මාවල් සිනමාවේ සුපිරි වීරවරිය Captain Marvel

 ඡායාරූපය:

මාවල් සිනමාවේ සුපිරි වීරවරිය Captain Marvel

ෆැන්ටසි වර්ගීකරණයට අයත් වන සුපිරි වීරයින් සඳහා වන ඉල්ලුම කොයි කලෙකවත් අඩු වන එකක් නම් නෙමෙයි. සිනමාවට සුපිරි වීරයින් සැපයීමේ පුරෝaගාමියෙක් විදිහට Marvel සමාඟම විසින් වසරක් පාසාම මෙම සුපිරි වීරවර්ගීකරණය යළි යළිත් නැවුම් කරනු ලබනවා. ඒ අනුව Captain Marvel යනු Marvel වෙතින් හඳුන්වාදෙන නවමු වීරවරිය වුණත් ඇත්තටම ඇයගේ යටගියාව තරමක් පැරණි එකක්. අවසන් Avengers චිත්‍රපටය තුළින් පෘථිවියේ ඉදිරි ආරක්ෂාව වෙනුවෙන් පවත්නා අවසන් බලාපොරොත්තුවක් ලෙසින් ඇය ගැන ඉඟියක් පමණක් ලැබුණ අතර, පසුගිය මාර්තු 8 වෙනිදා හෙවත් ජගත් කාන්තා දිනය දා Captain Marvel නම් ඇගේ කතාන්දරය ලොව පුරාම තිරගත වීම් ආරම්භ කළා.

විශ්වය පුරාවටම විනාශය රැගෙන ගිය Thanos විසින් පෘථිවිය ඉලක්ක කරගත් ප්‍රහාරය ව්‍යවර්ථ කරන්නට Avengers ඇතුළු සියලුම සුපිරි වීරකණ්ඩායම් අසමත් වුණා. සුපිරි විරුවන් ඇතුළුසමස්ත පෘථිවි ජනගහනයෙන් හරි අඩක්ම තුරන් කරනට සමත් වූ Thanos ට එරෙහිව අසමසම බලයක් අවශ්‍ය නමුත් තවමත් එවැන්නක් හමුවී නැහැ. විශ්වයේ නපුරු බලවේගයන්ට එරෙහිව පෘථිවියේ ආරක්ෂකයින් ලෙසින් Avengers කණ්ඩායම නිල වශයෙන් ඒකරාශී කළ Nick Fury විසින් අවසාන මොහොතේදී පිළිසරණපතා පණිවිඩයක් යවනු ලැබුවා විශේෂ අයෙක්හට. කොතරම් බලසම්පන්න වුණත් Avengers කණ්ඩායමත් ඒ සමඟින් සන්නද්ධ වූ අනෙක් පාර්ශ්වයනුත් අන්ත අසරණ ලෙස පරාජය ලබද්දී, Nick Fury විසින් මේ අවසන් පණිවිඩය යවන්නේ ඊටත් වඩා බලගතු පාර්ශ්වයක් වෙත විය යුතුමයි යන කුහුල පමණක් ඉතිරි වූවා. එපරිද්දෙන්ම පණිවිඩය ලැබුණේ Captain Marvel හෙවත් Marvel Cinematic Universeහි නවමු සුපිරි වීරවරියට බව Comic කතන්දර ගැන උනන්දු කොයි කවුරුත් දන්නා කියන කරුණක්. එනිසාම ඇගේ මුල් වතගොත සිනමාත්මකව විඳින්නට ලොව පුරාම ඉමහත් රසික පිරිසක් මඟ බලන් සිටියේ මහත් උනන්දුවකින්.

ඒ අනුව Marvel Comic ඉතිහාසය තුළ නිර්මාණය වූ කැපී පෙනෙන චරිතයක් විදිහට Captain Marvel ප්‍රභේදයන් රැසක් අතුරින් කරළියට පැමිණි Carol Danvers චරිතය ආශ්‍රයෙන් Captain Marvel නවමු චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා. පෘථිවියෙන් එපිට විශ්වයේ ඈත කෙළවරක හමුදාමය වශයෙන් තාක්ෂණිකව බලසම්පන්න Kree අධිරාජ්‍යයයි Vers නම් වන ඇයගේ වාසස්ථානය වන්නේ. විශේෂ මෙහෙයුමක නිරතවීමක් අතරතුරදී ඈට යළි පෘථිවිය වෙත පැමිණෙන්නට සිදුවන්නේ අනපේක්ෂිතවයි. ඈ පසුපසම හඹා එන පිටසක්වළ සතුරු බලවේගයනුත් පෘථිවි තළයට ඇතුල් වීමෙන් ඈ පිට තවත් වගකීමක් පැටවෙනවා. Skrull නමින් හැඳින්වෙන ඕනෑම ශරීර ස්වරූපයකට පරිවර්තනය වන්නට හැකි බලවත් පිටසක්වල ජීවී විශේෂයට එරෙහි ගැටුම ඇයටත් ලෙහෙසි පහසු එකක් නොවෙයි. ඒ අතර තිබෙන අනෙක් අභියෝගය නම් නිරන්තරයෙන්ම ඇයව පෙළන ඇය සම්බන්ධ පැරණි මතකයන්වල රහස් අනාවරණය කරගැනීමයි. අභ්‍යවකාශ වීරචාරිකාවකට අවශ්‍ය කරන රූපමය ආකර්ෂණීයත්වයත් අඩංගු නිසාම සුපිරිවීර චිත්‍රපටයක් විදිහට ප්‍රේක්ෂකයාට ලැබෙන ක්‍රියාදාම වින්දනය ප්‍රබල එකක් වනවා. විශේෂයෙන්ම Captain Marvel සුපිරි වීරවරියගේ සැකැස්ම අතිආකර්ෂණීය එකක්. මෑත කාලීනව ඉහළම ජනප්‍රියතාවයක් හිමිකරගත් DC සිනමා විශ්වයේ සුපිරි වීරවරිය Wonder Woman හා තරමටම විභූතිමත් සුන්දරත්වයක් මවන්නට මෙවර Marvel සිනමා විශ්වයටත් හැකි වී තිබෙනවා.

Captain Marvel සුන්දරාවිය වෙනුවෙන් Brie Larson යනු අගනාම තෝරාගැනීමක් බව ඈ සම්බන්ධ සෑම රූප රාමුවකින්ම පසක් කරවනු ලබනවා. 2015 වර්ෂයේදී 'Room' චිත්‍රපටය වෙනුවෙන් වසරේ හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානය පවා දිනාගන්නට සමත් වූ ඇය විසින් මේ සිදු කරන්නෙ සිය රංගන දිවියේ තවත් සුවිශේෂී නිරූපණයක්. ඇයගේ සුන්දරත්වයත් සමඟින්ම වීරත්වය විදහාපානා ආකාරය අතිශය නිවැරදිව ඇගෙන් නිරූපණය වන අයුරු නිසාමත් Captain Marvelහි විශේෂත්වය තවත් වැඩි කරවනවා. බලසම්පන්න වීරවරියක් කියන දේ ප්‍රතාපවත්ව ඉස්මතු කරවන්නට ඇය උපරිමයෙන්ම සමත් වී තිබුණා. මින් පෙර හොලිවුඩයෙන් දැක තිබූ Brie Larsonට වඩා වෙනස් ශිල්පිනියක් ලෙසිනුයි මෙවර ඇගේ පෞරුෂය හැඩවී තිබෙන්නේ. ඒ නිසාම අවසන් සංග්‍රාමය තුළදී සිනමා තිරය මත මැවෙන විශ්මයත් අතිප්‍රභල එකක්. එමෙන්ම Avengers චිත්‍රපට මාලාවම තුළ හමුවූ Nick Fury නම් වනරළු මිනිසාගේ අපූරුම සුමට පැතිකඩක් මෙවරදී දකින්නට හැකියි. චිත්‍රපටයට අදාළ වන කාලවකවානුව වෙන්නේ Avengers සුපිරි වීරයින්ව ඒකරාශි කරගැනීමට පෙර යුගය එනම් 1995 වර්ෂය වන නිසාම Nick Furyගේ යටගියාවක් වඩාත් සවිස්තරාත්මකව දකින්නට ලැබෙනවා. හොඳ ප්‍රහසනයකුත් ඊටම අයත්. වින්දනාත්මක බව තවත් වැඩි කරවන අපූරුම චරිතය වෙන්නේ "Goose" නම් බළලායි. කතන්දරයේ ඉතාමත්ම වැදගත් කොටසකට හිමිකම් කියන්නට මේ අපූරු බළල් චරිතයටත් හැකි වෙනවා. සුපුරුදු පරිදි මෙවරත් Marvel Comic චරිත නිර්මාණ ශිල්පී හෙවත් Marvel හිපියා ලෙසින් හැඳින්විය හැකි, බොහෝම මෑතකදී මෙලොවින් සඳහටම සමුගත් Stan Leeගේ ආරාධිත රංගනයත් දකින්නට හැකියි. විශේෂයෙන්ම චිත්‍රපටය ආරම්භයේදීම ඔහු වෙනුවෙන් වූ ගෞරවණීය සහ ආදරණීය සිහිපත් කරවීමක් ද අඩංගුයි.

Marvel Cinematic Universe හි විසි එක්වෙනි චිත්‍රපටය විදිහටයි Captain Marvel එළිදකින්නේ. රචනය සහ අධ්‍යක්ෂණය Anna Boden and Ryan Fleck ගෙන් සහ Geneva Robertson-Dworet සමඟින් ඔවුන් දෙදෙනාම මෙහි තිරරචනයටත් දායක වී තිබෙනවා. ප්‍රධන චරිතය Brie Larson සමඟින් සෙසු චරිත සඳහා Samuel L. Jackson, Ben Mendelsohn, Djimon Hounsou, Lee Pace, Lashana Lynch, Gemma Chan, Annette Bening, Clark Gregg, සහ Jude Law විසින් දායකත්වය සපයනවා.

[ලක්ෂ්මන් අරංවල]

මාතෘකා