අගමැතිතුමනි, මේ පිළිම අරලියගහ මන්දිරයේ තිබේද? [දෙවන කොටස] | ඇස පාදන රැස


අගමැතිතුමනි, මේ පිළිම අරලියගහ මන්දිරයේ තිබේද? [දෙවන කොටස]

 ඡායාරූපය:

අගමැතිතුමනි, මේ පිළිම අරලියගහ මන්දිරයේ තිබේද? [දෙවන කොටස]

පළමු කොටස

පසුගිය සතිෙයන් - ලියුම්කරු විසින් මීට වසර 04 කට පෙර 2013 අගෝස්තු 18 වෙනිදා රාවය පුවත්පතට “වාස් මේ පෙන්වන්නේ ඒ පිළිමෙද?" සහ “ වාස්ගේ පිළිම හොරකමට මෙන්න සාක්ෂි" මැයෙන් 2015 දෙසැම්බර් 05 වෙනිදා ඉරුදින පුවත්පතෙන්ද හෙළිදරව් කළ මිල කළ නොහැකි පෞරාණික පිළිම කිහිපයක් අස්ථානගත වීම ගැනත්, ඒවාට නිසි පරීක්ෂණයක් සිදුනොවීම ගැනත් පසුගිය සතියේ මෙම ලිපියේ පළමු කොටසින් හෙලිකළ අතර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන 2012 වසරේදී කුරුණෑගල ප්‍රදේශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීව සිටියදී පිළිමයක් විකුණන මුවාවෙන් හිමිනමක් සමඟ එක්ව සිදුකළ කප්පම් ගැනීමක් සහ පසුව එම පිළිම සමඟ ඔහු හිටපු ජනාධිපතිවරයා සමඟ අරලියගහ මන්දිරයේ සිටින ජායාරූප කිහිපයක් පිළිබඳ හෙලිකිරීම්  සිදුකළ අතර, එම ලිපි මූලික කරගනිමින් රජයේ විගණකාධිපති විසින් විගණන විමසීම් අංක CAS/C/ARCH/AQ/10 යටතේ විගණන විමසීමක් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත 2017 පෙබරවාරි 14 දින යොමුකර තිබිණි. එම විගණන යොමුවට මේ වනවිට වසරක් ගතව ඇතත් සිදුකෙරුණු පරීක්ෂණයක් පිළිබඳ නිශ්චිතව වාර්තා නොවේ.

2012 වසරේදී ලියුම්කරු හමුවූ පුරාවිද්‍යා භාන්ඩ මිලදී ගන්නා ව්‍යාපාරිකයෙකු විසින් තමන් මිලදී ගැනීමට ගොස් අතරමඟ නවතා දැමූ ගනුදෙනුවට අදාල පෞරාණික පිළිමයේ ජායාරූපයක් ඔහු සතුව තිබී පෙන්වූ අතර, එම  සමූහ ජායාරූපයේ පසුබිමින් අදාළ පිළිමයද, තවත් පිළිම සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සේදර සෙනරත් හා මරණ දඬුවම නියමව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, පෙනී සිට ඇත. අරලියගහ මන්දිරයේදී ලබාගත් ජායාරූප සාක්ෂි, රාවය හා ඉරුදින පුවත්පත් මගින් හෙළිකරන ලදී. එම පෞරාණික පිළිම එම වකවානුවේදී වාස් ගුණවර්ධන සහ කුරුණෑගල රාජ චේතියාරාමයේ හිමිනමක විසින් රුපියල් කෝටියකට ආසන්න මුදලකට විකුණන බව කියමින් ඒවා මිලදී ගැනීමට එන ව්‍යාපාරිකයන් බියවද්දා  කප්පම් මුදල් ලබාගෙන තිබූ අතර, පසුව එම පිළිම අරලියගහ මන්දිරයේදී, හිටපු ජනාධිපතිවරයාට පෙන්වන ජායාරූප වාස් ගුණවර්ධන විසින් ඔහුගේ ෆේස්බුක් ගිණුමෙහි පළ කර තිබී ලියුම්කරුට හමු වූ අතර ඒ පිළිබඳ 2012 වසරේදී හා 2015 වසරේදී ලියුම්කරු විසින් හෙළිකරන ලදී. මේ වනවිටත්  එම පිළිම ආගිය අතක් නොමැති අතර, 2015 නොවැම්බර් 27 දින බම්බලපිටිය මොහොමඩ් ෂියාම් නැමැති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධව මරණ දඬුවම ලබාදෙන අවස්ථාවේදී ලලිත් ජයසූරිය මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ වාස් විසින් පෞරාණික  පිළිම 8ක් අස්ථානගත කර ඇති බවයි. එහිදී වාස් ගුණවර්ධන අධිකරණය හමුවේ ප්‍රකාශ කරන්නේ තමන් එම පිළිම දළදා මාළිගාවට පූජාකළ බවයි. නමුත් ලියුම්කරු විසින් ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිළමෙවරයාගෙන් ඒ පිළිබඳ කළ විමසීමකදී ඔහු විසින් ප්‍රකාශ කරන ලද්දේ එවැනි පෞරාණික පිළිම කිසිවක් මාළිගාවට බාර නොදුන් බවත්, පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට අයත් එවැනි දේපළක් එලෙස දළදා මාළිගාවට බාරදීමට පොලිස් නිලධාරියෙකුට නොහැකි බවත්ය. වාස් ගුණවර්ධන සතුවද, දළදා මාළිගාව හෝ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව සතුවද එම පිළිම නොමැති නම්, වාස් ෆේස්බුක් අඩවියේ පළකර තිබූ අරලියගහ මන්දිරයේ එම පිළිම සමඟ සිටින ජායාරූප අනුව ඒවා තිබිය යුත්තේ මහින්ද රාජපක්ෂ හෝ ගාමිණි සේදර සතුවය.  නොමැති නම් වර්තමානයේ අරලියගහ මන්දිරයේ සිටින අගමැති රනිල් වික්‍රමසිංහ ඒ පිළිබඳ දැන සිටිය යුතුය.

විගණන විමසුමේ තොරතුරු

විමසීම් අංක CAS/C/ARCH/AQ/10 යටතේ 2017 පෙබරවාරි 14 දින කරන ලද විගණන විමසීම අනුව දක්වා තිබෙන්නේ කුරුණෑගල ගොකරැල්ල රාජචේතියාරාමයේ විකිණීම සඳහා සූදානම් කර තිබූ කිරිගරුඬ බුදු පිළිම 3ක් සහ ලෝහ වර්ගයට අයත් බුදු පිළිම 3ක් කුරුණෑගල පොලීසිය විසින් 2010 මාර්තු 15 අත්අඩංගුවට ගෙන කුරුණෑගල පොලිස් මූලස්ථාන ආයුධ ගබඩාවේ තැන්පත් කර තිබූ බවත්, තවද අංක B/842/10 දරන නඩුව අනුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති බවද, ඉන්පසුව 2011 පෙබරවාරි 7 වනදා රාජ චේතියාරාමයේ විහාරාධිපති මහගල්කඩවල පුඤ්ඤසාර හිමියන් විසින් එම පිළිම නිවැරැදිව බාරගෙන තිබූ බවද දක්වා තිබේ. එම පිළිම පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට ඉදිරිපත් කර මහාචාර්ය රාජ් සෝමදේවගෙන් වාර්තාවක් කැඳවූ බවද, එම වාර්තාවන්ට අනුව එම පිළිම 17වන සහ 18වන සියවස්වලට අයත් මිළ කළ නොහැකි පෞරාණික පිළිම බවට තහවුරු කර තිබී ඇත.

අංක 1 දරන පිළිමය

එම පිළිමය මිශ්‍ර ලෝහයකින් නිමවා රන් ආලේප කරන ලද්දකි. දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ තිබෙන අංක 39.76.116 දරන ප්‍රතිමාවේ ලක්ෂණවලට සමාන වූවකි.  එම ප්‍රතිමාව 16 හෝ 17 සියවසට අයත් වූවක් වන අතර, දැනට අස්ථානගත අංක 1 දරන  ප්‍රතිමාවද 17 වන සියවසේ අග භාගයට හෝ 18 වන සියවසේ මුල් භාගයට අයත් බවත්, එවැන්නක් පුරාවිද්‍යා ආඥාපනත අනුව කෞතුක භාණ්ඩයක් බවත් මහාචාර්ය රාජ් සෝමදේව, විගණන විමසුමට තහවුරු කර තිබේ.

අංක 2 දරන කිරිගරුඬ පිළිමය

අංක 2 දරන පිළිමය ස්ඵටකෘත  හුණුගලින් නිමවූ බෝධිසත්ව නිරූපනයක් වේ. එවැනි අභිනයක් පෙන්නුම් කෙරෙන පිළිමයක් තායිලන්තයේ බැංකොක්හි ජාතික පුස්තකාලයේ තිබෙන ත්‍රායි පුහ්ම් ලියැවිල්ලේ ඇඳ තිබෙන බවත්, එම පිළිමය 17වන සියවසේ අයුත්‍යා ගුරුකුළයට අයත් වූවක් බවත් නිරීක්ෂණය කර තිබේ.

මෙම පිළිමය පෞරාණික වටිනාකමකින් යුක්ත වූවක් මෙන්ම ගුප්ත ශක්තියක් ඇති බවද නිරීක්ෂණය කර තිබේ. ලියුම්කරුට 2012 වසරේදී හමු වූ ව්‍යාපාරිකයා මිලදී ගැනීමට ගොස් අතරමඟ නතර කළ ගනුදෙනුවට අදාල පිළිමයේ ජායාරූපය වන්නේද මෙම අංක 2 දරන පිළිමයයි. ඔහුට අනුවද එම පිළිමය යම් ගුප්ත ශක්තියක් තිබූ බවත්, එය වටා දකුණු අතට හැරවුණු හක්ගෙඩි 4ක් තබා පිච්ච මල් පූජා කිරීමෙන් සිතූ පැතූ දේ ලැබෙන බව ප්‍රචලිතව තිබී ඇත. අතීත කතාවට අනුව නම්, එය රහසිගතව විකිණීමට තබා තිබූ විහාරස්ථානයෙන් කෝටියකට හෝ ඊට වැඩි මුදලකට මිලදී ගැනීමෙන් පසුව ගැනුම්කරුවන් පිටතට යන අවස්ථාවේදී වාස් ගුණවර්ධන ප්‍රමුඛ නිලධාරීන් ඔවුන්ව අත්අඩංගුවට ගෙන, ලක්ෂ 20, 25 ආදී වශයෙන් කප්පම් ලබාගැනීමෙන් අනතුරුව නිදහස් කර තිබේ. එම තොරතුර කළින් දැනගත් උක්ත සඳහන් ව්‍යාපාරිකයා එම පිළිමය මිලදී ගැනීමේ මුවාවෙන් එහි ජායාරූපයක් සූක්ෂ්ම ලෙස ලබාගෙන තිබූ අතර, 2016 සැප්තැම්බර් 2 වෙනිදා රාජ චේතියාරාමයේ කරන ලද භෞතික පරීක්ෂාවේදී මෙම පිළිමය පුඤ්ඤසාර හිමියන් විසින් විගණනයට ඉදිරිපත් කිරීමට අපොහොසත්ව තිබේ.

අංක 3 දරන පිළිමය

එම පිළිමය තඹ මිශ්‍ර ලෝහයකින් නිමවා තිබේ. එම පිළිමයට සමාන පිළිමයක් මාතලේ දැඹව ටැම්පිට විහාරයේ ඇති බව දක්වා තිබේ. එම පිළිමය ක්‍රිස්තු වර්ෂයෙන් 1781 වැනි කාලයකට නිර්ණය කර තිබේ. අංක 3 දරන උක්ත පිළිමයද එම ලක්ෂණ වලට සමානකම් දක්වන බව වාර්තා කර තිබේ.

අංක 4 දරන පිළිමය

එම පිළිමයද තඹ මිශ්‍ර ලෝහයකින් නිර්මාණය කරන ලද්දකි. එම පිළිමයේ ශීර්ෂයේ ඌෂ්ණීෂය දක්නට නොලැබෙන අතර එය නුපුහුණු ශිල්පියෙකු විසින් කරන ලද්දක් විය හැකි බව මහාචාර්යවරයා තම වාර්තාවෙන් දක්වා තිබේ. මෙම පිළිමයට සමාන පිළිමයක් පෞද්ගලික සන්තකයේ තිබී හඳුනාගෙන වොන් ෂ්ශ්‍රෝඩර් විසින් ප්‍රකාශයට පත්කර තිබෙන බවත්, එම පිළිමය 17 වන සියවසට අයත් බවත් දක්වා තිබේ.

අංක 5 දරන පිළිමය

අංක 5 දරන ප්‍රතිමාව හිඳි පිළිමයක් වන අතර අග්නිදිග ආසියානු ප්‍රභවයකින් යුක්ත වූවක් බව මහාචාර්යවරයා විනිශ්චය කර තිබේ. 18 වන සියවසේ මැද භාගයේ හෝ 19 වන සියවසේ මුල්භාගයට අයත් වූවක් ලෙස විශ්වාස කරයි.

අංක 6 දරන පිළිමය

අංක 6 දරන පිළිමයද හිඳි පිළිමයක් වන අතර එය චීන අභාෂය සහිත විදේශීය සම්භවයක් සහිත පිළිමයක් ලෙස දක්වා තිබේ. එහි කාල නිර්ණය අවිනිශ්චිත බව සිය වාර්තාවෙන් මහාචාර්ය රාජ් සෝමදේව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

අතුරුදන් පිළිම
ඉහත සඳහන් පිළිම හයෙන් පිළිම දෙකක් පමණක් සොයාගත හැකි වූ බව ඉහත අංක සඳහන් විගණන විමසුම ප්‍රකාශ කර තිබේ. ඉහත සඳහන් අංක 1 සහ 4 යන පිළිම සම්බන්ධව 2016 සැප්තැම්බර් 2 වෙනිදා රාජචේතියාරාමයට ගොස් කරන ලද විගණනයේදී එම පිළිම විහාරස්ථානයේ නොතිබූ බවත්, ඒවා අස්ථානගතවීම සම්බන්ධව විහාරාධිපති මහගල්කඩවල පුඤ්ඤසාර හිමියන් නිශ්චිත පිළිතුරක් දීමට අපොහොසත් වූ බවත් විගණන විමසුමේ දක්වා තිබේ. ඉහත අංක 3 දරන පිළිමයට සමාන පිළිමයක් විගණන පරීක්ෂණයට එහිමියන් විසින් ඉදිරිපත් කර තිබුණද එය ඊට ප්‍රථම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ පිළිමයට සමාන එකක් නොවන බවත්, පෞරාණික වටිනාකමකින් යුක්ත එකක් නොවන බවත් දක්වා තිබේ. කෙසේ වෙතත් මෙම පිළිම අතුරින් 2016 සැප්තැම්බර් 2වැනිදා විගණනයට ඉදිරිපත් කිරීමට සමත්ව තිබුණේ අංක 5 සහ 6 දරන පිළිම පමණි. ඒ සම්බන්ධව කරුණු දක්වමින් විගණන විමසුම ප්‍රකාශ කරන්නේ 1998 අංක 24 දරන පුරාවිද්‍යා පනතින් සංශෝධිත 1940 අංක 9 දරන පුරාවස්තු ආඥාපනතේ වගන්තිවලට අනුව වරදක් හෝ වංචාවක් සිදුකරන ලද්දේද යන්න වැඩිදුරටත්සොයා බැලිය යුතු බවයි.

