සේරුනුවර මගී ප්‍රශ්නයට සවන් දෙන්න

 ඡායාරූපය:

සේරුනුවර මගී ප්‍රශ්නයට සවන් දෙන්න

 "දුව ඉස්කෝලෙ යන්න පටං ගන්නෙ පාන්දරින්. ඒත් යද්දි පටං අරං. මේක අපරාදයක්. බස් එකක් හරියට නැති ප්‍රශ්නෙ"

කන්තලේ පදිංචිකරුවකු වන සුගත් විජය කුමාර පවසයි. මෙය දහස් ගණනක් මිනිසුන්ගේ හද දවන ප්‍රශ්නයක්ව තිබේ.

සේරුනුවර අල්ල හරහා වැටී ඇති අල්ල කන්තලේ මාර්ගයේ පොදු ප්‍රවහන සේවා යුද ගැටුම් සමයේ මෙන් වර්තමානයේද ඉතා අවම මට්ටමක පැවතීම නිසා එදා දුෂ්කරතා අදත් අත්විඳීමට එම ජනතාවට සිදුවී තිබේ.

"පාර කාපට් කරලා හොඳට හැදුවට පස්සේ බස් තිබ්බා. නමුත් සිත්තාරු පාලම ගලවලා හදන්න අරන් අවුරුද්දක් වෙනවා. එදා ඉඳලා මේ ප්‍රවාහන පහසුකම් අපට නැතිව ගියා".

එසේ කියුවේ එම මාර්ගයේ ගමන් ගන්නා සූරියපුර ගොවි සංවිධානයේ ලේකම් පී. බී. තක්ෂිල දේශප්‍රිය මහතාය.

සේරුනුවර සිට කන්තලේ දක්වා වූ මාර්ගයේ කාර්යාල වේලාවන්හි ප්‍රවාහන සේවා අවම මට්ටමක පැවතීම නිසා පාසල් සිසුන්ට මෙන්ම කාර්යාල සේවක සේවිකාවන්ටද දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවී තිබේ.

මෙම මාර්ගයේ මහවැලි ගඟ හරහා ඇති සිත්තාරු පාලම අලුත්වැඩියා කරන බැවින් සේරුනුවර සිට කන්තලේ දක්වා පෙරවරුවේ දිවෙන එකම ලංගම බස්රථය පාලම අසලට පැමිණීමෙන් පසු තාවකාලිකව පාලමෙන් එගොඩ වී වෙනත් බස් රථයක නැගී යෑමට සිදුවීමෙන් මෙම දුෂ්කරතාව ඇතිවී තිබෙන බව කියති. මෙසේ එගොඩ වන පාසල් සිසුන් කාර්යාල සේවක සේවිකාවන්ට නියමිත වේලාවට කාර්යාලවලට හෝ පාසලට යෑමට සිදුවී ඇත්තේ දැඩි තදබදයකින් තෙරපී ගෙනය.

ප්‍රවාහන සේවාවන්හි තදබදය අඩුකරගැනීම සඳහා පාසල් සිසුන්ට පමණක් පාසල් බස්රථයක් යෙදවිය යුතු බවට කන්තලේ සූරියපුර පදිංචි පී. බී. තක්ෂිල දේශප්‍රිය මහතා යෝජනාවක් ඉදිරිපත් කළේය.

"කාර්යාලවලට රැකියා සඳහා යන අයයි වෙනත් වැඩවලට යන අයයි පාසල් දරුවොයි යන්නේ මේ බස් එකේ. මේ නිසා තියන්නේ අධික තදබදයක්. සමහර වේලාවන්ට සිසුන්ට බස් එකට නගින්න බැරි අවස්ථා තියනවා. ඒතරම් ලෝඩ් එක. පාසල් සිසුන් සඳහා පමණක් වෙනම බස් රථයක් යොදවනවා නම් ඔය තදබදය අඩුකරගන්න පුලුවන්. සමහර දාට බස් එක නැති වෙනව. එදාට ළමයි මහපාරේ රස්තියාදු වෙනවා" ඔහු කියයි.

දෛනිකව මෙම මාර්ගයේ ගමන්කරන පිරිස් පවසන්නේ පාලම අලුත්වැඩියා කිරීම සඳහා ගැලවීමට කලින් පෞද්ගලික ප්‍රවාහන සේවා තිබූ බවත් පාලම ගලවා දැමීමෙන් පසු ආදායම් තත්වය අඩුවීම හේතු කොටගෙන පෞද්ගලික ප්‍රවාහන සේවා ඇන හිටි බවත්ය.

සිය රාජකාරි කටයුතු සඳහා සතියකට වරක් කන්තලේ කලාප කාර්යාලයට එන සේරුනුවර මහවැලිගම කණිෂ්ට විද්‍යාලයේ විදුහල්පති සුගත් විජේකුමාර මහතා මාර්ගයේ බස් ධාවනය ඉතා දුර්වල බව කියයි. ඔහුගේ එක් දියණියක් ද සේරුනුවර සිට කන්තලේට දිනපතා පාසල් පැමිණෙයි.

"අපි මේ පාරේ ගමන් කරන නිසා මේ තත්වය දන්නවා. නිසි වෙලාවට බස් එකක් නැහැ. පසුගිය කාලේ වේලාවට බස් නැති නිසා දෙමව්පියෝ විදිහට මාර්ගය හරස් කරලා බස්වලට යන්න දෙන්නේ නැතිව උද්ඝෝෂණය කළා. තවත් පෞද්ගලික බස් එකක් කාර්යාල වේලාවන්ට යොදවනවා නම් මීට වඩා ගමනාගමන පහසුකමක් අපිට තියෙනවා. සැහැල්ලු වාහන තියෙන අය තාවකාලික පාලමෙන් එගොඩ මෙගොඩ වෙලා යනවා"

සුගත් විජේකුමාර පවසයි.

සේරුනුවර ජනපදවාසීන් පවසන්නේ පාලම ගලවලා ඉවත් කිරිමෙන් ගමනාගමන කටයුතු සීමා වීම නිසා ජනතාවගේ ආර්ථිකයට මෙන්ම දෛනික කටයුතුවලට බාධා එල්ල වී ඇති බවය. පාලමෙන් එගොඩ මෙගොඩ වීමේදී දෙපැත්තෙන්ම නියමිත වේලාවන්ට බස්රථ යෙදවීම විකල්පයක් ලෙස තිබෙන්නේ නම් පවතින ගැටලු අවම වන බවද ජනතාව පෙන්වා දෙයි.

ඇතැම් දිනවල බස්රථයක් නොමැතිවීමෙන් පාසල් මගහැරී ගිය සිසුන් සමඟ ගොස් සේරුනුවර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර දරුවන්ට වු අසාධාරණයට සාධාරණ විසඳුමක් ඉල්ලා දුන් සේරුනුවර සිරිදුව පදිංචි එම්. ඩී. අනුරුද්ධ විශ්වන්ත පෞද්ගලික ප්‍රවාහන සේවාවක් වන "සිසු සැරිය" බස්රථයක් විකල්පයක් ලෙස ලබාදිය යුතු බවට යෝජනා කළේය.

"මගේ ළමයෙකුත් කන්තලේ අග්‍රබෝධි ජාතික පාසලට යනවා. සමහර දිනවල ළමයා පාසලට යනකොට පාසල පටන් අරන්. කොච්චර උදෙන් ගියත් ළමුන් සියලු දෙනා අරන් යනකොට පරක්කු වෙනවා. අධික සෙනඟක් හිටියොත් ළමයින්ට බස් එකට නගින්න බැරි වෙනවා. මේ සම්බන්ධයෙන් මම බලධාරීන්ට ලිඛිතව දැනුම් දීලා තියනවා. දැනට සී.ටී.බී. බස් රථයක් තියන නිසා නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් සිසු සැරිය බස් රථයක් යොදවනවා නම් මේ ප්‍රශ්න මොනවත් නැහැනේ".

ඔහු කියයි.

අලුත්වැඩියා වන පාලම වෙනුවට තාවකාලික පාලමක් ඇති අතර එම පාලමෙන් සැහැල්ලු වාහන පමණක් ධාවනය වේ.

ලංගම පාසල් බස්රථයක් හෝ පෞද්ගලික සිසු සැරිය බස් රථයක් තිබේ නම් අධික තදබදය නිසා පීඩනයට ලක්වන සිසුන්ට එය සහනයක් බව කියන සේරුනුවර ව්‍යාපාරිකයෙකු වන චන්දන ප්‍රදීප් බණ්ඩාර මහතා පාසල් දරුවන් මේ නිසා අතවරවලට අපයෝජනවලට ලක්වෙන අවස්ථා මග හැරෙන බවද කීවේය." ඒ විතරක් නෙවෙයි ළමයින්ගේ ආරක්ෂාවටත් හොඳයි. ඒ බස්වල යන්නේ පාසල් ළමයි විතරයිනේ. මොකද මගේ දරුවොත් ඉගෙන ගන්න හැමදාම කන්තලේට යන නිසා. පියෙක් විදිහටයි මේ ගැන කියන්නේ. සේරුනුවරින් උදේ 06.00ට පිටත්වන එකම බස් එක සේරුනුවරින්ම ලෝඩ් වෙනවා. ළමයි මග දාලා යන්න බැරි නිසා සේරම දාගෙන යන්න ගියාම තමයි මේ ප්‍රමාදය ඇති වෙන්නේ. අනිත් එක උදෙන්ම ධාවනය වන බස් එක තනි දොරේ බස් එකක්. අඩුම ගානේ දොර දෙකේ බස් එකක්වත් දානවා නම් විටක් හරි තදබදය අඩු වෙනවා."

අදාළ ගැටලුව පිළිබද කළ විමසුමකට පිළිතුරු දුන් නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්. එම්. උදය කුමාර මහතා මෙසේ කීය.

" සිත්තාරු ප්‍රදේශයේ පාලමෙ ඉදිකිරීම් අවසන් නැහැ. ඔය මාර්ගයේ සිසු සැරිය බස් එකක් ධාවනය වුණා. පාලම ගලවා අලුත්වැඩියා කරන්න ගිය නිසා ඒ බස් එක නතර වුණා. ලංගම කරන්නේ එක බස් එකකින් පාලම ළඟට ගෙනත් දැමීම. තාවකාලික පාලමෙන් එගොඩ වන මගීන් අනෙක් ලංගම බස් එකෙන් ගෙනි යනවා. පෞද්ගලික අංශයේ සිසු සැරියට ඒ විදිහට බස් දෙකක් දාන්න බැහැ. මොකද සිසු සැරිය බස් රථයකට ධාවනය වන සැම කිලෝමීටරයකටම ජාතික ගමනාගමන කොමිසන් සභාවෙන් ගෙවීම් කරනවා. එතකොට බස් දෙකකට ගෙවන්නේ නැහැ. එහෙම ගැටලු තියෙනවා. සිසු සැරිය විතරක් නොවෙයි පෞද්ගලික ප්‍රවාහන සේවාවක් වුවත් පාලම හදනකම් දාන්න බැහැ. පෞද්ගලික බස් රථ හිමියෝ ලංගම බස්වලින් මගින් ගෙනියන විදිහට මගින් ගෙනියන්න කැමති නැහැ. මේ ගැටලුව අපට දිගින් දිගටම එනවා"

මේ සියලු ප්‍රකාශ අනුව ගැටලුවෙහි ගැඹුර පෙනේ. මෙය තනි මාර්ගයක සීමිත ජන පිරිසකගේ ගැටලුවක් සේ පෙනී යා හැකිය. එහෙත් රට පුරා මෙවැනි ගැටලු පවතී. එහෙයින් මෙය පොදු තත්වයකි. මේ ගැටලුවලින් පීඩා විඳින්නන්ගේ හඬ අසා සිටීමේ හදවත් අවශ්‍ය වේ. රටක සියලු ප්‍රමාද සහ පීඩා නිසා කිසිවකට වග කිව යුතු නොවන ප්‍රජාවක් පීඩා විඳිය යුතු නොවේ.

[ඒ.ටී.එම්.ජී. ගුණානන්ද] ත්‍රි/මලය විශේෂ

මාතෘකා