අනන්තයක කතා සඟවා ගත් ගාලු කොටුව

 ඡායාරූපය:

අනන්තයක කතා සඟවා ගත් ගාලු කොටුව

නිල් පැහැයෙන් දිදුලන සයුර රිසි සේ දැකගත හැකි ස්ථානයක් ලෙස ගාලු කොටුව හැඳින්විය හැකිය. ඕලන්ද ජාතිකයන් විසින් ලංකාව පුරා ඉදිකරන ලද බලකොටු අතරින් හොඳම තත්ත්වයේ තිබෙන බලකොටුව ලෙසින් නම් කළ හැක්කේද ගාලු නගරයේ පිහිටා තිබෙන කොටුවයි. මෙහි කොටු පවුර තනි කළු ගලින් නිමවා ඇති අතර අතීතයේදී මෙම පවුර වටා දිය අගලක් තිබී ඇති බවද සඳහන්ය. යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවේ 38 වැනි ස්ථානය හිමිකර ගන්නා අක්කර 80ක් පුරා පවතින ගාලු කොටුව පන්සල්, පල්ලි මෙන්ම රාජ්‍ය ආයතන 16කින් පමණද සමන්විත වේ.

1974දී ගාලු කොටු පවුර පුරා විද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත්කළ අතර එය ලෝක උරුමයක් ලෙසින් නම් කළේ 1988 වසරේදීය. ගාලු කොටුව තුළ කෞතුකාගාර 3ක් දැකිය හැකි අතර ඒවා නම්, ජාතික, සමුද්‍ර හා මැන්ෂන් කෞතුකාගාරයන්ය.

ගාලු කොටුවේ වැදගත්ම ස්ථානයක් ලෙස ඒ තුළ ඇති පල්ලිය සඳහන් කළ හැකිය. මෙය දකුණු පළාතේ පිහිටා ඇති පැරණිතම පල්ලිය ලෙසින් සඳහන් වන අතර එහි භූගත මහල් 3ක්ද පිහිටා ඇත. මෙය ඉදිකිරීමට මුදල් වැය කළා යැයි සඳහන් වන්නේ කැස්‌පර්ස්‌ඩි ජෝන් නමැති ගාල්ලේ සිටි ඕලන්ද අණදෙන නිලධාරියෙකි. විවාහ වී කලක් ගතවී තිබුණද දරු සම්පතක් හිමි නොවූයෙන් ඔහු සහ ඔහුගේ බිරිඳ එවකට ගාලු කොටුවේ උසම ස්‌ථානයේ පිහිටි පෘතුගීසි තාපසාරාමයට පැමිණ භාරයක්‌ වූ බව පැවසේ. තමන්ට දරුවකු ලැබුණහොත් මෙම ස්‌ථානයේ දේවස්‌ථානයක්‌ ඉදිකිරීම ඔවුන්ගේ පොරොන්දුව විය. ඒ පැතුම ඉටුකරමින් ඔවුන් දෙපළට දියණියක‌ ලැබුණු අතර කැස්‌පර්ස්‌ අණදෙන නිලධාරියා සිය බාරය ඔප්පු කරමින් එම ස්‌ථානයේ ඕලන්ද රෙපරමාදු දේවස්‌ථානයක්‌ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබේ. දේවස්‌ථානය ඉදිකිරීමේ කටයුතූ 1754දී අවසන් වූ අතර කැස්‌පර්ස්‌ දේවස්‌ථානය ඉදිකළා පමණක්‌ නොව තම දියණිය 1755 අගෝස්‌තූ මස 24 වැනිදා එම දේවස්‌ථානයේදී බෞතීස්‌ම කළේය. ඒ බව සිහි ගන්වමින් කැස්‌පර්ස්‌ගේ දියණියගේ බෞතීස්ම ඇඳුම අදටත් මෙම දේවස්‌ථානයේ සුරක්‍ෂිතව තබා ඇති ආකාරය දැකගත හැකිය. ගාලු කොටුවේ ඉදිකළ එම රෙපරමාදු දේවස්‌ථානය දැනට ලංකාවේ ඇති පැරණිතම ප්‍රොතෙස්‌තන්ත සහාවද වන්නේය. කුරුස පල්ලිය ලෙසද මෙය හඳුන්වන්නේ එම දේවස්‌ථානය ඉදිකර ඇත්තේ කුරුසයක හැඩයට වන නිසාය.

මෙම දේවස්‌ථානයේ දක්‌නට ලැබෙන ඵෙතිහාසික ස්‌මාරක අතරින් දේශක ආසනය හා ඕර්ගනයත් කැපී පෙනේ. මෙම ඕර්ගනය දැනට මෙරට ඇති පැරණිතම ඕර්ගනය වන අතර එකල මෙම ඕර්ගනය ක්‍රියාත්මක කරවා ඇත්තේ පෘතුගීසි මෙහෙකරුවන් ලවා සුළං මඟින් ශක්‌තිය ජනනය කිරීමෙන් බව පැවසේ. මෙම දේවස්‌ථානයේ පුද පූජා පැවැත්වීමට එන බැතිමතූන් වෙනුවෙන් ආසන 188ක්‌ පැනවිය හැකි අතර අතීතයේදී පුදපූජා පවත්වන ඉරිදා දිනවලදී එම ආසන දේවස්‌ථානයට රැගෙනවිත් ඇත්තේ වහලුන් ලවාය.

මෙම දේවස්‌ථානයට පිවිසෙන විටම දක්‌නට ඇත්තේ එක්‌ විශේෂ සුසාන පුවරුවකි. එය මෙකී දේවස්‌ථානය ඉදිකිරීම් භාරව කටයුතු කළ ඒබ්‍රහම් අන්තෝනිස්‌ නම් පුද්ගලයාගේ වන අතර ගලින් නිමකළ සිහිවටන පුවරු මත මියගිය තැනැත්තා පිළිබඳ විස්‌තර දැක්‌වෙන ශිලා ලේඛනයට අමතරව පවුලේ ලාංඡනය හා දර්ශනීය කැටයම්ද එක්‌කර තිබීම විශේෂත්වයකි. මෙහි ඇති සෑම සුසාන පුවරුවකම පොදුවේ එක්‌ ලාංඡනයක්‌ දක්‌නට ලැබෙන අතර ඒ කාලය මනින උපකරණය හා හිස්‌ කබල් සහ ඇටකටු දෙකක සටහන්ය. සැබැවින්ම මින් කාලය හා මරණය අතර ඇති සියුම් සම්බන්ධතාව අර්ථවත් කිරීමට උත්සාහ දරා ඇතැයි සිතිය හැකිය. මෙම දේවස්‌ථානයේ සුසානගත කර ඇත්තේ ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමේ නිලධාරීන්ගේ හා ඔවුන්ගේ පවුල්වල අයය. එදා එම දේවස්‌ථානයේ මිහිදන් කිරීමට අවසර ලැබී ඇත්තේ ලන්දේසි ප්‍රභූවරුන්ගේ දේහයන් පමණි. දේවස්‌ථානයේ දකුණුපස දොරටුවෙන් පිටතට පැමිණි විට යාර දහයක්‌ පමණ ඈතින් දක්‌නට ලැබෙන්නේ පොළව යටට පිවිසිය හැකි උමං මාර්ග දෙකකි. උමං මාර්ගය තුළට යෑම සඳහා පඩිපෙළක් ඇති අතර උමං මාර්ග දෙකම ගේට්‌ටු හා ඉබි යතුරු දමා වසා තිබේ. ඉන් එක්‌ උමං මාර්ගයක්‌ අණ දෙන නිලධාරි කැස්‌පර්ස්‌ගේ බංගලාවට යෑම සඳහාත් අනෙක්‌ උමං මාර්ගය මුහුද දෙසට යෑමට භාවිත කොට ඇති බවත් පැවසේ. එමෙන්ම දේවස්‌ථාන භූමියේ පොළව යට කුඩා කුටි තුළ මෘත දේහ තැන්පත්කොට තිබෙන බවද සඳහන්ය. ඒ අනුව දේවස්‌ථාන භූමියේ පොළව යට ඇති මෘත දේහ 59ක්‌ තැන්පත් කොට ඇති බවද පැවසේ. දේවස්‌ථාන භූමියේ මලින් පිරුණු සුදු අරලියා ගස් සෙවණ යට පොළවේ අතුරා ඇති සිහිවටන පුවරු රාශියකි. ඒ සෑම පුවරුවකම මියගිය පුද්ගලයාගේ අවමඟුල් දැන්වීම සටහන් කොට තිබේ. ඒ අනුව මියගිය තැනැත්තාගේ නම, වයස, පවුලේ තොරතුරු, කරන ලද රැකියාව සහ මියයෑමට හේතුවද ඇතැම්විට ඔවුන්ගේ මුල් ගම් ප්‍රදේශයද දක්‌වා ඇත. මෙයට අමතරව සතුන් සමඟ පැවති සබැඳියාව, ගෘහ නිර්මාණාත්මක ලක්‍ෂණ, වෘක්‍ෂලතා කෙරෙහි වූ ඇල්ම සහ දෙවියන් පිළිබඳ විශ්වාසයන්ද මරණින් මතු ජීවිතය පිළිබඳ අපේක්‍ෂාද මෙම පුවරුවලින් අධ්‍යයනය කළ හැකිය.

එකල දේවස්‌ථානය ඇතුළත සිහිවටන පුවරුවක්‌ තැන්පත් කිරීමට අවස්‌ථාව ලැබී ඇත්තේ උසස්‌ නිලධාරීන්ට වන අතර අනෙක් නිලධාරීන්ගේ තරාතිරම අනුව ඉන් බැහැර ස්‌ථාන ලැබී ඇති බවත් පැවසේ. මෙම පුවරු දේවස්‌ථානය ඇතුළත ඇතිරුවේ 1853 වසරේදී බව සඳහන්ය.

කෙසේ වෙතත් මෙම දේවස්‌ථානයේ තැන්පත්කර ඇති මෘත දේහ සංඛ්‍යාව නිශ්චිතව කිව නොහැකිය. මෙම ස්‌ථානයේ කළ කැනීම්වලදී රත්තරන් ආදී වටිනා දේවල් හමුවී තිබෙන බවත් ඉන් අනතුරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් දේවස්ථාන භූමියේ වූ උමං මාර්ග දෙක වසනු ලැබ ඇති බවත් සඳහන්ය. එසේ වුවද මෙකී දේවස්‌ථානය ඕලන්ද සමාජය පිළිබඳව තොරතුරු අධ්‍යයනය කරන්නකුට දත්ත ගබඩාවක්‌ ලෙස තරම් වැදගත් වූවකි.

ගාලු කොටුව තුළ ඇති තවත් විශේෂ ස්ථානයක් වන ජාතික කෞතුකාගාරය ලෙස අද හඳුන්වනු ලබන්නේ පැරණි ඕලන්ද බඩු ගබඩාවයි. මේ තුළ ලුණු, ගම්මිරිස් සහ නැව්වලට අවශ්‍ය බඩුබාහිරාදිය තැන්පත් කොට තිබී ඇත. එමෙන්ම සමුද්‍ර කෞතුකාගාරය තුළ සාගරයෙන් ලබාගත් පුරා වස්තු, මුහුදු ගමන් විස්තර සහ ධීවර ජන ජීවිතය පිළිබඳ තොරතුරු ආදිය තැන්පත් කොට ඇති අතර ඔබ මෙය නැරඹීමට යන්නේ නම් ඉරිදා, සඳුදා මෙන්ම රජයේ නිවාඩු දිනයන්හිදී වසා තැබෙන බවද මතකයේ තබාගන්න. මෙහි පිහිටා ඇති අනෙක් කෞතුකාගාරය වන හිස්ටොරිකල් මැන්ෂන් කෞතුකාගාරය තුළ ඇත්තේ ඉංග්‍රීසින් විසින් පාලනය සියතට ගත් පසු තැන්පත් කළ පෘතුගීසින් හා ලන්දේසින් සතුව තිබූ ඔවුන් පරිහරණය කළ බඩු භාණ්ඩයි. මෙම කෞතුකාගාරය තුළ පුරාණයේ තිබූ ළිඳක්ද පවතී.

එමෙන්ම මෙතුළ දක්නට ඇති තවත් එක් සුවිශේෂ ස්ථානයක් වන්නේ ප්‍රදීපාගාරයයි. වර්ෂ 1848දී ගොඩනඟන ලදැයි සැලකෙන මෙය 1938 වර්ෂයේදී ගින්නකට හසුවිය. අද අපට දක්නට ලැබෙන්නේ 1940දී නැවත ඉදිකළ ප්‍රදීපාගාරයයි. එමෙන්ම ඉංග්‍රීසින්ගේ සමයේදී දකුණේ බොදු පුනර්ජීවනය ගොඩනැඟීමේ අරමුණින් ඕලන්ද කොටුව තුළ බෞද්ධ විහාරයක්ද ගොඩනැඟීමට කටයුතු කර තිබේ. එය ගොඩනඟා ඇත්තේ 1889 වසරේදීය.

"කියවීම මිනිසා සම්පූර්ණ කරයි" ඒ අප අතර සදාකාලිව පවතින පූර්වාදර්ශ පාඨයකි. මේ කියමන සාක්ෂාත් කරමින් 1871දී එය මහජන පුස්තකාලයක් බවට පත්විණි. එම ස්ථානය 1832දී බ්‍රිතාන්‍ය ජාතිකයන් ඔවුනොවුන් මුණගැසීමේ ස්ථානයක් ලෙස භාවිත කළ ස්ථානයක් බව කියැවේ. අදටත් එය හැඳින්වෙන්නේ ලංකාවේ පැරණිතම පුස්තකාලය වශයෙනි.

ගාලු කොටුවේදී ඔබට නැරඹිය හැකි තවත් ස්ථානයක් ලෙස සඳහන් කළ හැකි වන්නේ සතුරන්ට වෙඩි තැබූ මුර අට්ටාලයයි. ඕලන්ද ජාතිකයන් කොටුව ඉදිකරන විට තම ආරක්ෂාව සඳහා කාලතුවක්කු සවි කිරීමට මුර අට්ටාල ඉදිකළ අතර අදද කොටු බැම්ම අවට එම මුර අට්ටාල දැකිය හැකිය. එකී මුර අට්ටාලයන් තාරාකා අට්ටාලය, ට්‍රයිටන් සහ අවුරෝරා ආදී වශයෙන් නම්කර තිබීමද විශේෂත්වයකි. මෙහි සිරමැදිරිද දක්නට ලැබෙන අතර තාරකා අට්ටාලයට මෙපිටින් පිහිටි ගොඩනැගිල්ල හඳුන්වනු ලබන්නේ සිර මැදිරියක් ලෙසිනි. මේ සිර මැදිරි සඳහා වාතාශ්‍රය ලැබෙන්නේ කොටු බැම්ම පෙදෙසින් ඇති සාගරය දෙසිනි.

ගාලු කොටුව තුළ ස්ථානගතව ඇති තවත් ඉදිකිරීමක් වන්නේ සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයයි.

1745දී පොල් අතු සෙවිළි කළ නිවාස කොටුව තුළ ඉදිකිරීම තහනම් කරනු ලැබූ අතර එයට විකල්පයක් ලෙසින් සිංහල උළු සෙවිලි කළ නිවාස ඉදි කිරීමට කටයුතු කරන ලදී. එම නිවෙස්වල වැඩි ප්‍රමාණයක මැද මිදුල් මෙන්ම සොල්දරද පිහිටා තිබෙන අතර විදෙස් ජාතිකයන් ලංකාව අතහැර යෑමේදී මෙම නිවාස වැඩි ප්‍රමාණයක් ලාංකිකයන්ට හිමිවූ බවද සඳහන්ය. නමුත් පසුකාලීනව මුදල්මය කාරණා මත ඒවා වැඩි මිලකට තවත් පාර්ශ්වයන්ට විකුණා දැමීමට කටයුතු කර තිබේ.

ගාලු කොටුව තුළ පිහිටි ඕලන්ද බඩු ගබඩාවේ පිහිටා තිබූ විශාල ප්‍රමාණයේ ගේට්ටුවක් ඉවත් කිරීමට කම්කරුවන් 15 දෙනකු පමණ අවශ්‍ය විය. එසේ සඳහන් කිරීමෙන්ම ඔබට එහි විශාලත්වය මැනවින් හඳුනා ගැනීමට හැකිවනු ඇත. තවද ඕලන්ද බඩු ගබඩාවේ උළුවහු ආදිය 1670 දශකයේ ඉදිකළ ඒවා බවද ඒවායේ සඳහන්ව තිබේ.

වර්තමානයේදී සාප්පු සංකීර්ණයක් ලෙස භාවිතට ගැනෙන ඩච් රෝහල එදා ඉදිකර ඇත්තේ ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමේ නිලධාරීන්ට ප්‍රතිකාර ගැනීම සඳහාය. වරායට ආසන්නව පිහිටා තිබීම නිසා නාවිකයන්ගේ පාවිච්චියටද එය යොදාගත් බව පැවසේ. බ්‍රිතාන්‍යයන් ලංකාව යටත් කරගැනීමෙන් පසු එම ගොඩනැඟිල්ල ඔවුන් විසින් තවදුරටත් දියුණු කෙරුණු අතර 1850දී එය භාවිත කොට තිබුණේ බ්‍රිතාන්‍ය හමුදා බැරැක්ක ලෙසටය. නමුත් ඊටපසු කාලයේදී ආණ්ඩුවේ නිලධාරීන්ගේ කාර්යාලයක් ලෙසද එම රෝහල් ගොඩනැඟිල්ල භාවිත කර තිබේ.

ගාල්ල කොටුව තුළ පිහිටි ඔරලෝසු කණුවද විශේෂත්වයක් උසුලයි. කොටුව ඇතුළත පිහිටා තිබෙන නිසා බොහෝදෙනා මෙයද ලන්දේසීන් තැනූවක් ලෙස සිතුවත් මෙම ඔරලෝසු කණුව ඉදිකර ඇත්තේ ගාලු කොටුව ඉදිකොට වසර ගණනාවකට පසුව බවද පැවසේ. ඒ පිළිබඳ ඇත්තේ මෙවැනි කතා පුවතකි. සැම්සන් ඩී. ආබෲ රාජපක්‍ෂ නම් කොස්ගොඩ පදිංචිව සිටි මුදලිවරයකු දරුණු රෝගයකින් පීඩා විඳ ඇති අතර ඔහු සුවපත් කර ඇත්තේ පී. ඩී. අන්තෝනිස්‌ නම් වෛද්‍යවරයෙකි. ඒ පිළිබඳ සතුටට පත් මුදලිවරයා තමා සුවපත් කළ වෛද්‍යවරයාට උපහාරයක් ලෙස මෙම ඔරලෝසු කණුව ඉදිකර ඇතැයි පැවසේ. 1882 වසරේදී එහි ඉදිකිරීම් ආරම්භ වී ඇති බවත් ඊට පෙර එම ස්ථානයේ ලන්දේසි ඝණ්ඨාර කුලුනක් තිබූ බවත් එය ඉවත් කර ඔරලෝසු කණුවේ පාදම සකස් කර ඇති බවත් සඳහන් වේ. ඔරලෝසුවේ මුහුණත ලන්ඩනයේ මොරිසන් ඇන්ඩ් සන්ස්‌ සමාගම විසින් සකස් කරනු ලැබ ඇති බවත් සීනුව නිපදවා ඇත්තේ කාඩිෆ් එස්‌ විල්ස්‌ නමැති සමාගම බවත් පැවසේ. 1907 වසරේ සිට මෙම ඔරලෝසුව ගාල්ලට වේලාව දක්වා ඇති අතර අසූව දශකය දක්වා එය හොඳින් ක්‍රියාකර ඇති බවද සඳහන්ය.

[රජිත

මාතෘකා