හැමතැනම ඉන්ෆ්ලුවන්සාව

 ඡායාරූපය:

හැමතැනම ඉන්ෆ්ලුවන්සාව

මේ දවස්වල ගොඩාක් දෙනෙක් අහන්න බය හිතෙන වචනයක් තමයි ..උණ“ කියලා කියන්නේ. එයට හේතු වුණේ පහුගිය දිනවල දකුණු පළාත පුරා ශීඝ්‍රයෙන් පැතිරී ගිය ඉන්ෆ්ලූවන්සා රෝගය. මේ වන විට දකුණෙන් සෙසු පළාත් වෙත ද ව්‍යාප්ත වීමේ අවදානමක් පෙන්නුම් කරන ඉන්ෆ්ලුවන්සා රෝගය එක්තරා භීතිකාවක් බවට පත්වෙමින් තිබෙනවා. හැම උණ රෝගයක්ම ඉන්ෆ්ලුවන්සා ද කියලා සාමාන්‍ය ජනතාව අතර බියක් චකිතයක් ඇතිවී තිබෙන තත්ත්වයක් තුළ ඉන්ෆ්ලුවන්සා රෝගය ගැන නිවැරදි දැනුවත් බවක් ලබාගැනීම සෑම අයෙකුටම වැදගත් වනවා. ඒ පිළිබඳ අප සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වසංගත රෝග විද්‍යා විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මියගෙන් විමසීමක් කළා.

ඉන්ෆ්ලුවන්සා කියන්නේ කුමන ආකාරයේ රෝගී තත්ත්වයක් ද ?

ඉන්ෆ්ලුවන්සා කියන්නේ වෛරසයකින් බෝවන රෝගයක්. ඉන්ෆ්ලුවන්සා ඒ සහ බී ලෙස වර්ග දෙකක් දකින්නට පුළුවන්. ඉන්ෆ්ලුවන්සා බිදිති වශයෙන් තමයි ශරීරයට ඇතුළු වෙන්නේ. ඉන්ෆ්ලුවන්සා රෝගියකු කහින විට, කිවිසුම් යවන විට, හයියෙන් කතා කරන විට හා සිනාසෙන විට පිටවන කෙළ බිඳිති, සොටු ආදියෙන් එම ඉන්ෆ්ලුවන්සා බිදිති අනෙක් අයගේත් ශරීරවලට ඇතුළු විය හැකියි.

සාමාන්‍ය උණ රෝගයකට වඩා වෙනස් වූ මෙම ඉන්ෆ්ලුවන්සා රෝගයේ මූලික රෝග ලක්ෂණ මොනවාද?

උණ, හිසරදය, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උගුරේ වේදනාව, නාසයෙන් සොටු දියර ගැලීම, ශ්වසන අපහසුතා වැනි රෝග ලක්ෂණ ඉන්ෆ්ලුවන්සා රෝගයේ මූලික ලක්ෂණ ලෙස දැකිය හැකියි. ඒ වගේම කුඩා දරුවන් අලස කම්මැලි ඈලිමෑලි ගතියෙන් සිටිනවා නම්, වෙනදා නැති නිදිමත ගතියකින් ඉන්නවා නම්, පුරුදු විදිහට ක්‍රීඩා කටයුතුවලට නොයා සිටිනවා නම් දෙමාපියන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. ඊට අමතරව විශේෂයෙන් හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළෙනවා නම්, උණ තත්ත්වය පහ නොවී දින කිහිපයක් පවතිනවා නම් සාමාන්‍ය උණ රෝග තත්ත්වයක් නොවන බවට සැක කළ හැකියි.

 එම තත්ත්වය තුළ ඉන්ෆ්ලුවන්සා රෝගය නිශ්චිතව හඳුනා ගන්නේ කොහොමද?

සම්පූර්ණ රුධිර පරීක්ෂාවකින් (fbc) ඉන්ෆ්ලුවන්සා රෝගය හඳුනාගත හැකියි. ඒ වගේම ඉන්ෆ්ලුවන්සා ඒ රෝගයද? ඉන්ෆ්ලුවන්සා බී රෝගය ද කියලා හඳුනාගන්න වෙනත් පරීක්ෂණ තිබෙනවා. එම නිසා ඉහත කී රෝග ලක්ෂණ පෙන්නුම් කරන උණ රෝගයෙන් පෙළෙන රෝගියෙක් තමාගේ නිවසේ සිටිනවා නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්, රජයේ රෝහලක් වෙත යොමුවී කඩිනමින් ප්‍රතිකාර ලබාගැනීම අත්‍යවශ්‍යයි. එවිට තමන්ට වැළඳී ඇත්තේ ඉන්ෆ්ලුවන්සා රෝගයද වෙනත් රෝගයක් ද යන්න සැකහැර දැනගත හැකියි. ඒ වගේම තමාට තිබෙන සියලුම රෝග ලක්ෂණ නොසඟවා වෛද්‍යවරයාට පැවසීම ද වැදගත් කරුණක්. එයට හේතුව මේ දිනවල වෙනත් වෛරස් උණ වර්ග මෙන්ම ඩෙංගු රෝගය ද පවතින නිසා රෝගය නිසි ලෙස විනිශ්චය කරගැනීමට වෛද්‍යවරයාට එම සියලු තොරතුරු වැදගත් වන නිසයි.

මෙම රෝගය උත්සන්න වීමේදී පෙන්නුම් කරන රෝග ලක්ෂණ මොනවාද?

ඉහත කී මූලික රෝග ලක්ෂණ තිබෙන රෝගියකු ප්‍රතිකාරවලට යොමු නොවී සිටියහොත් ඊළඟට මතුවන්නේ අනතුරුදායක රෝග ලක්ෂණයි. ඒ කියන්නේ ඉහත කී මූලික රෝග ලක්ෂණවලට අමතරව කිසියම් රෝගියකුට හුස්ම ගැනීමේ අපහසුව, පපුවේ හෝ උදර ප්‍රදේශයේ කැක්කුම හා බර ගතිය, එකදිගට පවතින වමනය, කරකැවිල්ල ආදී අපහසුතාවයන් තිබෙනවා නම් එය රෝගය උත්සන්න වීමේ අවස්ථාවක් විය හැකියි. වැඩිහිටියකුට එවැනි ලක්ෂණ ඇතිවද්දී කුඩා දරුවන්ට කිරි උරාබීමේ අපහසුතාව, දියර වර්ග පානය කිරීම අපහසු වීම, මුත්‍රා පිටවීම අඩුවීම, නොසන්සුන් සහ කලබලකාරී ලෙස හැසිරීම ආදී ලක්ෂණ ඇතිවිය හැකියි. එවැනි අවස්ථාවකදී තවත් ප්‍රමාද නොවී වහාම රජයේ රෝහලක් වෙත යාමට අතපසු නොකළ යුතුයි.

යම් රෝගියකු ඉන්ෆ්ලුවන්සා රෝගයට නිසි ප්‍රතිකාර නොගැනීමෙන් හෝ ප්‍රතිකාර ප්‍රමාද වීමෙන් ජීවිතයට ඇතිවිය හැකි අවදානම කෙබඳුද?

ඉන්ෆ්ලුවන්සා රෝගය හැදුණාම ශරීරයේ තිබෙන ජල ප්‍රමාණය අඩුවෙලා රෝගියා විජලනයට පත්වීමේ අවදානමක් තිබෙනවා. ඉන්ෆ්ලුවන්සා රෝගීන්ට වතුර පානය කිරීමේ අරුචියක්, අප්‍රියතාවයක් ඇතිවීම සාමාන්‍ය දෙයක්. සමහර රෝගීන් වතුර පානය කළත් ඔවුන්ට වමනය ඇතිවනවා. කුඩා දරුවන්ට මේ තත්ත්වය විශේෂයෙන් ඇතිවනවා. එම නිසා ඔවුන්ට වතුර වෙනුවට සේලයින් දීමෙන් විජලනය වීම වළක්වා ගත යුතුයි. ඒ නිසයි අපි කියන්නේ ඉක්මනින් රජයේ රෝහලකට ඇතුළත් වෙලා නිසි ප්‍රතිකාර ලබාගන්න කියා. ප්‍රතිකාර ප්‍රමාද වුවහොත් ශරීරයේ සියලුම පද්ධතිවලට මෙම රෝගය බලපාන තත්ත්වයක් ඇතිවිය හැකියි. විශේෂයෙන් මොළයේ සහ පෙනහළුවල ආසාදන වගේම වකුගඩු හා අක්මාවට ද හානි විය හැකියි. එම නිසා ඉක්මන් ප්‍රතිකාර ලැබීම අත්‍යවශ්‍යයි.

මෙම රෝගය වැළඳීමට හා රෝගය උත්සන්න වීමට වැඩි හැකියාවක් ඇති අවදානම් පුද්ගලයන් කවුරුන්ද?

ගර්භණී කාන්තාවන්, වයස අවුරුදු 2ට අඩු කුඩා දරුවන්, වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයන්, ඇදුම වැනි ශ්වසන රෝග සහ දියවැඩියාව වැනි කල් පවතින රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන්නන්, දීර්ඝකාලීනව ස්ටීරෝයිඩ් කාණ්ඩයේ ඖෂධ ලබාගන්නා රෝගීන් වගේම ප්‍රතිශක්තිය හීන ඕනෑම අයකුට ඉන්ෆ්ලුවන්සා වැළඳීමට සහ රෝගය උත්සන්න වීමට වැඩි ඉඩක් තිබෙනවා. ඒ වගේම හෘදය වස්තුවේ සිදුරු, මොළයේ ආබාධ, උපතින්ම ඇතිවූ ආබාධ සහිත දරුවන් විවිධ සංකුලතාවයන්ට ලක්වීම නිසා ප්‍රතිශක්තිකරණය අඩු වූ දරුවන්ට මෙම රෝගයේ අහිතකර බලපෑම වැඩියි.

