වෙස්වලාගෙන රාජසිංහ රජු ගිය බලන කපොල්ල සොයා...

 ඡායාරූපය:

වෙස්වලාගෙන රාජසිංහ රජු ගිය බලන කපොල්ල සොයා...

 ආරක්ෂාව ගැන සොයන්න

ඉඟුරු දීලා මිරිස් ගත්ත ගොඩක් දෙනෙක් මේ සමාජේ ඉන්නවා…. සාමාන්‍ය මිනිස්සු විතරක් නොවෙයි, ඉඟුරු දීලා මිරිස් ගත්තු රාජ්‍ය පාලකයොත් අපේ රටේ ඉන්නවා… අතීතයේ ඉඳලත් තියෙනවා… අපි අද දවසේ රැස සංචාරයට තෝරාගත්තේ ඉඟුරු දීලා මිරිස් ගත්ත නුවර යුගයේ රජෙකුට සම්බන්ධ අතීත මතකයන් හොයාගෙන යන්න.

කන්ද උඩරට රජකරපු සෙනරත් රජතුමාගේ පුතා තමයි මහා අස්ථාන කුමරු කියන්නේ…මෙතුමා 1634 දි දෙවැනි රාජසිංහ නමින් සෙංකඩගල රජවෙලා, 1638 දී ලන්දේසී අද්මිරාල් ඇඩම් වෙස්ටර්වෝල්ඞ් එක්ක ගිවිසුමකට එළඹෙනවා, පෘතුගිසීන්ව මෙරටින් එළවා දමන්න. හැබැයි රජතුමාගේ කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නෑ, පාතුගීසීන් පළවා හැරලා පෘතුගිසි බළකොටු වල බලය ලන්දේසින්ට දෙන්න. නමුත් සිද්ධ වෙන්නේ ඒක. අවසානයේ රජුට සිද්ධවුණේ පෘතුගීසි බලපෑම වෙනුවට ලන්දේසි බලපෑමට නතුවෙලා කන්ද උඩරට පාලනය කරන්න. මේ හේතුව නිසා රට වැසියෝ රජතුමා ගැන කතාකළේ සමච්චලෙන්…ඉඟුරු දීලා මිරිස් ගත්තා කියන කතාව කළ එළි බැස්සේ එතැනින්.

කඩුගන්නාවෙ ඩෝසන් කුළුණ ළඟින් වමට හැරෙන පාර කෙලවර වෙන්නේ පොත්තපිටියෙන්. ඒ පාරේ ටික දුරකින් ආයෙම වමට හැරුණහම බලනට යන්න පුළුවන්. අපි ගියේ ඒ පාරේ… කාලසටහනකට කඩුගන්නාවෙන් බලනටත්, බලනින් කඩුගන්නාවටත් එන යන හුරුබුහුටි ලංගමේ තමයි වටපිටාවේ කාගෙ කාගෙත් ගමන් අවශ්‍යතා පිරිමහන්නේ.

උස් කඳු මුදුන්, තේවතු පහුකරගෙන යන බස් එක අඩ හෝරාවකින් බලන කොටුව කිට්ටුවට.

“පුතාල මෙතැනින් බහින්න…. ඉස්සරහ කොස්ගහ ළඟින් කන්ද නැඟල යන්න…”

ආගන්තුක අපිට පාර කිව්වේ කොන්දොස්තර මාමා….

බලන කොටුව කියන්නේ උඩරට රාජධානියේ මුරපොළක්. පෘතුගීසි බලපෑම් නිසා මැණික්කඩවර බලකොටුව උඩරට රාජධානියට අහිමි උනාගෙන් පස්සේ ඉතිරිවුණ වැදගත්ම මුරපොළ තමයි “බලන කොටුව” කියන්නේ. නිරිත දිගෙන් කඳුකරයට ඇතුළු වෙන දොරටුවට ඉහළින් තමයි බලන කොටුව ගොඩනඟල තියෙන්නේ… මේ කොටුව ගොඩනඟල තියෙන්නේ පළමුවන විමලධර්මසූරිය රජතුමා… 1592 රජවූ විගසම අමුණූපුර මුදලි ලවා මෙම බළකොටුව ඉදිකොට ඇති අතර 1597 දි ඇතිවූ දන්තුරේ සටන පාලනයට මෙම බළකොටුව උපායමාර්ගිකව වැදගත්වි ඇති බව කියැවෙනවා… මේ බළකොටුව ඉදිකිරීමට අමුණුපුර මුදලි යටතේ සේවය කළ පිරිස් වලින් බලන ප්‍රදේශය ජානාකීර්ණ වූ බවද සඳහන්. මෙම කොටුවේ රාජකාරි සඳහා මාමඩුවල,රත්මීවල,කඳන්වල යන ගම්වරයන් වෙන්කළ බවත් ඉතිහාසයේ දැක්වෙනවා….

කොස්ගහ ගාවින් බසයෙන් බැහැපු අපි, පුංචි පියගැට පෙළක් දිගේ කන්ද නඟිමින් ඉදිරියට ගමන් කලේ බලන කොටුව හොයාගෙන. දෙපැත්තෙන්ම සාරවත් තේවතු පිරුණු බිමෙක සැකසුණු සිමෙන්ති පඩිපෙළ මෑතක තැනූ එකක්.

බසයෙන් බහිද්දි බොහොම පැහැදිලිව තිබුණූ වටපිටාව ඝන මිහිඳුමකින් වැහෙන්න ගියේ ඉතාමත් කෙටි වෙලාවක්… අඩි දහයක දොළහක ඉදිරිය පවා නොපෙනෙන තරමට ගණකම්ව වැඩුණු මීදුම ගුප්ත හැඟීමක් මතුකලා… පෙරදා රැයේ වැස්සෙන් තෙමුණු බිමත් - මිහිඳුමත් නිසා අප අතරමං වුණේ අවාරයේ සිරිපා හිමේ තැනක දැයි සැකයක් මතුවුණා…

1830න් පසුව, මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගය ඉදිවූ පසු වැදගත්කමක් නොවුණු මෙම භූමිය අතහැර ගිය බ්‍රිතාන්‍යයන්, බලන කොටුව පිහිටි බිම් කඩ තේ වගාව සඳහා බ්‍රිතාන්‍යයේ සිට පැමිණි ආයෝජකයින්ට විකුණා දැමුවා… පසුකාලීනව මෙම ඉඩමේ අයිතිය දුරයා නම් දේශීය පුද්ගලයෙකුට පැවරී ඇති බවත්, ඔහු විසින් කොටුව පැවැති බිම එළිපෙහෙලි කොට තේ වගාව සිදුකළ බවත් සදහන් වෙනවා… පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බලන කොටුව ගැන හොයා බලන්නේ නිදහසෙන් පස්සේ සමයක. ඒ වෙනකොට වසර 150ක් තිස්සේ කොටුවට සහ එහි අවශේෂ ඉදිකිරිම් වලට බොහෝ බලපෑම් සිදුව තිබෙන්නේ දේශීය වතු වගා කරුවන් අතින්…

මීටර තුන්සියයක පමණ පාගමනකින් පසු තේවගා බිමත්, සිමෙන්තියෙන් ඉදි කළ පඩිපෙළත් අවසන් වෙනවා… මෙතැනින් පසු ඇරඹෙන්නේ පුරා විදු රක්ෂිත බිම.

අඩිපාර දිගේ නැග්මක ටික දුරක් ගියහම, පාදම විතරක් ඉතිරි වුණු ගොඩනැඟිල්ලක් පේන්න ගන්නවා… තවත් ටිකක් ඉදිරියට යද්දි පඩිපෙළ ආදියත් දකින්න පුළුවන්. ගඩොළින් සහ කළු ගලින් කළ පාදම තවමත් ශක්තිමත්. නමුත් කලකට පෙර විසිර ගිය ගඩොල් සහ කළුගල් පුරාවිද්‍යා නිළධාරීන් විසින් එක්රැස් කර සිමෙන්ති බදාමයෙන් බැඳ ඇති බව පැහැදිලිව දකින්න පුළුවන්.

අද දවස වන විට මුරකරුවෙකු හෝ කාර්යාලයක් නැති හුදකලා බිමක් වුණත්, වසර දෙසීයකට පෙරත් හාරසියයකටත් පසුත් සමයේ බොහොම කාර්ය බහුල මුරපොළක් වුණු මේ ස්ථානයේ , රැකවල් භටයන් විස්සක තිහක පිරිසකුත්, භාණ්ඩාගාර නිළධාරීන් කිහිපදෙනෙකුත්, චර පුරුෂයිනුත් නිරන්තරව සේවය කරන්නට ඇති බව තමයි ඉතිහාස කතන්දරවලින් කියැවෙන්නේ…

විමලධර්මසූරිය රජතුමා ගේ සමයෙදි ඉදිවුණාට, මෙම බළකොටුව හා ආශ්‍රිත ප්‍රදේශය උපරිමව ප්‍රයෝජනයට ගත්තේ ‘ඉඟුරු දීලා මිරිස් ගත්තු” දෙවැනි රාජසිංහ රජ්ජුරුවෝ…. හැබැයි ඒ විදෙස් සතුරන්ගෙන් බේරෙන්න නොවෙයි, තමන්ට එරෙහිව ආව තමන්ගේම එවුන්ගෙන් බේරිලා රාජ්‍ය ස්ථාවරත්වය ගොඩනඟාගන්න. ඒ නිසාම තමන්ගේ චරපුරුෂ සේවයේ විශ්වාසනීයත්වය තමන්ම පරීක්ෂා කරන්න රජතුමා කටයුතු කරලා තියෙනවා. මේ ඒ වගේ කතාවක්.

දිනක් දෙවන රාජසිංහ රජු තම මුරකාවල්වල තත්ත්වය පිරික්සීමට මඟියෙකු ලෙස වෙස්වලාගෙන බලන කඩයිම වෙත ඇවිත්. ඒ කඩඉමෙන් ඇතුළුවීමට අවසර ඇති වේලාවෙන් පසුව. අවේලාවේ කඩයිම පසු කිරීමට ඉල්ලා සිටිය දී ඒ සිටින්නේ මගියෙකු ලෙස වෙස් වලාගත් රජු බව නොදත් හේවායෙක් රජුට එම කඩයිම පසු කිරීමට ඉඩ ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ... කෙතරම් පැවසුවත් අවසරය ලබා නොදුන් හෙයින් හොර රහසේ මුදල් දී ඔහුව නම්මවා ගැනීමටද රජු උත්සාහ කරන ලද නමුත්, එම හේවායා එයට ද එකඟ වෙලා නෑ. මෙහිදී තම සැබෑ බලය භාවිතා නොකළ රජු නැවත මාළිගය වෙත ගොස් පසුදින එම හේවායාට තෑගි බෝග යවා රාජ්‍යයට ඇති පක්ෂපාතීත්වයට ප්‍රශංසා කළ බව කියවෙනවා.…. හැබැයි මේ ජනකතාව වෙනත් මුරකපොළු ආශ්‍රිතවද ගොඩනැඟී පැතිර යන නිසා එය බලන කොටුවේම සිදුවූවක්ද යන්න නම් පැහැදිලි නෑ.

වර්ග අඩි දෙදහකට ආසන්න බිමක පැතිරුණු බලන කොටු ගොඩනැගිල්ලේ සිව් කෙළවර මුර අට්ටාල වල පාදම හඳුනාගත හැකියි. දකුණු දෙසින් මාවනැල්ල නඟරය පසුකොට බතලේගල ප්‍රදේශය සිසාරා ඈත සබරගමුව දක්වාම දැකිය හැකි අතර, නැගෙනහිරෙන් සහ උතුරෙන් පෙනෙන්නේ නිල්වන් කඳු මුදුන් පමණයි. බටහිර දෙසින් වෙල්යායක් හඳුනාගත හැකියි. අතිතයේ සතර කෝරළයේ සිටත්, සබරගමුවේ සිටත් කන්ද උඩරටට එන මඟ වැටි තිබී ඇත්තේ ඒ කඹුරු යාය ඉහත්තාවෙන්. ජනාවාස වී ඇති මහ කැලේ මැද්දෙන් අඩි පාරවල් දිගේ කඳුරටට පිවිසෙන කාටත් මේ කපොල්ල මගහැර යන්න හැකියාවක් තිබී නෑ…

අලෙවිය සඳහා පෘතුගිසින්ට, ලන්දේසීන්ට ගෙනියන කෘෂි ද්‍රව්‍ය වෙනුවෙන් බදු අයකිරීමත් සිදුවෙලා තියෙන්නේ මේ මුර කපොළ්ල අසළදී. මුරකපොල්ලට පහළින් කුඹුරුයාය ආසන්නයේ වූ කොස් ගසක් අසළ බදු නිළධාරින් සිටි බව තමයි අතිත ලේඛණ වල සටහන් වෙන්නේ… අද දවසේ ඒ කොස් ගස අයිති පුද්ගලික හිමිකරුවෙකුට. බලන සිට කඩුගන්නාවට ඇදෙනපාර අයිනේ මෑතකදී කණින ලද කණ්ඩියකට උඩින් අනාරක්ෂිතව තිබෙන මේ ගස තද සුළඟකට අනිවාර්යයෙන් ඉදිරි වැටෙන්නේ අතීත මතකය අහිමි කරමින්. “කඩවත” අසළ පිහිටි කොස් ගස නිසා මේ කොස්ගස ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ‘කඩවතේ කොස් ගස’ නමින්. අද නම් ඒ ගස හැඳින්වෙන්නේ ‘කඩවත කොස්ගස” නමින්. මධම පරිසර අධිකරිය විිසින් රක්ෂිත වෘක්ෂයක් ලෙස නම් කළත්, ජල සම්පාදන මණ්ඩලයටත්, මාර්ග සංවර්ධන අධිකාරියටත්, විදුලිබල මණ්ඩලයටත් ඒ කතා අදාළ නැති බව තමයි පෙනුනේ. අපි එහි ගිය දවසේ උදේ වරුවේත් විදුලිබල මණ්ඩලයෙන් පැමිණ එහි අතු කපා ඉවත් කොට තිබුණා. මාර්ග සංවර්ධන අධිකාරිය ගසේ මුලත් කඳත් අසුවන ලෙස තාර දමා තිබුණා. ජල සම්පාදනයෙන් වතුර බට එලා තිබුණෙත් ගසේ කඳ පළුදු කරමින්.

ඒ අසලම පහළ කුඹුරේ තිබෙන විශාල කළුගල් තුනක් තිබුණත් එ් ගැන කිසිවෙකුගේ අවධානය යොමු වී නැහැ. බලන පදිංචි අනිල් අබේගුණවර්ධන මහතා අපට හමු නොවුණේ නම් ඒ ගැන අපිටත් වගේ වගක් නෑ…

“ඉස්සර පාර තිබුණේ මාවනැල්ලෙන්. මා ඔයෙන් එගොඩ වෙලා එනවා දුනුගමට. එතැනින් රත්මිවලට. ඊට පස්සේ දන්තුරේට. රත්මීවලයි, දන්තුරෙයි අතර තමා බලන තියෙන්නේ. ඊට පස්සේ දොඩංවල, ගන්නෝරුව, නුවර. ඔන්න ඔය කුඹුර දිගේ තමයි ඉස්සර මිනිස්සු ආව ගියේ… වාහන නෑනේ, යන්නේ පයින් නේ. එය ගල් ගෙඩි තුන ගාව ඉන්නවා මුර සෙබළු යන හැමෝම බර බිමින් තියලා කාගේ හරි උදව්වෙන් ගල උඩට නැඟල ආයෙත් බැහැල තමා ඉස්සරහට යන්න ඕන. එතකොට මොකුත් හංගගෙන යන්න බෑ… උඩ නඟිද්ද - බහිද්දි වෙනසක් තියෙන කොට දැනෙනවනේ…”

බලන කොටුවට අපේ පැමිණිම අහම්බයක්… ඒත් බලන කොටුව තනිවෙන්න නොදී හැම සති අන්තයකම පන්ති ගමන පැත්තක තියලා එතැනට එන පිරිසකුත් ඉන්නවා…ඒ අතරින් යුවළ කිහිපයක් අප සිටි බව නොදැන අදත් එහි ඇවිත්. බලන කොටුවට හුරුපුරුදු ඔවුන් තැනින් තැන ගල් පාදමකට වෙලා ලස්සන කතා සාගර වල ගිලෙද්දි, තැන තැනට සුසර වෙන අපේ කැමරාව ඔවුන්ට බාධාවක්. ඒ නිසා අපිත් හැකි ඉක්මනින් අවශ්‍යම දේ දැක බලාගෙන පල්ලම් බැස්සේ ආදර කතන්දර වලට බාධා කරන්න හොඳ නැති නිසා…

දැන් ආපහු කඩුගන්නාවට යනව වෙනුවට, බලන දුම්රිය පොළට පල්ලම් බහින එක හොඳයි කියල හිතුවේ, කෝච්චි පාර බොහොම කිට්ටුව නිසා.. ආසන්නයේම තියෙන අමුණුපුර ගල්ලෙන් විහාරය එදා දවසෙදි අපිට මඟ හැරුණේ, ඒ ගැන දැනුවත් විමක් බලන දුම්රිය පොළට එනතුරු නොලැබීම නිසා… එහෙත් ඔබ මේ ලිපිය කියවා, බලන කොටුව දකින්නට යන්නේ නම් අමුණුපුර රාජසිංහ ගල්ලෙන් විහාරස්ථානය දකින්නත් අමතක කරන්න එපා… මොකද රාජසිංහ රජුට එරෙහිව සෙංකඩගල පුර දී ඇතිවූ කැරැල්ලක ප්‍රතිඵලය ලෙස දෙවැනි රාජසිංහයන් සැඟවි දිවි ගෙවා ඇත්තේ මේ ගල්ලෙනේ වීම එහි ඇති වැදගත්කමයි.

[email protected]

සටහන [ඥානේන්ද්‍ර ප්‍රදිප් පතිරණ]

ඡායාරූප [ චතුර හේමාල්]

 

මාතෘකා