රූමස්සල 'මස්' නොකරමු

 ඡායාරූපය:

රූමස්සල 'මස්' නොකරමු

ලෝකයේ වැඩිම ගුරුත්වාකර්ෂණ බලයක් සහිත ස්ථානයක් ලෙස රූමස්සල කඳුවැටිය විද්‍යඥයින් විසින් හඳුන්වනු ලබයි. ලොව ප්‍රකට විද්වතෙකු වූ ආචාර්ය ආතර් සී. ක්ලාක් මහතා, මීට වසර කෝටි ගණනකට පෙර පෘථිවිය මතට කඩා වැටුණු උල්කාපාතයකින් රූමස්සල කඳුවැටිය නිර්මාණය වී ඇති බව සඳහන් කර තිබේ. ඇතැම් විද්‍යාඥයින් මෙය සූර්යයාගෙන් කඩා වැටුණු උල්කාපාතයක් ලෙසද හඳුන්වයි.

රාම රාවණා සංග්‍රාමයේදී රෝගී බවට පත් වූ ලක්ෂ්මන් සුවපත් කිරීම සඳහා අවශ්‍ය බෙහෙත් පැළෑටියක් හනුමන්තා ඉන්දියාවේ හිමාල වනයෙන් ගෙන එන ලද බවත් හිමාල වනයෙන් කොටසක් ගෙන ඒමේදී මෙම කඳුවැටියෙන් කොටසක් වැටුනු බවත් එය රූමස්සල කඳුවැටිය වූ බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. උනා වැටුණ ස්ථානය අද ‘ උණවටුන ‘ නමින් හැදින්වේ.

තෙත් කලාපයට ආවේණික ශාක වර්ග මෙන්ම වියළි කලාපයට ආවේණික කටු පඳුරු ශාක වර්ග ද, ශුෂ්ක රූපී ලක්‍ෂණ සහිත ශාක, කඩොලාන විශේෂ, වැලි තලා, මුහුදු වෙරළ ආශ්‍රිත ශාක වර්ග රූමස්සල කන්දේ හා ඒ අවට පරිසර පද්ධතියේ බහුලව දැකිය හැක.

ස්වභාව ධර්මයේ අපූරු නිර්මාණයක් වන මෙහි ඇති දිය පීල්ල කඳු මුදුන මැදින් ආරම්භවී අවසානයේ විශාල ප්‍රමාණයේ වැටකෙයියා ගස් අතරින් මුහුදට ගලා බසින්නේ පිරිසිදු භුගත ජල ප්‍රවාහයක් ලෙසිනි. එකල ගාලු වරායට පැමිණි නැව්වලට පානීය ජලය සපයා දී ඇත්තේත් රූමස්‌සල පිහිටි මෙම ස්වාභාවික දියපාර සහ එහි පිහිටි ළිං මඟිනි. මේ අතර මෙම ස්වාභාවික දිය පීල්ල රූමස්සල ප්‍රදේශවාසීන් ඇතුළු බහෝ දෙනෙකු හඳුන්වනුයේ “ඖෂධ පීල්ල”නමිනි එයට හේතුව වනුයේ මෙම දිය පීල්ල ස්වාභාවික උල්පතකින් මතුව ඔසු පැළ පිහිටි රූමස්සල කඳු මුදුන මතින් පහළට ගලා ඒමේදි එම ඔසු පැළවල මුල් හේදීගෙන පැමිණෙන නිසා එම ජලයට ලෙඩ රෝග සුවකිරිමේ බලයක් ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි. අතීතයේ මෙම දිය පීල්ලට ලෙඩ රෝග සුවකිරිමේ බලයක් තිබු බවට ජනප්‍රවාදයක් පවතින බව එහි සිටින වැඩිහිටි ප්‍රදේශවාසීහු සඳහන් කළහ.

ශ්‍රි ලංකා වරාය අධිකාරිය යටතේ පාලනය වන මෙම භුමි භාගයේ හරහා ගලා එන දිය දහර මුහුදු වෙරළේ සිට මිටර 5 ක් පමණ මෙපිටින් මුහුදු මට්ටමේ සිට මිටර 3 ක් පමණ උසකදි ගල් කුළුවලින් වටවු ස්වාභාවික පොකුණක් නිර්මාණය කර පසුව ගල් අතරින් මුහුදට ගලා බසි.

අද වන විට දෙස් විදේස් සංචාරකයින් නිසා මෙම ස්වාභාවික දිය පීල්ල විනාශ විමේ අවදානමක් මතුව ඇත.

රූමස්සල ලිඳ හෙවත් ඕලන්ද පොකුණ

රූමස්සල කන්දේ වරාය අධිකාරිය යටතේ පාලනය වන ඉඩම් කොටස තුළ ගාල්ල වරායට මුහුණලා මෙම පොකුණ පිහිටා ඇත. වෙරළේ ඉමේ සිට අඩි 10ක් පමණ තරම් ආසන්නයේ මුහුදු මට්ටමේ සිට මිටර ½ක් පමණ උසින් සහ දිග සහ පළල අඩි 50ක් පමණ වන අකාරයේ මෙම පොකුණ පිහිටා තිබේ. ඉතාමත් පිරිසිදු මිරිදියෙන් පිරී ඇති මෙම පොකුණ දැනට ජරාවාස වී තිබුණද දැනටත් ඇත්තේ කරදිය නොවීමද සුවිශේෂ කරුණකි. මුහුදට ආසන්න පිහිටි මෙම පිරිසිදු ජල තටාකය ස්වභාව ධර්මයේ විශිෂ්ට නිර්මාණයකි.

නැගෙනහිර ආසියාව හා අරාබිකරය හරහා යා කරන ලද සේද මාවත ශ්‍රී ලංකාවට දකුණින් වැටී තිබුණු අතර එම සේද මාර්ගයේ ගමන් ගත් රුවල් නැව් සඳහා වූ ප්‍රධාන තොටුපළක් වූයේ ගාලු වරාය වූ අතර ඕලන්ද යුගයට පෙර සිටම එකී රුවල් නැව් සඳහා ජලය ලබාගෙන ඇත්තේ මෙම පොකුණින් බවත් පැවසේ. ඕලන්ද යුගයෙන් පසුව ඉංග්‍රීසි පාලන සමයේදිත් මේ අකාරයට ජලය ලබාගැනීම සඳහා මෙම පොකුණ භාවිතා කරන ලද අතර 1960 පමණ තෙක්ම මෙම ස්ථානයේ භාවිතා කරන ලද මුහුද දෙසට එලූ බට සහ විශාල වතුර මෝටරයක් තිබු බව මෙම ප්‍රදේශයේ ජීවත්වන වැඩිහිටියෝ ප්‍රකාශ කරති.

මෙම පොකුණ වටා ඕලන්ද යුගයේදී විශාල කළුගල් බැම්මක් බැඳ පොකුණ අපිරිසිදු වීම වලක්වා අරක්ෂා කර තිබී ඇති අතර එම ගල් බැම්ම 1965 වර්ෂයේ බලයට පත්වු රජය විසින් රූමස්සල ආශ්‍රිතව වරාය ඉදි කිරීම සඳහා කරන ලද ගල් කැඩීම නිසා ගලවා දමන ලද බව ප්‍රදේශයේ වැඩිහිටියෝ ප්‍රකාශ කරති.

මෙම පොකුණට මඳක් දුරින් පිහිටා තවත් කුඩා ළිඳක් පිහිටා ඇති අතර එහි විෂ්කම්භය අඩි 4 ක් පමණ වු ගැඹුරින් අඩි 5 ක් පමණ වේ. වසර පුරාවම මෙම කුඩා ළිඳ පිටාර ගලන අතර එයද මේ වන විට ඇත්තේ ඉතාම අපිරිසිදු තත්ත්වයකිනි.

පහන් කුලුන

1875 වර්ෂයේදී ඉදි කරන ලද මෙම කුලුන ව්‍යාජ පහන් කණුවක් වන අතර මුහුදින් පැමිණෙන සතුරු යාත්‍රා මුළාකර මුහුදේ ගිල්වා දැමීමට මර උගුලක් ලෙස භාවිතා කර ඇත. ගාලු වරාය දෙසට පැමිණෙන යාත්‍රා සඳහා මඟ පෙන්වන ලද සැබෑ ප්‍රදීපාගාර කුළුණ කොටු පවුර මත පිහිටා තිබෙන අතර මෙහිදි සිදුකර ඇත්තේ සතුරු යාත්‍රා හඳුනාගැනීමෙන් පසු ගාලු කොටු පවුර මත සැබෑ පහන් කණුවේ පහන් නිවා දමා රූමස්සල කන්දේ පිහිටි මෙම ව්‍යාජ පහන් කණුවේ පහන් දල්වා සතුරු යාත්‍රා මුළා කර බෝනවිස්ටා ගල්පරයේ හැපෙන්නට සලස්වා ගිල්වා දැමීමයි. අද වන විට මෙම කුළුණ සංරක්ෂණ නොකිරිම හේතුවෙන් එය කඩා වැටිමේ තර්ජනයට ලක්ව ඇති බව එහි ගිය අපට දක්නට ලැබුණි.

බෝනවිස්ටා පාසල

රූමස්සල කඳු මුදුන ආරම්භයේ පිහිටා ඇති මෙම පාසල 1848 දී පමණ මාක්ස් නැමති පියතුමෙකු විසින් ආරම්භ කර ඇත. අද වන විට වසර 170ක් ගෙවා දමා ඇති මෙම පාසල ඉංග්‍රීසි ඇන්ග්ලිකානු ලංකා සභාව විසින් ඉංග්‍රීසි අධ්‍යාපනය ව්‍යාප්ත කිරීම සඳහා ඉංග්‍රීසි පාසැල් ආරම්භ කිරීම යටතේ දකුණු පළාතේ ගාල්ල නගරයේ ආරම්භ කරන ලද මුල්ම පාසල මෙයයි. මාර්ටින් වික්‍රමසිංහ ඇතුළු විද්වතුන් රැසක් මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ මෙහිය.

ටාංගල

රූමස්සල කන්දේ පිහිටි කුලුනට ආසන්නයේ ඇති විෂ්කම්භය අඩි 7ක් හා උසින් අඩි 5ක් පමණ වන විශාල කළු ගලක් ටාංගල යනුවෙන් හඳුන්වනු ලබයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම ගලට යමකින් තට්ටු කරන විට පිත්තල භාණ්ඩයකට තට්ටු කිරිමේදි නිකුත්වන හඬට සමාන හඬක් නිකුත් වීමයි. මෙම ප්‍රදේශයේ 95% ක් පමණ විශාල කළු ගල් තලාවලින් හා ගල් කුට්ටිවලින් වැසී තිබුණද වෙනත් කිසිදු ගල් කුට්ටියකින් එවන් හඬක් නිකුත් නොවීමයි. මේ වන විටත් ගල පිපිරවීම සඳහා කිසිවෙකු විසින් ගලවටා යටට විඳ ඇති අයුරු එහිදි දැකගත හැකි විය.

කුඹුර

මුහුදු මට්ටමේ සිට මිටර 20ක් පමණ ඉහළින් මුහුදේ සිට මිටර 100ක් පමණ නුදුරින් මෙම කුඹුරු යාය අක්කර 07 කින් පමණ යුක්තය. ජෛව විවිධත්වයට තොතැන්නක් බඳු රූමස්සල කන්දේ පිහිටි මෙම කුඹුරු යාය මහ සයුර ආසන්නයේ කඳු මුදුනක පිහිටීම සුවිශේෂී කරුණක් ලෙස සැලකිය හැකිය.

ජපන් සාම චෛත්‍ය

රූමස්සල කඳු වැටියේ ගාල්ල අන්තයේ තුළ රජයේ ඉඩම් අඥා පනත යටතේ විශේෂ බදුකරයක් ලබාදෙන භූමි භාගයක මෙම ජපන් සාම චෛත්‍ය ස්ථාපිත කර ඇත. ලොව පුරා දැනට සාම චෛත්‍ය 85ක් ඉදිකර ඇති මෙම සංකල්පයේ නිර්මාතෘ අති පුජ්‍ය ගුරුජි නාහිමියන්ය. දැනට ශ්‍රී ලංකාවේ රූමස්සල ඇතුළු ප්‍රදේශ පහක සාම චෛත්‍ය ඉදිකර ඇත.