අවදානම් තත්ත්වයට යා නොදී ඉන්ෆ්ලුවන්සා රෝගියකු රැකබලාගත යුත්තේ කොහොමද?

මුලින්ම කළ යුතු දේ රෝගියාට ඉක්මන් සුවය ලැබීමට සහ රෝගය තවත් අයට බෝවීම වළක්වා ගැනීම සඳහා රෝගියා සෙසු අයගෙන් වෙන්කර තැබීමයි. ඉන්පසු රෝගියාට හොඳින් විවේක ගැනීමට අවස්ථාව සලසා දිය යුතුයි. රෝගියා ළදරුවකු නම් මව්කිරි ලබාදීම නොකඩවා සිදුකළ යුතුයි. කැඳ, සුප් වැනි උණුසුම් දියර පාන රෝගියාට වැඩිපුර ලබාදිය යුතුයි. ඒ වගේම බිත්තර, මාළු, මස්, කරවල කඩල, පරිප්පු වැනි පෝෂ්‍යදායී ආහාර රෝගියාගේ කෑම වේලට අනිවාර්යයෙන්ම එකතු කරන්න.

මෙම රෝගය පැතිරී යාම වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?

කැස්සකදී හෝ කිවිසුම් යාමකදී ලේන්සුවකින් හෝ ටිෂු කඩදාසියකින් නාසය හා මුව ආවරණය කරගන්න. එසේ ලේන්සුවක් නොමැති නම් තමන්ගේ වැලමිටේ ඇතුළු පැත්තෙන් නාසය හා මුව ආවරණය කරගන්න. ඒ වගේම කැස්සකදී හෝ කිවිසුම් යාමකදී භාවිත කළ ටිෂු කඩදාසි තැන් තැන්වල නොදමා කසළ බඳුන්වලට පමණක් දමන්න. ලේන්සු නිතර සෝදා වියළා පාවිච්චි කරන්න. දෑත්වලින් මුව හා නාසය නිතරම ඇල්ලීමෙන් වළකින්න. නිවසින් බැහැරට ගොස් නැවත පැමිණි වහා සබන් යොදා දෑත් හොඳින් සෝදා පිරිසිදු කරගන්න. එසේ පිරිසිදු නොවී කුඩා දරුවන් ඇල්ලීමෙන් වළකින්න. රෝගීන් භාවිත කරන තුවා, ඇඳ ඇතිරිලි, පොරවන, පිඟන් කෝප්ප වෙන්කර තබන්න. වායු සමීකරණ ක්‍රියාත්මක ස්ථානවල සහ මහ ජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවල ඉන්ෆ්ලුවන්සා රෝගය බෝ වීමේ වැඩි ඉඩක් තිබෙන නිසා එවැනි ස්ථානවල ගැවසීම හැකිතරම් අවම කිරීමටත් උත්සාහ කරන්න.

ඉන්ෆ්ලුවන්සාව මේ වන විට රටේ විවිධ පළාත්වල පාසල් සිසුන් අතර පැතිර යාමේ අවදානමක් තිබෙන නිසා පාසලේදී දරුවන් රැකබලා ගැනීම සම්බන්ධයෙන් ගුරුභවතුන්ට සහ දෙමාපියන්ට දියහැකි විශේෂ උපදෙස් මොනවාද?

දෙමාපියන් දරුවන්ට නිතරම පෝෂදායී ආහාර ලබාදීමට සැලකිලිමත් වන්න. දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබද නිතර අවධානයෙන් පසුවන්න. පාසලට සහ පොදු ස්ථානවලට යන විට දරුවාට මුව ආවරණයක් පළඳා යැවීම ද රෝගයෙන් වැළකී සිටීමට වැදගත් වනවා. ගුරුභවතුන් විසින් පාසලේදී ඉන්ෆ්ලුවන්සා රෝග ලක්ෂණ යැයි සැක කළ හැකි දරුවකු හඳුනාගතහොත් වහාම දෙමාපියන්ට දනුම් දෙන්න. ඔවුන් පැමිණෙන තෙක් දරුවා විවේකීව වෙනම ස්ථානයක තබන්න. දරුවාට උණ තිබෙනවා නම් පැරසිටමෝල් ඖෂධය පමණක් දරුවාගේ බරට සරිලන නියමිත මාත්‍රාවෙන් ලබාදෙන්න. අවදානම් රෝග ලක්ෂණ ඇත්නම් දෙමාපියන්ට දන්වා වහාම දරුවා රෝහල්ගත කිරීමට කටයුතු කරන්න. රෝගය වැළඳුණු දරුවන් සිටිනවා නම්, රෝගය සුවවන තුරු දරුවා පාසලට, අමතර පන්තිවලට යැවීමෙන් සහ ක්‍රීඩා කිරීම ආදී සිරුර වෙහෙසවන කටයුතුවලින් වළක්වා විවේකයෙන් තැබීම කළ යුතුයි.

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා