බව දන්වා ඇත. එහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එහි පිටු ඉරා තමන් වෙත ලබාදෙන ලෙසය.  අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් හෙළිකරගත් මෙම කරුණු බී/ 92/01/08 යටතේ  අධිකරණය හමුවේ  කරුණු වාර්තා කරන ලදී.
 

පරීක්ෂණ සීඅයිඩීයට...

ලසන්ත ඝාතනය පිළිබඳව  අධිකරණය හමුවේ මෙතෙක්  හෙළි කෙරුණු වැඩිදුර කරුණු හෙට දිනයේදී මෙම ලිපියේ දෙවන කොටසින් බලාපොරොත්තු වන්න.