අගමැතිතුමනි! මේ පිළිම අරලියගහ මන්දිරයේ තිබේද?

 ඡායාරූපය:

අගමැතිතුමනි! මේ පිළිම අරලියගහ මන්දිරයේ තිබේද?

රටේ මහජනතාව රාජපක්ෂවරුන්ටත්, පැවැති ආණ්ඩුවටත් හොරුන් යැයි කීවේ මීට වසර තුනකටත් කලින්ම සිටමය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ජන්දයෙන් පරාජය කොට වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ යහපාලන රජය බලය දුන්නේම හොරු අල්ලන්නටය. යහපාලනයේ මූලිකම ජන්ද සටන් පාඨය වූයේද හොරු ඇල්ලීමය. අද හොරු ඇල්ලීම කෙසේ වෙතත්, යහපාලන හොරකම් කිරීම් කෙසේ වෙතත් වසර තුනක් යනතුරු චෝදනා ඔප්පු නොකරමින් ඒ වෙනුවට කියවමින් ඉන්නේ “රාජපක්ෂ හොරා, රාජපක්ෂ හොරා” යන්න පමණකි. ඇල්ලූ හොරෙක් ද, ඇල්ලූ ඝාතකයෙක් ද නැති තැන රටේ මහජනතාවද දැන් එම චෝදනා අවිශ්වාස කරමින් සිටී. මේ කියන්න යන්නේ ලියුම්කරු විසින් මීට වසර 4කට පෙර 2013 අගෝස්තු 18 වැනිදා රාවය පුවත්පතට “වාස් මේ පෙන්වන්නේ ඒ පිළිමෙද?" සහ “ වාස්ගේ පිළිම හොරකමට මෙන්න සාක්ෂි" මැයෙන් 2015 දෙසැම්බර් 5වැනිදා ඉරුදින පුවත්පතෙන් හෙළිදරව් කළ මිලකළ නොහැකි පෞරාණික පිළිම කිහිපයක් අස්ථානගත වීම ගැනත්, ඒවාට නිසි පරීක්ෂණයක් සිදුනොවීම ගැනත් කතාවේ දිගුවකි.   

එම ලිපියට අනුව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන 2012 වසරේදී කුරුණෑගල බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීව සිටිය දී පිළිමයක් විකුණන මුවාවෙන් සිදුකළ කප්පම් ගැනීමක් සහ එම පිළිමය සමඟ ඔහු හිටපු ජනාධිපතිවරයා සමඟ අරලියගහ මන්දිරයේ සිටින ජායාරූප කිහිපයක් පිළිබඳව හෙලිකිරීමක් සිදු කළ අතර, එම ලිපි මූලික කරගනිමින් රජයේ විගණකාධිපති විසින් විමසීම් අංක CAS/C/ARCH/AQ/10 යටතේ විගණන විමසීමක් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත 2017 පෙබරවාරි 14 වැනිදා යොමුකර තිබිණි. එම විමසීමට දැන් මේ වනවිට වසරකට ආසන්නය. එම පිළිම අතුරුදන් කිරීමට අදාල ප්‍රධානතම චූදිතයා එම පිළිම පෙන්වමින් රටේ හිටපු ජනාධිපතිවරයා සමඟ පෙනීසිටින ජායාරූප සාක්ෂි පැහැදිලිව ඇතත් මෙතෙක් ඒ ගැන සිදුකෙරුණු පරීක්ෂණයක් නොමැත.  
 

2015 ජනවාරි 8වැනිදායින් පසුව අරලියගහ මන්දිරයේ සැපත්ව ඉන්නේ වර්තමාන අගමැතිවරයාය. අරලියගහ මන්දිරය පසුබිම් වුණු ඉහත ජායාරූප සාක්ෂි අනුව මිල කළ නොහැකි එම පිළිම තවමත් තිබිය යුත්තේ අරලියගහ මන්දිරයේය. එවැන්නක් නැතිනම් දැන් ඒවා පිළිබඳව නොසොයනවාට වගකිවයුත්තේ අගමැතිවරයාය. නැතිනම් අගමැති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායකය.   

විගණන විමසුම   

ඉහත දාතම සහිත විගණන විමසුම විගණකාධිපති දෙපාර්තුමේන්තුවේ විගණන අධිකාරි ඒ.යූ. ආර් ප්‍රේමචන්ද්‍රගේ අත්සනින් යුතුව යොමු කර තිබෙන්නේ පුරාවිද්‍යා අඅධ්‍යක්ෂවරයා වෙතය. ඊට අනුව ගොකරැල්ල රාජචේතියාරාමයේ විකිණීමට සූදානම් කර තිබූ කිරිගරුඬ බුදු පිළිම 3ක් සහ ලෝහ වර්ගයට අයත් බුදුපිළිම 3ක් කුරුණෑගල පොලීසිය විසින් 2010 මාර්තු 15 දින අත්අඩංගුවට ගෙන කුරුණෑගල පොලිස් මූලස්ථානයේ ආයුද ගබඩාවේ තැන්පත් කර තිබූ බවත්, ඒවා පිළිබඳව පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේවගෙන් කළ විමසීමකට අනුව ඔහු විසින් ඒවා ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත මිල කළ නොහැකි ඒවා බවට සහතික කළ බවත් දක්වා තිබේ. එමෙන්ම නඩු අංක B/ 842/10 දරන නඩුවෙන් පසුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙන් එම පිළිම 6 රාජචේතියාරාමය විහාරාධිපති මහගල්කඩවල පුඤ්ඤසාර හිමියන් විසින් 2011.02.07වන දින නිවැරැදිව බාරගෙන තිබෙන නමුත් විගණනය විසින් 2016 සැප්තැම්බර් 2වැනිදා එම විහාරස්ථානයේදී කරන ලද භෞතික පරීක්ෂණයේදී පිළිම 6 වෙනුවට පිළිම 2ක් පමණක් ඉදිරිපත් කර තිබේ. ගුප්ත ශක්තියක් ඇතැයි කියන කුමාර පිළිමය ඇතුළු අනෙකුත් පිළිම 4 අතුරුදන්ව තිබෙන අතර විහාරාධිපති විගණනයට පවසා ඇත්තේ එම පිළිම චෛත්‍යයේ නිධන් කළ බවකි. විගණන විමසුම එම චෛත්‍ය පරීක්ෂා කර ඇති අතර එය ඉපැරැණි චෛත්‍යයක් බැවින් එහි එවැන්නක් ඇති බව පිළිගත නොහැකි බවයි.   

පිළිම ගැන අතීත කතාව   

2013 වසරේ අප්‍රේල් මස 04 වැනිදාත් මැයි මස 22 වැනිදාත් අතර කාලයේ දී කොළඹදී මෙහොමඩ් ෆවුස්ඩීන් සහ ක්‍රිෂාන්ත කෝරළගේ සමඟ එක්ව මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැර ගෙන ගොස් ඝාතනය කරන ලදැයි සියලු විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මඟින් මෙලෙස මරණ දඬුවම නියම කෙරු‍ෙණ් 2015 නොවැම්බර් 27 වැනිදායි. 2012 වසරේදී ෂියාම් ඝාතනයට සැකපිට වාස් ගුණවර්ධන අත්අඩංගුවට පත්වූ පසු දිනෙක පුරාවිද්‍යා වටිනාකම් සහිත භණ්ඩ එකතු කරන ව්‍යාපාරිකයකු ලියුම්කරුට හමුවන අතර ඔහු විසින් කුරුණෑගල ගොකරැල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක විකිණීමට තිබූ පිළිමයක් පිළිබඳව පාපොච්චාරණයක් කරනු ලබයි. එම පාපොච්චාරණයට අනුව ඔහු කෝටියක මුදලකට එම පිළිමය මිළදී ගැනීමට ගොකරැල්ලට යන අතර, එහිදී ඔහුට ආරංචි වන්නේ මීට ප්‍රථම එය මිළදී ගත් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුට අත්වූ ඉරණම පිළිබඳය. එකී ව්‍යාපාරිකයා ගේ පාපොච්චාරණය සැකවින් මෙසේය.   

“මේ සිද්ධිය වුණේ ගුණරත්න වීරකෝන් ජාතික උරුමයන් පිළිබඳ ඇමති වෙලා හිටපු 2012 මුල් කාලෙ. ඒ වෙනකොට වාස් ගුණවර්ධන තමයි කුරුණෑගල භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි. මට ආරංචියක් ආවා ගොකරැල්ලේ පන්සලක වටිනා පිළිමයක් තියෙනවා කියලා. ඒක ගන්න කුරුණෑගලට යන්න කලින් මම පිළිමේ ගැන හොයලා බැලුවා. මට මුලින් ආරංචි වුණේ ඒක මැණික් ඔබ්බපු මහා ලක්ෂ්මී පිළිමයක් කියලා. දකුණට කැරකුණු හක්ගෙඩි හතරක් ඒ පිළිමේ හතරවටේ තියලා දිනපතාම පිච්ච මල් පූජා කළාම හිතූ පැතූ දේ ලැබෙනවා කියලා තමයි ආරංචිය ආවේ. ඉතිං මටත් ඕනෑ වුණා ඒ පිළිමේ ගන්න. ලකී කියලා බ්‍රෝකර් කෙනෙක්ට කියලා තමයි ඔය කියන පිළිමේ තියෙන පන්සලේ හාමුදුරුවෝ ළඟට උපුල් කියන බ්‍රෝකර් මාව එක්කන් ගියේ. මෙතනදී මම ටිකක් කපටි වුණා. ගනුදෙනුව බ්‍රෝකර්ලා දෙන්නෙක් හරහා වුණොත් මට පාඩුයි. ඒක නිසා හාමුදුරුවෝ මට පිළිමේ ගන්න එන්න කිව්ව දවසට දවස් දෙකකට කලින් මම ගියා ඩිමෝ බට්ටා වාහනේකින්. ඒක පන්සලක් නෙමෙයි හෝටලයක් වගේ. මට මතක විදියට ඒක ඇතුළේ පිරිවෙණකුත් තිබුණා. ලොකු හාමුදුරුවෝ තමයි මේ ඩීල් එක කළේ. එයා තමයි එහේ අධිකරණ සංඝනායක. මම ඩිමෝ බට්ටා එකෙන් ගිය නිසා එදා ලොකු හාමුදුරුවෝ නෑ කිව්වා. පන්සලේ වටාපිටාව ගැන සැකයක් මගේ හිතට ආවා. ඔත්තු බලන්න වගේ කීපදෙනෙක්ම පන්සලේ හිටියා."   

“මම එදා එතැනින් ඇවිත් මේවා ගන්න තවත් යාලුවෙකුගෙන් මේ පිළිමේ ගැන ඇහුවා. එයා මට ඒ පිළිමේ ගන්න එපා කිව්වා. ඇයි කියලා ඇහුවම මිනිහා කිව්වා ඒ පිළිමේ ගන්න ගිහින් මිනිහට වුණු සිද්ධිය. ලක්ෂ 70කට ඒ පිළිමේ අරන් එද්දී ගොකරැල්ල පොලිසියෙන් මිනිහව අල්ලලා. ඊට පස්සේ ගොකරැල්ල පොලිසියේදී මිනිහට කියලා මේවා එක්ක අහුවුණාම බේරෙන්න බෑ, දන්නවනේ පුරාවිද්‍යා බඩු එක්ක අහුවුණාම වෙන දේ, මේක දුරදිග යන කේස් එකක් කියලා. පස්සේ මිනිහා ළඟට ඇවිත් පොලිස් කාරයෙක් කියලා තියෙනවා වාස් මහත්තයට කියලා නඩු නැතිව ගොඩදාගන්න පුළුවන් ලක්ෂ 20ක් ඕනෑ කියලා. පස්සේ මිනිහා ඒ ලක්ෂ 20 දීලා ඇවිල්ලා. එයා මට කිව්වා ඒ පිළිමේ ගන්න එපා, එයාට ලක්ෂ 90ක් පාඩුවුණා කියලා. ඒත් මට මිනිහාව විශ්වාස නැති නිසා බණ්ඩාර කියලා පොළොන්නරුවේ මුදලාලි කෙනෙකුට මම කතා කළා. මිනිහා මහනුවර තමයි බිස්නස් කරන්නේ. එයා කිව්වෙත් ඒ කතාවමයි. බණ්ඩාර මේ පිළිමේ අරන් තියෙන්නේ කෝටියකට. ලක්ෂ 25ක් දීලා තමයි මිනිහා බේරිලා තියෙන්නේ. බණ්ඩාරට කෝටියයි ලක්ෂ විසිපහයි දෙකම නෑ. තව දඹුල්ලේ මුදලාලි කෙනෙකුත් කෝටියකට පිළිමේ අරගෙන ලක්ෂ 25ක් පොලිසියට දීලා ඇවිත් කියලා ආරංචි වුණා. මුලින් ගොඩක් අය මේ ඩීල් එක ගැන දැනගෙන හිටියේ නෑ. සමහරු බයට කිව්වේ නෑ. තව සමහරු ලැජ්ජාවට කිව්වේ නැහැ. පිළිමේ විකුණුවට පස්සේ පන්සලෙන්ම පොලීසියට කෝල් එක දෙනවා. මගදි අල්ලනවා. පොලීසියෙන් සල්ලි ගන්නවා. ඊට පස්සේ නිදහස් කරනවා. හැමදේම දන්න වාස් මේක නොදැන ඉන්න බෑ. අනික වාස් නොදැන වාස්ගේ නම විකුණලා කුරුණෑගල පොලිසිවල ඒ කාලේ කාටවත් සෙල්ලම් දාන්නත් බෑ. මේක ගැන දැනගෙනත් මට ඒ පිළිමේ බලන්න ආසාවක් ආවා. පස්සේ මම පිළිමෙ ගන්න වගේ ගියා. ලොකු හාමුදුරුවෝ ඇවිත් ඇහුවා ගන්නවාද කියලා. පිළිමේ බලන්න ඕනෑ කිව්වාම ගන්න කෙනාට විතරක් එන්න කිව්වා. ඒක අඩි දහයයි දහය වගේ කළුවර කාමරයක්. ඒකෙ ඇන්ටික් ලොකු කබඩ් එකක් තිබුණා. හාමුදුරුවෝ කබඩ් එක ඉස්සරහ මට වාඩිවෙන්න කියලා දොර ඇරලා පෙන්නුවා. කබඩ් එකේ තට්ටු 4ක් තිබුණා. පහළම තට්ටුවේ පිළිමේ තිබුණා. පිළිමේ අඩි එකහමාරක් විතර දිගයි. උස අඟල් 8ක් 10ක් වගේ. ඒකේ මැණික් ගල් ඔබ්බලා තිබුණා. ඒක කිරිගරුඬ පිළිමයක්. පිළිමෙට ලක්ෂ 150ක් කිව්වා. අන්තිමට කිව්වා ලක්ෂ 120කට දෙන්නම් කියලා. මම ඒ වෙලාවේ කිව්වා මම ගන්නම්. ඒත් එළියේ අයට පෙන්වන්න ඕන කියලා. එළියට ගෙනියන්න දෙන්න බෑ කිව්වා. මගේ කැමරාව අරගෙනයි මම ඇතුළට ගියේ. ඒක ෆෝන් එකක් වගේ නිසා මම කිව්වා මේ ෆෝන් එකෙන් ෆොටෝ එකක් අරන් එළියේ අයට පෙන්වලා ගන්නම් කියලා. ඒත් ඒකටත් බෑ කියලා පස්සේ කිව්වා එකක් ගන්න කියලා. ඒ පින්තූරය තමයි මේ. “එම ජායාරූපය සමඟ මෙම හෙලිදරව්ව 2012 වර්ෂයේදී ලියුම්කරු විසින් රාවයේ පළ කරන ලදී. එවකදී රාජපක්ෂ ආණ්ඩුව ඒවාට නිසි පරීක්ෂණයක් සිදු නොකළ අතර හොරු අල්ලන්න ආ යහපාලනයද විගණන විමසුම් පවා ලබා දී තිබියදී තවමත් මුණිවත රකී.   

පිළිමයේ ජායාරූපය   

ඔහු සතුව ඇති එම පිළිමයේ ජායාරූපය ලියුම්කරුට පෙන්වූ අතර එය එවකදී පෙර සඳහන් ලිපිය සමඟ රාවය පුවත්පතේ එය පළ විය. ඔහු එම පින්තූරය සමග එදා පන්සලෙන් එළියට එන්නේ තමා බැංකුවෙන් මුදල් රැගෙන නැවත පැමිණෙන බව කියමිනි. පන්සල් වත්තෙන් ජීප් රථයෙන් නික්මුණද ඔහු එතැන් පටන් යන්නේ ඩිමෝ බට්ටා වාහනයකිනි. පිළිමය මිලදී නොගත්තද ඒ මතු ආරක්ෂාව පිණිසය. තම එකතුවට ගොකරැල්ලේ එම පිළිමය නැතත් ඔහු සතුව පිළිමයේ විශාල කළ ඡායාරූපයක් ඇත. ජායාරූපයට අනුව එය මැණික් ඔබ්බවා ඇති කිරිගරුඬ බෝසත් ප්‍රතිමාවකි. ‘‘වාස් ගුණවර්ධනයි පන්සලේ හාමුදුරුවොයි එකතුවෙලා මේ වැඩේ කළා කියලා තමයි ඒ කාලේ මේ බිස්නස් කරන අය අතරේ කතාව පැතිරුණේ. පිළිමේ ගන්න ගිය ගොඩක් අයට දෙපැත්තකින්ම සල්ලි නැතිවුණා. ඒ පිළිමේ මතක් වෙන්න අදටත් මම මේ පින්තූරේ ලොකු කරලා තියන් ඉන්නවා.’’   

මහින්ද, වාස් සහ පිළිම   

ෂියාම් ඝාතන චෝදනාවට අත්අඩංගුවට පත්වන්නට පෙර වාස් ගුණවර්ධනගේ ෆේස්බුක් පිටුවේ අපූරු ඡායාරූප ගොන්නක් තිබිණි. ඒ අතර වැඩිපුර ම තිබුණේ රටේ ඉහළම පෙළේ උදවිය සමග ගත් ඡායාරූපය. අදටත් එහි කවර පිටුවට ඇත්තේ වාස් ගුණවර්ධන පවුල අරලියගහ මන්දිරයේදී ජනාධිපතිතුමන් සමග ගත් ඡායාරූපකි. එම ඡායාරූපය ඔහුගේ ෆේස්බුක් පිටුවට එක්කර තිබුණේ 2012 වසරේ මැයි 6 වැනිදා හෝ ඊට ආසන්න දිනකදීය. වාස්ගේ අරලියගහ මැදුරේ පින්තූර අතර අපූරු පින්තූරයක් විය. එහි වාස් ගුණවර්ධන තරු පටි සහිත පොලිස් නිල ඇඳුමෙන් සැරසී යමක් දෙසට අත දිගුකර පෙන්වයි. වාස්ගේ එක පැත්තක සිටින්නේ කුප්‍රකට හයට් රීජන්සි ගොඩනැගිල්ල පිළිබඳව මූල්‍ය අපරාධ චෝදනා එල්ල වුණු මහජන බැංකුවේ හිටපු සභාපති ධුරය හෙබවූ, එවකට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී වූ ගාමිණී සේදර සෙනරත්ය. එවකට රටේ අදෘශ්‍යමාන ලෙස මූල්‍ය කටයුතු හෙබවූ සේදර සෙනරත්ටත්, ජනාධිපතිවරයාටත් මැදිව වාස් අත දිගුකර පෙන්වන්වා සිටින්නේ එදා ගොකරැල්ලේදී විකුණන්න තිබූ පිළිමය වීම අපූරුය. කතාව පැහැදිලිය. ඉන් වසර දෙකකට පසු අධිකරණය විසින් බොහෝ දෑ සනාථ කරන ලදී. 2015 නොවැම්බර් 27වැනිදා වාස් ගුණවර්ධන ඇතුළු චූදිතයන්ට මරණ දඬුවම ප්‍රකාශයට පත්කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා විසින් කුරුණෑගල පිළිමය ගැන ද තවත් පිළිම අටක් ගැන ද ප්‍රකාශ කළේය.   

සභාපති විනිසුරු ප්‍රකාශය   

මෙම නඩුවේ තීන්දුව ලබාදෙන අවස්ථාවේ දී සභාපති විනිසුරු ලලිත් ජයසූරිය මහතා වාස් ගුණවර්ධන විසින් සිදුකළායැයි කියන ඝාතනයට අමතර තවත් වැදගත් යමක් කීවේය.   
“මෙම නඩුවේ පළමු විත්තිකරු 1981 වර්ෂයේ ආධුනික පොලිස් පරීක්ෂකවරයෙකු වශයෙන් සේවයට බැඳී ක්‍රමයෙන් උසස් වී ඇති අතර, රැකියාවේදී විරුද්ධවාදීන් ලෙස අනුර සේනානායක මහතා සමඟ ගැටුමක් ඇතිකරගත් බව පැවසෙනවා. වැලිකඩ පොලීසියේ ඝාතනයක් සම්බන්ධයෙන් අනුර සේනානායක මහතා ඔහු සමඟ අමනාපයෙන් පසුවන බවට සඳහන් කර තිබෙනවා. නොපනත්කම් කළත් පළමු විත්තිකරු නියෝජ්‍ය පොලිස්පතිවරයා තෙක් උසස්වීම් ලබාගෙන ඔහු දක්ෂ ලෙස සිටියා. ඔහුට එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් තර්ජන තිබ්බා කිව්වා. ඒ වගේම ඔහු වටිනා පිළිම අටක් සොයාගත්තා. ආයුද සොයා ගත්තා කියලා කිව්වා. ඒත් ඒවා බාරදුන්න තැනක් නෑ. ආයතන සංග්‍රහය උල්ලංඝනය කරලා. මෙම නිලධාරියා උසස් නිලධාරියෙකු ලෙස කුරුණෑගල දී සොයාගත් රුපියල් ලක්ෂ අටසීයක් පමණ වටිනා පිළිම දළදා මාළිගාවට තෑගිදෙන්න උත්සාහ කළා කියලා කියනවා. ඔහු කොහොමද එහෙම කරන්නේ. ඔහු කොහොමද ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන අභිබවා යන්නේ. මේ විත්තිකරු යම් යම් අවස්ථාවලදී ඔහුට අවශ්‍ය රාජ්‍යයක් හදාගෙන කටයුතු කර තිබෙනවා. ඒ අනුව මෙම විත්තිකරු ඉදිරිපත් කරන ලද විත්ති වාචකය ප්‍රතික්ෂේප කරනවා" යැයි ප්‍රකාශ කළේය.   

