සුදු වෙන්න හිතන උන්මාදයෙන් මිදෙන්න

 ඡායාරූපය:

සුදු වෙන්න හිතන උන්මාදයෙන් මිදෙන්න

ලියක මහිම බල ගෝමර ඉසීලා... එසේ කීවේ බොහෝ කලකට පෙරදීය. වර්තමානයේ බොහෝ යුවතියන් සිහින දකින්නේ සුදුම සුදු පාට සමක් ලබාගැනීමටය.

‘‘සුදු හම වඩා හොඳයි කියලා හිතන එක ලංකාවට විතරක් පොදු දෙයක් නෙවෙයි. ලෝකයේ බොහෝ රටවල අය සුදු හම වඩා හොඳයි කියලා හිතනවා. විශේෂයෙන් සුදු පාට සමක් තියෙන චීන ජාතිකයන් අතර පවා මේ සම සුදු කර ගැනීමේ උන්මාදය තියෙනවා. ඒ විදිහට බලනකොට සුදු වීමට තියෙන කැමැත්ත එක්තරා මානසික රෝග තත්ත්වයක් විදිහට හඳුන්වන්නත් පුළුවන්”

එසේ කියන්නේ ශ්‍රී ලංකා චර්ම රෝග විශේෂඥවරුන්ගේ ආයතනයේ උපසභාපති හා චර්ම රෝග හා රූපලාවන්‍ය අනුකමිටුවේ සභාපති, දකුණු ආසියාවේ රූපලාවන්‍ය සංගමයේ ලේකම්, චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නිරංජන් ආරියසිංහය. එයට හේතුව සම සුදු කර ගැනීමට සිහින දකින බොහෝ කාන්තාවන් ඒ පිළිබඳව දරන ආකල්පයි. සම සුදු කරන ෆෙයානස් ක්‍රීම් භාවිත කරන මෙරට කාන්තා පාර්ශ්වයෙන් සියයට 60කට වැඩි සංඛ්‍යාවක් ඒවා භාවිත කරන්නේ පුද්ගලත්වය වර්ධනය කරගැනීමට, පිරිමින්ගේ ආකර්ෂණය දිනාගැනීමට, විවාහ, රැකියා සහ වෙනත් සමාජමය අවස්ථාවලදී ප්‍රමුඛත්වය ලබාගැනීමට සහ තරුණ බව රැකගැනීම ආදී ප්‍රතිලාභ අපේක්ෂාවෙන් බව ඒ පිළිබඳ කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

අපේ රටේ කාන්තාවන් සුදු වීමට මේ තරම් කැමති ඇයි? සමහර විට එයට හේතුව කාලයක් සුදු පාලනයකට නතුව සිටි රටක වැසියෝ වීම විය හැකියි. ඒ වගේම නිතර දෙවේලේ රූපවාහිනි නාළිකා ඔස්සේ දකින සම සුදු කරවන ආලේප පිළිබඳ වෙළෙඳ දැන්වීම්වල පෙළඹවීම විය හැකියි. එසේ නම්, සම සුදු කරගැනීම බරපතළ ප්‍රශ්නයක් වෙන්නේ කෙසේද? කෙනෙකුට එසේ සිතිය හැකියි. ෆෙයානස් ආලේප භාවිතය නිසා සියයට 20ක් පමණ පිරිසක් චර්ම රෝගවලට ගොදුරු වන බව වාර්තා වී තිබේ.

‘‘මෙහි තිබෙන භයානක තත්ත්වය තමයි තමන් භාවිත කරන ‍ෆෙයානස් ක්‍රීම් වර්ගයේ අඩංගු අහිතකර සංඝටක ගැන බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. සාමාන්‍යයෙන් Cosmetics එහෙමත් නැත්නම් විලවුන් කාණ්ඩයට අයත් වෙන ආලේපවලින් සම සුදුවීම, රුව වර්ධනය වීම ආදී ශරීරයේ ව්‍යුහාත්මක වෙනසක් සිදුවෙන්නෙ නැහැ. එහෙම සම සුදුවීම වැනි සිරුර තුළ වන ව්‍යුහාත්මක වෙනස්කම් සිදුවෙන්නේ Cosmeceuticals කියන කාණ්ඩයට වැටෙන ආලේපනවලින්. එවැනි ආලේපවලින් සමට වගේම සිරුරට අහිතකර බලපෑම් සිදුවෙනවා. සම සුදු කරන එවැනි අහිතකර ආලේපවල අඩංගුවන අමුද්‍රව්‍ය නිසයි ඒවා මේ තරම් භයානක වෙන්නෙ. කවුරුත් දන්න විදිහට කියනවා නම් ඊයම්, ආසනික්, රසදිය සහ කැඩ්මියම් කියන බැරලෝහ තමයි ෆෙයානස් ක්‍රීම් නිෂ්පාදනයට යොදාගන්නේ. ඒ අතරින් රසදිය කියන්නේ ඉතාම අහිතකර ද්‍රව්‍යයක්. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතිය අනුව විලවුන් වර්ගයක රසදිය අඩංගු කළ හැක්කේ කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් 1ක් පමණයි. රසදිය ප්‍රමාණය වැඩිවන තරමට එයින් සිරුරට වෙන බලපෑමත් ඉතා විශාලයි. සම මත දද, කුෂ්ඨ ඇති වීමේ අවම ප්‍රතිඵලවල සිට සමේ පිළිකා සහ ස්නායු පද්ධතියට, වකුගඩුවල ක්‍රියාකාරීත්වයට, හෘදයේ ක්‍රියාකාරීත්වයට මෙන්ම දියවැඩියාව, අධිරුධිර පීඩනය ආදී තත්ත්වයන් ඇතිවීම ආදී භයානක ප්‍රතිඵල ඇතිවීමට ඉඩ තිබෙනවා. මුලින් කිව්වා වගේ මෙහි තිබෙන භයානක තත්ත්වය තමයි තමා භාවිත කරන සම සුදු කරන ක්‍රීම් වර්ගයේ එවැනි අහිතකර සංඝටක අඩංගු බව බොහෝ දෙනා දැන නොසිටීම. බොහෝ දෙනා හිතන්නේ තමා භාවිතා කරන්නේ ශාකසාර නිෂ්පාදනයක් කියලා. ආකර්ශනීය වෙළෙඳ දැන්වීම් නිසා බොහෝ දෙනෙක් රැවටීමට ලක්වෙනවා”

විශේෂඥ වෛද්‍ය නිරංජන් ආරියසිංහ මහතා පවසන්නේ මේ වන විට මෙරට වෙළෙඳපොළේ දේශීය සහ ආනයනික ෆෙයානස් ක්‍රීම් වර්ග 200කට අධික සංඛ්‍යාවක් තිබෙන බවයි. එහෙත් ඒ අතර තිබෙන දේශීය ක්‍රීම් වර්ග පවා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ එස්.එල්.එස් සහතිකය ලබාගෙන නැති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අනාවරණය කළේය.

‘‘අපි විලවුන් සඳහා ප්‍රමිතියක් සකස් කර තිබෙනවා. ඒ ආකාරයට ඒවා නිෂ්පාදනය සිදුවනවා නම් ඒවා භාවිත කිරීමෙන් අහිතකර බලපෑම් ඇති වන්නේ නැහැ. නමුත් ප්‍රමිති සකස් කරන්න මිසක් ප්‍රමිතිය ක්‍රියාත්මක වෙනවාද කියලා සොයා බැලීමට හා එසේ නොකරන අයට දඬුවම් කිරීමට අපේ ආයතනයට බලයක් නැහැ.”

එසේ කියන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධම්මිකා ප්‍රනාන්දු මහත්මියයි. එසේ නම් ඒ බලතල ඇත්තේ කාටද?

‘‘2015 වසරට පෙර රූපලාවන්‍ය හා විලවුන් නියාමනය සිදුවුණේ සෞඛ්‍ය අමාත්‍යංශයට යටතේයි. නමුත් 2015 ජුලි මාසයෙන් පසුව ඒ කටයුත්ත ඖෂධ නියාමන අධිකාරියට පැවරුණා. පසුගිය කාලයේ මෙවැනි අහිතකර ආලේපන රට පුරා ව්‍යාප්ත වූ බවක් පෙනෙන්නට තිබෙනවා. මේ තත්ත්වය වෙනස් කරමින් පසුගිය මැයි මාසයේ 1 වැනිදා පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. ඒ අනුව සමෙහි ආලේප කරන සියලු ක්‍රීම් සහ දියර වර්ග ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සකස් කරනු ලබන ප්‍රමිති පිරිපිතර 743ට අනුකූල විය යුතුයි. ඒ අනුව සමෙහි ආලේප කරන සියලුම ක්‍රීම් සහ දියර වර්ග නිෂ්පාදනය සඳහා යොදාගන්නා බැර ලෝහවලට නිසි සීමාවක් පනවා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 1කට යෙදිය හැකි ඊයම් ප්‍රමාණය මිලිග්‍රෑම් 10ක්, ආසනික් මිලිග්‍රෑම් 3ක්, රසදිය ග්‍රෑම් 1ක් සහ කැඩ්මියම් මිලිග්‍රෑම් 3ක් වනවා. මෙම සීමාව මේකප් ක්‍රීම් සහ දියර වර්ග, ක්ලෙන්සින් ක්‍රීම්, මොයිස්චරියසින් ක්‍රීම් සහ දියර, අනවශ්‍ය රෝම ඉවත් කිරීමේ ක්‍රීම් සහ දියර වර්ග, සන් ක්‍රීම්, ආදිය සඳහා ද අදාළ වනවා. මෙම ප්‍රමිතියෙන් තොරව නිෂ්පදානය කරන, බෙදාහරින සහ විකුණන අයට විරුද්ධව නොවැම්බර් 1 වැනිදා සිට අපි නීතිමය පියවර ගන්නවා”

ඒ පාරිභෝගික කටයුතු අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (තරඟකාරීත්ව ප්‍රවර්ධන) සමන්තා කරුණාරත්න මහත්මියගේ අදහසයි.

‘‘නමුත් පාරිභෝගික කටයුතු අධිකාරියේ අපිට පැවරිලා තියෙන්නේ සීමාසහිත බලයක් පමණයි. පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් වැටලීම් කර ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන අත්අඩංගුවට ගෙන ඔවුන්ට විරුද්ධව නඩු පවරනවා. නමුත් මහේස්ත්‍රාත්තුමාට බලය තිබෙන්නේ ඒ ප්‍රදේශය තුළ වෙළෙදසැල්වල තිබෙන නිෂ්පාදන අලෙවියෙන් ඉවත් කිරීමට පමණයි.

‘‘‍වෙළෙඳපොළේ වැඩිපුරම අලෙවි වන සම සුදු කරන ක්‍රීම්වල අඩංගු රසදිය ප්‍රමාණය ඉතාම ඉහළයි. ඒ අතර එක්තරා දේශීය කාන්තා නමකින් අලෙවි වන ආනයනික ක්‍රීම් වර්ගයක අඩංගු රසදිය ප්‍රමාණය කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් 51752 ක් වෙනවා. ඇතැම් කූඨ වෙළෙඳුන් පිටරටින් ගෙන්වන ක්‍රීම්වලට වැඩි රසදිය ප්‍රමාණයක් දාලා නැවත ඇසුරුම් කරලා ව්‍යාජ ආකාරයෙන් වෙළෙඳපොළට යවන බවටත් අපිට තොරතුරු ලැබිලා තියෙනවා. ඔවුන් උණ කටුවේ තිබෙන රසදිය ටිකත් ගන්න තරම් සූක්ෂ්මයි.”

සමන්තා කරුණාරත්න මහත්මියගේ එම අදහස චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නිරංජන් ආරියසිංහ මහතා ද සනාථ කළේය.

‘‘ඉක්මනින් සුදු වෙන ක්‍රීම් වර්ගයක් නම් නිසැකවම එහි අඩංගු රසදිය ප්‍රමාණය ඉතා ඉහළ අගයක් ගන්නවා. රසදිය කියන්නේ වාෂ්පශීලී ද්‍රව්‍යයක්. සාමාන්‍යයෙන් රසදිය වැඩි ප්‍රමාණයක් අඩංගු ක්‍රීම් එකක පියන ඇරීමම ප්‍රමාණවත් එහි අහිතකර බලපෑමට ලක්වෙන්න. මම හිතන්නේ ගෙදරක ඒ වගේ රසදිය වැඩි සංයුතියක් සහිත ක්‍රීම් එකක් පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා නම් එයත් එක්කම ක්‍රීම් එකත් එළියට විසි කරන එක හොඳයි. රසදිය ඒ තරමටම සිරුරට අහිතකරයි.”

ෆෙයානස් ක්‍රීම්වල අහිතකර තත්ත්වය වටහා ගැනීමට වෛද්‍යවරයාගේ ඒ ප්‍රකාශයම ප්‍රමාණවත්ය. එහෙත් ලස්සනට ඉන්න,සම නිරෝගීව තබාගැනීමට කැමති අයට ආලේප කිරීමට සුදුසු ක්‍රීම් වර්ග ඇත්තේම නැද්ද? කෙනෙකුට එවැනි ප්‍රශ්නයක් ඇතිවීම සාධාරණය.

‘‘මුලින්ම අපේ යුවතියන්, කාන්තාවන් ඇතුළු සම සුදු කරගන්න හිතන කවුරුත් තේරුම් ගත යුතුම කරුණ තමයි අවශ්‍ය වන්නේ සුදු සමක් නොවෙයි නිරෝගී පැහැපත් සමක් කියන දේ. සම අඳුරු වෙන්නේ බොහෝ වෙලාවට හිරු කිරණට නිරාවරණය වීම නිසයි. ඒ නිසා තද හිරු එළියට ඍජුවම සම නිරාවරණය වීමෙන් වැළකිය යුතුයි. ඒ වගේම කිසිම ක්‍රීම් වර්ගයක් දිගින් දිගටම පාවිච්චි කිරීමත් සුදුසු නැහැ. පිළිගත් අලෙවි නාමයක් සහ ප්‍රමිතියට අදාළ ක්‍රීම් වර්ගයක මාස දෙක තුනක් භාවිතා කර ටික කාලයක් එය නතර කර නැවත භාවිත කිරීම ගැටලුවක් නැහැ. ඒ වගේම අපි දකිනවා සමහර අයගේ බෙල්ල, නළල දෙපස , ඉකිලි, කිහිලි ඉතා තද අඳුරු පැහැයක් ගන්නවා. එයට හේතුව සිරුරේ බර නියමිත ප්‍රමාණයට වඩා වැඩි වීමයි. ඒ නිසා සුදු වෙන්න කැමති අය තමන්ගේ සිරුරේ බර නියමිත ප්‍රමාණයට තබාගැනීමට සැලකිලිමත් වීම අවශ්‍යයයි. ඒ හැරුණාම නිසි පෝෂණයත් වැදගත්. දෛනිකව අපි ගන්නා ආහාරවේලෙන් හතරෙන් එකක් කාබෝහයිඩ්‍රේට්, හතරෙන් එකක් ප්‍රෝටීන් සහ හතරෙන් දෙකක් එළවළු විය යුතුයි. ඒ වගේම ප්‍රමාණවත් තරමට ජලය පානය කළ යුතුයි. මානසික සුවතාවය සහ සතුටත් කායික මානසික නිරෝගී බවට ඉතා වැදගත් වනවා.

විශේෂඥ වෛද්‍ය නිරංජන් ආරියසිංහ මහතා නිරෝගී පැහැපත් සමක වටිනාකම එලෙස සඳහන් කළේය. කවුරුන් කෙසේ කීවත් තමා භාවිත කරන ආලේප පිළිබඳ නිවැරදි තීන්දුව ගත යුත්තේ ඒවා භාවිත කරන අය විසින්මය. අඩුම තරමේ තමා භාවිත කරන ආලේපයේ ඇසුරුමේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිර්දේශ කර ඇති කරුණු ඇත්දැයි බැලීමට හා එහි අඩංගු ද්‍රව්‍ය ලැයිස්තුවේ තිබෙන රසදිය, ඊයම්, ආසනික්, කැඩ්මියම් වැනි බැරලෝභ ප්‍රමාණය කොතෙක් දැයි පරීක්ෂා කර බැලීම නුවණැති ක්‍රියාවකි.

‘‘ ඉක්මනින් සම සුදු කරන ආලේපවලින් වන හානිය වළක්වා ගන්න නම් සම සුදු කරගැනීම ගැන තියෙන වැරදි ආකල්ප වෙනස් කළ යුතුයි.” ෆෙයා ලව්ලි කියනවාට වඩා ‘‘නොට් ෆෙයාර් - බට් ලව්ලි “කියලා අපේ යුවතියෝ, කාන්තාවෝ ඇතුළු හැමෝම හිතනාව නම් සුදු වෙන උන්මාදයෙන් ජනතාව මුදවාගන්න පුළුවන්.”

විශේෂඥ වෛද්‍ය නිරංජන් ආරියසිංහ මහතාගේ ඒ වදන්වලින්ම මේ සටහනට නිමාව තබමි. හිතන්න... තීරණය කරන්න... අයිතිය හා නිදහස ඔබ සතුයි.

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා