කෝප්‍රල් වීනා සිත්තම්බි වේල්නායගම් අතුරුදන් වූවෙක්ද? | ඇස පාදන රැස


කෝප්‍රල් වීනා සිත්තම්බි වේල්නායගම් අතුරුදන් වූවෙක්ද?

 ඡායාරූපය:

කෝප්‍රල් වීනා සිත්තම්බි වේල්නායගම් අතුරුදන් වූවෙක්ද?

‘මාමා මහේන්ද්‍රන්’ අතුරුදන් කෝප්‍රල්වරයාගේ පැරණි මිතුරෙකි. සාලාවේ පිහිටි ඔහුගේ නිවසට ආ-ගිය ඔහු, කෝප‍්‍රල්වරයා අතුරුදන් වීමට සතියකට පෙර පැමිණ ඒ නිවසේ තිබූ තමන්ගේ බඩු සියල්ල රැගෙන ගොස් තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ජාතික ආරක්ෂක බලමුළුවේ 01009 කෝප්‍රල් අංකය දැරූ වීනා සිත්තම්බි වේල්නායගම් අදටත් නැත. 2006 අවුරුද්දේ මැයි  මස 02වෙනිදා සිට ඔහු අතුරුදන්ය. 2016 ජුනි මස 05 වෙනිදා දක්වා පතොරම් ගබඩාව පුපුරා යාමෙන් ලෝකයම දැනගත් අවිස්සාවේල්ල, සාලාව හමුදා කඳවුර පිටුපස පිහිටි ආනන්දගම ඔහු පදිංචිව සිටියේය. සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර්වරියගේ අත්සනින් නිකුත් කර ඇති ඔහුගේ මරණ සහතිකයට අනුව මරණයට හේතුව අතුරුදන්ව අවුරුද්දකට වැඩි කාලයක් ගතවී ඇති බැවින් මිය ගිය බව විශ්වාස කිරීමය.

යුද හමුදා මූලස්ථානයේ මාධ්‍ය ඒකකයේ භාෂා පරිවර්තකයකු ලෙස ඔහු රැකියාව කළ , අවිස්සාවේල්ලේ සිට යුද හමුදා මූලස්ථානයට එන ‘ලිබර්ටි’ බස් රථයෙන් රස්සාවට ආ-ගිය ඔහු 2006 මැයි 02 හවස පුරුදු වේලාවට ගෙදර ආවේ නැත. සාමාන්‍යයෙන් හවස 6.50 පමණ වන විට ඔහු ගෙදරය. මේ සෙබළා හමුදාවෙන් පලාගිය අයකු ලෙස හමුදාව සලකන්නට පටන්ගත්තේ එතැන් සිටය. ඔහුගේ නම ‘ඇබ්සන්ට්’ ලිස්ට් එකට එකතු කෙරිණි.

දරුවන් තිදෙනකු සමඟ ඒ අම්මා, කෝප්‍රල්ගේ බිරිඳ ජීවත් වෙන්නට වෙහෙසෙද්දී හමුදාව ඔහුගේ වැටුප ඇතුළු සියලු දීමනා නතර කළේය. පොලිස් පැමිණිලි, මානව හිමිකම් කොමිසමේ පැමිණිලි, හමුදාපතිවරයාට, ආරක්ෂක අමාත්‍යංශයට, ජනාධිපතිවරයාට යවන ලියුම් අතර ඔවුන්ගේ ජීවිතය ගෙවිණි. දරුවන්ට පාසල් යාම නතර කරන්නට සිදුවිය.

පොලිස් පැමිණිලි, මානව හිමිකම් කොමිසමේ පැමිණිලිවලට හෝ අදාළව විධිමත් විමර්ශනයක් සිදුවූයේ නැත. ඒවාට ලියුම් යවන්නට ගිය මුදල් පමණක් අපරාදේ බව කෝප්‍රල්ගේ අම්මාට, දරුවන්ට හිතෙන්නට ඇත. ඒත් දිගින් දිගටම ඒ පස්සේ යාමේ ප්‍රතිඵලයක් ලෙස 2010 අගෝස්තු 17වෙනිදා සිට කෝප්‍රල්වරයා වෙනුවෙන් යම් දීමනාවක් ගෙවීම ආරම්භ කෙරිණි.

1990 අවුරුද්දේ සිට, කළ සේවය සලකා බලා  වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප පමණක් ඔහුට ගෙවිය හැකි බව හමුදාව දැනුම්දී ඇත්තේ ඒ කාලයේදීය.

මේ වනවිට ඔහු අතුරුදන්ව අවුරුදු හතරක් පසුවීය. ගැටලු සහිතව වුවද අවුරුදු හතරක් යන තෙක් ඒ හමුදා සෙබළා කළ සේවය සලකා බලන්නට හමුදාවට හැකිවී තිබුනේ නැත. ඔහු ‘ඇබ්සන්ට්’ වීම නිසා කිසිදු ගෙවීමක් ලබාදිය නොහැකි බව හමුදාවෙන්, පවුලේ ඥාතීන්ට පවසා තිබිණි. එහෙත් අවුරුදු හතරකට පසු එය තරමක් වෙනස්ව තිබිණි. හමුදාවෙන් ගෙදරට එවූ ලිපියක සහ මානව හිමිකම් කොමිෂන් සභාව වෙත එවූ ලිපියක සඳහන් කර ඇත්තේ මූලික පරීක්ෂණ උසාවියක් මගින් මේ සිද්ධිය විමර්ශනය කළ බවත්, ඒ අනුව ඔහු එල්ටීටීඊයෙන් පැහැරගන්නට ඇතැයි සැක කළ හැකි බවත්ය.

‘වීනා සිත්තම්බි වේල්නායගම්, ඇසුරු කළ කිහිපදෙනකුම එල්ටීටීඊ සංවිධානය විසින් ඝාතනය කර ඇති බවත්, ඔහුද එල්ටීටීඊ සංවිධානය මගින් ඝාතනය කරන්නට ඇතැයි සැක කරන්නට හැකි බවත්...’

2017 මැයි මාසයේ 02වෙනිදා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත යොමු කර ඇති අදාළ ලිපියේ හමුදාව එසේ සඳහන් කර ඇත.

එසේ නම් තවදුරටත් ඔහු හමුදාවෙන් පලා ගිය අයකු ලෙස සලකමින් ඔහුගේ විශ්‍රාම වැටුප නිසි පරිදි නොගෙවීම අනුමත කළ හැකිද? හමුදාවේ මූලික පරීක්ෂණ උසාවිය පවසන්නේ ඔහු ඝාතනය කර ඇති බවට සැක කළ හැකි බවයි. එසේ නම් ඝාතනයට ලක් වූ අනෙකුත් සෙබළුන්ට හිමි වරප්‍රසාද අතුරුදන් වීමෙන් අවුරුදු 11කට පසුවත් ඔහුගේ පවුලට ලබා නොදෙන්නේ ඇයි?

මේ කෝප්‍රල්වරයාගේ අතුරුදන්වීමෙන් අවුරුදු 11කට පසුවය, ඔහු හමුදා මූලස්ථානයෙන් පිටව ඇති බවත්, ඊට අදාළ අත්සන යොදා ඇති බවත්, ලිබර්ටි බස් රථයේ පැමිණ සාලාව හන්දියෙන් බැස ඇති බවත් හමුදාව මුල් වරට පවසන්නේ. ඒ මානව හිමිකම් කොමිෂන් සභාවටය. කෙසේ වෙතත් කොස්ගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරි අංක 1 වෙත ඉදිරිපත් කර ඇති 2017 පෙබරවාරි 19 වෙනි දිනැති වාර්තාවට අනුව අදාළ කෝප්‍රල්වරයා කොස්ගම පොලිස් වසම තුළ අතුරුදන්ව ඇති බවට කිසිදු තොරතුරක් අනාවරණය වී නැත.

අවුරුදු එකොළහකට පසු හමුදාව පවසන්නේ අදාළ බස් රථයේ රියැදුරා පවසන ආකාරයට මේ කෝප්‍රල්වරයා සාලාව හන්දියෙන් බැස ගොස් ඇති බවය. එසේ නම් කිසිවකු ඔහුව දුටු බවට සාක්කියක් නැත්තේ ඇයි? අනෙක් අතට බසයෙන් බැසීමෙන් පසු ඔහුව පැහැර ගැනීමකට ලක් වූයේ නම්, එවැනි සිද්ධියක් හන්දියේ කිසිවකු නොදුටුවේ ඇයි? සාලාව ප්‍රදේශය අයත් කොස්ගම පොලීසිය පවසන්නේ තම බලප‍්‍රදේශය තුළ, එවැනි අතුරුදන්වීමක් සිදු වූ බවට කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නැති බවයි.

එසේ නම් මේ කෝප්‍රල්වරයාට සිදුවූයේ කුමක්ද?

ඔහු බිරිඳ සහ දරුවන් සමග සමීප සම්බන්ධතාවක් පැවැත්වූ අයෙකි. එදින, එනම් මැයි 02වෙනි දින කෝප්‍රල්වරයාගේ පුතාගේ උපන් දිනයයි. ඔහුගේ උපන් දිනය සමරන්නට කේක් ද රැගෙන එන බව ඒ තාත්තා පොඩි දුවට පවසා ඇත. හමුදා මූලස්ථානයේ සිට හවස ඒ දුරකතන ඇමතුම ලබාදී තිබේ. ඒ කියන ආකාරයට ඔහුට සාලාව හන්දියෙන් බසයෙන් බැස වෙනත් ගමනක් යන්නට සැලසුමක් ද තිබී නැත.

තවත් කතාවක් තිබේ. ඒ ‘මාමා මහේන්ද්‍රන්’ නමින් පෙනී සිටින්නකු පිළිබඳවය. ඔහු මේ අතුරුදන් කෝප්‍රල්වරයාගේ පැරණි මිතුරෙකි. සාලාවේ පිහිටි ඔහුගේ නිවසට ආ-ගිය ඔහු, කෝප්‍රල්වරයා අතුරුදන්වීමට සතියකට පෙර පැමිණ ඒ නිවසේ තිබූ තමන්ගේ බඩු සියල්ල රැගෙන ගොස් තිබේ. කමිස කිහිපයක් සහ කලිසම් කිහිපයක් ඒ අතර තිබී ඇත. වෙනදාට තනියෙන් එන මේ මාමා මහේන්ද්‍රන් එදා පැමිණ ඇත්තේ තවත් තිදෙනකු සමග සුදු පාට මෝටර් රථයකින්ය.

කෝප්‍රල්වරයා අතුරුදන්වීමෙන් පසු ඔහු නැවත ඒ නිවසට පැමිණ නැත. එල්ටීටීඊ විරෝධියකු වන මේ මාමා මහේන්ද්‍රන් හෙවත් සන්තිවේල් මාමා නමැත්තා 1983 අවුරුද්දේ කළු ජූලියෙන් පසු ප්ලොට් සංවිධානයේ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කර ඇත. එල්ටීටීඊ තර්ජන නිසා ඉන්දියාවට පැන ගොස් සිටි ඔහු නැවත ලංකාවේ ප්‍රිද්ධියේ පෙනී සිටින්නේ කරුණා අම්මාන් සමගය. 2004 වසරේදී  කරුණා අම්මාන් එල්ටීටීඊයෙන් වෙන්වීමෙන් පසුව ඔහු සමීපයේ සිටි, ඔහුගේ විශ්වාසවන්තම ගෝලයන් අතර, මාමා මහේන්ද්‍රන් ද එක් අයෙකි.

කරුණා අම්මාන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමග සමීප ගනුදෙනු පටන් ගැනීමෙන් පසු මේ මාමා මහේන්ද්‍රන් දිගටම කොළඹ නැවතී සිට ඇත.

අන්තර්ජාතික පොලීසිය හෙවත් ඉන්ටර්පෝල්හි අත්‍යවශ්‍ය පුද්ගලයන්ගේ ලැයිස්තුවේ ද මාමා මහේන්ද්‍රන් සිටී. ජීවිතයට සහ සෞඛ්‍යයට එරෙහි අපරාධ යන කොටසේ ඔහුගේ නම සඳහන්ය. ස්විට්සර්ලන්තයේ ජීවත් වන දෙමළ ජාතික යුවළක් හිංසනයට පත්කොට මරා දැමීම ඔහුට එරෙහිව ඇති චෝදනාවයි. ඒ සම්බන්ධයෙන් ඉන්ටර්පෝල් මඟින් ශ්‍රී ලංකා පොලීසිය දැනුවත් කර ඇතත්, ඔහුට මෙතෙක් ගැටළුවක් වී නැත.

අදාළ කෝප්‍රල්වරයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සැක කවුදැයි විමසන විට පවුලේ සාමාජිකයන් පොලීසියට පවසා ඇත්තේ මේ මාමා මහේන්ද්‍රන් ගැනය. ඔහු අවසාන වරට පිරිසක් සමග නිවසට පැමිණ ගිය පසු කවුරුන් හෝ තමන් පස්සේ පන්නන බව දැනෙන්නේ යැයි කෝප්‍රල්වරයා ගෙදර අයට පවසා ඇත. ඔහු එසේ කිව්වේ ඇයි?

මේ කරුණු පොලීසියට පවසා තිබුණද, පොලීසියෙන් හමුදාව හරහා මානව හිමිකම් කොමිසමට දැනුම් දී ඇත්තේ මේ අතුරුදන් වීමට මහේන්ද්‍රන්ගේ සම්බන්ධයක් ඇති බවට සෘජු සාක්ෂි කිසිවක් අනාවරණය වී නැති බවයි. එය එසේ විය හැකිය.
ඒත් මේ සියල්ල එකින් එකට මේ තරම්ම පරස්පර සහ එකින් එකට සම්බන්ධ වන්නේ කෙසේද?

හමුදාව කියන්නේ ඔහු බසයෙන් ආ බවය. සාලාවෙන් බැස ගත් බවය. පොලීසිය කියන්නේ ඒ කියන හරියේදී අතුරුදන් වූ බවට කිසිදු සාක්ෂියක් නැති බවය. පවුලේ සාමාජිකයන් කියන්නේ මහේන්ද්‍රන් නමැත්තා සැක බවය. පොලීසිය කියන්නේ මහේන්ද්‍රන් සැක කරන්නට බැරි බවය. මහේන්ද්‍රන් කියන්නේ ඔය කාලයේ කරුණා අම්මාන් සමග එකටම සිටි අයෙකි.

තවත් ගැටලු කිහිපයකි. එයින් පළමුවැන්න, හමුදාව මේ සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ උසාවියක් පවත්වා ඇත. ඒත් සාමාන්‍යයෙන් සිදුකෙරෙන ආකාරයට ඒ උසාවිය ඉදිරියට පවුලේ සාමාජිකයන් එක් අයකු හෝ කැඳවා නැත. එනම් ඒකපාර්ශ්වික පරීක්ෂණයකි. එසේ වූයේ ඇයි?

කෝප්‍රල්වරයා අතුරුදන් වීමෙන් පසු අවස්ථා දෙකකදී ඔහුගේ වැටුප බැරවන බැංකු කාඩ්පත භාවිත කර ඇත. අතුරුදන් වීමෙන් දින දෙකකට පසු, එනම් මැයි 04 වැනිදා යක්කලදී රුපියල් 5,000ක් ලබාගෙන ඇති අතර, ඒ මාසයේම 24 වැනිදා මහරගමදී රුපියල් 7,500ක් ලබාගෙන ඇත. අදාළ බැංකු කාඩ්පත අක්‍රීය කිරීමට බැංකුවේ උපදෙස් පැතීමේදී මේ තොරතුරු හෙළිවී තිබේ.ඔහුගේ පවුලට බලාපොරොත්තු දෙකක් තිබිණි. එකක් නම් අඩු තරමේ ඔහුගේ මිනිය දැකීමය. එය අතුරුදන් වූවන්ගේ සියලු පවුල් මුහුණ දෙන බරපතල ඛේදවාචකයයි. අනෙක නම් ඔහුගේ නමට ඉදිරියෙන් ඇති ‘ඇබ්සන්ට්’ කෑල්ල ඉවත් කොට ඔහුගේ සේවයට ලැබිය යුතු විශ්‍රාම වැටුප් සහ දීමනා නිසි පරිදි ලබාගැනීමයි. ඉන් පළමුවැන්න දැන් ඔවුන් අත්හැර දමා ඇත.

දැනට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරියේ පමණක් ඇති මේ සිද්ධිය කඩිනමින් අධිකරණය ඉදිරියට යායුතුය. එහෙත් ඒ සඳහා නීතීඥ ගාස්තු, ලිපි ලේඛන ගාස්තු ආදිය ගෙවන්නට හැකියාවක් නැත. ඒ නිසා මේ ඇත්ත මතුකර ගන්නට පෙළගැසිය යුතුය. එය ඔවුන්ගේ පෞද්ගලික ප්‍රශ්නයක් පමණක් නොවේ. මේ රටේ පුරවැසියකු බලහත්කාරයෙන් අතුරුදන් කිරීම සම්බන්ධ කාරණයකි. වංචා-දූෂණ වගේම පසුගිය ආණ්ඩුව යටතේ වූ මේ අපරාධ  වළලා දමන්නටද උල්පන්දම් දෙන්නට කිසිවකුට හෝ අයිතියක් නැත.

මාතෘකා