එල්ලේ ලංකාවට ආවේ කේරළයෙන් ද? එංගලන්තයෙන්ද?

 ඡායාරූපය:

එල්ලේ ලංකාවට ආවේ කේරළයෙන් ද? එංගලන්තයෙන්ද?

තවමත් නොවිසඳුණු ශතවර්ෂයකට අධික කාලයක ඉතිහාසයක් ඇති මෙරට එල්ලේ ක්‍රීඩාව බොහෝ දෙනෙකුගේ මතකයෙන් බැහැර වෙමින් පවතින්නේය. ඒ බව එම ක්‍රීඩාවට අවතීර්ණ වන්නන්ගේ මන්දගාමී බවින් පැහැදිළිව පෙනීයන්නකි. එයට මූලික හේතු සාධකය වන්නේ එල්ලේ ක්‍රීඩාවට ජාතික තලයේ ඇගයීමක් නොමැතිවීමය. සුදු ජාතිකයින් ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දීමටත් ප්‍රථමයෙන් සිට එල්ලේ ක්‍රීඩාව මෙරට ජනප්‍රිය ක්‍රීඩාවකි. එ් සම්බන්ධයෙන් ඉතිහාස ගත තොරතුරු, පුවත් පත් ලිපි උදාහරණ කරගත හැකිය. අප මෙම ලිපිය මගින් සිදුකරන්නේ එවැනි ජීවමාන සාක්ෂියකට යළි හඬක් විවර කිරීමය.

හැටේ දශකයේ ආරම්භයේ සිට එල්ලේ ක්‍රීඩාවේ නියැලුනු ක්‍රීඩකයෙකු මෙන්ම පසුකලෙක පළමු ශ්‍රේණියේ විනිසුරුවරයකු ලෙස ද කටයුතු කරනු ලැබූ, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේතුවේ සේවයෙහි නියතුව සිට විශ්‍රාම ලබා සිටින ගාමිණී සේරසිංහ මහතාගේ හඬට ඒ අනුව අපි ඉඩ විවර කළෙමු. වර්තමානයේ රෝගී තත්ත්වයෙන් එක්තැන්ව සිටිය ද එල්ලේ ක්‍රීඩාව පිළිබඳව ඔහුගේ මතකය තවමත් නොමියව පවතින බව එහිදී අපට අවබෝධ විය. එල්ලේ ක්‍රීඩාව සමඟ ඔහුගේ සජීවී අත්දැකීම් “රැස” සමග පැවසූවේ මෙලෙසිනි.

එල්ලේ ක්‍රීඩාව අපේ රටට ආවේණික ක්‍රීඩාවක්ද?

