තට්ටු බිල්ඩින් යට කාඩ්බෝඩ් ජීවිත

 ඡායාරූපය:

තට්ටු බිල්ඩින් යට කාඩ්බෝඩ් ජීවිත

අහස උසට ගොඩනැගෙන නවින ගොඩනැගිලි සමූහයක් මැද තවමත් මෙලොවට අනාවරණය නොවූ පැල්පත් කෙතරම් ඇත්දැයි යමෙකු විමසුවහොත් කොළඹ අගනගරයේ එවැනි තැනි නොමැති බවට තර්කකරනු ඇත.නමුත් සත්‍ය එය නොවේ. බම්බලපිටියේ දුම්රිය වත්ත ලෙස හැදින්වෙන පැල්පත් නිවාස මීට ඇති හොදම නිදසුනකි.

සුදු රාජ්‍ය පාලන සමයේදී කොළඹ අගනගරයේ සිට දකුණු පළාත යාකෙරෙන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී බම්බලපිටිය දුම්රිය ස්ථානය ඉදිකළ අවස්ථාවේදි දුම්රිය ස්ථානයේ පැවැත්ම සදහා ඊට ඉදිරියෙන් ඇති මහමුහුදේ රළ පහර වැළැක්විම සදහා එවකට සිටි සුදු පාලකයින් විශාල තාප්පයක් වැනි බැම්මක් ඉදිකලේ මුහුදු ඛාදනයෙන් ගොඩබිම ආරක්ෂාකර බම්බලපිටිය දුම්රිය ස්ථානයට ආරක්ෂාවක් ලබාදිම අරමුණු කොටය.නමුත් වර්තමානය වනවිට මේ විශාල තාප්පය එක් පසෙක බිත්තියකට පරිවර්ථනය කරගනිමින් පැල්පත් සමූහයක් ඉදිවිම වර්තමාන ජනාවාසකරනයේ අදුරු පැතිකඩකි.

බම්බලපිටිය දුම්රිය වත්ත ලෙස හැදින්වෙන ලෑලි කාඩ්බෝර්ඩ් වැනි ද්‍රව්‍ය අනුසාරයෙන් ඉදිකර ඇති මෙම පැල්පත් සමූහයට ඇත්තේ වසර තිහකට අධික ඉතිහාසයකි. නූතන බිම්ගෙයි සිරකරුවන් ලෙස මෙහි පැල්පත් නිවාස විසිහතරක සිංහල ද්‍රවිඩ හා මුස්ලිම් පවුල් විසිහතරක් මෙන්ම පුද්ගල සංඛ්‍යාව එකසිය පණහක පමන පිරිසක් බම්බලපිටිය දුම්රිය වත්තේ දිවිගෙවති. නිවසකට ඇතුලුවීමේ දොරක් හැරෙන්නට වෙනත් දොර ජනෙල් කිසිවක් නැති මෙම පැල්පත් නිවාස තුල නිදාගැනීමේ පහසුකම් ඇත්තේ නිවාස කිහිපයක සුලු පිරිසකට පමණි.වැඩිපිරිසක් නිදා ගැනීම සදහා යොදාගන්නේ කාඩ්බෝඩ් කැබලි හෝ පත්තර පිටු මතය.

මහමුහුදට අඩි දෙකතුනක දුරින් ඇති මෙම නිවාස දිනපතාම මුහුදු රළින් තෙත්වන්නේ කිසිදු හිතක් පපුවක් නොමැතිවය. යම්තම් වටකරගත් වැසිකිළි සියල්ල මහමුහුදට මුහුණලා ඇති ගල්වැටියේ ඉදිකර ඇති අතර මොවුන්ගේ ප්‍රධානතම ජීවිකාව වී ඇත්තේ කුලි වැඩවල නිරතවීමය.නැතහොත් කොළඹ නගරයේ තැන්තැන්වල වැටී ඇති කාඩ්බෝඩ් කැබලි එකතුකර අලෙවි කිරීමෙන් උපයා ගන්නා මුදලින් ජීවත්වන ඔවුන් මුදල් ඉතිරිකිරිම පිළිබදව කිසිවක් දන්නේම නැත.මිනිසාගේ පැවැත්මට මෙන්ම මූලික අවශ්‍යතා පිළිබදව ඔවුනට ඇත්තේ අපිරිමිත බලාපොරොත්තු රැසකි.

නිලූකා නිල්මිණි

“ මගේ තාත්තා දෙමළ මගේ අම්මා සිංහළ පොඩිකාලේ ඉදංම දෙමළ සිංහල දෙකමකතාකරපු නිසා මේ භාෂා දෙකම පුලුවන් ”. සිනාමුසු මුහුණින් පිළිතුරුදුන් නදීෂා දුම්රිය වත්තේ වතගොත හෙළිකලේ මෙලෙසින්. අපි මෙහෙට ඇවිල්ල අවුරුදු තිහක් විතර වෙනවා.අපිට අපේ කියල පෙන්නන්න කිසිම දෙයක් නැහැ.හැදුනුම් පත් නැහැ.මේ ලගදී පොටෝ ගහල තාවකාලික හැදුනුම්පත් ලබා දුන්නා ඡන්දෙ නිසා .එදාම හවස එවා ආපහු එකතුකර ගත්තා.මේ වත්තෙ ඉන්නවා උප්පැන්න සහතිකයක් වත් නැති මිනිස්සු.අම්ම තාත්ත කවුද කියන්න දන්නේ නැහැ.උපන්න දවස කියන්න දන්නේ නැහැ.විශ්ව විද්‍යාලවලින් වෙන වෙන තැන්වලින් ඇවිත් අපිව පොටෝ ගහගෙන යනවා මේ වෙනකං වෙච්ච සෙතක් නැහැ.හතර වටින්ම පේන්නේ මහ ලොකු බිල්ඩිං. ඒත් අපි ගැන හොයල බලන්න කවුරුත් නැහැ.

බම්බලපිටිය දුම්රිය වත්තේ වැසියන්ට රාත්‍රියේ අදුර නිවාලන්නට විදුලිය හෝ පිපාසයට බොන්නට පිරිසිදු ජල බිදක් නොමැතිවා මෙන්ම හරිහැටි වැසිකිලි නොමැතිවීම ඔවුන්ගේ හිමිකම් කඩවීමකි.

නදීශා සදමාලි

මුහුදු රැල්ල හැමදාම අපේ ගෙවල් ඇතුලට ගහනවා.ඒ මදිවට මුහුදු වැලිත් එනවා.සුද්ද කරල ඉවරයක් නැහැ.මේ වත්තෙ ඉන්නවා පුංචි දරුවනුත් ඔවුන්ට ගැලපෙන පරිසරයක් නෙවෙයි මෙහෙ තියෙන්නේ.අපි හරි ආසාවෙන් ඉන්නවා අපිටම කියල පොඩියට හරි පහසුකම් තියෙන තැනකට යන්න.අපි ඉල්ලන්නේ අපේ දරුවන්ට පාසැල් යන්න පුලුවන් පහසුකම් තියෙන තැනකට අපිව ගෙනියන්න කියල.අපිට අඩුවක් නැතුව පොරොන්දුනම් ලැබුනා ඒ වුනත් ඒ කිසිම පොරොන්දුවක් මේවෙනකම් ඉෂ්ඨ වුනේ නැහැ .කෝච්චි යන එනකොට අපි හරි බයයි පොඩි දරුවන් ඉන්න නිසා.ඒ වුනත් අපේ ප්‍රශ්න කාටවත් තේරෙන්නේවත් තේරුම් ගන්න උත්සාහ කරන්නේවත් නැහැ.අපි ආසයි මෙහෙන් පිටවෙලා යන්න.

දඩල්ලගේ සිසිර කුමාර

මම කුලී වැඩ කරල තමයි ජීවත්වෙන්නේ.සමහර දවස්වලට වැඩපොලවල්වල අත්උදව් දෙන්න යනවා.දවසකට සමහර දවස්වලට රුපියල් දාහක් විතර හොයාගන්නවා.ඒ මුදල යන්තම් කන්න බොන්න ඇති ණය තුරුස් ගෙවල දැම්මාම ඉතිරිවෙන කිසි දෙයක් නැහැ. වැඩිපුරම කරන්නේ නගරයේ ඇවිදල කාඩ්බෝඩ් එකතුකරනවා.

අපිව වෙන ස්ථානයක පදිංචිකරවනවා කියන එක ඇහිල දැං ඇතිවෙලා තියෙන්නේ. පොරොන්දු කියනඑකේ සීමාවක් නැහැ.අපිට කිසිම සහනයක් මේවෙනකං කාගෙන්වත් ලැබුනේ නැහැ.අවුරුදු තිහකට වැඩිය කාලයක් අපි ගෙවන්නේ පුදුම දුකක්.හරි හැටියට වැසිකිළියක් නැහැ.බොන්න වතුර ටිකක් නැහැ.ඒ මදිවට රැල්ල ගහල අපේ ගෙවල් තෙමෙනවා.රාත්‍රියේ නිදාගෙන ඉන්නකොට රැල්ල ආවාම පුදුම දුකක් අපේ ජීවිත ගැන හිතෙන්නේ.

අපේ වත්තට එක පැත්තකින් පේන්නේ පෝර්ට් සිටිය.අනික් පැත්තේන් මහා ගොඩනැගිලි.මේ දෙක අතරට වෙලා අවුරුදු තිහක් අපිගතකරන ජීවිතය මේ රටේ මහ මිනිස්සුන්ට නොපෙනෙන එක තමයි පුදුමේ.

ලොව පැරණිම රැකියාව හා සබැඳි නම හෙළිනොකළ කාන්තාවක් පළකළ අදහස් මෙහි සදහන් නොකළොත් බම්බලපිටිය දුම්රිය වත්තේ පදිංචිකරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරිමකි.

මට වයස අවුරුදු පණස් තුනයි මට එක දරුවෙක් ඉන්නවා. මනුස්සයා මේ වෙනකොට සිරගතවෙලා ඉන්නේ.මට කරන්න දෙයක් නැතිනිසා තමයි මේ රස්සාව කරන්නේ.මටත් නිතරම හිරගෙදර යන්න වෙනවා මගේ රස්සාව නිසා මොකද කරන්නේ වෙන ජීවත්වෙන්න ක්‍රමයක් නැතිනිසා තමයි මේ රස්සාව කරන්නේ. අපේ වත්ත ගැන මිනිස්සු නොයෙකුත් කතා කියනවා.ඒක හරිම අසාධාරණයි. වත්තේ හැමෝම මංවගේ නෙවෙයි.ඒ අයට ජීවත්වෙන්න වෙන මොනවාහරි කරනවා. මේ මහ නගරේ අපිට උදව් කරන්න කවුරුත් නැති එක තමයි මේ හැම දෙයකටම මුල වෙලා තියෙන්නේ.අපිට තියෙන එකම අයිතිවාසිකම තමයි මළගෙදරක් වුනාම බොරැල්ල කනත්තේ අවසාන කටයුතු සිද්දකරන්න ලැබෙන එක. කොළඹ නගරෙ ලස්සන කරන්න කතාකරන අයගේ ඇස් අපේ පැත්තට යොමුවෙන්න කියල තමයි අපිට කියන්න තියෙන්නෙ.

අගනගරේ මහා සංවර්ධන ව්‍යාපෘති රැසකට මැදිව බම්බලපිටිය දුම්රිය වත්තේ ජීවිකාව ගෙනයන හඬක්නැති මිනිසුන්ට ජීවයක් ලබා දී සමාජයේ හඬක්ඇති පිරිසක් බවට පත්කිරීමට යමෙකුට පිඹුරුපත් සැකසිය හැකිනම් සැබැවින්ම එය අගනගරේ වර්ණයට ගැලපෙන පාටක් සොයාගැනීමක් වනු නිසැකය.

විශේෂ ස්තූතිය

කැටමරාන් වෙබ් අඩවිය හා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය.

[උපුල් තම්මිට]

මාතෘකා