දොළ පහරේ ලිස්සා යන දිය ඇල්ලෙන් පහළ පනින මීමුරේ උන්මාදය

 ඡායාරූපය:

දොළ පහරේ ලිස්සා යන දිය ඇල්ලෙන් පහළ පනින මීමුරේ උන්මාදය

“ගහ යට වැහි දෙකයි” කියන්නේ පරණ කතාවක්. ඒ කතාව මීමුරේ මීගහ ගැන කියනව නම් කියන්න වෙන්නේ මෙහෙම.

“මීගහ යට කඩ දෙකයි”

මීමුරේ උඩු යටිකුරු වෙන්න කලින් ගමේම සල්ලිකාරයාගෙ පුතා වුණු “අබේ අයියාගේ” ගයානි කඩේ අදට ගැළපෙන විදියට කලඑළි වෙලා සාර සුබාවට එක පැත්තකින් තියෙද්දි, අලුත් පරම්පරාවෙ “ලයනල් කඩේ” තව පැත්තකින් තියෙනවා…. තේ කහට එකේ ඉඳන්, වාහනේට අවශ්‍ය පැට්රොල් ටික දක්වා හැම දේම ගන්න තියෙන්නේ මේ කඩ දෙක තමයි.

හැබෑ මීමුරේට එන සංචාරක නඩ අන්තිමට ඇවිත් නවතින්නේ මෙතැන. තමන්ගේ නවාතැනට කිසියම් කණ්ඩායමක් එන දවසක, ඒ ගෙදර නියෝජිතයෙක් උදේම මේ කඩ මණ්ඩියට ඇවිත්, තලාවිටක් කමින්, තේ කහට එකක් බිබී කල් මරන්නේ අගන්තුකයන් පිළිගන්න බලාගෙන.

අපිත් එක්ක වාහනවල ආව කණ්ඩායම තෝරගෙන තිබුණේ “නවරත්න අයියාගේ” නවාතැන…. හුන්නස්ගිරියෙන් හයර් එකට ගත්තු දන්න කියන වාහනේක ඇවිත් තිබුණු නිසා වෑන් එකේ සුදුමල්ලි දෙපාර්ශ්වය මුණගැස්සුවා… නොදන්න වාහනේක ආව නම්, තමන් ආවේ කාව හොයාගෙනද කියල ගයානි කඩෙන් හරි, ලයනල් කඩෙන් හරි ඇහුවහම, ඒ අය අදාළ කෙනාව මුණගස්වනවා…. නැතිනම් දුරකථනයෙන් අමතලා, අදාළ නිවසෙන් නියෝජිතයකු ගෙන්වා දෙනවා….

බණ්ඩයියලා, අබේලා සෝමෙලා, සුද්දලා දෙතුන් දෙනෙක් ගමේ ඉන්න නිසා, මේ අය හරියට අඳුන නොගත්තොත් පළමුවෙනි බණ්ඩයියාගේ ගෙදර හොයාගෙන ආව නඩේ නවතින්නේ දෙවැනි බණ්ඩයියාගේ ගෙදර වෙන්න පුළුවන්. ඒ නිසා මීමුරේට එන සංචාරක නඩයක් හරියටම තමන් යන නවාතැනේ හිමිකරුගේ නමත්, නිවසේ දුරකථන අංකයත් පැහැදිළිව දැනගෙන ආ යුතුයි.

“ගමම නෑයෝ… ඒ නිසා කෙනෙකුට කණ්ඩායමක් ඇවිත්, තව කෙනෙකුට නෙැලැබුණාට..කවුරුවත් තරහ ගන්නේ නෑ… සල්ලි වලට වඩා මීමුරේ ලේ වල ගනකම වැඩියි” එහෙම කිව්වේ අබේකෝන් අයියා…

අබේකෝන් අයියලගේ ගෙදර තමයි ශාලිකත් මමත් නවතින්නේ.

පාර දෙපැත්තේ වැටිලා තියෙන අයිස්ක්‍රීම් දවටන, බිස්කට් දවටන, කෙටි කෑම දවටන පහු කරගෙන කන්ද නැඟපු අපි කනත්ත ගාවින් වමට හැරුනා. කනත්තක් කිව්වට දැන් එතැන කුණු ගොඩක්.

“මීමුරේ ගමේ මළගෙයක් වෙන්නේ අවුරුද්දකට පාරයි. නැත්නම් දෙපාරයි. ඒ නිසා දැන් මෙතැන පාවිච්චි වෙන්නේ වාහන නැවතුම්පොළක් විදියට. සංචාරකයන් ගමට එන වාහන රෑට නවත්වලා තියන්නේ මෙතැන… ඒ වාහනවලින් අතුගාන කුණු සේරම දැන් සොහොන් පිටිය පුරා විසිරිලා… මුලින් මුලින් ගමේ මිනිස්සු එකතු වෙලා මාසෙකට පාරක් දෙපාරක් ශුද්ධ කළා… දැන් ඒකත් නැවතිලා….”

අපි අබේකෝන් අයියගේ ගෙදරට ගොඩවෙන කොට, අක්කගේ මහන්සියෙන් තම්බපු බෙලිමල් ජෝගුවක් සූදානම් වෙලා තිබුණා… කලින් වතාවේ හකුරු කෑල්ලක් තිබුණත් මේ පාර නම් ළඟින් තිබුණේ සීනි බෝතලේ… ඒකත් සුදු සීනි. අවබෝධ කරගන්නවනම්, අවුරුද්දට දෙකට මීමුරේ මිනිස්සුන්ගේ ජීවිත වෙනස්වුණු හැටි ගැන කතාව එතැන තිබුණා.

මීමුරේ සංචාරක ව්‍යාපාරය ඇරඹුනු සමයේ සිටම, නවාතැන් සපයන, මඟපෙන්වන අබේකෝන් අයියා රැල්ලට හසුවෙලා තමන්ගේ ගෙදර නවීකරණය නොකරපු කෙනෙක්. රැල්ලට බිස්නස් නොකරන Eternal Traveller ආයතනයේ පාරිභෝගික ඉල්ලීම් අනුව මීමුරේ සැබෑ ගැමි නිවෙසක නවාතැන් ගැනීමට පැමිණෙන සංචාරකයන්ව යොමු කරන්නේ අබේකෝන් අයියා ළඟට. කාමර තුනක් තියෙන, උළු සෙවිලි කර තියෙන, වතුර සහ වැසිකිළි පහසුකම් තියෙන මේ ගෙදර පහුගිය අවුරුදු දහයක කාලෙටම වෙනසක් වුණා නම්, වැසිකිළිය නිවසට යාබදව ඉදිකිරීම පමණයි. ලකේගල පැහැදිලිව පෙනෙන ආලින්දයට වෙලා, බෙලිමල් උගුරක් බොන ගමන්, අබේකෝන් අයියාගෙන් මීමුරේ සංචාරක ව්‍යාපාරය ඇරඹුණු හැටි අහන්න හිතුවා….

“ඉස්සර ඉඳන්ම මීමුරේ ඇවිදින්න මිනිස්සු ආවා… ඒ ලග්ගල ඉඳන් පයින්. නැත්නම් අට්ටලමෙට්ටුවෙන් පල්ලම් බැහැගෙන පාගමනින්… ඒ අය ගම් වැදෙන කොට අපේ ගෑනු හැංගෙනවා… කතා කරන්නේ අපි විතරයි… නිදාගන්නේ පිලේ… අපි කන විදියට, තලප රොටී දෙනවා… සල්ලි ගන්නේ නෑ… ඉඳල ෆොටෝ අරන් යනවා…”

මීමුරේ ගැන වීඩියෝ වාර්තා වැඩසටහනකට ජෙනරේටර් කර තියාගෙන පිරිසක් එන්නේ 1998දී. යූටියුබ්, ෆේස්බුක් ව්යාප්ත වී නැති ඒ කාලයේ නිර්මාණය වුණු ඒ වැඩසටහනින් පස්සේ සීමිත පරිසර ලෝලීන් පිරිසකගේ අවධානය මීමුරේ වෙත යොමුවෙන්න ගන්නවා… ඒ පැමිණෙන අයට නවාතැන් දෙන්නේ නවරත්න අයියා… මොකද අට්ටලමෙට්ටුව පැත්තෙන් මීමුරේට එද්දි, මීමුරේ ගමේ තියෙන පළවෙනි ගේ ඔහුගේ නිසා…. මේ සම්බන්ධතා දුරදිග ගිහින් “සූරිය අරණ” කරපු සෝමරත්න දිසානායක සිනමාවේදියා මීමුරේට එනවා… මඟ පෙන්වන්නේ නවරත්න අයියා…

“සූරිය අරණ” පෙන්නුවට පස්සේ එහි පසුබිම් දර්ශන හොයාගෙන මීමුරේට සෙනඟ එන්න පටන් ගන්නවා… මීමුරේ සංචාරක පාරාදීසයක් වෙන්නේ එතැනින් පස්සේ…

“ඉස්සෙල්ලම මේ ගමට එන්නේ හොඳ පරිසර ලෝලීන්. පොලිතින් කෑල්ලක්වත් බිම දාන්නේ නැති, ගස් ගල් දිගේ ඇවිදින්න පුළුවන්, ගල්තලාවක වුණත් රැයක් ගත කරන්න පුළුවන්, පරිසරයට ආදරේ කරන මිනිස්සු… පස්සෙ පස්සේ ටික ටික සැප පහසුකම් හොයන, ඉවක් බවක් නැතිව හැසිරෙන, කැලේ ඇවිදින්න අකමැති මිනිස්සු මීමුරේට පිරෙන්න ගත්තා… හවසට මස් ටිකක් පුච්චගෙන කාලා, අරක්කු ටිකක් බීලා, ගංජා උගුරක් ඇදල සතුටු වෙන මිනිස්සු තමයි දැන් මීමුරේට එන්නේ... ඒක තමයි මේ විනාශයට මුල.”

විනාශය ගැන දුක්වෙන අබේකෝන් අයියලට, ආපහු හරවන්න බැරි තරමට “මීමුරේ” රැල්ල ප්‍රබලයි… කාලෙකට කලින් මීවැල්ලාව, හඳපානාගල, හුම්මානේ, යාපනේ ගිය මිනිස්සු අද නෑ… ඒවගේම මීමුරේ රැල්ල ඉවර වෙලා මීමුරේ පාළුවට යන දවසක ආපහු පුරුදු සිරියාව මීමුරේ වෙළා ගනීවි…

උණු උණුවේ ලැබුණු නිව්ඩු හාලේ බතයි, පරිප්පුවයි, කොච්චි සම්බෝලෙයි, තෙල් දැමූ කරවලයි එක්ක දවල් කෑම කෑව අපි, මීමුරේ එන හැමෝම යන “තාලි කටට” යන්න පිටත් වුණා...

ලකේගල දකුණු මායිමෙනුත්, කළුපහන කන්දෙනුත් රූරා හැලෙන දිය සීරාවේ එකතුව දිමිගොල්ල ඔය විදියට පහළට ගලන්නේ මීමුරේ ගම කෙළවරින්. මෙන්න මේ ඔයේ තිබෙන සුවිශේෂී තැනක් තමයි, “තාලි කට” කියන්නේ. එක ළඟ දුරකින් කඩා හැලෙන දිය ඇලි තුනක් මෙතැන තියෙනවා… ඉන් විශාලම දිය ඇල්ල කඩා වැටෙන්නේ භාජනයක් ආකාරයට ගලින් නිර්මාණය වුණු තැනකට… ඒ නිසා තමයි මේකට තාලිකට කියල කියන්නේ…

අබේකෝන් අයියලාගේ ගෙදර ඉඳලා තාලිකටට හැතැප්ම භාගයක් ඇති…මීමුරේ ආව අපි , ඉස්සර පුරුද්දට තාලිකට ගාවට පයින් ගියාට, දැන් නම් සංචාරකයන් මේ දුර යන්නේ කැබ් රථවල. මීගහ යට ඉඳන් කැබ් එකකට එක්දහස් පන්සීයයි.

පහළ කුඹුරු යාය හානවා… තාම මීහරක්ගෙන් හාන ඒ දසුන අපූරුයි. හැබැයි වාහනවල යන කාටවත් ඒ දසුන් දකින්න අවස්ථාවක් නෑ… මොකද, කුඹුර තියෙන්නේ පාරේ මට්ටමින් පහළ නිසා…

“තාලිකට” මීමැසි පොදියක් වගේ කලබලයි. මීමුරේ ගමේ නවාතැන් ගත්තු කණ්ඩායම් වගේම මීමුරේ ගමට කලින් නවාතැන් ගත්තු කණ්ඩායම් පවා “තාලිකට” දකින්න ඇවිත් තිබුණා… සමහරු ගල්තලා දිගේ ලිස්සාගෙන ඇවිත් තටාකයකට වැටෙන තැන විනෝද වෙනවා… තවත් සමහරු අතරමැදි දියඇල්ලෙන් පහළ තටාකයට පනිනවා… ලොකුම දිය ඇල්ලෙන් පහළට පනින, ලිස්සලා යන අයත් හිටියා… “මේ දිය ඇලි ටික ලස්සනයි වගේම භයානකයි. ලිස්සගෙන එන තැන තටාකය නම් අඩි පහක් විතර ගැඹුරුයි. පොඩි ළමයෙක් ඇරෙන්න අනෙක් අයව එතැනදි ගිලෙන්න ඉඩක් නෑ… ඒත් වතුර වැඩි වෙලාවක, ඒ තටාකයෙන් නවතින්නේ නැතිව ඊළඟ දිය ඇල්ලෙන් පහළටම වැටෙන්න ඉඩ තියෙනවා… ඒ නිසා එතැන හරහට කඹයක් දාන්නම ඕන. දෙවැනි දිය ