හතරවටේ කරක් ගහන "කුමාරිලාගේ " මරදානෙන් එහා ලෝකය

 ඡායාරූපය:

හතරවටේ කරක් ගහන "කුමාරිලාගේ " මරදානෙන් එහා ලෝකය

අවුරුදු හත අටක් තිස්සේ කොළඹට එන යන මම හෝරා ගණන් කෝච්චිවල ගතකර ඇත්තෙමි. රුහුණු කුමාරි, සාගරිකා, සමුද්‍ර දේවී, ගාලු කුමාරි මගේ හිතවතියන් වූයේ මේ කියන හෝරා ගණන් ගෙවා දැමුණු දැන හැඳිනකම් නිසාය. කොළඹ කොටුවෙන් හෝ මරදානෙන් අපේ හාදකම් කෙළවර වුවද මේ හිතවතියනට මරදාන දුම්රිය නැවතුමෙන් එහා ඔවුන්ගේම ලෝකයක් ඇත්තේය. කෝච්චි වලටම අයිති කෝච්චි ලෝකයට යන කෝච්චිවලට කුමක් වන්නේද? කෝච්චිවල යෙනෙන කොයි කාගේත් සිතට මේ සිතිවිල්ල එක මොහොතකට හෝ පැමිණ ඇතුවා නිසැකය.

කෝච්චි ලෝකය අපේ ලෝකයෙන් සැගවී ඇත්තේය. අපට පෙනී නොපෙනී සැගවෙන මේ රහස් සොයා අපි දෙමටගොඩ ප්‍රධාන ධාවන බල ඉන්ජිනේරු කාර්යාල ගේට්ටුවෙන් කෝච්චි පුරයට පිවිසීමු. බැලූ බැලූ අත කෝච්චිය. කෝච්චි පාරවල් ගණින්නට බැරි තරම්ය. තනිව ඇවිද ගියහොත් රූස්ස ගස් ඇති කැලෑවක් අතරමන් වූවා සේ අතරමන් වනු නිසැකය. අපේ මග පෙන්වන්නා අප ඉදිරියෙනි."මේ මාළිගාවත්ත ෂෙඩ් එක . මෙතනට එන්නෙ ලංකාව පුරාම දුවන එන්ජින් කෝච්චි ටික." ඔහු කීවේය. අපේ මගපෙන්වන්නා වූ කුලතුංග අවුරුදු 25ක් තිස්සේ කෝච්චි හා ජීවත් වූවෙකි. අද ඔහු මාළිගාවත්ත අංගනයේ වැඩ භාරකරුය.

"කෝච්චියක් තමන්ගෙ ගමන ඉවරවෙලා මෙතනට ආවම මොනවද වෙන්නෙ?"

ලොකු කතාවකට මුලපුරමින් මම මගේ සිතිවිල්ල වචන කළෙමි.

"එක එක කෝච්චි වර්ග තියෙනවා නෙ, මේ එක එක කෝච්චි තමන්ගෙ ගමන ඉවර වුණාට පස්සෙ යන්න නියමිත තැන් තියෙනවා. එන්ජින් කෝච්චි ටික මෙතනට එනවා. ගාල්ල, මාතර පැත්තෙ යන විදිය 'එස්11' කියන වර්ගයේ කෝච්චි දෙමටගොඩ ෂෙඩ් එකට යනවා. තවත් කෝච්චි වර්ගයක් කොළඹ කොටුවෙ ෆ්ලෝටින් මාර්කට් එක ළගින් ඇතුළට තියෙන ෂෙඩ් එකට යනවා." ඔහු කීවේය.

"කෝච්චියක් මෙතනට ආවම අපි මුලින් කරන්නෙ එන්ජිම ගලවන එක. ඊට පස්සෙ 'ෂන්ටින් එන්ජිම' කියන් එන්ජිමෙන් අපි කෝච්චිය ෂෙඩ් එක ඇතුලට අරගෙන එනවා."ෂන්ටින් එන්ජිම නමින් නොදන්නාමුත් කොළඹ කොටුවේ,මරදානේ ගැවසී ඇති කොයි කවුරුත් ෂන්ටින් එන්ජින් දැක ඇතුවා නිසැකය. පරණ එන්ජිමකැයි සිතෙන කළු පාට, වාෂ්ප එන්ජිමක මෙන් එකට යාකෙරුණු රෝද ඇත්තේ ෂන්ටින් එන්ජිමටය.

"මේ කෝච්චි ෂෙඩ් එක ඇතුළට අරගෙන ආවට පස්සෙ මුලින්ම කරන්නෙ කෝච්චිය පිරිසිදු කරන එක. මුල්ම කාලෙ නම් අපේ දෙපාර්තමේන්තු සේවකයොම තමයි මේ පිරිසිදු කිරීම කරලා තියෙන්නෙ.'පවිත්‍රතා සේවක' කියලා තනතුරකුත් ඒ කාලෙ තිබිලා තියෙනවා. ඒ වුණත් කාලයත් එක්ක ඒ තනතුර නැතිවෙලා ගිහින්. අපි රටේ මිනිස්සු ඒ වගේ රස්සාවල් වලට වැඩි කැමැත්තක් නැහැනෙ. දැන් වුණත් මේ පිරිසිදු කරන වැඩවලට සේවකයො ගන්නවා. ඒත් සේවය ස්ථිර වුණ ගමන් වෙන තැනකට හරි ස්ටේෂන් එකකට හරි මාරුවක් හදාගෙන යන්වා. ඒ නිසා දැනට අවුරුදු 15ක විතර ඉදලා පුද්ගලික් කොන්ත්‍රාත් ගන්න කෙනෙකුට දීලයි කෝච්චි පිරිසිදු කර ගන්නෙ."

මාළිගාවත්ත අංගනයේ පටු අඩිපාරවල් දිගේ ඉදිරියටම ආ අපිට කුලතුංග කී කොන්ත්‍රාත්කරුද මුණ ගැසුණි. ලාල් හේමසිරි වන ඔහු කෝච්චි පිරිසිදු කිරීමේ වගකීම අවුරුදු කීපයක් තිස්සේම භාරගන්නෙකි. "අවුරුදු ගාණක් එක දිගටම මම මේ වැඩේ කරගෙන ආවා. ඒත් ආණ්ඩු මාරුවෙන් පස්සෙ මට මේ කොන්ත්‍රාත් එක නැති වුණා. හැබැයි ආයෙත් මම මේක ගත්තා. මේ වැඩේ හරි වෙනස් වැඩක්. ලන්කාවෙන්ම කොච්චි සුද්ද කරන වැඩේ කරන්න කොන්ත්‍රාත් එකක් ගන්න පුළුවන් එක්කෙනාටනෙ. මේකට මුලින් නම් මිනිස්සු හොයාගන්න ටිකක් අමාරුයි. දැන් අපි ළග දිගට වැඩ කරගෙන යන පිරිසක් ඉන්නවා. මගේ පොඩිම දුව තමයි දැනට මෙතන වැඩටික බලා ගන්නේ. අපි එක්ක දැනට වැඩ කරනවා 40ක් 50ක් විතර. මේ ෂෙඩ් එකට විතරක් නෙමෙයි අනෙක් හැම ෂෙඩ් එකටමත් එන කෝච්චි ටික පිරිසිදු කරලා දෙන්නෙ අපි. මේ හැම කෝච්චියක්ම ගත්තම සුද්ද කරන්න අමාරුම එන්ජින් කෝච්චි. කුණු එකතු වෙන ප්‍රමාණය වැඩි. වැසිකිළි වුණත් අපිරිසිදු වෙනවා වැඩියි. ගල්ල ,මාතර ඉඳල එන දෙමටගොඩ ෂෙඩ් එකේ තියෙන් කෝච්චිවල තමයි සුද්ද කරන වැඩ අඩු."

ලංකාව පුරා තවමත් වැඩිපුරම ධාවනය වන්නේ එන්ජින් කෝච්චිය. ඒ නිසා මේ කෝච්චිපුරයේ වැඩ වැඩිම තැන මාළිගාවත්ත අංගනය යි. "පිරිසිදු කරනවා කියලා මොනවද කෙරෙන වැඩ?" මගේ කුතුහලය අසද්දී උත්තර දෙන්නට ලාල් මහතා පෝරමයක් මාදෙසට පෑවේය. බිම අතුගෑම, බිම මොප් කිරීම, ආසන පිසදැමීම, නියාමක ආසන /වීදුරු, අත්වැල් හා පාපුවරු, පැති පැනල්, සිවිලිම, දොර /ජනෙල් වීදුරු, වැසිකිළි උපාංග, වැසිකිළි පැති පැනල්, විෂබීජ නාශක යෙදවීම වැනි වූ තවත් කටයුතු ඒ පෝරමයේ ලියැවී තිබිණි. මේ ලැයිස්තුවේ ලියැවී ඇති බොහෝ දේ සිදුවන අයුරු දකින්නට අපි කෝච්චියෙන් කෝච්චියට මාරුවෙමින් මාළිගාවත්ත අංගනය පුරා ඇවිද ගියෙමු.

"මේ කෝච්චිවල එකතුවෙන ප්ලාස්ටික් පොලිතින්වලට මොකද කරන්නෙ"

ප්ලාස්ටික් පොලිතින් නීති රීති රැසකට යටත්ව ඇති මේ කාලයේ එය ඇසිය යුත්තේම නොවේ දැයි මම කල්පනා කළෙමි. උත්තරය හරිහැටිම දන්නේ කුලතුංග මහතාය.

"එකතුවෙන පොලිතින් නම් අඩුයි. පොඩි ප්‍රමාණයක් හරි එකතු වුණොත් මේ සුද්ද කරන අයම ඒවා පුච්චනවා. ප්ලාස්ටික් බෝතල තමයි ගොඩක් තියෙන්නේ. ඒවා එකතු කරලා දුන්නම අපි විකුණනවා. අවුරුදු දෙක තුනක් එකතු කරල විකුණපු ප්ලාස්ටික් බෝතල් වලින් හම්බවෙච්ච සල්ලි වලින් අපි මාළිගාවත්ත ෂෙඩ් එකේ කැන්ටින් එක ටයිල් කරලා කුස්සිය හැදුවා. එතකොට හිතන්නකො කොයි තරම් ප්ලාස්ටික් බෝතල් එකතු වෙනවද කියලා. කැන්ටිම ටයිල් කරන්න විතරක් ලක්ෂ හතරක් ගියා."

එය හරි අපූරු කතාවකි. සල්ලි දී කෝච්චියේ යන අපේ මිනිසුන් දුම්රිය දෙපාර්තමේන්තුවට අමතර ආදායමක්ද ලබාදෙන්නේය. දුම්රියට ප්ලස්ටික් බෝතල්වලින් ලැබෙන ආදායම වැඩිවන තරමට අපි සතුටු විය යුත්තේ නම් නැත. එය අපේම මිනිසුන්ගේ අවිනීතවත් බව පෙනෙන කැඩපතක් දෙස බලා අපිම සිනාසෙනවා වැන්නකි."මිනිස්සු මීට වඩා හානි කෝච්චි වලට කරනවා."කුලතුංග කියන්නේය.

"කෝච්චිවල වැසිකිළිවල තියෙන ටැප් ගලවගෙන යනවා, වැසිකිළිවල තියෙන ජනේල් කඩනවා. මේ වැසිකිළිවල ජනේල නම් කඩන්නෙ ඔෆිස් වෙලාවල් වලට යන කෝච්චිවල අය. ඒ කියන්නෙ හැමදාම යන එන අය. ඒ සමහර අය තමන්ගේ කට්ටියත් එක්ක යන්න පුරුදුවෙලා ඉන්නෙ වැසිකිළිය ඇතුළේ. කෝච්චියේ යන එන අය වැසිකිළිය පාවිච්චි කරොත් ඒ අයට එතන යන්න බැරි වෙන නිසා වැසිකිළිය පාවිචි කරන එක නතර කරන්න තමයි ඒ ජනේල ගලවන්නේ. එකට විසඳුමක් විදියට අපි දැන් පැනල් වගේ ජනේල සවිකරගෙන යනවා. ඒ පැනල් ගලවන්න බැහැ. වැසිකිළිවල පිරිසිදුකම හොඳින් පවත්වා ගන්නත් අපි දැන් වැසිකිළි මළ නොබදින ලෝහවලින් සකස් කරගෙන යනවා. එතකොට නඩත්තුවත් පහසුයි. තව අවුරුදු තුනක් විතර යද්දි සියලුම කෝච්චි වල වැසිකිලි ඒ විදියට හදලා ඉවර කරන්න පුළුවන්."

"හැම කෝච්චියම හැම දවසකම මෙතනට එන්නේ නැහැ. උදාහරණයක් කිව්වොත් මහනුවර-මාතර යන කෝච්චිය අපි ගෙනියන්නෙ කෝච්චි සෙට් දෙකකින්. වව්නියාව-මාතර යන රජරට රැජිණ යන්නේ කෝච්චි සෙට් පහකින්. ඒ කෝච්චිවල සමහර සෙට් අපිට නඩත්තුවට හම්බවෙන්නෙ දවස් ගණනකි. ඒත් හැම ගමනාන්තයකදිම කෝච්චිය අතුගෑම නම් අදාළ ගමනාන්ත නැවතුමේ සේවකයො කරනවා. එන්ජිමේ නඩත්තු කෝච්චි පෙට්ටිවල අඩුපාඩු හැදෙන්නේ මෙහෙ ආවට පස්සෙ."

කුලතුංගගේ මේ කතා අතරේම මාළිගාවත්තේ සිට අපි යළිත් දෙමටගොඩට පැමිණ සිටියෙමු. දෙමටගොඩදී අපේ මගපෙන්වන්නාද මාරු වූයේය. දෙමටගොඩ අංගන්යේදී අපට මුණගැසුණේ මැණික් මහතාය. ඔහු දුම්රිය ජීවිතයේ අවරුදු 33ක් ගත කළ කෝච්චි වල හුස්ම හැඳින්නෙකි.‍

"දෙමටගොඩ නම් තියෙන්නෙ 'එස් 11' කියන ඉන්දියාවෙන් ගෙනාපු කෝච්චි. මේ කෝච්චි නම් හැම එකක්ම වගේ හැමදාම මෙතනට එනවා. පිරිසිදු කිරීම් හැරුණාම අනෙක් ඔක්කොම නඩත්තු අපේ සේවකයො තමයි කරන්නේ. එන්ජිමේ ප්‍රශ්න, අනෙකුත් තාක්ෂණික ගැටලු ඔක්කොම පුළුවන් තරම් හදනවා. ලොකු ප්‍රශ්නයක් තිබුණොත් සති අන්තවල තියාගෙන හදනවා. අනතුරක් වුණොත් ඒ අනතුරෙන් වෙන හානි ගොඩක් වෙලාවට එදාම හදනවා. කලින් දවසෙ රුහුණු කුමාරියට හරකෙක් හැපිලා තිබුණා. ඒකෙන් එන්ජිමේ යට ආවරණය ටිකක් ඇදවෙලා තිබුණා. ඒක වෙලා තිබුණෙ මාතර යද්දි නිසා අපට එදාම ඒක හදන්න බැරි වුණා. අපි අද තම්යි එක හැඬුවේ." ඔහු අලුත්වැඩියාව අවසන් කර නික්මෙන්නට සූදානමින් තිබුණු රුහුණු කුමාරිය පෙන්වමින් කීවේය.

"මේ දිනපතා නඩත්තුවලට අමතරව නියමිත කාලයකට වරක් එන්ජිමේ විදුලි පද්ධතිය, රෝදවල හැඩය අපි පරීක්ෂා කරනවා. අනෙක් වාහන වල වගේම එන්ජිම සර්විස් කරනවා. රෝදවල හැඩය සහ එන්ජිමේ නඩත්තුව් නම් හරියටම කාලයට කෙරෙනවා. එහෙම නොවුණොත් කෝච්චි මග කැඩෙනවා. රෝදවල හැඩය වෙනස් වුණොත් පීලි පනිනවා.

අපි කෝච්චියක් අවලංගු කරන්න නිර්දේශ කරන්නෙ ඉක්මනින් හදන්නම බැරි නඩත්තුවක් ආවොත් විතරයි. මේ ඉන්දියන් කෝච්චි කාලයක් දිගටම කැඩුණා. එත් දැන් අපේ තාක්ෂණ ශිල්පීන් ඒ අඩුපාඩු හොයාගෙන ගොඩක් අඩුපාඩු හදලා තියෙන්නේ. ඉන්දියාවෙන් ගේනවට වඩා හොඳ තත්වයේ දැන් මේ කෝච්චි තියෙනවා. අපට කරන්නම බැරි අලුත්වැඩියාවක් ආවොත් අපි කෝච්චිය රත්මලානට යවනවා."

"දවස ගානෙ කරන්න තියෙන දේවල් ටික කරල කෝච්චිය ආයෙත් ගමනට ලෑස්ති කරන්නෙ නියමිත ගමන් වෙලාවට කොයි තරම් වෙලාවක් තියෙද්දිද?"

"මම ඒක වෙලාවක් එක්කම කියන්නන්කො, එතකොට හොඳට තේරුම්ගන්න පුළුවන්. රුහුණු කුමාරි මාතර යන්න මරදානෙන් පිටත්වෙන්න තියෙන්නේ හවස 3.40ට. අපි රුහුණු කුමාරි වෙනුවෙන් කරන්න තියෙන වැඩ ටික හවස් 1 විතර එද්දි ඉවර කරනවා. රියදුරු මහත්තය හවස 2ට විතර කෝච්චිය බාර ගන්න එද්දි කෝච්චිය සූදානමින් තියෙන්න ඕන. රියදුරු මහත්තය කෝච්චියට නැගල එන්ජිම ස්ටාර්ට් කරල මොනව හරි අඩුපාඩුවක් කිව්වොත් ඒකත් හදල දෙන්න අපි ලෑස්තියෙන් ඉන්න ඕන."කෝච්චි, ගමනට සැරසෙන්නේ එහෙමය. රටපුරාම ගොස් වෙහෙසවී එන කෝච්චි ගිමන් හරින්නේත් නැවත් සවිමත් වෙන්නේත් මෙතැනදීය. කෝච්චි ගමනට සැරසෙන තැනින් අපේ කතාව කෙළවර කරන්නට වන බව අපට සිතුණේ ඒ වෙද්දී පිවිසුම් ගේට්ටුව පෙන්න මානයට අපි පැමිණසිටි නිසාය.

දුම් රිය අංගනයක් පුරා සිත්සේ ඇවිද යන්නට පිටස්තරයකුට ඉඩ ලැබෙන්නේ කලාතුරකිනි. කතාවට පණ නැති කෝච්චි ඇති තැනකැයි කීවද මා පිටව යන්නේ කුමරියන්, දේවියන් , රැජිණියන් සිය ගිමන් නිවාගන්නට යනෙන රාජකීය නවාතැන්පොළකින් නොවේ දැයි මට සිතුනේ මා දන්නා කියන හිතවතියන්ද අලුතින් දැන හැඳිනගත් හිතවතියන්ද ඒ සා රාජකීය නම් ඇත්තියන් වන නිසාය.

[නෙලූෂා සිල්වා]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?