ගාල්ලේ ජනතාවට අහිමි ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය | ඇස පාදන රැස


ගාල්ලේ ජනතාවට අහිමි ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

 ඡායාරූපය:

ගාල්ලේ ජනතාවට අහිමි ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය යනු ගාල්ල නගර මධ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය බද්දට ගෙන පවත්වාගෙන යන ගාල්ල මහ නගර සභාව සතු මහජන දේපළකි.

මෙහි වසරකට ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරඟ එකක් හෝ දෙකක් පැවත්වන අතර සමහර වසරවලදි එකදු තරඟයක් හෝ පැවෙත්වෙන්නේ නැති තරම්ය.

මෙම ක්‍රීඩා පිටියේ ඉතිහාසය දෙස බැලිමේදී එය 18 වන සියවස දක්වා විහිදෙයි. එකල මඩ ගොහොරුවක් ලෙස පැවති මෙම ස්ථානය ක්‍රම ක්‍රමයෙන් ගොඩකර 1876 වසරේදී තුරඟ තරඟ පිටියක් ලෙස ආරම්භවී ඇත. එකල අශ්ව රේස්වලට මෙම ස්ථානය විශාල ලෙස ප්‍රසිද්ධ වී ඇත. විදේස රටවල සිට පවා තරඟ වැදීම සඳහා මෙහි ක්‍රීඩකයින් පැමිණ ඇති බව සඳහන් වේ. ඉන් පසු තුරඟ තරඟ පැවත්විම ක්‍රම ක්‍රමයෙන් අභාවයට යෑමත් සමඟ පාපන්දු ක්‍රීඩාව මෙහි ජනප්‍රිය වන්නට පටන් ගැනිණ. 1927 වසරේදි මෙහි ක්‍රිකට් තරඟ ද පැවත්වීම ආරම්භ විය.

ඉන්පසු ගාල්ලේ ජනතාවගේ ක්‍රීඩා සහ විනෝද කටයුතු වෙනුවෙන් වර්ෂ 1930 නොවැම්බර් මස එවක ගාල්ල මහ දිසාපතිවරයා විසින් ඉහත ක්‍රීඩා පිටිය මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා ගාල්ල මහ නගර සභාවට පවරා දෙනු ලැබිය.

මේ අතර ගාල්ල කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සඳහන් කරන්නේ මෙම ක්‍රීඩාංගණය පිහිටි භුමිය රජය සතු එකක් බවය මේ සම්බන්ධව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් තොරතුරු පනත යොදාගෙන විමසීමක් කළ විට අදාළ පිළිතුර සමඟ එහි මැනුම සඳහන් සැලස්මක පිටපතක්ද ලැබුණි. මේ අනුව මෙම ක්‍රීඩාංගණයේ අයිතිය සම්බන්ධව ගාල්ල මහ නගර සභාව සහ කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අතර ගැටලුවක් ඇති බව පෙනෙන්නට ඇත.

මෙසේ යටත් විජිත යුගයේ සිට ගාලු ජනතාවගේ ක්‍රීඩා කටයුතු සහ විනෝදය වෙනුවෙන් කැපවු ගාලු ක්‍රීඩාංගණය 1998 වසරෙන් පසු ගාල්ලේ ජනතාවගෙන් හුදකලා විය. ඒ 1998 වසරේදි ගාල්ල මහ නගර සභාව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත බදු ඔප්පුවකින් පවරා දෙනු ලැබීමත් සමඟය.

ගාල්ල මහ නගර සභාව බදු දීමනාකර පාර්ශ්වය ලෙසද බදු ගැනුම්කාර පාර්ශ්වය ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයද එක්ව මෙම බදු ගිවිසුම 1998 අප්‍රේල් 04 වන දින සිට 2028 අප්‍රේල් 04 දින දක්වා වසර 30 ක කාලයක් සඳහා ගාල්ල මහ නගර සභාව විසින් මෙම ක්‍රීඩාපිටිය ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත බදු දෙන ලදි. එවකට ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ලයනල් ප්‍රේමසිරි සහ නාගරික කොමසාරිස් ඒ.ඩබ් ගුණරත්න යන මහත්වරුන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය වෙනුවෙන් එවක එහි සභාපති තිලංග සුමතිපාල සහ උප සභාපති අනුරුද්ධ පොලොන්නෝවිට යන මහත්වරුන් අතර මෙම බදු ගිවිසුම අත්සන් කර ඇත.

1998 අප්‍රේල් 20 දින සිට 2008 අප්‍රේල් 19 දින දක්වා වන ප්‍රථම වසර දහය සඳහා රුපියල් ලක්ෂ තිහකට (රු 30,00,00) බදු දී ඇත. මෙලෙස වසර 10 ක බදු කාලසීමාවන් තුනකට යටත්ව පුරා වසර තිහකට මෙම ක්‍රීඩාපිටිය බදු දී ඇති අතර රජයේ තක්සේරුකරු විසින් වසර 5 කට වරක් තක්සේරුවක් සිදුකර එම වැඩි වන මුදලද ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය විසින් ගාල්ල මහ නගර සභාවට ගෙවන ලෙස එහි සඳහන්ය. අවසාන වසර 10 යේ බදු කාල සිමාව පසුගිය අප්‍රේල් 19 දින සිට ආරම්භවී ඇතත් මේ වන විටත් මෙම ගිවිසුම ගාල්ල මහ නගර සභාව විසින් අලුත්කර නොමැති බව දැනගන්නට ඇත. මේ සම්බන්ධව නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතාගෙන් විමසීමක් කළ විට ඔහු කියා සිටියේ මේ පිළිබඳව සොයා බලා පිළිතුරක් ලබාදෙන බවයි. මේ සම්බන්ධව දකුණු පළාත් පාලන කොමසාරිස් රනිල් වික්‍රමසේකර මහතාගෙන් විමසීමක් කළ විට ඔහු කියා සිටියේ දැනට අවසාන වසර 10 සඳහා මෙම බදු ගිවිසුම අලුත් කර නොමැති බවය

මෙම බදු ගිවිසුම ප්‍රධාන කොන්දේසි 27 කින් සමන්විත වේ. එම කොන්දේසි අතර,

මෙහි ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ පැවත්වීමට අමතරව අනෙකුත් තරඟ පැවත්වීම සඳහා ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, නාගරික කොමසාරිස්, නාගරික ගණකාධිකාරි, නාගරික ඉංජිනේරු, දකුණු පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ, දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ නියෝජිතයෙකු, ක්‍රිකට් පාලක මණ්ඩලයේ නම්කල නියෝජිතයින් තිදෙනෙකු සහ දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ නියෝජිතයෙකුගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් බදු ගත් මෙම දේපළ ජාත්‍යන්තර මෙන්ම ජාතික සහ ප්‍රාදේශිය ක්‍රිකට් තරඟ පැවත්වීම සඳහාද ඒවාට අදාළ පුහුණුවීම් සඳහා මෙන්ම ගාල්ල මහ නගර සිමාව තුළ සහ ගාල්ල දිස්ත්‍රික් මට්ටමේ පිහිටි රජයේ හෝ රජයේ අනුග්‍රහය ලබන පාසල් විසින් හෝ පාසල් අතරේ පවත්වනු ලබන වාර්ෂික මළල ක්‍රීඩා සහ ක්‍රිකට් තරඟ පැවත්වීම සඳහා මෙම කමිටුවේ නිර්දේශ මත මෙම ක්‍රීඩාපිටිය ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම බදු ගිවිසුම මගින් බැඳි සිටී,

මෙලෙස මෙම ගිවිසුමේ සඳහන් වුවත් මෙම ක්‍රීඩාපිටිය සවුත්ලන්ඩ් විද්‍යාලයට පමණක් වාර්ෂික ක්‍රීඩා උළෙල පැවත්වීම සඳහා ලබාදෙන අතර ගාල්ලේ පිහිටි ක්‍රීඩාපිටි නොමැති අනෙකුත් පාසල් සඳහා සිය ක්‍රීඩා උත්සව පැවත්වීම සඳහා මෙම ක්‍රීඩාපිටිය ලබා නොදෙන බව සිසු දරුවන් සහ නගරවාසිහු චෝදනා කරති.

තවද ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් බදුගත් මෙම ක්‍රීඩාංගණයේ ඉදි කරනු ලබන සියලුම ඉදිකිරිම් සඳහා බදු දීමනාාකාර පක්ෂයෙහි පුර්ව අනුමැතිය ලබාගත යුතු බවට වු කොන්දේසියකටද මෙම ගිවිසුමේ එකඟ ව ඇත.

එය එසේ තිබියදි ක්‍රීඩාංගණයේ අනවසර ඉදිකිරිම් කිහිපයක් ඉදිකර ඇති නිසා එවා ඉවත් කරන ලෙස පසුගිය වසරේ යුනෙස්කෝ සංවිධානය විසින් ශ්‍රී ලංකාවට දන්වනු ලැබීය. හැකි ඉක්මණින් ගාලු කොටුව තුළ සහ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකර ඇති මෙම අනවසර ඉදිකිරිම් ඉවත් නොකලහොත් ගාලු කොටුව ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරිමේ අවදානමක් මතුවන බවත් ඔවුන් ශ්‍රී ලංකාවට දැනුම් දී ඇත මේ සම්බන්ධව පුරාවිද්‍යා අංශවලින් සහ ගාලු උරුමය පදනමෙන් විමසීමක් කළ විට ඔවුහුද මෙම කරුණ තහවරු කළහ.

කෙසේ වෙතත් මෙම ක්‍රිකට් ක්‍රීඩාංගණය යළිත් මහජනතාව සඳහා විවෘත කිරිම සම්බන්ධ කතාබහ කරළියට පැමිණෙන්නේ ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කොට ඒ වෙනුවට වෙනත් ස්ථානයක ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ඉදි කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා 2016 වසරේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් සමඟය.

ප්‍රදේශයේ පාසල් දරුවන්, තරුණයන් ඇතුළු පොදු ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය යොදාගත නොහැකි තත්වයක් යටතේ ගාලු ජනතාවට අසාධාරණයක් වී ඇති බව අමාත්‍යවරයා කියා සිටියේ 2016 වසරේ මැයි මාසයේ ගාල්ලේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

පොදු ජනතාවගේ පරිහරණය සඳහා ක්‍රීඩාංගණය තවදුරටත් යොදාගත නොහැකි වීම බරපතළ අපරාධයක් බව අමාත්‍යවරයා පැවසීය.

කෙසේ වෙතත් ගාල්ල දිස්ත්‍රික්කයට ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් අවශ්‍ය බවත් අධිවේගී මාර්ගයෙන් පිටත පිහිටි ගාල්ලට නුදුරු මත්තේගොඩ ප්‍රදේශයේ අක්කර සියයක බිම් ප්‍රමාණයක ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා කියා සිටියේය.

බදු ගිවිසුම අත්සන් අලුත් නොකිරිම සහ ක්‍රීඩා පිටිය යළි මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා ලබා ගැනිම පිළිබඳව පැතිර යන මතයන් පිළිබඳව ගාලු ජනතාව දැක්වු අදහස් කිහිපයක්

සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩා කරන තරුණයෙකු වන අබ්දුල් මුහිස් දැක්වු අදහස

"ඇත්තම කියනවා නම් ගාල්ලේ අපිට නිදහසේ ක්‍රීඩා කරන්න ක්‍රීඩා පිටියක් නැහැ. මේ ක්‍රීඩාංගණය මෙතනින් ඉවත් කර වෙනත් ස්ථානයක දිවා රාත්‍රී තරඟ පැවත්වෙන අකාරයට සියලු පහසුකම් සහිතව හදනවා නම් අපි කැමති මෙම ක්‍රීඩාංගණය ඉවත් කරන එකට. ඒ වගේම මෙම ක්‍රීඩාපිටිය අපේ ප්‍රයෝජනය සඳහා දෙනවා නම් හොඳයි"

මේ පිළිබඳව අදහස් දැක්වු ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා

"ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සහ නගර සභාව අතර අත්සන් කර ඇති මෙම බදු ගිවිසුමෙන් එක් පාර්ශවයකට ඉවත් විය නොහැක. එය එසේ සිදුවනවා නම් දෙපාර්ශ්වයේම එකඟතාවය මත සිදුවිය යුතුය. ඒ වගේම දැනට මෙම ක්‍රීඩාංගණය ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව පවතින නිසා එහි පිළිගැනිමක් තියනවා එය මහජනතාවගේ භාවිතය වෙනුවෙන් පවරගන්නවා නම් විධිමත් ලෙස නඩත්තුව කර පාලනය කල යුතුය. නගර සභාවට එය කළ හැකිද යන්න ප්‍රශ්නයක්”

“මගේ පාලන කාලය තුළ මම ගිවිසුම සංශෝධනය කළා ගාල්ල කලාපයේ සියලු පාසල්වල ක්‍රීඩා තරඟ පැවත්විම සඳහා මෙම ක්‍රීඩාපිටිය ලබාගැනීමට හැකි අයුරින් එය කලාපයෙ පාසල් ළමුන්ගෙ යහපත වෙනුවෙන් කල වැඩක්"

මෙම පිළිබඳව සිය අදහස දැක්වු තරුණයෙකු වන සඳුන් මෙන්ඩිස්

“1998 ට කලින් මෙම ක්‍රීඩාපිටිය මහජනතාවගේ ක්‍රීඩා සහ පොදු කටයුතු වලට යොදාගත්තා 1998 න් පස්සේ තමයි ජාත්‍යන්තර ක්‍රීඩා තරඟ පැවත්විමට මෙය යොදා ගත්තේ. එදා සිට ගාල්ලේ ජනතාවට මෙම ක්‍රීඩාපිටිය අහිමි වුණ විශේෂයෙන් පාසල් ළමුන්ට එක්තරා විදියට මෙය මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක්. මම කියන්නේ මෙම ක්‍රීඩාපිටිය ඉවත් නොකරනවා නම් ඒ සඳහා විකල්පයක් ලෙස නගරය තුළම ක්‍රීඩා කරන්න ස්ථානයක් ඇති කරන්න කියලා. ඒ කෙසේ වෙතත් ක්‍රිකට් තරඟ පැවත්විම තුළින් ආර්ථික වාසි සහ ජාත්‍යන්තර අවධානය යොමුවන්න ඇති එහෙත් නගරයේ ජනතාවගේ පොදු යහපත වෙනුවෙන් කටයුතු කළ යුතු බවයි මගේ අදහස.”

මේ පිළිබඳව අදහස් දැක්වු සිය අනන්‍යතාව හෙළි කිරිමට අකමැති පුද්ගලයෙක්

"ගාල්ල මහජන ක්‍රීඩාංගණය කියන්නේ ජාතික තලයට මළල ක්‍රීඩයින් හා පාපන්දු ක්‍රීඩකයින් බිහි කළ තෝතැන්නක්. මට මතකයි එක් අවුරුද්දක ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කළා මෙම ක්‍රීඩාපිටියේ ක්‍රීඩා කරපු ක්‍රීඩකයින් අට දෙනෙක් එත් ඒ අවස්ථාව අද අපේ ළමයින්ට නැහැ හරිම කණගාටුයි."

"අද වන විට නගරයේ ප්‍රසිද්ධ පාසල්වල ළමයින්ට විතරයි ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්න අවස්ථාව තිබෙන්නේ, එකට හේතුව එම ළමයින්ට ක්‍රීඩා කරන්නවත් පුහුණු වෙන්නවත් නිසි ක්‍රීඩා පිටියක් නොමැති විමයි. මෙය නගර සභාවට බදු ගෙවන අපිට සහ අපේ ළමයින්ට කරන අසාධාරණයක් අපේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරිමක්"

කෙසේ වෙතත් මෙම ක්‍රීඩාපිටිය ජාත්‍යන්තර අවධානය යොමුවුයේ තරඟ පවාදිම සඳහා තණතිලි සකස් කිරිමත් සමඟය. මේ පිළිබඳව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයද මෙම සිද්ධිය සම්බන්ධව සිය අවධානය යොමු කර ඇත.මෙම ක්‍රීඩාපිටිය සම්බන්ධව ගාලු ජනතාවගේ පක්ෂ විපක්ෂ අදහස් පළවෙමින් පවතින අතර ඉදිරියේදි ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය බදු ගිවිසුම පිළිබඳව ඉරණම විසඳෙන අයුරු බලා සිටිමු.

[ෆර්හාන් නිසාම්දීන්]

මාතෘකා