වාස්ගේ අවසන් ප්‍රකාශය   

“මේ නඩුව ගෙතුවේ සී.අයි.ඩී එක. මේ සාක්ෂි ඔක්කොම හදපුවා. මම දළදා මාළිගාවට පිළිම අට දුන්නේ අධිකරණ නියෝග අරගෙන. ඒක නීත්‍යානුකූලව කළා. ඒ වගේම එල්.ටී.ටී.ඊ එකෙන් ගත්ත ආයුධ මං නීත්‍යානුකූලවම භාර දුන්නා. "   

වාස් ගුණවර්ධන එදා එවැන්නක් ප්‍රකාශ කළද කෞතුක භාණ්ඩ කිසිවක් තම පුද්ගලික හිතුමනාපයට දළදා මාලිගාවට හෝ වෙනයම් ආයතනයකට හෝ පුද්ගලයකු ට ලබාදිය නොහැකිය. යම් කෞතුක භාණ්ඩයක් හමුවීමෙන් පසුව එය අධිකරණ ක්‍රියාදාමයකට යටත් ය. රස පරීක්ෂණ වාර්තා ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයවලින් ද අනතුරුව ඒවා කෞතුකාගාරයට හෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බාර දිය යුතුය. පුරාවිද්‍යා සම්බන්ධව පොලීසියේ වෙනම ඒකකයක් ද ඇත. පොලීසියට ආයතන සංග්‍රහයක් ද ඇත. එම නඩු භාන්ඩ වනවා සේම ඒවා ආරක්ෂිතව තැබීමට අධිකරණ තුළ වෙනම ඇති නඩු භාණ්ඩ කාමරයක් ද ඇත. එහි මුද්‍රා කර තැබිය යුතුය. ලලිත් ජයසූරිය විනිසුරුට අනුව වාස් ගුණවර්ධනට හමු වූ කෞතුක පිළිම ආ ගිය අතක් නැත. දළදා මාළිගාවේ දියවඩන නිළමෙවරයාට අනුවද එවැන්නක් බාරගෙනද, බාරදී ද නැත. 2016 කළ විගණන විමසුමට අනුවද එම පිළිම ආගිය අතක් නැත. එහෙත් වාස් ගුණවර්ධනගේ ජායාරූප ගොන්න තුළ ඇති ජායාරූප තිබූ තැන පිළිබඳව කදිම සාක්ෂි සපයනු ඇත. අධිකරණයේදී සහ විගණන විමසුම අනුව ප්‍රකාශිත ආකාරයට පිළිම අටක් සහ කුරුණෑගල ගොකරැල්ල පොලිස් වසමේ පිළිම ජාවාරමට මැදි වූ පිළිමය පවා අරලියගහ මැදුරට ආ බවට ජායාරූප සාක්ෂ්‍ය තිබේ. මීට වසර පහක පමණ සිට පුවත්පත් වල පළ වූ වාර්තා ද තිබේ. එහෙත් හොරු සොයන්න ආ යහපාලන තවම ඒවා හමස් පෙට්ටියේ තබා වාචිකව පමණක් හොරා හොරා යැයි කියා සැබෑ සොරු සඟවන බව පෙනේ.

අගමැතිතුමනි! මේ පිළිම අරලියගහ මන්දිරයේ තිබේද?

මාතෘකා