උන් හිටි තැන් අහිමි ත්‍රීමලේ මුවන්

 ඡායාරූපය:

උන් හිටි තැන් අහිමි ත්‍රීමලේ මුවන්

මුවෙක් පිටුපස පන්නමින් සිටි තිස්ස ක්ෂණිකව නැවතී විපිළිසරව බැලුවේ මිස්සක පවුව දෙසය. ඒ මත වැඩසිටි මිහිඳු හිමි තිස්සට කීවේ අවි බිම තබා අලුත් මාවතට එන්න කියාය.

රටක් වෙනස් විණි. මුවෙකුගේ දිවිද බේරිණි.

'හම් සාත් සාත් හෙයින්'යනු හිංදි චිත්‍රපටයකි. ඒ චිත්‍රපටය රූගත කරන සමයේ මුවන් දෙදෙනෙකු මැරූ වරදට සලමන් ඛාන් පස් වසරක් සිරගත විය. මුවා මැරූ සලමන්ට නීතියෙන් මුවා වෙන්නට බැරි විය.

මුවෙක් මැරූ වරදට තරුවකට වුවද දඬුවම් ලැබිණි.

ශ්‍රී ලංකාවේ මුවන් යැයි කියූ විට යාලට කලින් සිහියට එන්නේ ත්‍රිකුණාමලයයි. ඒ තරමටම ත්‍රිකුණාමලයේ නාගරිකව සැරිසරන මුව රංචුව ප්‍රසිද්ධය. කෝනේෂ්වරම් කෝවිලට දෙවියන් දුන් තෑග්ගක් ලෙස බැතිමතුන් සලකන, සොබාදහමේ යථාවක් ලෙස සැබවින්ම බෝ වුණ මුවෝ පන්සියයක් පමණ ඒ අඩවියේ වෙසෙති. රාවණා රජු විසින් කෝනේශ්වරන් කෝවිලට තෑගි කරන ලද මුව ජෝඩුවකින් මේ මුවන් පැවැතෙන බවද සමහරු විශ්වාස කරති.

මුවා යනු අදින් වසර ලක්ෂ 150-350ත් අතර කාලයක සිට මිහිතලය මත වාසය කරන්නට ඇතැයි සැලකෙන සත්ත්ව විශේෂයකි. ඉංග්‍රීසි බසින් ‘‘බාකින් ඩියර්‘‘ ලෙස හඳුන්වන මොවුන් විශේෂ ගණනාවක් ලෝකය පුරා දක්නට ලැබෙයි. ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, දකුණුදිග චීනය, උතුරු ඉන්දියාව, නේපාලය, පකිස්ථානය, කාම්බෝජය, වියට්නාමය, සුමාත්‍රා, ජාවා, බාලි, බෝර්නියා ඇතුළු රටවල් රැසක පැතිර සිටින මොවුන් නිවර්තන වැසි වනාන්තර, වියළි කලාපීය වනාන්තර, ශුෂ්ක වනාන්තර, තණ බිම්, සවානා බිම්, ලඳු කැලෑ ඇතුළු සෑම පරිසර පද්ධතියක ම පාහේ දැක්නට ලැබෙයි.

ලොවටම එකයි!

ත්‍රිකුණාමලයේ මුව රංචුව මේ සියල්ලන්ටම වඩා සුවිශේෂය. ඔවුන් සැලකෙන්නේ ලොව එකම නාගරික හීලෑ මුව රංචුව වශයෙනි. නගරයට චමත්කාරයක් එක්කරන්නට සමත් ඔවුහු මිනිසුන් සමඟ මිතුරුව, මිනිස් ඇසුරෙහි ජීවත් වෙති. දහවල පුරා කෝනේෂ්වරම් කෝවිල අවට ගතකරමින් අපූරු අසිරියක් ගෙන එන ඔවුහු, රාත්‍රියට සිය සුපුරු ලැගුම්හල් කරා යති. නගරය අවට ඔවුන් ලැගුම්ගන්නා ස්ථාන 50ක් පමණ වෙයි.

ඕලන්ද ජාතිකයින් විසින් පෙඩ්‍රික් කොටුව ඉදි කෙරුණු සමයේ මේ මුවන්ට අභය දානය දී ඇත. යුද සමයේ මේ මුවන් නගරයේ බස් නැවතුම්පොළ, එළවළු වෙළඳ පොළ, පෙඩ්‍රික් කොටුව, සංඝමිත්තා විශ්‍රාම ශාලාව යන ස්ථානවල, පංසල් භූමියේ සහ කෝවිල් පරිස්‍රයේ වාසය කළහ.

කෙසේ වෙතත් මේ වන විට ත්‍රිකුණාමලය ඉතා වේගයෙන් දියුණුවෙමින් පවත්නා කලාපයකි. යුද සමය නිමා වී පරිසරය සාමකාමී වී තිබෙන අතර නවීකරණයේ කොන්ක්‍රීට් තට්ටු නගරය පුරා උස්ව නැගෙමින් තිබේ.

ඉන්, උන්හිටි තැන් අහිමි වූ මුවන්, සරණාගතයින් බවට පත්ව සිටී.

'නරක දසාවක්'

සාමකාමී වටපිටාව ගැන පුරසාරම අතරේ මුවන්ට නම් හොඳ කලදසාවක් උදා වී නැති පාටය. කොකාවිල් සිට එල්ල කළ මෝටාර්වලින්වත්, කාලතුවක්කු ප්‍රහාරවලින්වත් මෙකල තරම් පීඩාවක් මුවන්ට එල්ල වී නැත. එකල දහසක් ඉක්මවා සිටි මුවන්ගෙන් මෙකල ඉතිරිව සිටින්නේ දෙසීයකටත් වඩා අඩු ප්‍රමාණයකි.

'යුද්දෙ කාලේ මේ සත්තු කෑලෑ වැදිලා ජීවත් වුණා. ඒත් දැන්, උන් කබලෙන් ළිපට වැටිලා. අලුත් ගෙවල් හැදිලා. ඒ ගෙවල්වල බල්ලෝ මුව පැටවු කනවා. සමහරු හොරෙන් මුවෝ මරනවා. වාහන වලට අහු වෙලාත් මැරෙනවා.'

එළවළු මල්ලක් ගෙනැවිත් මුව රංචුවට දෙන අතරේ සෝමසුන්දරම් කීවේය. ඔහු සාමාන්‍යයෙන් සතියකට දෙතුන් දිනක් මුවන්ට මෙලෙස එළවළුවලින් සංග්‍රහ කරයි. අනාරක්ෂිත ඉසවුවේ, ආරක්ෂිතයැයි සිතා වදන මුව පැටියන්, සුනඛයින්ගේ ගොදුරු බවට පත්වන අවස්ථා සුලබ බව බොහෝ දෙනා පවසන කරුණකි.

දැන් මේ මුවන්ට ආහාර හිඟය. කුස පුරවාගන්නට යමක් නැති තැන් උන් අභයපුර වැනි ඈත් ගම් වෙත යති. ඉන් සිදුවන අනතුරු බොහොමය. එක්කෝ උගුල්වලට හසුවෙති. නැත්නම්, වෙනත් අනතුරකට පත් වෙති. මසට රුචියෙකුට හසුවුවහොත් ආයේ ඒමක් නැත.

නගරාසන්නයෙන් මඳක් ඔබ්බට ජනයාගේ ජීවිකාව බවභෝග වගාවය. කිරිවැදෙන කොටුවකට කඩා වදින්නට අනවසර ඉඩක් හෝ ලදොත්, මුවන්

ඒ කොටුවේ කිසිවක් ඉතිරි කරන්නේ නැත. රේල් පාර මාරු වී එහෙට මෙහෙට පනින මුවන් පනහකට වඩා ජීවිතක්ෂයට පත්ව තිබේ.

විස මුසු ආදරය!

ත්‍රිකුණාමලය සුන්දරත්වයෙන් පිරි සංචාරක පාරාදීසයකි. උප්පුවේලි- නිලාවේලි වෙරළ තීරය, ෆෙඩ්‍රික් කොටුවේ පිහිටි කෝණේෂ්වරම් කෝවිල, කෝනේෂ්වරම් කොටුව, රාවණා කපොල්ල වැනි අසිරිමත් නිර්මාණ මෙහි වෙයි.

'මලේ මලේ තැඹිලිය වැන්න පොල් මලේ

රළේ රළේ මුහුදින් දමන දිය රළේ

බලේ බලේ රාසින් දෙවියන්ගේ බලේ

ගලේ කොටුව බින්දයි තිරිකුණා මලේ'

කියා ජන කවියා කියන්නේ ත්‍රිකුණාමලය ගැනය. මෙවැනි චමත්කාරයන් දකින්නට රිසි සංචාරකයෝ දැඩි ලොල් බවකින් ත්‍රිකුණාමලයට පැමිණෙති.

ඔවුන් එන්නේ, පරිසරයට මුදාහරින අවශේෂයන් බොහෝ රැගෙනය. ඒ අතරින් පොලිතීන් බහුලය. ගෙනා ආහාර අනුභව කොට අවශේෂය පරිසරයට මුදා හරිද්දී අර අසරණ මුවෝ ඒවා ගිජු ලෙස ගිල දමති. අවසන උන්ගේ කුස් පිරෙන්නේ පොලිතින් කිලෝ ගණනින්ය.

සංචාරකයින් විශාල පිරිසක් ත්‍රිකුණාමලයට එනවා. ඒක හොඳයි. අපි ඒකට කැමතියි. ඒත් ඒ අන අය ගේන "ලංච් ෂීට්" වගේම පොලිතින් නිසා මුවෝ විශාල වශයෙන් වඳ වෙලා තියෙනවා. මැරුණම සමහර මුවන්ගේ බඩවල්වල කිලෝ ගාණක පොලිතින් තියෙනවා'

ත්‍රිකුණාමල දිස්ත්‍රික් සහකාර වනජීවී අධ්‍යක්ෂ නීතිඥ ලලිත් කුමාර මහතා පැවසීය.

'තව දෙයක් කියන්න ඕන. මේ මුවන්ට මිනිස්සු හිතාමතා කරදර කරන්නේ නෑ. විහාරයේ හාමුදුරුවෝ, කෝවිලේ පූජකවරු, හමුදාව, පොලිසිය, වගේම සාමාන්‍ය මිනිස්සු පවා මුන්ට ආදරෙයි. ඒත් නොදැනීම වෙන වැරදි හින්දා මේ සත්තු කරදරේ වැටෙනවා.'

වනජීවී අධ්‍යක්ෂවරයා කීය.

2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ වන සතුන්ට හිරිහැර කිරීම යන චෝදනාව යටතේ යමෙකුට නඩු පැවරිය හැක. දඬුවම්ද ලබා දිය හැක.

'සාමාන්‍යයෙන් මුවන්ගේ ප්‍රජනන හැකියාව වැඩියි. වසරකට බිහිවන පැටවු ප්‍රමාණය තරමක් අධිකයි. ඉතිං, එයින් මුව ගහණ ගණත්වය වැඩි වෙනවා.'

වනජීවී අධ්‍යක්ෂවරයා කීය. එහෙම වර්ධනයක් තිබුණද, යුද සමයේ සිටි මුව ගහණයවත් දැන් නැත්තේ ඇයි?

ඊට හේතුව වැරදි මිනිස් ක්‍රියාකාරකම් ය.

'මේ සත්තුන්ට අපි ආදරෙයි තමා. ඒත් ඒ ආදරය පෙන්වන්න කෑම ලබා දීම නිෂ්ඵල ක්‍රියාවක්. මුවන්ට ස්වභාවික පරිසරයෙන් කෑම සොයා ගැනීමේ හැකියාව තියෙනවා. එයාලට කෑම දෙන්න යන සමහරු ඒවා දෙන්නේ පොලිතීන්වල දාලා. ඒකෙන් කරන්නේ මහ විනාසයක්. කෝවිලෙන් පන්සලෙන් කෑම ලැබෙනවා. අනෙක ඊට යාබදව කැලෑව තියෙනවා.' වනජීවී අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.

වනගැබක රැකවරණ

වනජීවී දෙපාර්තමේන්තුව මඟින් මේ සතුන් රක්ෂිත වෙත මුදා හරින්නට මීට පෙර අවස්ථා කිහිපයකදී උත්සාහ ගත්තද, සමහරු කියන්නේ එය අසාර්ථක ප්‍රයත්නයක් බවයි.

'මේ සත්තු මිනිස්සුන්ට හිලෑවෙලා ඉන්නේ. අනික මෙයාලා දැන් මෙහේ සලකුණක් වෙලා. ඒ නිසා රක්ෂිතවලට හරි අභයභූමිවලට හරි මෙයාලව යවන්න ඕන නෑ. ඒත් මේ සතුන්ගේ ආරක්ෂාව ගැන හැමෝම හිතන්න ඕන.'

කෙසේ වෙතත් පරිසර සංවිධාන කිසියම් ප්‍රායෝගික යෝජනාවක් ගෙන එයි. ඒ නගරයට අයත් පෙඩ්‍රික් කොටුව අවට කුඩා වනගැබ මේ මුවන්ට ලබා දීම පිළිබඳ යෝජනාවයි. හරිත වියනක් සේ පෙනෙන පෙඩ්‍රික් කොටුව උන්ට කදිම නිවස්නයකි.

මේ මුවන් රකිනු පිණිස ත්‍රිකුණාමලයේ බොහෝ දෙනා එක පයින් කැමැතිය. සිය නගරයේ අසිරිමත් සංකේතයක් බඳු මේ මුවන් රැක ගැනීම වෙනුවෙන් එහි පරිසර සංවිධානයක් පවා තිබේ.

'මුවා කියන්නේ සතෙක් විතරක් නෙවේ. අපිට නම් ජාතික සංහිඳියාවේ ලකුණක්. අපි හැමෝම එකතු වෙලා ඉන්නේ මේ මුවෝ ආරක්ෂා කරගන්න.'

ඉසාජි සිම්සාන් එහෙම කීවේය. ඔහු පලතුරු වෙළෙන්දෙකි.

අනෙක් අතට එහෙම කෑම සුලබයැයි කීවද එළවලු මල්ලක් දුටු සැණින් උන් වේගයෙන් දිව එන්නේ සංවේදී ලෙසය. සාමාන්‍යයෙන් මුවා ප්‍රකට මිනිසුන් වෙතින් දුරස් වන සතෙක් ලෙසය. එහෙත් ත්‍රිකුණාමලයේ මුවන් ප්‍රකට මිනිසුන් වෙත දිව එන්නන් ලෙසය. ඒ තමන්ට ජීවත් වීමට යමක් මිනිසුන් ළඟ තිබේයැයි උන් සිතන නිසා නොවේද?

ඡායා | අන්තර්ජාල‍ෙයෙන්

[නදී මාණික්කගේ]

මාතෘකා