ගාලු කොටුවේ-කොටුවෙන් පිට | ඇස පාදන රැස


ගාලු කොටුවේ-කොටුවෙන් පිට

 ඡායාරූපය:

ගාලු කොටුවේ-කොටුවෙන් පිට

1588 වසරේදී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කරගත් පෘතුගීසි ජාතිකයින් ප්‍රථම වරට ඉදිකරණ පෞරාණික ගාල්ල කොටුව 17වෙනි සියවසේ පැමිණි ලන්දේසි ජාතිකයින් විසින් තවත් පුළුල් කරනු ලැබිණ. ඉන් අනතුරුව ශ්‍රී ලංකාව අල්ලා ගත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් සුළු ආකෘතික වෙනස්කම් කර නවීකරණය කරන ලද එය දැනට ශ්‍රි ලංකාවේ ජිවමානව පවතින පැරණිම ලෝක උරුම නගරයකි.

ගාල්ල කො‍ටුවේ ඉඩම් පර්චසයක් අලෙවි වන්නේ රුපියල් කෝටියකට අධික මුදලකටය. කො‍ටුවේ පිහිටි ඉඩම් සහ දේපළ බහුතරයක් විදේශිකයන් සතු බවට විවිධ වාර්තා පළ වන නමුත් එම වාර්තාවල සත්‍ය අසත්‍යතාවය නිල වශයෙන් තහවුරුව නොමැත.   

වර්තමානයේ විදේශිකයන් ගාල්ල කොටුවෙන් නිවාස හෝ ඉඩම් මිලදී ගන්නා ප්‍රධාන ක්‍රම දෙකකි.   

ඉන් පළමුවැන්න ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළට සම්බන්ධ වන ආකාරයේ සමාගමක් ලියාපදිංචි කිරීමය. මේ සමාගමේ එක් කොටස්කරුවකු වන්නේ ලාංකිකයෙකි. පසුව ඒ සමාගම වෙනුවෙන් දේපළ මිලදී ගනිති. මාස කිහිපයකට පසුව සමාගමේ සියලුම කොටස් විදේශිකයා විසින් මිලදී ගෙන දේපළ සියල්ල ද තමන් සතුකර ගනියි.   

අනෙක් ක්‍රමය වන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි ව්‍යාපාරයක් ආරම්භ කිරීමය. එමගින් බදු මුදල් අඩුකර ගැනීමේ හැකියාව ඇති අතර මෙහිදි ඔවුන්ට සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරවල නිරත විය හැකිය.   
 එලෙස ගාලු කොටුවේ නිවාස හෝ ඉඩම් මිලදී ගන්නා විදේශිකයෝ ඒවා පැරණි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ගොඩනගා තිබෙන අයුරු ගාලු කොටුවේ සංචාරය කරන විට දැකගත හැකි සුලබ දසුනකි. විදේශිකයින්ට අමතරව ප්‍රසිද්ධ ව්‍යාපාරික‍ෙයා්, ක්‍රීඩකයෝ ඇතුළු ධනවත්තුද ගාලු කොටුවේ නිවාස සහ ඉඩම්වල හිමිකරුවෝය.      

ඓතිහාසික ගාල්ල කොටුවේ ඉඩම් සහ නිවාස අයිතිය පිළිබඳව අදාළ රාජ්‍ය ආයතනවලින් විමසීම් කළේ 2016 අංක 16 දරණ තොරතුරු දැන ගැනීමේ පනත යොදා ගනිමිනි.   

විදේශිකයින් ‍ගාලු කො‍ටුවේ පිහිටි ඉඩම් සහ නිවාස මිලදී ගත් බව පැවසෙන නමුත් ගාල්ල දිස්ත්‍රික් ඉඩම් සහ රෙජිස්ට්‍රාර් කාර්යාලයේ පවත්වාගෙන යනු ලබන විදේශ බදු මුදල් අයකිරිමේ ලේඛනයට අනුව ගාල්ල කො‍ටුව ප්‍රදේශයේ ඉඩම් හෝ නිවාස සඳහා කිසිදු විදේශිකයෙකු එම කාර්යාලයට කිසිදු ගෙවීමක් කර නොමැති බව එම කාර්යාලය තහවුරු කළේය.   

ගාල්ල කො‍ටුව ප්‍රදේශයේ දැනට නිවාස 276 ක්, රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය කාර්යාල 24ක් සහ පාසල් දෙකක් පිහිටා තිබෙන අතර 2006 වසරේ සිට 2017 වසර මැද භාගය දක්වා ව්‍යාපාරික ස්ථාන 111ක් සිය කාර්යාලයේ ලියාපදිංචි වී තිබෙන බව ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි.   

ගාලු උරුමය පදනම විසින් 2009 දි නිකුත් කර ඇති සමික්ෂණ වාර්තාවේ ද ගාලු කොටුව තුළ විදේශිකයින් සතු නිවාස සහ ගොඩනැගිලිවල විස්තර සඳහන් කර නොමැත.   

ඒ අනුව ගාලු කො‍ටුව තුළ කිසිදු විදේශිකයෙකුට ඉඩම් හෝ නිවාස හිමිවී නැතැයි රජයේ ආයතනවල තිබෙන නිල තොරතුරු අනුව පැහැදිලිව සඳහන් වුවත්, ගාලු කොටුව තුළ විදේශිකයින් සතු සංචාරක නිවාස ඇතුළු බොහෝ ගොඩනැගිලි සහ දේපොළ තිබෙන බව කොටුවේ වාසය කරන ජනතාව පවසති.

දැඩි ලෙස වාණිජකරණයට ලක්ව තිබෙන ගාලු කොටුව තුළ සංචාරක ක්ෂේත්‍රයට අයත් ව්‍යාපාර රැසක් පවතී. සංචාරක හෝටල්, සංචාරක නිවාස (Villa), අත්කම් නිමි ඇඳුම් සහ ආහාර පාන ආදිය අලෙවි කරන ආපන ශාලා බොහොමයක් ගාලු කොටුව තුළ දැකගත හැකිය.   

1974දී පුරා විද්‍යා ආරක්‍ෂිත ස්‌මාරකයක්‌ ලෙස ප්‍රකාශයට පත්කෙරුණු ගාලු කොටුවේ ඓතිහාසික වැදගත්කම හේතුවෙන් 1988දී යුනෙස්‌කෝ සංවිධානය විසින් එය ලෝක උරුම ස්මාරකයක්‌ ලෙස ප්‍රකාශයට පත් කෙරිණ.   
 ඒ අනුව ගාල්ල කොටුව ලෝක උරුම නගරය තු‍ළ පිහිටි සියළුම නිවාස, ගොඩනැගිලි ඇතුළු සමස්ත ප්‍රදේශය පුරාවිද්‍යා ස්මාරක වේ. එම ගොඩනැගිලි නවීකරණය කිරිම හෝ නව ඉදිකිරිම සඳහා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය සහ ගාල්ල මහ නගර සභාව යන රාජ්‍ය ආයතනවලින් පූර්ව අවසරයක් ලබාගත යුතුය.     
 කොන්දේසි උල්ලංඝනය කරමින් අනවසරයෙන් සිදු කළ ඉදිකිරීම් 28කට එරෙහිව නාගරික සංවර්ධන අධිකාරිය විසින් නඩු පවරා ඇති බවත් තවත් එවැනි ඉදිකිරීම් කිහිපයක් සම්බන්ධව ලැබුණු පැමිණිලි මත විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවත් එහි ප්‍රකාශිකාවක් සඳහන් කළේය. එහෙත් ගාලු කොටුව තුළ එම කොන්දේසි කඩකරමින් ඉදිකර ඇති ගොඩනැගිලි දක්නට ලැබෙන අතර සැම විදියකම පාහේ නව නිවාස ඉදිකිරිම් සහ ප්‍රතිසංස්කරණය කිරිම් දක්නට ලැබේ.

ඉන්න මිනිස්සු කියන කතා   

“ගාලු කොටුව ලෝක උරුමයක් කියනවා එත් ගාලු කොටුවේ ජිවත්වන අපිට කිසිම ප්‍රයෝජනයක් ලැබි නොමැත. ලැබුණු එකම දෙය අපේ නිවාස දේපලවල මිල ඉහළ යෑම පමණයි. පුද්ගලිකවම මම අකමැති මෙම නිවස විකුණන්න වෙනත් රටවල්වල වගේ ලෝක උරුම ප්‍රදේශයක ජිවත් වන ජනතාවට සුවිශේෂි වරප්‍රසාද ලබාදිය යුතුය. මෙහි තිබෙන උරුමයන් රැකගෙන අපිට මෙහි ජිවත්විමට හොඳ පරිසරයක් ඇති කළ යුතුය. අවාසනාවකට එලෙස සිදුනොවිම කණගාටුවට කරුණක්. එම නිසා අකමැත්තෙන් වුවද වැඩිම මිලකට විකුණා කොටුවෙන් පිට ජිවත්විමට සිදුවිම වැලක්විය නොහැකිය”    

“සමානයන්ට සමානව සැලකිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිළිගත් මූලික අයිතිවාසිකම් එහෙත් එම අයිතිවාසිකම කොටුව තුළ පදිංචි පුරවැසියන්ට ලැබිල නෑ. ගාල්ල කොටුවේ ඉදිකිරිම් සහ ප්‍රතිසංස්කරණය කිරිම සම්බන්ධව කටයුතු කරන පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව, ගාල්ල මහ නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය යන ආයතන නිකුත් කරන නිර්ණායකවලට අනුකුලව ඉදිකිරිම් කටයුතු සිදුකළ යුතුයි. උදාහරණයක් ලෙස ගොඩනැගිල්ලක් වහලය සහිතව ඉදිකළ යුතු උපරිම උස අඩි 33යි එහෙත් එම නීතිය කඩ කරමින් ගාලු කොටුව තුළ අනුමැතිය ඇතුව නව ගොඩනැඟිලි ඉදිකර තිබෙනවා. අපි අහන්නේ ඇයි ඒ සමානාත්මතාවය අපිට නැත්තේ?, කවුද මෙවට අවසර දෙන්නේ? මේ ආකාරයට ප්‍රායෝගික ගැටලු රාශියක් මෙහි පවතිනවා. ඒ නිසා ගාලු කොටුව තුළ විනිවිදභාවයකින් තොරව සිදුවන සිදුවන සමහර ඉදිකිරිම් කටයුතු සම්බන්ධව අපිට ඇත්තේ කළකිරිමක් ”     

“මට නම් ගාලු කොටුවේ දේපල විදේශිකයින් විසින් මිලදී ගැනීම පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. මම පදිංචි මෙම නිවසට හොඳ මිලක් ලැබෙනවා නම් විකුණනවා. අපිට කොටුවේ ජිවත්විම එපාවෙලා තියෙන්නෙ. බිත්තියකට ඇණයක් ගහන්න බැහැ. අපිට ඕන විදියට අපේ නිවසේ කිසිම සංවර්ධන කටයුත්තක් කරන්න බැහැ. පුරාවිද්‍යා එකත් එක්ක ගාලු උරුමය පදනම හා පොලිීසිය ඇවිත් නවත්තනවා. සමහර වෙලාවට අපිට විරුද්ධව නඩු පවා පවරනවා. ඇත්තම කියනවා නම් අපි වහල්ලු වගේ. රටේ අනෙක් ප්‍රදේශවල පුරවැසියන්ට වගේ අපිට කැමති විදියට නිවාස සංවර්ධනය කරන්න අපිට කිසිම නිදහසක් අයිතියක් නැහැ. ඉතිං වැඩිම මිලකට විකුණලා හෝ බද්දට දිලා අපි කොටුවෙන් පිට ගිහින් සැපවත් ජිවිතයක් ගත කරන්න කැමතියි”

අදහස් විමසීමේදී බහුතරයක් සඳහන් කළේ ගාල්ලට ආභරණයක් බඳු ඓතිහාසික ගාලු කොටුව සහ ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශය යනු මෙරට පැමිණි දේශ ගවේෂකයින්, සංචාරකයින් මෙන්ම පෘතුගිසී, ලන්දේසි, ඉංග්‍රීසි යන ලොව පාලනය කළ අධිරාජ්‍යන්ගේ ස්මාරක මෙන්ම සජීවි උරුමයන් පවතින පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති කලාපය සහ එහි ප්‍රෞඩත්වය උරුමය රැකගෙන මතු පරපුරට දයාද කිරිමට කටයුතු කළ යුතු බවයි.

ෆර්හාන් නිසාම්දින්] ගාල්ල

මාතෘකා