අලි ශෝකාලාපය

 ඡායාරූපය:

අලි ශෝකාලාපය

මේ දිනවල වන අලි ගැන ඇසෙන්නේ ශෝකාලාපයකි. 2018 වසර ඉකුත් වීමට තව දින විසි පහක් පමණ තිබියදී අලි මරණ 300කට ආසන්න ගණනක් වාර්තා වීම සැහැල්ලුවෙන් බැහැර කළ නොහැක්කකි. පසුගිය දෙසැම්බර් 01 වැනිදා එළි වූයේ දොළොස් හැවිරිදි මුගලන්ගේ අවසන් හුස්ම පොද උඩවලව රක්ෂිතයේ ඉහළ අහසට මුහුකරවමිනි. නිදහසේ අහර බුදිමින් සිටි ඇත් පැටියාට කවුදෝ වෙඩි තබා තිබිණි. එසේම පසුගිය 04 වැනිදා වවුනියාවේ දුම්රියට හසුවූ අලියකුට අමානුෂික ලෙස වෙඩි ප්‍රහාර එල්ලකොට මරා දමා තිබිණි. හද කම්පනයට පත් කරවන මෙවන් අලි මරණ වාර්තා වන්නේ දළ පූට්ටුවා මරා දමා වසරක් ගත වන මොහොතේදීය. දෙවන පෑතිස්

රජ සමයේ ලොව මුල්ම අභයභූමිය බිහි කිරීමේ ගෞරවය හිමි වන රටක, වන සතුන්ගේ අද තත්ත්වය රට කෙතරම් නරක අවධියකට පත්ව ඇත්දැයි සිහිපත් කරන ආස්ථානයකි.

අලියා යනු දැනට ගොඩබිම ජීවත් වන විශාලතම ක්ෂීරපායී සත්ත්වයා වෙයි. අද වන විට ලෝකයේ ඉතිරි වී ඇත්තේ අලි විශේෂ දෙකක් පමණි. ඒ අප්‍රිකානු අලි (Loxodonta Aftican) සහ ආසියාතික අලි (Elephas Maximus) විශේෂයන්ය. අතීතයේ ආසියානු මහද්වීපය පුරා අලි ව්‍යාප්ත වී සිටියත් අද වන විට මේ තත්ත්වය වෙනස්ය. අද වන විට ආසියානු අලියා ජීවත් වන්නේ ඉන්දියාව, බංග්ලාදේශය, භූතානය, කාම්බෝජය, ඉන්දුනීසියාව, ලාඕසය, වියට්නාමය, මැලේසියාව, මියන්මාරය, නේපාලය, තායිලන්තය, සුමාත්‍රාව සහ ශ්‍රී ලංකාව යන රටවල් 13කට අයත් භූමි ප්‍රදේශවලය. ඉරාකය, පාකිස්තානය වැනි රටවලින් ආසියානු අලියා මේ වන විට වඳ වී ඇත.

ආසියානු අලියා වඳවී යෑමේ තර්ජනයට ලක්වූ බවට ඇති හොඳම සාධකය ඔහුගේ නම ජාත්‍යන්තර රතු දත්ත පොතට ENDANGERED ඇතුළත් වීමයි. Elephas Maximus විශේෂයට අයත් උප විශේෂ ගණනාවක් අතීතයේ සිටියත් අද වන විට ඇත්තේ උප විශේෂ තුනක් පමණි. එයිනිදු Elephas Maximus Maximus උප විශේෂය ශ්‍රී ලංකාවට පමණක් සීමා වී ඇත.

ශ්‍රී ලංකාවට අවේණික Elephas Maximus Maximus උප විශේෂය ආසියාතික අලි විශේෂ අතර විශාලතම සහ වර්ණය තද පැහැයක් ගන්නා සත්ත්ව විශේෂයකි. 2011 වන විට ලංකාවේ අලි ගහනය 5879ක් විය.

2018 ජනවාරි 01 වැනිදා සිට ඔක්තෝබර් 1 වැනිදා වන විට අලි ඇතුන් මරණ 271ක් වාර්තා වෙයි. මේ අතර වෙඩි තැබීම් නිසා 39ක්, විදුලි සැර වැදීම් නිසා 31ක්, වස දීම් 01ක්, හක්ක පටස් නිසා 54ක්, දුම්රිය අනතුරු නිසා 15ක්, හඳුනා නොගත් හේතු නිසා 39ක් ආදි වශයෙන් මරණ වාර්තා වෙයි.

අලි මිනිස් ගැටුම් මත මෙන්ම මිනිස් ක්‍රියාකාරකම් මත අලියාගේ ජීවිතය සුවිශාල වශයෙන් තර්ජනයට ලක් වී ඇත. අලියාගේ හැසිරීම නිරීක්ෂණය කිරීමෙන් එළැඹ ඇති නිගමනයක් වන්නේ ඔහු තමන් උපන් භූමියේ පමණක් ජීවත්වන සත්ත්වයකු බවයි. අලි ඔවුන්ගේ වාසස්ථානවලින් පැන්නීම ප්‍රායෝගික නොවන බවත් බලහත්කාරයෙන් ඔවුන් ආගන්තුක ප්‍රදේශවලට සීමා කිරීමෙන් ඔවුන්ගේ ජීවිතවලට හානි සිදුවුණු බවත් නිරීක්ෂණයට ලක් වී ඇත.

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ කැඳවුම්කරු සජීව චාමිකර විසින් කළ නිරීක්ෂණ ඇසුරින් අලින් හා මිනිසුන් අතර ඇතිවන ගැටුම්වලට බලපාන හේතු රාශියක්ම හඳුනාගෙන ඇත.

මීට වසර 10කට පෙර වියළි කලාපයේ මහ කන්නයේදී හේන් වගාව සිදු කළ අතර යල කන්නයේදී වගා බිම් අතහැර දැමීම සිදු කෙරිණ. යල කන්නයේදී අතහැර දැමූ බිම්, වියළි කාලයට අලින්ගේ ආහාර බිම් විය. නමුත් අද වන විට එම බිම් වර්ෂය මුළුල්ලේම වගා කරන තත්ත්වයට පත් වීම නිසා මේ වන විට අලින්ගේ ආහාර බිම් අහිමි වී ඇත. එම නිසා අලි ගම්වලට ආහාර සොයා පැමිණෙති. වන ජීවී වාසස්ථාන ඇතුළු බොහෝ ප්‍රදේශවල ආක්‍රමණික ශාක වන ගිනිතණ, ගඳපාන, යෝධ නිදිකුම්බා, කටු උණ වැනි ශාක මහා පරිමාණයෙන් ව්‍යාප්ත වීම නිසා අලින්ගේ වාසස්ථාන අහිමි වීම සිදු වේ. මීට අමතරව වියළි හා අතරමැද කලාපවල ජූලි සිට ඔක්තෝබර් දක්වා මහා පරිමාණ ලෙස කැලෑ ගිනි තැබීමෙන්ද ඔවුන්ට වාසස්ථාන අහිමි වේ.

මීට අමතරව රක්ෂිත ප්‍රදේශවලට මී හරක් ඇතුළු කිරීම නිසා අලි කෑම සොයා ගම්වැදීම, වන සංරක්ෂණ ආඥා පනත හා වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ප්‍රකාශයට පත් කර ඇති වනජීවී වාසභූමි හැර ඉතුරු සියලුම ස්ථාන අනාරක්ෂිතව පැවතීමත් පයිනස්, යුකැලිප්ටස්, ඇකේසියා, තේක්ක වැනි නව වගා නිසා සත්ත්ව වාසස්ථාන අහිමි වීම හා වන ආශ්‍රිත ප්‍රදේශවල කසළ රැඳවුම් ක්‍රියාත්මක කිරීමත් නිසා ඒවාට අලින් ඇදී ඒම වැනි හේතු මේ අතර වෙයි.

අලියා රැක ගැනීමටත්, අලියන්ගෙන් මිනිස් ජීවිත රැක ගැනීමටත් මුලින්ම කළ යුත්තේ අලියා යනු සතකු බව ප්‍රථමයෙන් බලධාරීන් විසින් තේරුම් ගැනීමය. ඔවුන් හැසිරෙන්නේ පුරුදු මත මිස සිතා බලා කල්පනා කර නොවේ. අලි වැට ක්‍රමය, අලි රක්ෂිතවලට අලි ගාල් කිරීම හෝ අලි සිර කඳවුරු ඇති කිරීම සාර්ථක නොවූයේ ඒ නිසාය.

මේ සත්ත්වයා රැක ගැනීම සඳහා වහා පිළියම් නොකළහොත් මේ අලි විශේෂය තව නොබෝ දිනකින් ලොවින් තුරන් වනු ඇත. මේ විනාශ වන්නේ ලොව දුර්ලභ සත්ත්ව කොට්ඨාසයකි. ශ්‍රී ලංකාවේ අලියා මෙරට විදෙස් සංචාරකයන්ගෙන් ආකර්ෂණීයත්වයට ප්‍රධාන හේතුවක් බවද අමතක කළ යුතු නැත. අලියා සම්පතක් වන්නේ එබැවිනි.

නූතන ලෝකයේ අලි මිනිස් ගැටුම විසඳීමට අද ලොව භාවිත වන තාක්ෂණික ක්‍රමවේද රාශියක් තිබේ. ජී. පී. ආර් එස්. සංඥා සහිත රේඩියෝ කරපටි, අධිතරංග කම්පන හඳුනා ගත හැකි කරපටි මේ සඳහා භාවිත කළ හැකිය. මේ වන විට වනජීවී දෙපාර්තමේන්තුව සතුව ජී.පී.එස්. කරපටි 42ක් ඇත. එසේම තවත් කරපටි 300ක් ලැබීමටද නියමිතය.

ඒ මොහොතේම දත්ත ලබා ගත හැකි සංඥා පටි පවා අද ලෝකයේ ඇත. වෙඩි තැබීම් මඟින් ඇතිවන කම්පන තරංග හඳුනා ගන්නා රේඩියෝ සංඥා කරපටිද අද භාවිතයට ගැනේ. එමඟින් වෙඩි තැබූ සැණින් වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමේ හැකියාව ඇත.

තාපයට සංවේදී කැමරා දුම්රියට සවි කිරීම, අඩු සංඛ්‍යාතයක් සහිත හඬක් නිකුත් කරන නලාවක් දුම්රියේ සවි කිරීම වැනි ක්‍රමවේද මඟින් දුම්රිය අනතුරුවලින් අලියා රැක ගත හැකි ක්‍රමවේද භාවිත කළ හැකිය.

එමඟින් සතුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කොට ලැබෙන දත්ත මඟින් අලි මිනිස් ගැටුම විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකිය.

ශ්‍රී ලංකාව තුළ වන අලියා රැක ගැනීමට අවශ්‍ය ස්ථිරසාර ක්‍රියාමාර්ග ගන්නා බවට නම් තවමත් පෙනෙන්නට නොමැත. ඇත් දළ ඇතාගෙන් ගලවා ගත් පසුව වටිනාකමක් නැති දෙයක් බවට පත්වන බව සමාජයට ඒත්තු ගන්වන්නට බලධරයන්ට උවමනාවක් නොමැත. අද වන විට අලි මරණ පිළිබඳව විමසීමට වනජීවී දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට පවා අසීරු තත්ත්වයක් උදා වී ඇත. මිනිස් ජීවිතවලට තර්ජනයක් වන අලි මෙන්ම නිදහසේ රක්ෂිත ප්‍රදේශවල සිටින අලි පවා වෙඩි තබා මරා දැමීමෙන් පේන්නේ වගකිව යුතු අංශවල හා නීතියේ පවතින දුර්වලකම් මිස අන් කවරක්ද?

ඉන්දියාවේ මච්ලි ව්‍යාඝ්‍රයා අතුරුදන් වූ බවට තොරතුරු ලැබුණු විට එරට වනජීවී දෙපාර්තමේන්තුවේ 300ක් පමණ නිලධාරීන් හා සෙසු නිලයන් සම්බන්ධ කරගෙන එම ව්‍යාඝ්‍රයා සොයා ගැනීමට ඔවුන් කැප වූ අයුරු මතකය. ලංකාවේ අලියා රැක ගැනීමට වගකිව යුතු අංශ කැපවෙන්නේ කවදාදැයි සිතීමත් ඵලක් වේදැයි දන්නේ නැත.

 

[රසිකා හේමමාලි]

මාතෘකා