තවත් බොහෝ ස්ථාන රූමස්සල කන්දේ දැකබලා ගැනීමට ඇත. ඒ අතර බෞද්ධ විහාර, කතෝලික පල්ලියක් සහ හින්දු කෝවිලක් ද ඇත. රූමස්සල කන්දේ උණවටුණ දෙසට නෙරා ඇති තුඩුවේ දෙවොල් දෙවියන්ගේ පුදබිම යනුවෙන් හඳුන්වන ඓතිහාසික වැල්ල දේවාලයද පිහිටා ඇත. ඉන් ඉදිරිපිට ලෝකයේ සුන්දරතම වෙරළ තීරයක් ලෙස පිළිගත් උණවටුණ වෙරළ තීරයද පිහිටා ඇත

සොබා කෙත

මේ අතර රූමස්සල කන්ද ඇතුළත තවත් සුවිශේෂ ස්ථානයක් ද පිහිටා ඇත. ඒ මධ්‍යම පරිසර අධිකාරිය සතු අක්කර එක හමාරක භුමි භාගයක් තුළ පිහිටා ඇති "සොබා කෙත" නමින් හඳුන්වන ලබන ඖෂධිය ශාක සහ ගස්වැල් වලින් පිරි හරිත උයනකි.

රූමස්සල කන්දේ වැදගත්කම, එහි තිබෙන ඖෂධීය ශාක පිළිබඳව සහ පාරිසරික වැදගත් දේවල් පිළිබඳව පාසල් සිසුන්, පරිසර නියමු භට කණ්ඩායම්, රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු පරිසරය පිළිබඳව උනන්දු වන පුද්ගලයින්ට දේශන සහ වැඩමුළු පවත්වනු ලබන අතර ඒ සඳහා දේශන ශාලා ඇතුළු පහසුකම්ද ඇත. මෙම සොබා කෙත හරිත උයනේ ස්ථානභාර නිලධාරියා ලෙස කටයුතු කරන්නේ ජයවර්ධන මහතාය.

"මේ සුන්දර කඳුවැටියේ ඉඩම් ටික කුණු කොල්ලයට විකිණෙනවා. දැනටමත් විදේශිකයන් විසින් කුලුන කන්ද ප්‍රදේශයෙන් විශාල ඉඩම් ප්‍රමාණයක්‌ මිලදී ගෙන තියෙනවා. ඇතැමුන් මෙම ඉඩම්වල පරිසරය විනාශ කරමින් හෝටල්ද ඉදි කරනවා. මේ විදියට ගියොත් රූමස්‌සල අපට අහිමි වේවි. අපි ඉල්ලන්නේ මෙම කන්දේ ගස් කොළන් ටික රැක දෙන්න කියලා" යනුවෙන් සිය අනන්‍යතාව හෙළිකිරිමට අකමැති රූමස්සල කන්දේ පාරම්පරිකව ජීවත්වන පවුලක පුද්ගලයෙක් පැවසීය.

ඔහු පැවසු කරුණ සත්‍යය බව පෙනේ. රූමස්සල කන්දේ ඇවිද යන විට කැලෑ එළිපෙහළි කර ඇති අයුරු,විවිධ හෝටල් සහ සංචාරක නිවාස ඉදිකර ඇති අයුරු හා ඉදිකරමින් පවතීන ආකාරය දැකගත හැක. ඒ අතර විශාල ප්‍රමාණයේ හෝටල් කිහිපයක්ද දක්නට ඇත. එහෙත් සංවේදි පරිසර කලාපයේ ඉදිකිරිම පිළිබඳව එහි ජීවත්වන ජනතාව නම් පවසන්නේ තවත් වසර කිහිපයක් තුළ රූමස්සල නම් සුන්දර කඳුවැටිය කොන්ක්‍රිට් වනාන්තරයක් බවට පත්වීම නොවැලක්විය හැකි බවයි.

[ෆර්හාන් නිසාම්දීන්]

 

මාතෘකා