පිළිමවලට සිදුවූයේ කුමක්ද?

2010 මාර්තු 15 වෙනිදා කුරුණෑගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ මෙම පිළිම නඩු අංක B/842/10 යටතේ පරීක්ෂණ පවත්වා, 2011 පෙබරවාරි 7 වෙනිදා කුරුණෑගල ගොකරැල්ල රා‍ජචේතියාරාමයේ විහාරාධිපති මහගල්කඩවල පුඤ්ඤසාර හිමි විසින් අධිකරණයෙන් නිවැරදිව බාරගෙන තිබිණි. ඉහත සඳහන් ව්‍යාපාරිකයා තමන් මිලදී ගැනීමට ගිය පිළිමයක් පිළිබඳ ලියුම්කරුට ප්‍රකාශ කරන්නේ 2012 මැද භාගයේදීය. අදාළ ව්‍යාපාරිකයාගේ හෙළිදරව්ව අනුව ඉහත සඳහන් පිළිම 2010 වසරෙන් පසුව අදාළ විහාරාධිපති හෝ වෙනත් භික්ෂුවක් විසින් වරින් වර ව්‍යාපාරිකයන්ට විකුණන ලද බවත්, ඒවා මිලදී ගැනීමෙන් පසුව රැගෙන යන අතරමගදී වාස් ගුණවර්ධන ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් විසින් එම ව්‍යාපාරිකයන්ව අත්අඩංගුවට ගෙන මුදාහැරීම සඳහා කප්පම් මුදල් ලබාගෙන ඇති බවත් පැහැදිලිය. 2012 වසරේදී වාස් ගුණවර්ධන අත්අඩංගුවට පත්වීමට ප්‍රථම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබූ ජායාරූපවල ඇත්තේද මෙකී විගණනය මගින් හෙළිකරන පිළිම වීම අහඹුවක් විය හැකිද? එමෙන්ම ලියුම්කරු විසින් හෙළිකරන ලද ව්‍යාපාරිකයා විසින් මිලදී ගැනීමට ගිය කිරිගරුඬ පිළිමයද ( අංක 2 දරන පිළිමය) ඒ අතර තිබීම අහඹුවක් විය හැකිද?

වාස් ගුණවර්ධන සතුව හෝ විහාරාධිපති සතුව ඒවා නොමැති නම්, පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව හෝ වෙනත් රාජ්‍යායතනයක නොමැති නම් මේ ජායාරූප සාක්ෂි අනුව ඒවා තිබිය යුත්තේ එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ සතුව හෝ ගාමිණී සේදර සෙනරත් සතුවය.  මහා ජාතික අභිමානයන් ගැන කියවන, අතීත ඉතිහාසය, විභූතිය කරපින්නාගෙන යන්නෝ අදටත් නිහඬය. මේ සියල්ල විකුණා, ඒ මතින් බලයට ආ යහපාලනයද නිහඬය. එම විමසීමට දැන් මේ වනවිට වසරකට ආසන්නය. එම පිළිම අතුරුදන් කිරීමට අදාළ ප්‍රධානතම චූදිතයා එම පිළිම පෙන්වමින් රටේ හිටපු ජනාධිපතිවරයා සමඟ පෙනීසිටින ජායාරූප සාක්ෂි පැහැදිලිව ඇතත් මෙතෙක් ඒ ගැන සිදුකෙරුණු පරීක්ෂණයක් නොමැත.  අගමැතිතුමනි මේ පිළිම අරලියගහ මන්දිරයේ තිබේද?

මාතෘකා