කීත් නොයාර් පැහැර ගැනීමේ, බුද්ධි අධ්‍යක්ෂගේ භූමිකාව

 ඡායාරූපය:

කීත් නොයාර් පැහැර ගැනීමේ, බුද්ධි අධ්‍යක්ෂගේ භූමිකාව

‘ද නේෂන්‘ පුවත්පතේ හිටපු නියෝජ්‍ය කර්තෘ කීත් නොයාර් පැහැරගෙන ගොස් වධ හිංසා කර පහරදීමේ නඩු විභාගයට මෝසමක් ඉදිරිපත් කරමින් ආරක්ෂක විද්‍යා පීඨයේ සේනා විධායක, හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජනරාල් අමල් කරුණාසේකර පසුගිය 29 වැනිදා අධිකරණයෙන් ඉල්ලා සිටියේ තමන්ට එරෙහිව පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙසය. ඉදිරියේදී මෙරට ඉදිකිරීමට බලාපොරොත්තු වන නව ආරක්ෂක විද්‍යාලයක් සඳහා නිරීක්ෂණ චාරිකාවට ආරක්ෂක අමාත්‍යංශය තමා නම් කර ඇති බැවින් නවදිල්ලියට ගොස් ආරක්ෂක මාණ්ඩලික විද්‍යාල නිරීක්ෂණ කටයුතු කිරීමට අවශ්‍ය බව එම ඉල්ලීමට හේතු ලෙස දන්වා තිබේ. ඒ හේතුවෙන් මීට පෙර ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව දන්වා තිබූ පරිදි අප්‍රේල් 5 වැනිදා එම දෙපාර්තුමේන්තුවේ පෙනී සිටීමට නොහැකි බවත් විදේශ සංචාරයෙන් පසුව කටඋත්තර ලබා දිය හැකි බවත් එහිදී ඔහු ප්‍රකාශ කර ඇත.   

විදේශ ගමන් තහනම  

අපරාධ සම්බන්ධව චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකුට විදේශ ගමන් තහනම් කර තිබියදී රජය විසින් විදේශ සංචාර හා තනතුරු ලබාදීම හේතුවෙන් අධිකරණය අපහසුතාවට පත්වන බව ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම එම ඉල්ලීම සලකා බලමින් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත. මහේස්ත්‍රාත්වරිය ඉන් අනතුරුව හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජනරාල් අමල් කරුණාසේකරට අප්‍රේල් 9 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත පැමිණ කටඋත්තර ලබාදිය යුතු බවට නියෝග කරමින් මෙතෙක් පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කරන ලදී. එහිදී කීත් නොයාර් පැහැරගෙන යෑම සම්බන්ධව පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පොලිස් අධිකාරී බී.එස්. තිසේරා ප්‍රකාශයක් කරමින් අධිකරණයට දන්වා සිටියේ ආරක්ෂක අමාත්‍යංශය වෙනුවෙන් පැමිණි නාවික හමුදා නිලධාරියා එම ඉල්ලීමට අදාළව ලේඛන කිහිපයක ජායාපිටපත් පෙන්වූ පමණින් එවැන්නකට අවසර දෙනවාද යන්න අධිකරණය විසින් තීරණය කරයි නම් ඊට එකඟ වීම හැර වෙනත් ක්‍රියාමාර්ගයක් තමන්ට නොමැති බවයි. එහිදී ආරක්ෂක අමාත්‍යංශ වෙනුවෙන් පෙනී සිටි ලුතිනන් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ ප්‍රකාශ කළේ තමන් ආරක්ෂක ලේකම්වරයා විසින් අනුමත කරන ලද ලේඛනවල පිටපත් රැගෙන ආ බවත් ඒවා නිවැරැදි ලේඛන බවත්ය.  

ව්‍යාජ තොරතුරු   

29 වැනිදා එලෙස අධිකරණයෙන් විදේශගත වීමට මේජර් ජනරාල්වරයාට අවසර ලැබුණද නැවතත් ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම විසින් අප්‍රේල් 2 වැනිදා එම නියෝග අවලංගු කිරීමට නියෝග කරන ලදි. අප්‍රේල් 1 වැනිදා මෝසමක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණයට දන්වා සිටියේ තම දෙපාර්තුමේන්තුව කළ විමසීමකට අනුව ආරක්ෂක ලේකම්වරයා විසින් විදේශ ගමන් තහනම් කර තිබූ පුද්ගලයෙකු එවැනි සංචාරයකට නම් නොකළ බව දන්වා සිටි බවයි. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ආරක්ෂක ලේකම්වරයා සමග සාකච්ඡා කළ බවත්, අමල් කරුණාසේකරට විදේශ ගමන් තහනමක් පනවා ඇතැයි තමන් නොදන්නා බවත්, එම විදෙස් සංචාරයට ඔහු නම් කර ඇත්තේ තමා නොව යුද හමුදාවෙන් බව ප්‍රකාශ කළ බවත්, ඒ ගැන රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබෙන බවත්ය. ඒ අනුව මාධ්‍යවේදී කීත් නොයාර් නඩුව නැවත 2 වැනිදා කැඳවමින් මෙලෙස මීට පෙර ලබා දී තිබූ විදේශ ගමන් අවසරය අත්හිටුවන ලදි.  

අත්අඩංගුවට ගැනීම  

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අප්‍රේල් 5 වැනිදා තම දෙපාර්තුමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස මේජර් ජනරාල්වරයාට දැනුම් දී තිබුණද 4 වැනිදා ඔහු යුද හමුදා රෝහලට ඇතුළත් වෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ කැඳවීම පැහැර හැර තිබේ. ඒ අනුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන 1535/2008 නඩුවට අදාළව අධිකරණයෙන් දුන් නියෝග කඩකිරීමේ චෝදනාව මත 5 සවස යුද හමුදා රෝහලේදී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලදි. පොලිස් ආරක්ෂාව යටතේ එම රෝහලේ සිටි අමල් කරුණාසේකර පරීක්ෂා කර බැලූ ගල්කිස්ස අංක 3 අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා ඔහුව ලබන 18 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස 6 වැනිදා සවස නියෝග කළේය.  

දුරකථන අංක  

කීත් පැහැරගැනීම පිළිබඳව කෙරුණු පරීක්ෂණවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් මීට පෙර අධිකරණයට දුරකථන වාර්තා විශ්ලේෂණයක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව අධිකරණයේදී අනාවරණය වූයේ නේෂන් පුවත්පතේ හිටපු කර්තෘ ලලිත් අලහකෝන් විසින් කීත් පැහැර ගැනුණු 2008 මැයි 22 වැනිදා හිටපු ආරක්ෂක ලේකම්වරයාට දුරකථනයෙන් අමතා කීත් පැහැරගෙන යෑම පිළිබඳව දැනුම් දීමෙන් පසුව එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ භාවිත කළ අංක 0773501626 දරන දුරකථනයෙන් එවක පොලිස්පති ජයන්ත වික්‍රමරත්න භාවිත කළ 0773263650 අංක දරන දුරකථනයට රාත්‍රී 11.36 ට ඇමතුමක් ලබාගෙන ඇති බවය. ඉන් පසුව ආරක්ෂක ලේකම්වරයාගේ අංකයෙන් රාත්‍රී 11.39 ට ජාතික බුද්ධි ප්‍රධානී ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ භාවිත කළ 0777562873 අංක දරන දුරකථනයට ඇමතුමක් ලබාගෙන තිබේ.   

බ්‍රිගේඩියර් අමල් කරුණාසේකර  

ඒ අතර පොලිස්පති ජයන්ත වික්‍රමරත්න විසින් එවක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර සේනානායකගේ නිවසේ අංක 0112867826 දරන දුරකථනයට රාත්‍රී 11.51 ට අමතා තිබෙන බව අධිකරණයට වාර්තා කර ඇත. ඉන් පසුව ජාතික බුද්ධි ප්‍රධානී විසින් රාත්‍රී 11.41 ට එවකට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂව සිටි එවකට බ්‍රිගේඩියර් අමල් කරුණාසේකරට යුද හමුදාව මගින් ලබා දී ඇති 0773613496 අංක දරන දුරකථනයට ඇමතුමක් ලබා දී ඇත. ඉන් පසුව යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ අමල් කරුණාසේකර විසින් ට්‍රිපෝලි කඳවුරේ පිහිටුවා තිබූ යුද හමුදා බුද්ධි අනුඛණ්ඩයට යුද හමුදාව මගින් නිකුත් කර තිබූ 0773501951 දරන දුරකථන අංකයට රාත්‍රී 11.47 ට ඇමතුමක් ලබාගෙන ඇත. ඒ වන විට අමල් කරුණාසේකරගේ දුරකථනය ජාවත්ත ප්‍රදේශයේ තිබී ඇති අතර, ට්‍රිපෝලි කඳවුරට ලබා දී තිබූ දුරකථනය මල්වාන ප්‍රදේශයේ තිබී ඇත. බුද්ධි අධ්‍යක්ෂ අමල් කරුණාසේකර විසින් ඔහුට ලබා දී තිබූ දුරකථනයෙන් ට්‍රිපෝලි කඳවුරේ පිහිටුවා තිබූ බුද්ධි අනුඛණ්ඩයේ අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කළ මේජර් බුලත්වත්ත විසින් ඔහුගේ නමින් ලබාගෙන තිබූ 0773186436 අංක දරන දුරකථනයට රාත්‍රී 11.48 ට ඇමතුමක් ලබාගෙන ඇත. ඒ වන විට මේජර් බුලත්වත්තගේ දුරකථනය තිබී ඇත්තේ මල්වාන, දෙකටන ප්‍රදේශයේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ නේෂන් පුවත්පතේ ‘සෙන්පති’ නමින් ආරක්ෂක කොලම ලියූ කීත් නොයාර් පැහැරගෙන ගොස් රඳවාගෙන තිබුණේ ගම්පහ මල්වානේ දෙකටන ප්‍රදේශයේ බවයි. ඒ අනුව එවකදී මේජර් බුලත්වත්තගේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර තිබුණද පසුව මුදා හැරිණි.