පාතාලයෙන් අල්ලස් ගෙන මීගමුව පොලිසිය වාහන මංකොල්ලකෑම් සුරකින හැටි

 ඡායාරූපය:

පාතාලයෙන් අල්ලස් ගෙන මීගමුව පොලිසිය වාහන මංකොල්ලකෑම් සුරකින හැටි

ඇන්ටනී වෙනීසියස් මීගමුව පදිංචිකරුවෙකි. ව්‍යාපාරිකයෙකු වන ඔහු මෝටර් රථයක් අලෙවි කිරීමට ගොස් ප්‍රශ්න කීපයක පැටලී ඇත. ඒ වරක් එම රථය මිලදී ගත් තැනැත්තා පසුදින පැමිණ නැවත කාරය බාර දී දුන් මුදල ඉල්ලා සිටීමත් සමඟය. මෝටර් රථය මිලදී ගැනීමට පැමිණි දෙවන ගැනුම්කරු මෝටර් රථය මිලට ගත් නමුත් ඉන් ඔහු අවුලෙන් අවුලටම පත් විය. ඒ, ඉක්බිතිව ඇන්ටනි පැහැර ගැනීමටත් ලක්ව තිබෙන නිසාය. ඇන්ටනි සතුව තිබූ මුදල පමණක් නොව ඇන්ටනිගේ මෝටර් රථයද පැහැරගෙන ඇත. ඉදින් මේ කියන්නේ ඔහුගේ අවනඩුවයි.   

මේ සිද්ධියෙන් කබලෙන් ළිපට වැටුණු ඇන්ටනි ඊළඟට සහාය පතන්නේ මීගමුව සහකාර පොලිස් අධිකාරි කාර්යාලයෙනි. එහිදීද එක්තරා පොලිස් නිලධාරියෙකු දින හතරක්ම අැන්ටනි රස්තියාදු කළේ සැකකරුවන්ගේ වුවමනාවට බව අන්ටනී කියයි. එහෙත් අන්තිමේදී ඇන්ටනීගේ පැමිණිල්ලට නීතිය ක්‍රියාත්මක විය. එහිදී 2016 ජූලි මස එකොළොස්වන දිනයේදී සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකු මීගමුව පොලිසියට අත්අඩංගුවට ගැනීමත් සමඟය.   

ඇන්ටනි මීගමුවේදී සිය මෝටර් රථය විකිණීම

“මම රිශාන්ට ලක්ෂ තිස්පහයි පනස්දහසකට මගේ ඇලියොන් වර්ගයේ මෝටර් රථය 2016 ජූලි මස හත් වෙනිදා විකුණුවා. නමුත් පහුවදාම රිශාන් නැවත කාර් එක එපා කියලා සල්ලි ඉල්ලුවා. මම කාර් එක ගන්න කැමති වුණා.”

ඇන්ටනි තමාගේ මෝටර් රථය විකිණීමට 2016 ජූලි මස තුන් වෙනිදා මීගමුව කොමර්ෂල් බැංකුවට පැමිණ තිබේ. ගැනුම්කරුවාද එම ස්ථානයට පැමිණ තිබිණි. ගනුදෙනුව කාටත් අසාධාරණයක් නොවන අයුරින් සිදු විය. ලක්ෂ තිස්පහයි පනස්දහක මුදලකට මෝටර් රථය ධම්මික සුරවීර නැමැත්තෙකුට අලෙවි කෙරිණි. අදාළ කුවිතාන්සි බැංකුව තුළ අත්සන කෙරිණි. එහෙත් මෝටර් රථය මිලදී ගැනීමට පැමිණියේ ධම්මක සුරවීර නැමැත්තාගේ මිතුරන් කීපදෙනෙකි. ඇන්ටනී ගනුදෙනුව නිමා කර බැංකුවෙන් එළියට පැමිණියේ හිතේ සතුටකින්ය. එහෙත් ඒ සතුට විනාඩි කීපයකට සීමා විය.   

ඇන්ටනි පැහැරගැනීමට ලක් වීම

“බැංකුවෙන් එළියට ඇවිත් විනාඩි පහක්වත් ගියේ නෑ, වාහනය ගන්න ආපු අය මාව බ‍ලෙන්වාම වාහනයට ඇදලා දාගත්තා. ඒ දාගෙන කටුනායක පැත්තට දාගෙන ගියා. එතනදි දහයක් විතර වටකරගෙන වාහනයේදී මට හොඳටම ගැහුවා. මගේ ජංගම දුරකථනයත් උදුරගත්තා.”   

මෝටර් රථය මිලදී ගැනීමට පැමිණි ධම්මික සුරවීර නැමැති හොරකල්ලි නයකයාගේ සගයන් පිරිස ඇන්ටනි සතුව තිබූ මුදල්ද පැහැර ගත්හ. අනතුරුව ආඬිඅම්බලමේ ධම්මික සුරවීර නැමැත්තාගේ නිවසට ගෙන ගොස් ජාවාරම්කරුවෝ මත්පැන් බොමින් අධික ලෙස පහර දුන්හ. මෙලෙස සිවිල් පුදගලයන් පැහැරගෙන ගොස් වධ හිංසා කිරීම් පසුගිය කාලසීමාව තුළ බොහෝ වාර්තා වි ඇත. මීගමුව වැනි ජනාකීර්ණ නගරයක චකිතයකින් තොරව මෙවැනි පැහැරගැනීම් පිටුපස දේශපාලන බල අධිකාරියක් සිටීද යන්න පැහැදිලි නැත.   

ඇන්ටනිට දිගින් දිගටම පහරදෙන විට ඇන්ටනි හඬා වැලපෙමින් තමා නිදහස් කරන්නැයි මොවුන්ගෙන් අයැද සිටියද කිසිවෙකුත් ඇන්ටනීගේ ඉල්ලීම සතයකට මායුම් නොකළහ. ඇන්ටනීට මර බිය දැනුණි. කරන්නට කිසිවක් නොමැති නිසා ඔහු තම මව සහ දෙවියන්  වහන්සේ සිතින් මවාගත්තේය. සියල්ල සිදු වන තුරු ධම්මික සුරවීර නැමැත්තාගේ බිරිඳ සිනාසී ආශාවෙන් බලාසිටියාය. එක් අයෙක් උස් හඩින් මෙසේ කීය.

“දැන් උඹ උඹේ අම්මාට කෝල් එකක් අරගෙන කියන්න ඕනේ යාළුවො දෙන්නෙක් එවනවා, අනිත් කාර් එකයි කාර් එකේ පොතයි දෙන්න කියලා. තේරුණාද? ඊට වැඩිය වචනයක් හරි කිව්වොත් උඹේ බෙල්ල කපල මරනවා! දැනගනින්!”

මිනිසුන් පමණක් නොව තිරිසනුන්ටද මරණ බිය ඇති වේ. මරණ බියෙන් වෙව්ලමින් සිටි ඇන්ටනි වහාම තමන්ගේ දුරකථනය ගෙන තම මවට එලෙසම පැවසීය. පසුව වහාම ක්‍රියාත්මක වූ ධම්මික සුරවීර‍ගේ ගෝලයෝ දෙදෙනෙක් ඇන්ටනිගේ නිවසට ගොස් අහිංසක මවට බොරු පවසා අනික් මෝටර් රථයද ධම්මිකගේ නිවසට ගෙනා ආහ. කෙසේ වුව ඇන්ටනී තමන්ගේ දුක්මහන්සියෙන් හම්බකරගත් මෝටර් රථ දෙකම දැන් ජාවාරම්කරුවන් ළඟය.   

මෙලෙස ඇන්ටනිගේ මව රවටා ගෙනා මෝටර් රථය ගෙන ආ මැර පිරිස අනතුරුව මෝටර්  රියේ යතුර හා පොත අතෙහි තබාගෙන ධම්මික සුරවීරගේ බිරිඳ ලවා මුතුකැට අකුරින් වාහනය ඇන්ටනී තමන්ට විකුණූ බවට ලිපියක් ලියවා එහි අත්සනද, ඇඟිලි සලකුණද තබාගෙන තිබේ.   

අනතුරුව සිදු වූයේ කුමක්ද? ඇන්ටනිගේම මෝටර් රථයකට ඔහු නංවාගෙන මීගමුව ප්‍රදේශයේ අතරමඟ බස්සවා පලායෑමය.

අහිංසක මිනිසුන් පැහැරගෙන බිය වැද්දවා ඔවුන්ගේ දේපළ උදුරාගැනීම බරපතළ මානව හිමිකම් කඩකිරීමකි. එසේම එය බරපතල අපරාදයකි. හැත්තෑ එකේ කැරුල්ල සමයේද මෙවැනිම පැහැරගැනීම් කොතෙකුත් සිදු විය. එහෙත් මේ වන විට එවැනි වටපිටාවක් නොමැත. එසේ වුවත් එවැනි අපාරධ යළිත් සිදු වීම අභාග්‍යයකි..

මීගමුව පොලිසියෙන් සිදු වූ අසාධාරණය

ඇන්ටනි තමාට අපරාදය සිදු වූ පසු එය පැමිණිලි කළ හැකි හොඳම ස්ථානය යැයි සිතුවේ කවරක්ද? ඒ, මීගමුව පොලිසියය. එනිසා ඇන්ටනී තම සොයුරිය සමග එදින පස්වරුවේම මීගමුව පොලිසිය වෙත පැමිණියහ.   

“මම මගේ අක්කාත් එක්ක මීගමුව පොලිසියට ගියා. එවෙලාවේ පොලිස් ස්ථානාධිපතිවරයා වටේ වාහනය කොල්ලකෑ පිරිසෙන් දෙන්නෙක් ඉඳගෙන හිනාවෙවී කතාකර කරමින් ඉන්නවා මම දැක්කා. මම ඉක්මනින් දුවගෙන ගිහින් ස්ථානාධිපතිවරයාට විස්තරේ කිව්වා. මට හිතාගන්නත් බැරි වුණා. පොලිසියෙන් මට හොඳටම බැන්නා. උඹ තමයි මේ කාර් එක බොරු ලියවිලි හදලා විකුණලා තියෙන්නේ. උඹව පොලිස් කූඩුවට දානවා. හොඳ හිතින් පලයන් කියා කිව්වා.”

ඇන්ටනී සහ ඔහුගේ නැගනියගේ අයිතිවාසිකම් සම්පූර්ණයෙන් විනාශ විය. පොලිස් නිලධාරීන්ගෙන් සිවිල් ජනතාවට මෙවැනි අසාධාරණකම් කොපමණ සිදු වනවාදැයි ඇන්ටනි කල්පනා කළේය. ඔවුන් තමාගේ පැමිණිල්ල සටහන් කරගැනීමටවත් යොමු නොවූයේ එනිසාය. කෙසේ හෝ පොලිස් නිලධාරීන් සියලු දෙනා ධම්මික සුරවීරගේ මිතුරන් බව දැනගත් ඇන්ටනී සහ නැගනිය වහා පොලිස් ස්ථානයෙන් බැහැර වූහ. අනතුරුව ඔවුන් පසු දින මීගමුව සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිල්ල ඉදිරිපත් කිරීමට ගියද එයද අසාර්ථක විය. ඉන්ස්පෙක්ටර් කරුණාතිලක යන පොලිස් නිලධාරියා බොරු ගොතමින් දින හතරක් ඇන්ටනි රස්තියාදු කළේය. එයින් පැහැදිලි වන්නේ ධම්මික සුරවීර නැමැත්තාගේ මුදල් බලයට පොලිසියේ උසස් නිලධාරීන් යටවී ඇති ආකාරයය.

කොළඹ සහන මැදිරියේ පැමිණිල්ල

මේ තත්ත්වය තුළ අැන්ටනි කළේ 2016 ජූලි දොළොස් වෙනිදා කොළඹ සහන මැදිරියට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමය. පැමිණිල්ලේ ඇන්ටනිට සිදු වූ අසාධාරණය මුල සිට අගට සඳහන් කර තිබුණි.

ඉන් පසු සහන මැදිරියෙන් ආ නියෝගයක් නිසා මීගමුව පොලිසිය විසින් දින නවයකට පසු, එනම් 2016 ජූලි විසිඑක්වන දින ඇන්ටනි පැහැරගත් ධම්මික සුරවීරගේ ගෝලයන් කීප දෙනෙකු මීගමුව පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි. ඔවුන්ගේ ප්‍රශ්න කිරීම් තුළින් ජාවාරම්කරුවන්ගේ නායක ධම්මික සුරවීරද අත්අඩංගුවට ගැනිණි. සියල්ලන්ම මීගමුව උසාවියෙන් දින දාහතරකට රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.   

නඩුවක් මැද නඩුවවක්

“හොරු ටික ඇල්ලුවත් ඒ වන විට මගේ පැහැරගත් කාර් එකක් කපුවත්ත ප්‍රදේශයේ විරාජ් ශානක නැමැත්තෙකුට ලක්ෂ තිස්නවයකට ජාවාරම්කරුවන් විකුණලා තිබුණා. ඒ, මගෙන් බලහත්කාරයෙන් අත්සන් කරගත් ලියුම නිසා. මෝටර් රථය මිලදී ගත් පුද්ගලයාට මීගමුවේ උසාවියෙන් මෝටර් රථය පැවරුවා.”   

“මගේ අනිත් ඇලියොන් මෝටර් රථය මාරවිල ප්‍රදේශයේ ගයේශාන් නැමැත්තෙකු අරගෙන තිබුණා. ඔහු එය ප්‍රදේශයේ උගස්ගන්නා ස්ථානයකට උගස් කරලා ලක්ෂ විස්සක මුදලක් අරගෙන. ඉන් පස්සෙ මීගමුව පොලිස් ඉන්ස්පෙක්ටර් මනෝහර සමග මමත් ගිහින් කාර් එකයි, ගයේශාන්වයි අරන් ආවා. ලක්ෂ විස්සකට උගස්කර තිබීයදී අරගෙන ආ නිසා පොලිසියෙන් නඩුවක් දැම්මා.”

පොලිසිය කළ වැඩිදිර පරීක්ෂණ තුළින් ගයේශාන් නැමැත්තා ධම්මික සුරවීරගේ ගෝලයෙකු බව හඳුනාගැනිණි. එහෙත් එදින රාත්‍රියේම ගයේශාන්ගේ මිතුරන් පිරිසක් පොලිස් පරීක්ෂක ඉන්ස්පෙක්ටර් මනෝහරට රුපියල් ලක්ෂ පහයි පනස්දහසක් සමග වටිනා ජංගම දුරකථනයක්ද පිළිගන්වා තිබේ. එහි ප්‍රතිඵලය වූයේ පසුදින උදෑසන ඇන්ටනී පොලිසියට ගිය විට ඉන්ස්පෙක්ටර් මනෝහර ගයේශාන් නැමැත්තා සිද්ධියෙන් ඉවත් කරගන්නා ලෙස බලපෑම් කිරීමය. ඒ අනුව ඇන්ටනිගේ අනුදැනුමකින් තොරව මාරවිල ගයේශාන් නැමැත්තා ඇප මත නිදහස් කෙරිණි. මෙම සිදුවීම් සියල්ලෙන්ම පැහැදිලි වන්නේ නීතිය ස්වාධීනව ක්‍රියාත්මක වී නොමැති බවය.   

ඇනිටනීට සිදු වූ අසාධාරණය

තමන්ගේ දහඩිය මහන්සියෙන් ජීවිත කාලය පුරා උපයාගත් මුදලින් ගත් මෝටර් රථය අවසානයේ නීතියේ ඇසට වැලිගසමින් තවත් පිරිසක් බුක්තියට ගෙන පසුව ඔවුන්ගේ දෙයක් මෙන් අලෙවි කර තිබේ. එහෙත් ජාවාරම්කරුවන් සිරගත කෙරුණේ දින දාහතරකටය. ඉන්පසු ඔවුන් නිදැල්ලේය. ඇන්ටනිගේ ලක්ෂ හතළිහක් පමණ වූ මුදල්ද මේ වන විට සම්පූර්ණයෙන්ම නැති වී ඇත. ඉදින් ඇන්ටනීට සිදු වූයේ වෙන දේ බලාගෙන ඇඬීමටය. මවද පුතාට සිදු වූ අසාධාරණය ඉවසාගත නොහැකිව දිනෙන් දින අසනීප වී ඇත. නඩු සඳහා මේ වන විට සැලකිය යුතු මුදලක්ද වැය වී ඇත.

“මීගමුව උසාවියේ මගේ වාහනයට අදාළ නඩුව යද්දි කාර් එක මීගමුව උසාවියේ කෝට් (උසාවි) සාජන්ලා විසින් අගලවත්ත ප්‍රදේශයේ විතානගේ දෝන ශානිකා නැමැත්තියකට මුදාහැරලා තියෙනවා. හොරට පොතත් හදලා, කුවිතාන්සියක් හදලා මට්ටක්කුලියේ පුද්ගලයෙකු විසින් ශානිකා ලක්මිණි වෙත පැවරුවා කියලා.”

නඩුවක් අවසන් වීමට පෙර නඩු භාණ්ඩයක් අස්ථානගත වන්නේ කෙසේද? මීගමුව කෝට් සාජන්ලාට මෙසේ මෝටර් රථය පැවරීමට අනුබල දුන්නේ කවුද? උසාවියේ තිබූ වාහනයක් නඩුව අවසන් වීමට පෙර එළියට පැමිණීම විශාල වරදකි. මෙම වරද නිවැරැදි කිරීමට හැක්කේ උසාවියටමය. එහෙත් දැන් සිදු වන්නේ කුමක්ද? නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ කතාවකි.

කෙසේ වෙතත් මීගමුවේ ඇන්ටනි වෙනීසියස් හට මහදවාලේ සිදු වූ අපරාධයට යුක්තිය පසිඳලන්නේ කෙසේදැයි දැන් මුළු රටම බලා සිටී. තවද මීගමුව පොලිසිය පැමිණිල්ලේ අහිංසක පාර්ශ්වය වෙනුවට මැරයින්ගේ පාර්ශ්වය ගත්තේ කෙසේදැයි පිළිතුරු පැහැදිලි කරන තුරුද රටම බලා සිටී. ඔවුන් එය මඟහළහොත් නීතියෙන් කෙසේ වෙතත් සමාජයෙන් ඔවුනට සමාවක් නොලැබෙනු ඇත.

මාතෘකා