බොරළු කැපිල්ලට එරෙහිව පුත්තලමෙන් කැරැල්ලක්

 ඡායාරූපය:

බොරළු කැපිල්ලට එරෙහිව පුත්තලමෙන් කැරැල්ලක්

පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් 606 මනතිව් ග්‍රාම නිලධාරි වසමේ පිහිටා ඇති විලුක ගම්මානයේ ඉවක් බවක් නොතකා දිගින් දිගටම පවත්වාගෙන යනු ලැබු නීති විරෝධි මහා පරිමාණ බොරළු ජාවාරමක් හේතුවෙන් ප්‍රදේශය පුරා උග්‍ර පාරිසරික ගැටළු රැසක් උද්ගතව ඇති බවට අප පසු ගිය කාලයේ දිගින් දිගටම මාධ්‍ය ඔස්සේ අප අනාවරණය කිරීමත් සමඟ බලධාරින්ගේ ඇස් ඇරෙන්නට විය.

නමුත් නැවතත් රජය සතු ඉඩම් සඳහා රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ ග්‍රාම නිලධාරි, ඉඩම් සංවර්ධන නිලධාරි, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සංවිධානාත්මක හොර කල්ලි ජනතාවගේ ඇස් බන්දවා එකී ඉඩම් සඳහා ව්‍යාජ පිඹුරු සකසමින් පුද්ගලික හිමිකරුවෙකු වෙත අදාළ රජය සතු බොරළු නිධි ලබා දීම සඳහා ක්ෂේත්‍ර චාරිකාවක නිරත වන්නට විය.

එයට සිය විරෝධය පාමින් කොට්ඨාසය භාර මන්ත්‍රීවරයා ප්‍රමුඛ ගම්මානයේ ජනතාව 30ට ආසන්න පිරිසක් නිලධාරින්ට දැඩි විරෝධය එල්ල කර කියා සිටියේ අදාළ ප්‍රදේශය නිරීක්ෂණය කිරීම හෝ සිදු නොකරන ලෙසය. නමුත් පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් පැමිණි ඉඩම් සංවර්ධන නිලධාරී, වසම භාර ග්‍රාම නිලධාරි ඇතුළු අනෙක් පැමිණි සහ සංවිධානාත්මක බොරළු ජාවාරම් කරුවන් පිරිස එක්ව ගොස් නිරික්ෂණය කිරීමේ කටයුතු ආරම්භ කෙළ් ජනතාවගේ හඬ තුට්ටුවකටවත් මායිම් නොකර ඔවුන්ද බියට පත්කරවමිනි.

වැටයි නියරයි දෙකම ගොයම් කද්දි කාට කියන්නද කියන්නා සේ නිලධාරින්ගේ පදයට නටන්නට සිදුවන්නේ නිලධාරින් සතුව ඇති රාජ්‍ය බලය පමණක් නොව මැරබලයටද බියගුලුව කටයුතු කිරීමට ජනතාවට සිදුව තිබීම නිසාවෙනි.

පුත්තලම සහ වනාතවිල්ලුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශවලට මධ්‍යයෙහි පිහිටා ඇති විලුක නම් ගම්මානයේ පවුල් 100ට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන අතර ඔවුන්ගේ සිය ජීවනෝපාය බවට පත්ව ඇත්තේ කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තයයි. ඊට අමතරව හුදෙක් පිරිසක් කුලී කම්කරුවන් ලෙසද, වතු සහ විවිධ සේවා ස්ථානයන්හි සේවයේ නියතු වෙමින් දෛනිකව ආදායම් සරිකර ගන්නා බවද කියති.

පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටා ඇති වටිනාකමින් ඉහළ අගයක් ගන්නා මෙම ප්‍රදේශය පුරාවට බොරළු නිධි පිහිටා තිබීම එහි ඇති විශේෂත්වයකි. මෙකී බොරළු කැණීම් කිරීම සඳහා 1971 වර්ෂයේ සිට මේ දක්වා දේශපාලන පිල්මාරුවෙන් බිහිවන දේශපාලඥයන්ගේ නොමඳ සහය ඇතිව පරිපාලන අංශයේ හොර සක්විත්තන්ගේ මගපෙන්වීමෙන් මෙකී ඉඩම් සදහා ව්‍යාජ බල පත්‍ර සකසමින් බොරළු ජාවාරම්කරුවන් ඉවක් බවක් නොතකා දිගින් දිගටම මහා පරිමාණයෙන් බොරළු කැණීම සිදු කරගෙන ගිය බවට ප්‍රදේශවාසීහු මැසිවිලි නගති.

අනූ නව අවුරුදු බදු බලපත්‍ර යටතේ සහ වාර්ෂික බදු බලපත්‍ර යටතේ බොරළු සහිත වූ මෙකී ඉඩම් සංවර්ධනය කරගෙන යන මුවාවෙන් අදාළ බොරළු ජාවාරම්කරුවන් පුත්තලම ප්‍රදේශිය ලේකම් කාර්යාලය මගින් ලිඛිත හෝ වාචික අවසරය ලබා ගැනීමෙන් අනතුරුව කාර්යක්ෂම බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මහා පරිමාණයෙන් බොරළු කැණීම් කිරීම සිදු කර ඇත්තේද එවකට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයෙන් ලබා දී තිබූ බල පත්‍ර නීති රීති සම්පූර්ණයෙන් උල්ලංඝනය වන අයුරිනි.

එවකට අලුයම් කාලයේ සිට ගොම්මන් අඳුර වැටෙනතුරු සිදුකරගෙන යනු ලබන මෙම මහා පරිමාණ බොරළු ජාවාරම සඳහා දිනකට ටිපර් රථ 50ට ආසන්න ප්‍රමාණයක් යොදා ගන්නා අතර, එක් ටිපර් රථයක් වාර දහයක් ඉක්මවා බොරළු ප්‍රවාහනයේ යෙදෙන බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

පරිසර ආඥා පනතට පටහැනිව සිදුකරගෙන යනු ලැබූ මේ මහා පරිමාණ බොරළු ජාවාරම නිසාවෙන් මේ වන විට පොළොව පිහිටි මට්ටමේ සිට අඩි විස්සත්, තිහත් අතර ප්‍රමාණයක් ගැඹුරට කැණීම් කර බොරළු ලබා ගැනීම නිසා ප්‍රදේශය පුරා විශාල ප්‍රමාණයේ වළවල් සෑදීම හේතුවෙන් මේ වන විටත් මිනිස් ජීවිත තුනක් අහිමිව ගොස් ඇති බව ගම්මුන් පවසති.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය මගින් නිකුත් කරනු ලබන නීති රීති කොන්දේසිවල පෙන්වා දී ඇති පරිදි කුමන හෝ ස්ථානයක කැණීමක් සිදු කිරීමෙන් අනතුරුව නැවත එම ස්ථානය පස් යොදා පිරිවිය යුතු යැයි සඳහන් කර තිබුණද, එකී නීති රීති තුට්ටුවකටවත් මායිම් නොකරන මෙකී හොර ජාවාරම්කරුවෝ කිසිඳු බියකින් තොරව මෙම මහා පරිමාණ බොරළු ජාවාරම සිදු කරගෙන ගොස් තිබූ බව කියති.

මෙම හොර බොරළු ජාවාරම්කරුවන්ට දේශපාලඥයින්ගේ මෙන්ම පරිපාලන අංශයේ නොමඳ සහය නිරන්තරයෙන්ම ලැබුණ බවටයි ජනතාව මැසිවිලි නගන්නේ.

මේ හේතුව නිසාවෙන් මේ වන විටත් අක්කර 100ට ආසන්න ප්‍රමාණයක මහා පරිමාණයෙන් කැණීම් සිදුව තිබියදීත් එයට කිසිදු බලධාරියෙකු නීතිය ක්‍රියාත්මක නොකර මුනිවත රැකීම බරපතළ ගැටලු සහගත තත්ත්වයකි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ජේ.ඒ. රෝහණ ලක්ෂ්මන් මහතා පවසා සිටියේ මෙවැන්නකි.

“මේ බොරළු ජාවාරමට තදින්ම අපේ විරෝධය පළ කරනවා. මොකද අපි කුඩා කාලයේ සිටම මේ ගමේ සිද්ධ වුණේ මේ මහා පරිමාණ බොරළු කැපිල්ල. මේකට ඒ කාලේ ඉඳලා සමහරු කෙල හළාගෙන හිටියෙ. මේකට අපේ ගමේ ඉන්න දෙන්නෙක් තුන්දෙනෙක් වග කියන්න ඕනෙ. එයාලත් මේ ජාවාරම පිටුපසින් හිටියා ඒ කාලේ. හැබැයි මෙදා සැරේ අපි බලධාරින්ට කෙලින්ම කියන්නෙ. හැංගිලා වෙස් බදින්න එපා එළිපිට නටන්න වෙන්නෙ කියන එක විතරක් මතක තියා ගන්න. මේ ළඟදි අපේ ගමේ කවුරුත් දන්නෙ නැහැ. එක පාරටම ගමේ ග්‍රාම සේවකයි, ඒ.ජී. ඔෆිස් එකේ ඉඩම් අංශයෙ ලලිත් කියන කෙනයි, භූ විද්‍යා එකේ අයයි. තව පිරිසකුයි ඇවිල්ලා මේ රජයේ බොරළු ඉඩමකට අලුතින් බලපත්‍ර දෙන්න ඇවිල්ලා අපි දන්නෙත් නැහැ. පස්සෙ අපි ගමේ ඔක්කෝම එකතු වෙලා මේකට විරෝධය පළ කරද්දි ඉඩම් අංශයෙ මහත්තයා කිව්වා ‘ඔයාලට විරෝධය පළ කරන්න කිසිම දෙයක් මෙතන වෙන්නෙ නැහැ. අපි බොරළු කපන්න නෙමෙයි ආවේ. බොරළු වලට බලපත්‍රය දෙන්න’ කියලා. මේක මහ හතර බිහිරි කතාවක්නෙ”.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුකදී ජේ.ඒ. සුරංග මහතා පවසා සිටියේ මෙවැන්නකි.

“අපි මේ බොරළු ජාවාරමට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඒකට හේතුව තමයි ගම වළක් කරන්න අපිට දෙන්න බැහැ. ඕනෙම කෙනෙක් ඇවිල්ලා බලන්න අපේ ගමේ බිම් අඟලක් නැහැ. මුඩු ඉඩමක් කියලා හැම ඉඩමටම මේ වගේ හොරට බලපත්‍ර හදලා කරන්නෙ බොරළු කපන එක. ජනාධිපතිතුමා හරි මේ ප්‍රවෘත්තිය බලලා අපිට සහනයක් ලබා දෙන්න කියලා අපි ඉල්ලන්නෙ ඉතාමත්ම අවංකවයි. වෙන මිනිස්සු වගේ අපි ගෙවල් හදලා ඉල්ලන්නෙ නැහැ. ණය ඉල්ලන්නෙ නැහැ.”

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී උසිත නිරෝෂන් මහතා පවසා සිටියේ මෙවැන්නකි.

“මම ඒ කාලේ ඉදලා මේ බොරළු ජාවාරමට දැඩි ලෙස විරෝධය කරපු කෙනෙක්. අවසානේ මාව බොරළු ජාවාරම්කාරයො ටිපර් එකෙන් යට කරන්නත් ආවා. ඒ විතරක් නෙමෙයි ගෙවල් දොරවල් කඩනවා ගිනි තියනවා කියලා උන්ගෙ මැරබලය උපරිම පාවිච්චි කරනවා. අපේ ගමේ ඉඩමක් නැති මිනිහෙක් බොරළු වලේ පදිංචි වෙන්න ඕනෙ කියලා ලියුමක් දුන්නොත් එහෙම ඔය කියන ග්‍රාම සේවකලා ඉඩම් අංශයෙ මහත්වරු කඩාගෙන බිඳගෙන ඔය විදියට එයිද? කවදාවත් එන්නෙ නැහැ.”

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී වසම භාර ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.රවී. කුමාර් මහතා පවසා සිටියේ මෙවැන්නකි.

“නිලධාරින්ට කර කියා ගන්න දෙයක් නැතුව ගියා. මේ ගමේ ඉන්න හිටින්න ගෙයක් නැති මිනිස්සු සියයක් පමණ ඉන්නවා. ඒ සියලු දෙනාගෙම ඉල්ලීම් ලිපි සකස් කරලා මම ප්‍රාදේශිය ලේකම් කාර්යාලට දුන්නා. ඔය කලින් බොරළු කපපු තැන් ටික මට්ටම් කරලා අසරණ ජනතාවට නිවාස ව්‍යාපෘතියක් හදලා දෙන්න කියලා ඉඩම් අංශයෙ මහත්තයා කිව්වා. හැබැයි මේ බොරළු හොරුන්ට බොරළු කපලා ගම විනාශ කරන්න දෙන්න විනාඩි පහක් යන්නත් කලින් ආවා ඇවිල්ලා ඔක්කොම බලලා හදලා අපි විරුද්ධ වුණේ නැත්නම් එවලෙම බොරළු කපන්න දෙන තැනට මේ නිලධාරි වැඩ කෙරුවා”.

නැගෙන චෝදනාව සම්බන්ධයෙන් අප කළ විමසුකමදී පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශයේ ලලිත් මහතා පවසා සිටියේ මෙවැන්නකි.

"අපි අද ආවේ බොරළු කපන්න නෙමෙයි, බොරළු කපන්න බල පත්‍රයක් දෙන්න බලන්න. කරුණාකරලා අපේ රාජකාරියට බාධා කරන්න එපා. අනික මෙතන මාධ්‍ය සංදර්ශන පවත්වන්න අපිට කිසි උවමනාවක් නැහැ. ඒක මතක තියාගන්න" යනුවෙනි. මේ සම්බන්ධයෙන් වසම භාර ග්‍රාම නිලධාරිවරයාගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ,

බොරළු කැපීම සඳහා තවම බලපත්‍රයක් නිකුත් කර නොමැති බව හා එය ඉඩම් කච්චේරියට යොමුකර ඇති බවත්ය.

සටහන සහ සේයාරු-[කේ. ප්‍රියංකර කළුපහන] වනාතවිල්ලුව සමූහ

මාතෘකා