එහෙම කියන්න බැහැ. ඉන්දියන් සාගරයේ වටිනාම සම්පත් තිබුණ රටක් හැටියට වෙ‍ෙළඳාම සඳහා විවිධ ජාතිකයින් ශතවර්ෂ ගණනාවක ඉඳල අපේ රටට පැමිණියා. මෙය ඇතැම් විට සංක්‍රමණික ක්‍රීඩාවක් වෙන්නටත් පුළුවන්. මම ක්‍රීඩාකරපු මුල් යුගයේ මේ ගැන තොරතුරු හොයන්න උත්සහ කළා. එහිදී මට පැරැණි පුද්ගලයන්ගෙන් දැනගන්නට ලැබුණු විදිහට එල්ලේ ක්‍රීඩාවට බොහෝ සමාන ක්‍රීඩාවක් ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ ජනප්‍රියව තිබිල තියනවා. මෙය ඇතැම්විට මෙරටට ඇවිත් ජීවත් වුන කේරල ජාතිකයින් ගෙන් අපට උරුම වුණ ක්‍රීඩාවක් වන්නටත් පුළුවන්. ඒත් සමහර අය කියනවා එංගලන්තයේ ඒකාලේ ජනප්‍රිය ක්‍රීඩාවක් ලෙස පැවතුණ “රවුන්ඩ්ස්” ක්‍රීඩාවටත් “බේස් බොල්” ක්‍රීඩාවටත් සමාන නිසා මෙයත් සුදු ජාතිකයින් ගෙන් අපට ලැබුණ ක්‍රීඩාවක් කියල. කවුරු කොහොම කිව්වත් එල්ලේ ක්‍රීඩාව මුලින් ජනප්‍රිය වෙලා තියෙන්නේ මුහුදු බඩ ආශ්‍රීත ප්‍රදේශවලයි. පස්සේ ක්‍රමයෙන් රට අභ්‍යන්තර ප්‍රදේශවලත් මෙම ක්‍රීඩාව ජනප්‍රිය වෙලා තියනවා. 1911 වසරේ හැඳල ප්‍රදේශයේ “ග්‍රෙහවුන්ඩ්” නමින් එල්ලේ ක්‍රීඩා සමාජයක් තිබිලා තියෙනවා. ඒ කාලේ මේ වගේ පිට්ටනි තිබිලා නැහැ. බොහෝ දෙනෙක් එල්ලේ ක්‍රීඩාවේ යෙදිල තියෙන්නේ ගොයම් කපල අස්වනු නෙලා ගත්තයින් පස්සේ හිස්වෙන කුඹුරු පිටිවලයි. ඊළඟ කන්නයට වගා කරන්න පරිසරය සැකසෙනකන් ගොවිතැන් කරපු තරුණ පිරිස් වගේම වැඩිහිටි අයත් සිය කාය ශක්තියේ සමබරතාවය රැක ගන්න එල්ලේ ක්‍රීඩාවේ යෙදිලා තිබෙනවා. මුල් කාලයේ කදුරු ගෙඩි දොඩම් ගෙඩි පුච්චල පදම් කරගෙන බෝලයක් හදා ගෙන පොල්පිත්ත පහර එල්ල කරන්න උපයෝගී කරගෙන තියනවා පස්සේ රබර් වතුවලින් ඔට්ටපාලු අරගෙන ඇවිත් බෝලයක් හදල උණ බම්බුව පහරදීමට යොදා ගත්තා. මේ විදිහට කලින් කලට පරිනාමය වෙමින් ටෙනිස් බෝලය දක්වාත් කුඹුරු පිටි වෙනුවට හොඳින් සැකසූ ක්‍රීඩා පිටි වලත් ක්‍රීඩා සමාජ මට්ටමින් තරග වැදීමේ දියුණු තත්ත්වයටත් මේ ක්‍රීඩාවපත්වී තිබෙනවා.

මෙම ක්‍රීඩාවට එල්ලේ යන නම යෙදුනේ කොහොමද ?

මගේ දැනුම හැටියට නම් මේ නම යෙදෙන්න ඇත්තේ පන්දුව පිතිකරුවාට දැමූ පසු, පන්දුව නිසි අයුරින් තෝරා බේරා ගෙන පහර ගැසීම, ලකුණක් කරා වටයක් දිවයන ක්‍රීඩකයා දවාලීම සඳහා නිසි ඉලක්කයට ඔහුට පන්දුවෙන් පහරදීම යන කරුණු පදනම් කර ගෙනයි.

ඔබ එල්ලේ ක්‍රීඩාවට යොමු වුණේ කොහොමද?

මම ඉපදුනේ හැදුනේ වැඩුණෙ වැල්ලම්පිටියේ. කොලොන්නාව මහා විදුහලේ ඉගෙන ගන්න කාලයේදීම තමයි මම මේ ක්‍රීඩාවට යොමු වුණේ. වැල්ලම්පිටියේ පාලම ළඟ පිට්ටනියේ ඒකාලේ තරුණ ක්‍රීඩකයෝ දිනපතාම වගේ එල්ලේ පුහුණු වීම් වල යෙදෙනවා. මම හැමදාම ඒ පුහුණුවිම් බලන්න යනවා. ඒ වෙනකොට මගේ වයස අවුරුදු පහළොවක් විතර ඇති. මට ඒ හැම දෙයක්ම අද වගේ මතකයි. වරක් එල්ලේ ක්‍රීඩාව රුහුණු පුරවරයට හඳුන්වාදීමේ තරගයක් ගාල්ලේ පැවැත්වෙන බව අපට පත්තර වලින් දකින්න ලැබුණා. මේ තරගය බලන්න යන්න මට ලොකු ආසාවක් ඇති වුණා. ඒ කාලේ මගේ පාසල් මිතුරෙක් වුණ කේ. ජයසිරි සමග අපේ දෙමව්පියන්ට බොහොම ඇවටිලි කරල මේ තරගය බලන්න අවසර ලබා ගෙන අපි ගාලු ගියා. ඇත්තෙන්ම ඒ තරගය හරිම අපූරුයි. ලංකාවේ ප්‍රථම වතාවට දෙපිලේම ක්‍රීඩකයින්ට නිල ඇඳුම් ලබාදී තිබුණා. ගාලු කොටුව ක්‍රීඩාංගනයේ පැවතුන එම තරගය ආරම්භ කළේ ඒ කාලේ ගාල්ලේ දැවැන්තම දේශපාලන චරිතයක් විදිහට ප්‍රකටව හිටපු විජයානන්ද දහනායක මහත්තයයි.ඔහු එල්ලේ පිත්ත අරගෙන පන්දුවට ප්‍රථම පහර එල්ල කළා. ඒ තරගය බලල මම ගෙදර ආවේ මමත් හොඳ එල්ලේ ක්‍රීඩකයෙක් වෙනවා කියන අරමුණත් එක්කයි.

ඔබේ මුල්ම ක්‍රීඩා සමාජය මොකක්ද ?

මම මුලින්ම පුහුණුවීම් සඳහා එක් වුණේ වැල්ලම්පිටියේ ‘සමන්’ පිල සමගයි. මම ඔවුන් සමග දිගටම පුහුණුවීම්වල නිරත වුණා. මගේ දක්ෂතාවය හඳුනාගත්තු සමන් පිලේ ප්‍රධානීන් මගේ වයසේ හිටපු ක්‍රීඩකයින් දහසය දෙනෙක් එකතු කරල ‘සමන් බී’ කියල අලුත් කණ්ඩායමක් හැදුවා. අපි දිවයිනේ විවිධ ප්‍රදේශවල තරග වලට සහභාගී වෙලා ජයග්‍රහණ රැසක් ලබා ගත්තා. ඉන් පස්සේ 1965 වසරේ ‘රණකාමී’ කියල අලුත් ක්‍රීඩා සමාජයක් අපි හැදුවා 1972 වන විට රණකාමී කන්ඩායම දිවයිනේ වේගවත්ම ලකුණු රැස්කරන ක්‍රීඩකයින් සිටින ක්‍රීඩා සමාජය ලෙසට අතිශයින් ජනප්‍රියත්වයට පත්වුණා.

ඔබ සමග හිටපු අනෙක් රණකාමීන් මතකද ?

මා සමග වසන්ත බෝදරගම, පී ඒ චන්ද්‍රසිරි, එම් ආනන්ද පෙරේරා, ඩබ්ලිව් ජී සෝමදාස, කේ ඩී කේ පෙරේරා, ඩබ්ලිව් ජයසිරි, රංජිත් ලක්ෂ්මන් ඇතුළු පිරිසක් හිටියා. මේ අය ඒකලේ ජනප්‍රියම ක්‍රීඩකයෝ. වසන්ත බෝදරගම කියන්නේ ඒකාලේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහු මගේ හොඳ හිතවතෙක් ජාඇල අපේ තරගයක් තිබුණා. ඔහුත් මේ තරගය බලන්න අපි සමග පැමිණියා. හදිසියෙම අපේ ක්‍රීඩකයෙකුට සිදුවුණ කරදරයක් නිසා එදින තරගයට ඔහුට පැමිණීමට නොහැකි වුණා. එම අඩුව පිරිමහන්න මගේ ඇවටිල්ල නිසාම වසන්ත ක්‍රීඩා පිටියට පිවිසුණා. අපි හැමදෙනාම මවිතයට පත්කරමින් වසන්ත වේගයෙන් ලකුණු රැස් කළේ පළපුරුදු එල්ලේ ක්‍රීඩයෙකුටත් නොදෙවිනිවයි. එදා අපි විශිෂ්ට ජයග්‍රහණයක් කළා.

එල්ලේ සම්මේලනය පිහිටුවිම පිළිබඳව ඔබට මතකද?

1962 අවුරුද්ද එල්ලේ ක්‍රීඩාවට නව පනක් ලැබුනු කාලයක් වුණා. ඒ දවස්වල ජනප්‍රිය ගුවන් විදුලි නිවේදකයෙක් වුණා. එච්. ඩී. විජේදාස මහත්තයගේ මැදිහත්වීමෙන් සහ උනන්දුවෙන් එල්ලේ සම්මේලනයක් පිහිටුවීමට වැඩපිළිවෙලක් සකස් වුණා. ඒ කාලේ එල්ලේ ක්‍රීඩාවේ දැවැන්තයන් වුණ ටී. ඩී. සෙබස්තියන්, ලැම්බට් අමරසිංහ, ඒ සී කුරේ, වසන්ත ජයතිලක (ලංකාදීප පුවත්පත) තුසිත නානායක්කාර (ජනතා පුවත්පත) වින්සන් සොයිසා වගේ ක්‍රීඩකයෝ මේසඳහා මහත් කැපවීමක යෙදුණා. ලංකාදීප, ජනතා පුවත්පත්වලින් හොඳ සහයෝගයක් ලැබුනා. එල්ලේ සම්මේලනය පිහිටුවීමත් එක්ක කොළඹ වගේම ප්‍රාදේශීය වශයෙනුත් ක්‍රීඩා සමාජ දියුණු වුණා. මේ අතරින් මැද කොළඹ ‘විජය’, එඬේරමුල්ලේ ‘ශාන්ත සෙබස්කතියන්’, දංකොටුව ‘සුහද’ හැඳල ‘මුදිත’ ජාඇල ‘මිණිමුතු’ තොටළග ‘අරුණ’ මෝදර ‘සූරයා’ සහ ‘දිලෙන තරු’, කෝපියවත්ත ‘ජයශ්‍රී’, මොරොක්කුලිය ‘රන්තරු’ ඇතුලු එල්ලේ ක්‍රීඩා සමාජ රැසකින් අති දක්ෂ එල්ලේ ක්‍රඩකයින් ජාතික මට්ටමින් බිහි වුණා.

මෙපමණ කැපවීම් කරලත් දක්ෂ ක්‍රීඩකයින් රැසක් ඉඳලත් එල්ලේ ක්‍රීඩාව අද පවතින තත්ත්වයට පත් වුණේ ඇයි ?

මුල ඉඳලම මේ ක්‍රීඩාවට රාජ්‍ය මට්ටමේ අනුග්‍රහකත්වය ලැබුනේ නැහැ. මේ ක්‍රීඩා සමාජවලින් බිහි වුණහැම ක්‍රීඩකයෙක්ම සාමාන්‍ය පන්තියේ උදවියයි. ඇතැම් අයට හරියාකාර රැකියාවක් තිබුණේ නැහැ. ඔවුන් මේ ක්‍රීඩාවේ යෙදුනේ මුදලට නොවෙයි. ඒක කළේ ආත්ම තෘප්තියට. ඒ නිසා සමාජයේ ඉහළ පැලැන්තිවල උදවිය මේ ක්‍රීඩාව ගැන සැලකීමක් කළේම නැහැ. ක්‍රිකට් ක්‍රීඩාව පාසෙල් මට්ටමින්ම දියුණු කිරීමට ඒ කාලේ ඉඳලම ක්‍රීඩා බලධාරීන් බොහෝ සේ උනන්දු වූණා. ඒ වගේම සුපිරි රැකියාවක් ලබා ගන්න ක්‍රිකට් හොඳම සුදුසුකමක් බවට පත් වුණා. එල්ලේ ක්‍රීඩාවට වුණ දේම තමයි අපේ රටේ පාපන්දු ක්‍රීඩාවටත් වුණේ. හරිනම් අපේ රටේ ජාතික ක්‍රීඩාව විය යුත්තේ එල්ලේ ක්‍රීඩාවයි. එතැනදිත් ක්‍රීඩා බලධාරීන් ලොකු වරදක් කරමින් එල්ලේ ක්‍රීඩාව නොසලකා හැරියා.

ඇයි එහෙම කියන්නේ එල්ලේ සම්මේලනය හරහා ඔබලට ඒ පිළිබඳව හඬක් නගන්න තිබුණනෙ ?

එල්ලේ ක්‍රීඩාව මුල ඉඳලම මේ රටේ ජන ක්‍රීඩාවක් හැටියට ජනප්‍රිය වුණේ සමාජයේ පීඩිත පන්තිය අතරයි. ක්‍රිකට්, ෆුට්බෝල්, වොලිබෝල්, ඉංග්‍රීසියෙන් හඳුන්වන කොට එල්ලේ අමු සිංහලෙන් හැදින්වුවා. වැරුද්ද මට පේන විදිහට තියෙන්නේ එතැනයි. ඉංග්‍රීසියෙන් හිතන, පතන, කන, බොන උදවියට එල්ලේ වචනයත් එම ක්‍රීඩාවේ යෙදුණ ක්‍රීඩකයින්ගේ සමාජ තලයත් දිරවන්ඩ නැතුව ඇති. එල්ලේ ක්‍රීඩාව ජාතික ක්‍රීඩාව හැටියට නම් කරන්න සම්මේලනය 3 වගේම

පුද්ගලිකව මමත් හිටපු ඇමතිවරයෙක් වුණ වීරසිංහ මල්ලිමාරච්චි මහත්තයව දැනුවත් කරල පාර්ලිමේන්තුව තුළ හඬක් නගන්න උත්සහායක යෙදුණා. ඒත් ඒහැම දෙයක්ම යටපත් කරගෙන වොලිබෝල් ක්‍රීඩාව ජාතික ක්‍රීඩාව බවට පත් වුණා.එල්ලේ ක්‍රීඩාවට ජාතික තලයේ කිසිම පිළිගැනීමක් එල්ලයක් නොමැතිකම නිසාම අපේ ක්‍රීඩකයෝ කලකිරීමට පත්වුණා. තිත්ත උනත් ඇත්ත ඒකයි. එදා එල්ලේ ක්‍රීඩාවට හිමි තැන නිසියාකාරව ලැබුණ නම් අපේ රටේ තවමත් පසුගාමී තත්ත්වයෙන් පවතින ‘බේස් බොල්’ ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමටම ගේන්න එල්ලේ ක්‍රීඩාවෙන් හොඳ පන්නරයක් ලබාගෙන ක්‍රීඩකයින් මූලිකව පුහුණු කිරීමේ අවස්ථාව හදා ගන්න හොඳටම ඉඩ තිබුණා. හොඳ ඉවසීමේ ජීව ගුණය මෙම ක්‍රීඩාව තුළ මූලිකම ගූණාංගයක් වීම නිසාම ක්‍රීකට් ක්‍රීඩාවටත් එල්ලේ ක්‍රීඩාවෙන් ලබාගත හැකි පුහුණු වීම් අපමණයි. වර්තමාන ක්‍රීඩා ඇමතිතුමා සහ බලධාරීන් ගෙනුත් මා ඉල්ලා සිටින්නේ එල්ලේ ක්‍රීඩාවට නිසි තැන ලබා දෙන්න කියලයි. මම රෝගී තත්ත්වයෙන් හිටයත් ඒ වෙනුවෙන් උපරිම සහය ලබා දෙන්න කැප වෙනවා.

එල්ලේ ක්‍රීඩාව සිය ජීවිතය හා බද්ධ කරගත් ගාමිණී සේරසිංහ මහතා ක්‍රීඩකයෙකු ලෙස සම්මාන රැසක් හිමි කර ගෙන ඇත. හදවත් රෝගියෙකු වන ඔහුව තවමත් ජීවත් කරවන්නේ එල්ලේ ක්‍රීඩාවෙන් ඔහු ලැබූ මානසික ශක්තිය නිසා බව පැහැදිලිය. අප ඔහුට නිරෝගී සුවය පතමු. දුරකතන අංක 078 536 8352 /0771583858 ඔස්සේ ඔහුට ඇමැතිය හැකිය.

සාකච්ඡා සටහන [අතුල රංජිත් වෙදමේස්ත්‍රිගේ]

මාතෘකා