දේශපාලන තොරොම්බලයට බියව යුක්තිය පමා කිරීම

 ඡායාරූපය:

දේශපාලන තොරොම්බලයට බියව යුක්තිය පමා කිරීම

අපරාධ විනිර්මුක්තිය නොඑසේ නම් අපරාධවලට එරෙහි දඬුවම් ක්‍රියාත්මක නොවීම මෙරටට ආවේනිකය. ඈත ඉතිහාසයේ පටන්ම බලාධිකාරීහු තම බල හුවමාරු ක්‍රීඩාව සඳහා පළමුව විනිර්මුක්තියට එරෙහිවත්, බලය ලබාගැනීමෙන් විනිර්මුක්තියට පක්ෂවත් කටයුතු කරමින් යුක්තිය කේවල් කළහ. පසුගිය වකවානුවේ සිදුවූ පැහැරගැනීම් හා මහ දවාලේ වූ ඝාතන කොතෙක් ඇතත් ඒවා 2014 අග ජන්දවලට කේවල් කළෝ මේ වනවිට වසර තුනක් ගතකර ඇතත් ඉතිහාසයේ පරිදි විනිර්මුක්තියට ඉඩ තබා තිබේ. එම පැහැරගැනීම් හා ඝාතනවලට ඍජුව වගකිවයුත්තෝ ඒවායින් බේරීමට රණවිරු ලේබලය ඉදිරියට දමා, මහජන මතය හා යුක්තිය තොරොම්බල් කරමින් සිටිති. මහජන නීතිය, රජය වෙනුවෙන් සේවය කරනු ලබන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තු නිලධාරීන්ගේ පරීක්ෂණ හා ජීවිත අඩපණ කරමින් වර්තමාන පාලකයෝ එම දේශපාලන තොරොම්බලයට බියව යුක්තිය පමා කරමින් සිටිති. එය මෙරට යුක්තිය අපේක්ෂා කරමින් නව පාලනයක් ඇතිකළ බහුතර මහජනතාව දන්නා රහසක් වී හමාරය.   

යෝගානන්ද සහ පරමානන්ද   

පසුගිය සමයේ වූ අතුරුදන්වීම් කප්පරක් අතරින් වඩිවේල් පක්කිලිසාමි යෝගානන්ද සහ ඔහුගේ ඥාති සහෝදරයෙකු වූ රත්නසාමි පරමානන්ද අතුරුදන් වන්නේ 2009 ජනවාරි 11වැනිදාය. කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි යෝගානන්ද ව්‍යාපාරිකයෙකි. ඔහු වෑන් රථයෙන් දුර ගමන් යෑමේදී හා රාත්‍රී ධාවනයෙදී රියැදුරු ලෙස සම්බන්ධ කරගෙන ඇත්තේ බොරැල්ලේ පදිංචිව සිටි ඔහුගේ මස්සිනා වූ පරමානන්දය. යෝගානන්දට අයත්ව තිබූ අංක PA - 0023 දරන වෑන් රථයෙන් එදින ඔවුන් ව්‍යාපාරික කටයුත්තක් සඳහා වැල්ලම්පිටියට ගොස් තිබූ අතර, එතැන් සිට ඔවුන් අද දක්වා අතුරුදන්ය. එම අතුරුදන් වීම සම්බන්ධව එවකදී යෝගානන්දගේ බිරිඳ වන රාජ්ගෝපාල් චිත්‍රාදේවී විසින් කොටහේන පොලීසියට පැමිණිළි කර ඇත. පරමනාදන්ගේ බිරිඳ වන පවුලින් මේරි ඇග්නස් පොලිසියට පැමිණිලි කර තිබේ. ඉන් අනතුරුව එම පැමිණිල්ල කොළඹ අපරාධ කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂක විජේසිංහ වෙත යොමු කර තිබේ. එහිදී යෝගානන්ද සතුව තිබූ ජංගම දුරකථනය ඔස්සේ පරීක්ෂණ සිදුකිරීමේදී එම ජංගම දුරකථනය 2010 ජනවාරි දක්වා භාවිතා කර ඇත්තේ සේදිරිලාගේ දොන් සුමේද සම්පත් දයානන්ද නැමැති නාවික නිලධාරියෙකු විසින් බව හෙළි විය. අනෙකුත් දුරකථනය පිළිබඳව සෙවීමේදි එවකට එය භාවිතා කරමින් සිට ඇත්තේද තවත් නාවික හමුදා නිලධාරියෙකි. ඒ අනුව එවක සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක එම පරීක්ෂණය තමන් යටතට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පසුව හෙළිකරගත් පරිදි එම පරීක්ෂණ එතෙක් සිදුකළ උප පොලිස් පරීක්ෂක විජේසිංහගෙන් ඉවත් කර ආධුනික පොලිස් නිලධාරියෙකු ලවා පරීක්ෂණ සටහන් ලියවා තිබේ. ඉන් පසුව එම පරීක්ෂණ වාර්තාව රහසිගත වාර්තාවක් (Confidential report) ලෙස නම්කර ආරක්ෂක අමාත්‍යාංශයකට යවා තිබේ. 2010 නොවැම්බර් මස 10 වැනිදායින් පසු රාජපක්ෂ පාලන සමයේදී ඉන් ඉදිරියට ඒ ගැන කිසිදු පරීක්ෂණයක් සිදුකර නොමැත.   

පරීක්ෂණ සී.අයි.ඩීයට   

එලෙස පොලිස් පරීක්ෂණ අතරමඟ නතර වීමෙන් පසුව චිත්‍රාදේවී තම ස්වාමිපුරුෂයා සහ සහෝදරයා අතුරුදන්වීම පිළිබඳ පැමිණිල්ලක් නැවතත් පොලිස්පති සහන මැදිරිය වෙත යොමුකර ඇත. එහිදී හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට එම පරීක්ෂණය නැවත සිදුකරන ලෙස 2015 මැද භාගයේදී නියෝග කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව එම අතුරුදන් වූවන් සතුව තිබූ තවත් ජංගම දුරකථනයක් මාර්ගයෙන් පරීක්ෂණ මෙහෙය වීමේදී එම දුරකථනය හමුවී ඇත්තේ පුත්තලම නාවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා සතුව තිබිය දීය. දිගින් දිගටම අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව නාවික හමුදා තොරතුරු ගොනු පරීක්ෂා කර ඇති අතර එහිදී යෝගානන්ද හා පරමානන්ද ගමන් කළ වෑන් රථය පිළිබඳව තොරතුරු අණාවරණය කරගෙන තිබේ. 2008 සහ 2009 සමයේම පැහැරගෙන ගොස් කප්පම් ලබාගෙන ඝාතනය කළ බව කියැවෙන තරුණයන් 11දෙනාගේ සිදූවීමට අදාලව එතෙක් අඩාළව තිබූ පරීක්ෂණයද නැවත ආරම්භ වුයේ 2015 වසරේදීය. එලෙස පැහැරගත් එක් තරුණයෙක් වූ කස්තුරි ආරච්චිලාගේ ජෝන් රීට් රැගෙන ගිය රථයක් සම්බන්ධව කෙරුණු පරීක්ෂණයක් අතරතුර ලැබුණු තොරතුරක් මත පරමානන්දට අයත්ව තිබූ වෑන් රථය පිළිබඳව හෙළිදරව් වී තිබේ. ඒ අනුව වැලිසර නාවික නෞකා ගැමුණු කඳවුරේ බුද්ධි නිලධාරින්ගේ නිවස්න පිහිටි ස්ථානයේ 2016 පෙබරවාරියේදී පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී කොටස් 72කට කපා සඟවා තිබූ වෑන් රියක කොටස් හමුවී තිබේ. ටොයොටා සමාගමේ විශේෂඥයෙකු සමඟ එක්ව එම රිය කොටස් එකලස් කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට තහවුරු වී ඇත්තේ එය අතුරුදන් වූ යෝගානන්දට අයත්ව තිබූ වෑන් රථය බවටය.   

දුරකථන අංක   

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය මෙම පුද්ගල අතුරුදන් වීම වූ දින ජංගම දුරකථන ඔස්සේ පරීක්ෂණ පවත්වා තිබේ. එම දුරකථන දත්ත පරීක්ෂා කිරීම් හමුවේ සැකකරුවන් ගමන් කළ මාර්ගය කොටහේනෙන් ආරම්භ වී වැලිසර නාවික හමුදා කඳවුරු භූමියෙන් අවසන් වී තිබේ. එමෙන්ම අතුරුදන් වූ යෝගානන්ද භාවිතා කළ දුරකථනය නාවික නිලධාරී සම්පත් දයානන්ද භාවිතා කරමින් තිබී කොළඹ අපරාධ කොට්ඨාසයට හමුවීමෙන් පසුව ඒ පිළිබඳව ඔහු ගෙන්වා ප්‍රශ්න කර තිබේ. එහිදී දයානන්ද ප්‍රකාශ කර ඇත්තේ තමන්ට එම ජංගම දුරකථනය බස් රථයක තිබී හමු වූ බවයි. ඒ ඔස්සේ යමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ඔහු ප්‍රකාශ කළ බස් රථ රියැදුරන් හා කොන්දොස්තරවරුන් ගෙන්වා ප්‍රශ්න කළද එවැන්නක් තම බස් රථවලින් හමුනොවූ බව ඔවුන් විසින් ප්‍රකාශ කර තිබේ. වෑන් රථය කොටස්වලට කැපූ නාවික හමුදාවේ පහළ නිලයන්ට අයත් සෙබලුන් දෙදෙනෙකුද ගෙන්වා ප්‍රශ්න කර ඇති අතර එහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ තමන් කෙරවලපිටිය ගෑස් ටැංකි ආරක්ෂා කිරීමේ රාජකාරිවල නිරතව සිටි බවත්, ලුතිනන් කොමදෝරු අනිල් මාපා කළ කැඳවීමක් අනුව වැලිසර කඳවුරුට ගොස් එහි තිබූ වෑන් රියක් කොටස්වලට කපා පැමිණි බවයි.  

නාවික නිලධාරීන් වෙත සැකය   

කොළඹ අංක 3 මහේස්ත්‍රාත් උසාවියේ B/2109 යටතේ විනිසුරු ජෙයරාම් ට්‍රොස්කිගේ මෙහෙයවීමෙන් මෙම සිද්ධියට අදාළව ලඝු නඩු විභාගය ආරම්භ වී තිබේ. ඒ අනුව එම පැහැරගැනීම් සම්බන්ධව ඍජුව සැක එල්ල වී ඇත්තේ නාවික හමුදාවේ නිලධාරීන් කීපදෙනෙකු වෙතය. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මනුෂ්‍ය‍ ඝාතන යන චෝදනාව යටතේ 2016 මාර්තු 16 වැනිදා වැලිසර නාවික කඳවුරේ බුද්ධි නිලධාරියාව සිටි ලුතිනන් කොමදෝරු ධම්මික අනිල් මාපාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර තිබේ. එම රථයේ හිමිකරුවන් අතුරුදන් වීම, වෑන් රිය පිළිබඳව වගකිවයුතු අංශවලට දැනුම් නොදීම, චැසි අංකය කපා ඉවත්කිරීම ආදී සාධාරණ සැකයන් එම අත්අඩංගුවට ගැනීම සඳහා පාදක වී තිබේ. එහිදී එම නිලධාරියා ප්‍රකාශ කර ඇත්තේ වැලිසර නාවික හමුදා කඳවුරේ ස්වේච්ඡා භට කන්ඩායමට අයත් කඳවුර ඉදිරිපිට සැක සහිත වෑන් රථයක් තිබෙන බවට තමන්ට තොරතුරු ලැබුණු බවයි. ඉන්පසුව ඒ පිළිබඳව නාවික බුද්ධි අධ්‍යක්ෂ කපිතාන් ආනන්ද ගුරුගේට දන්වා තිබේ. ඔහුගෙන් ලැබුණු උපදෙස් මත නාවික බුද්ධි නිලධාරී සේදිරිලාගේ දොන් සුමේද සම්පත් දයානන්ද සහ තවත් නිලධාරීන් දෙදෙනෙකු එම ස්ථානයට යවා වෑන් රථය කඳවුර තුළට ඇදගෙන ආ බවත්, බෝම්බ ඇතැයි ලද තොරතුරු මත එය කොටස්වලට කැපූ බවත් ඔහු ප්‍රකාශ කර තිබේ. එවැන්නක් හමු වූ පසුව පොලිසියට හෝ තම දෙපාර්තුමේන්තුවට නොදැන්වීමට හේතුවත්, එම රථයේ හිමිකරුවන්ට සිදුවූ දෙයත් එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කර තිබේ. ඒවාට නිශ්චිත පිළිතුරක් ලබාදීමට එම නිලධාරියා අපොහොසත්ව ඇත. ඔහුව 2016 වසරේ අග අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව විවෘත අධිකරණයේදී විනිසුරුවරයා යෝගානන්දට අයත්ව තිබූ වෑන් රිය කොටස් 72කට කැපීම පිළිබඳව විමසමින් හාස්‍යය දනවන ප්‍රකාශයක් කරන ලදී. වෑන් රිය කොටස් 72කට කැපීමෙන් එහි තුළ වූ බෝම්බ කැපී නිෂ්ක්‍රීය වූවාදැයි විනිසුරුවරයා නාවික හමුදාවෙන් සහ සැකකරුවන්ගෙන් විමසන ලදී. ඔවුන් ඊට පිළිතුරු ලබා දීමට අපොහොසත්ව තිබේ.   

පරීක්ෂණවලට බාධා   

මෙම පැහැරගෙන යෑම් සහ අතුරුදන් කිරීම් සඳහා අණදුන් බවටත්, ඒ සඳහා කටයුතු කළ බවටත් සාක්ෂි ලැබී තිබූ නාවික හමුදාවේ රියර් අද්මිරාල්වරයෙකු වූ ආනන්ද ගුරුගේව සහ සම්පත් දයානන්දව වැඩිදුර පරීක්ෂණ සඳහා අත්අඩංගුවට ගත යුතු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණයට දන්වන ලද්දේ 2017 ජනවාරි 27 වැනිදාය. ඒ වනවිට අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකු වූ වැලිසර නාවික හමුදා කඳවුරේ ලුතිනන් කොමදෝරු ධම්මික අනිල් මාපා නමැත්තාට අතුරුදන් වූ යෝගානන්දට අයත් වෑන් රථය කැබලි කිරීමට උපදෙස් ලබා දී ඇත්තේ එවකට නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා වූ රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ නමැත්තා බවද, සම්පත් දයානන්ද පැහැගැනීමට සහාය වී ඇතැයිද තොරතුරු අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට දැනුම් දී තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසය කළ පරීක්ෂණය අතරමඟ නවතා දැමීමටත්, සැකකාර නාවික හමුදා නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමට බාධා කළ එවක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි අනුර සේනානායකද අත්අඩංගුවට ගත යුතු බව අධිකරණයට දන්වා මේ වන විට වසරක් ඉක්මවා තිබේ.   

යුක්තියට බාධා   

පසුගිය පාලන සමයේ අතුරුදහන් කිරීම් පිළිබඳව නැවත පරීක්ෂණ ආරම්භ කිරීම යුක්තිය අපේක්ෂා කළ මහජනතාවගේ ප්‍රමුඛතම අභිලාෂයක් විය. හැටදෙලක්ෂයක ජනතාවක් යහපාලනය ස්ථාපිත කරමින් ජනාධිපතිවරයාටත්, අගමැතිවරයා ප්‍රමුඛ යහපාලනය ආණ්ඩුව පිහිටුවීමටත් පරමාධිපත්‍ය බලය ලබාදුන්නේ එකී අපරාධ විනිර්මුක්තියට තිත තැබීම සඳහාය. ඕනෑම අපරාධයක් සිදුකර නිලඇඳුමට මුවා වී රණවිරු ලේබලයෙන් ඒවා වසාගන්නා චූදිතයන් සිටින්නේ ආරක්ෂක අංශවල අල්ප කොටසක් පමණි. නිල ඇඳුමට මුවා වී අපරාධ සිදුකළවුන්ට දඬුවම් දීමෙන් සමස්ත ආරක්ෂක අංශ දුර්මුඛ නොවේ. එනයින් සැබෑ අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකරගැනීමෙන් ලේ තැවැරුණු අපරාධ ලේබලය සමස්ත ආරක්ෂක අංශවලින් ගැලවෙනු ඇත. නමුත් රටේ කිසියම්ම හෝ බලවත් අදෘශ්‍යමාන හස්තයක් මෙම පරීක්ෂණවලට බාධා කරයි නම් එනයින් මහජන විශ්වාසය පළුදු වන්නේ යහපාලනයේම බව මතක තබා ගැනීම වටී. හුදු ජන්ද කේවල් කිරිම් සඳහා හෝ දේශපාලන වාසි තකා හෝ අනෙක් පාර්ශ්වයන් මට්ටු කිරීම සඳහා හෝ යුක්තිය ඉටුකිරීමට බාධා කිරීම නොකළ යුතුය. රජයේ සේවකයන් වන අපරාධ පරීක්ෂණ නිලධාරීන් ඔවුන්ගේ පෞද්ගලික කෝන්තර හෝ වාසි මත ජීවිත අවදානමට ලක්කර මෙම පරීක්ෂණ සිදුකරනු ඇතැයි සිතිය නොහැකිය. ඔවුහු රජය වෙනුවෙන් අපරාධ පරීක්ෂණ කාර්ය ඉටුකරති. එයින් නීතියේ ආධිපත්‍යය ඇති රටක් ලෙස මේ රට ලෝකයා හා මහජනතාව පිළිගනු ඇත. නීතියට ඉහළින් කිසිවෙකුත් නොමැති රාජ්‍යයක් අපේක්ෂා කළ මහජනතාවට සහ රාජ්‍ය සේවකයාට විධායකය හෝ දේශපාලන අධිකාරීන් තවදුවරත් අතපොවයි නම් අනතුරේ වැටෙනු ඇත්තේ මේ වනවිටත් ජීවිත තර්ජන එල්ල වී ඇති අපරාධ පරීක්ෂණ නිලධාරීන්ගේ සිට ජනාධිපතිවරයා හා අගමැතිවරයා ප්‍රමුඛ යහපාලනයමයි.

මාතෘකා