දේශපාලකයන් මාළු බාන ගාලු පිටිය

 ඡායාරූපය:

දේශපාලකයන් මාළු බාන ගාලු පිටිය

ගාල්ල කියන්නෙ ක්‍රිකට් ක්‍රීඩාංගණයක්. එය රැකගනිමුයැයි විශාල සටනක් පසුගිය සතියේ රට තුළ දියත් වුණා. යුනෙස්කෝ ගාලු උරුමය ආරක්ෂා කිරීමට යාමේදී ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අනවසර ඉදිකිරිම් ඉවත්කිරීම් සම්බන්ධයෙන් පැනනැග තිබූ ගැටලුකාරී තත්ත්වයක් සමඟ ක්‍රීඩාවට දේශපාලනය ඇවිත් තිබුණා. දේශපාලනය හා ක්‍රීඩාව එකිනෙක සමපාත නොවුණත් ක්‍රීඩාව තුළට පැමිණෙන දේශපාලනය ක්‍රීඩාවෙන් අතුගා දැමීම හා ක්‍රීඩාව නිර්දේශපාලනික කිරීම අපේ යුතුකමක්. ඒ නිසා මේ ලිපිය අපි ලියන වග කිවයුතුයි. සියලු පාර්ශ්ව මෙම ලිපිය කියවන්න කියන ඉල්ලීමත් දේශපාලනය ඉවත් කර ගාල්ල ආරක්ෂා කරගන්න දේශපාලන අරමුණින් තොරව එක්වෙන්න කියන කාරණයත් මෙම ලිපිය ආරම්භයේදී පැවසිය යුතුයි.

 

“ගාල්ල ක්‍රීඩාංගණයට ආරක්ෂා කරගනිමු

වාසනාවන්ත ගාල්ල රැක ගනිමු

ගාල්ලට අපි මවට වගේ ආදරෙයි“

පසුගිය දිනවල සමාජ ජාල මාධ්‍ය, ගාල්ල නගරයේ උද්ඝෝෂණයන්හි නියැලි කණ්ඩායම් නැගූ ප්‍රකාශයන් කීපයකි. ගාලු ක්‍රීඩාංගණය ගැන කතාව හයියෙන් හයියෙන් කතාකරන්නට බොහෝ දෙනෙක් පෙරමුණ ගත්තේ එලෙසිනි. එකී කතාව පාර්ලිමේන්තුව දක්වා පැමිණි අතර විශේෂ ප්‍රකාශ නිකුත්කිරීමක් දක්වා එය දුරදිග ඇදුණේය.

‘ගාල්ල ඉවත් කරන්න එපා. අපි ගාල්ලේ අනවසර ගොඩනැගිලි කඩා දමා තරගයක් පැවැත්වෙන විට තාවකාලික කූඩාරම් ඉදිකර ලෝක උරුමය රැකගනිමු, වසරකට දින දහයක් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන ගාලු ක්‍රීඩාංගණය ඉවත් නොකර ගොඩනැගිලි ඉවත්කිරීමේ තාක්ෂණය විසඳුම කරගනිමු’ වැනි අදහස් පාර්ලිමේන්තුවේදීත් ගාල්ල ගැන කතා වුණේය.

යුනෙස්කෝ ලෝක උරුමයන් විෂය භාර අමාත්‍යවරයා වන අකිල විරාජ් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂත්, දක්ෂිණ සංවර්ධනය භාර සාගල රත්නායකත්, ස්වදේශ කටයුතු භාර වජිර අබේවර්ධන මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ කතාකිරීමේ වැඩි අවකාශයක් හිමි අර්ජුන රණතුංගත් එහිදී අදහස් පළකළහ. විපක්ෂය වෙනුවෙන් දිනේෂ් ගුණවර්ධන ඇතුළු කණ්ඩායම් මෙන්ම පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වූ චන්දිම වීරක්කොඩිත් අදහස් දක්වනු ලැබිණි. සමස්ත සිද්ධිය සමාලෝචනය කරද්දී උත්තරීතර පාර්ලිමේන්තුවේදී කියැවුණේ ගාල්ල ක්‍රීඩාංගණය ඉවත් නොකරමින් ගාල්ලේ ලෝක උරුමයද රැකගැනීමට ආණ්ඩුව සූදානම් බවය. ඒ සමඟ විපක්ෂයද එකඟ වූ හෙයින් සිද්ධිය එයින් සමථයකට පත්විණි.

එහෙත් සෙනසුරාදා දිනය උදාවුණේ ගාල්ල ක්‍රීඩාංගණයෙන් දිය බොරකරගනිමින් මාළු බාන්නට උත්සහ ගන්නා දේශපාලනඥයන් කීපදෙනෙකුගේ උත්සාහයත් සමඟිනි. පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ, ද්විත්ව පුරවැසි භාවය හේතුවෙන් ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවෙන් නෙරපා හළ රංගන ශිල්පිනියක වන ගීතා කුමාරසිංහ ඇතුළු කණ්ඩායමක් දේශපාලන මතිමතාන්තර කෙසේවෙතත් දේශපාලනික වශයෙන් ජනතාව මුළාවට පත්කරමින් මෙලෙස ගාල්ලේ උද්ඝෝෂණයක් ආරම්භ කර තිබුණේය. ගාල්ල ක්‍රීඩාංගණය රැකගැනීම ඔවුන්ගේ සටන් පාඨය විය. පාර්ලිමේන්තුවේදී සිකුරාදා දිනයේ ඉවත් නොකරන බව කියූ ගාල්ල ක්‍රීඩාංගණය වෙනුවෙන් මහා මාර්ගය අවහිර කරමින් ජනතා පීඩාවක් ඇති කරමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කර තිබුණේ ඒ අනුවය.

රූපවාහිනී කැමරා, වෙසෙසින් විපක්ෂය වෙනුවෙන් වැඩි වශයෙන් මාධ්‍ය භාවිත කිරීමේ අවස්ථා ලබාදෙන මාධ්‍ය ආයතන මෙම ගාලු ක්‍රීඩාංගණ උද්ඝෝෂණයට පුළුල් ප්‍රචාරයක් ලබාදීමට උත්සහ කළහ. ඔවුන් විසින්ම ඊට පෙරදින පාර්ලිමේන්තුවේදී ඇතිවූ වාද, විවාද, එකඟතා පිළිබඳ ගෙනහරින ලද රූපරාමු, හඬ පට අමතක කරමින් එසේත් නැතහොත් තමන්ම මීට පෙර ඉදිරිපත් කළ වාර්තා සදොස් හා සැක සහිත බවක් අනියමාර්ථයෙන් ප්‍රකාශයට පත්කරමින් මාධ්‍ය යනු හුදු වාර්තාකරණය පමණක්ය යන්න නැවත වරක් ප්‍රකාශයට පත්කරමින් මෙම උද්ඝෝෂණයට පුළුල් ඉඩක් වෙන් කරනු ලැබුණේය. මේ ආකාරයෙන් ගාල්ල ගැන නොදන්නා, ගාල්ල ක්‍රීඩාංගණයේ තබා වෙනත් ක්‍රීඩාංගණයකවත් වැස්සටවත් ක්‍රීඩා කර නැති මල් ගස් වටේ පමණක් දිවගොස් ඇති රංගන ශිල්පිනියන් සමඟ දේශපාලන රංගන ශිල්පීන් තෙපළන වහසි බස් වලින් ජනතාව සතු තොරතුරු දැනගැනීමේ අවකාශය පුරවා දමනු ලැබුණේය.

ගාලු ක්‍රීඩාංගණය ගැන උද්ඝෝෂණ අවශ්‍යද?

දැන් මෙතැන ඇති පළමු හා ප්‍රධාන ප්‍රශ්නය වනුයේ ගාල්ල ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ ඇතිවූ එකඟතා මෙම උද්ඝෝෂණ සංවිධායකවරුන්ට හෝ උද්ඝෝෂණ මේනියාවකින් පෙළෙන බල පෙරළියක් පතන දේශපාලනඥයන්ට පිළිගත නොහැකිද යන්නය. උත්තරීතර පාර්ලිමේන්තුව තුළ පක්ෂ හා විපක්ෂ ජනතා නියෝජිතයන් තර්ක, ප්‍රතිතර්ක මෙන්ම අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ඊට දින කීපයකට පෙර නිකුත් කළ මාධ්‍ය නිවේදන නොසලකා හරිමින් මෙවැනි විරෝධයක් මුදාහැරීම යුක්ති යුක්තද යන කාරණය. ව්‍යවස්ථාපිත අයිතියක් වශයෙන් උද්ඝෝෂණය පිළිගත හැකිවුවත් ගාල්ල ක්‍රීඩාංගණය ගැන ඔවුන් සෙනසුරාදා කළේ එම ව්‍යවස්ථාපිත අයිතිය කඩේ යැවීමක් පමණක් බවය. ගාල්ලේ ජනතාව මතුනොව රටේම ජනතාව මුළාවට පත්කිරීමකි.

මෙරට විපක්ෂයේ ඇතැම් පාර්ශ්ව තුළ බොහෝ විට ඇත්තේ කෙන්ද කන්ද කර ජනතාව ගොනාට අන්දවා ඉදිරි මැතිවරණයකදී ඔවුන්ගේ අසීමිත වටිනාකමකින් යුත් පරමාධිපත්‍යයට පහර ගැසීම පමණය. ඒ වෙනුවෙන් ගත හැකි කවර ක්‍රියාමාර්ගයකට එළඹීමට වුවද මේ විපක්ෂ ක්‍රියාකාරිකයන් යැයි කියාගන්නා පිරිස අකමැත්තක් නැත. බලය වෙනුවෙන් කෑදර වන්දිභට්ට දේශපාලනයේ ස්වභාවය එවැනිය. ජනතා පරමාධිපත්‍යයැයි කියමින් ජනතාවගේ ඡන්දය පිට් පොකට් ගැසීමට පිට පොට ගැසීම සඳහා මෙවැනි උද්ඝෝෂණ මාෆියාවක් අනවශ්‍ය අවස්ථාවලදීත් ඔවුන් උත්කර්ෂයට නංවන්නේ එහෙයිනි. වියළි කාලගුණය පවතින කාලයට ඒ ස්වභාවික සංසිද්ධිය සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් පවත්වා ලකුණු කීපයක් දමාගන්නට විපක්ෂය කැමතිය. වර්ෂාව ඇද වැටී ප්‍රදේශ රැසක් නායයන්නේ නම් එසේත් නැතහොත් ගංවතුරෙන් පීඩා ඇතිවන්නේ නම් ආපදාවට පත්වූවන් සඳහා සහන සැලසීමේදී රජය ඔවුන්ට ලබාදෙන ආහාර වේලේ කරපිංචා නැට්ටේ සිට ප්‍රශ්න කරමින් රූපවාහිනී, ගුවන් විදුලි මයික්‍රෙපෝන මතු නොව පුවත් පත් පිටු තීරු පුරවන්නට ඔවුන් සූදානම්ය. ගාල්ල ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් පැවැති උද්ඝෝෂණය අනවශ්‍ය ප්‍රයත්නයක් යැයි අප කියන්නේ එවැනි පසුබිමකය.

ජාතික වගකීම

මෙහිදී අපට කියන්නට අවශ්‍ය තවත් කරුණක් තිබේ. මානව අයිතිවාසිකම් වේවා, ව්‍යවස්ථාපිත අයිතියක් වේවා ඕනෑම කෙනෙකුට උද්ඝෝෂණ පැවැත්විය හැකිය. බලයේ පවතින ඕනෑම ආණ්ඩුවකට එවැනි උද්ඝෝෂණ සඳහා සංවේදී වීමට හා ඒවාට යහපත් ප්‍රතිචාර දැක්වීමටත් හැකියාව තිබිය යුතුය. එවැනි සාධනීය උද්ඝෝෂණ ආණ්ඩුවකට තමන් යායුතු නිවැරදි දිශාව තීරණය කරන්නට ජනතාවගේ පාර්ශ්වයෙන් විපක්ෂය විසින් දර්ශනය කරවන මාලිමාවක් බඳුය. එහෙත් ඕනෑ එකටත්, එපා එකටත් උද්ඝෝෂණය කිරීම යනු රටක් අරාජික කිරීමකි. ජනතාවට පාර්ලිමේන්තු ක්‍රමය ගැන අවිශ්වාසය ඇතිකිරීමකි. ඒ පිළිබඳව තේරුම්ගැනීමට රටක විපක්ෂයකට හිසක් තිබිය යුතුවේ. සිව්වැනි ආණ්ඩුව ලෙස සැලකෙන මාධ්‍යයටද අවබෝධයක් තිබිය යුත්තේය.

වත්මන් ආණ්ඩුව බලයට පත්වූ දා සිට මෙරට විපක්ෂය අඬවැඩියාවක් ලෙස නගන තර්ක කීපයක් තිබේ. ඉන් එකක් වනුයේ නීතිය නවනවා යන්නය. රටක නීතිය නවනවා යන්නෙන් ඔවුන් කියන්නට යන්නේ තමන්ට එරෙහිව ක්‍රියාත්මක වන නීතිය යටපත් කිරීමටය. එහෙත් එයින් සිදුවන්නේ රටක අධිකරණ පද්ධතිය මගින් ක්‍රියාත්මක නීතිය සම්බන්ධයෙන් ඒ රටේ ජීවත්වන ජනතාවගේ විශ්වාසය හීන වීමය. වර්තමානයේ අධිකරණය ලබාදෙන තීන්දුවලට ඇඟිලි නොගසන, අධිකරණය ස්වාධීන යාන්ත්‍රණයක් බව පිළිගනිමින් කටයුතු කරනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ කෙරේ ජනතාව තුළ සැකය මතුකිරීම කිසිසේත්ම යෝග්‍ය නැත. එය සහගහන අපරාධයක් ලෙසද සැලකිය හැකිය.

මේ සියල්ල සඳහා වේදිකා තනන්නේ අප පෙරකී නිස්සාර උද්ඝෝෂණවලට වේදිකාවක් තැනූ මෙරට ජනමාධ්‍ය යැයි කියාගන්නා ජනතා රස වින්දනය දෙකේ කොලයට දමා තමන්ගේ රස නහර වෙනුවෙන් රටක රංගන ශිල්පීන් අඩනිරුවත් කර නටවන මාධ්‍ය ආයතන කීපයක්ය. උදේ සිට රෑ වනතුරු රියැලිටි කියා ජනතාවගේ සාක්කුවෙන් ගානක් කොටා ගන්නාවූත්, ආණ්ඩුව විසින් අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහන ඇතුළු එකී මෙකී ක්ෂේත්‍ර පුළුල් කිරීමට එරෙහිව බදු ගහනවෝ යැයි දිවා රෑ කෑ ගසමින් තම ලොක්කාගේ පෞද්ගලික සුඛ විහරණයට මුදල් කඩාගන්නා රජයෙන් සංඛ්‍යාත ලබාගත් ඇතැම් මාධ්‍ය හා පුවත්පත්ය.

ඔවුන් ගාල්ල ක්‍රීඩාංගණය සම්බන්ධ සිද්ධියේදී කටයුතු කර ඇත්තේ වගකීම් විරහිතවය. අවසන් වශයෙන් අප කියන්නේ මේ උද්ඝෝෂණ පැවැත්වූවන්, උද්ඝෝෂණය විකාශය කරවූවන් එක දෙයක් රටට පැහැදිලිව ඒත්තු ගන්වා ඇති බවය. එනම් පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය පිළිනොගැනීමට ජනතාව පෙළගැස්සවීමය. නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට රෝගී ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ වෙනයම් තන්ත්‍රවාදයකට රට තල්ලු කිරීමට කටයුතු කිරීමය. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට රටට අවශ්‍ය වනුයේ ඒකාධිපතිවාදයකැයි කියා ජනාතවගේ සිතිවිලිවලට එන්නත් කිරීමය. එ්ත් අප කියන්නේ එය එතරම් බුද්ධි ගෝචර නැති බවය. බල පෙරළියක පටු අරමුණකට වඩා ඉන් සිදුවන හානිය වැඩිය. එහෙයින් අවසන් වශයෙන් ඒකීය භාවය ගැන තමන් සිදුකරන ඊනියා බිරිල්ල ගාල්ලේ ක්‍රීඩාංගණයේ බොරදියේ මාලු බාමින් පාගලා යමං බං මේ ගාල්ල යැයි කියන්න උත්සහ කළ මන්ද බුද්ධික උද්ඝෝෂක දේශපාලකයන්ට අපට කියන්නට ඇත්තේ ගාල්ල දඩමීමා කර විසඳුනු ප්‍රශ්නයක් වමාරා යළි මුලසිට ආහාරයට ගැනීමට උත්සහ නොකරන ලෙසය. එ් ආකාරයෙන් ආහාරයට ගත් දේ යළි වමාරා ආහාරයට ගන්නා සත්ව කොට්ඨාසයට ඔබේ ඇති ඥාතිත්වය මොනවට පැහැදිලි වන බවය.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා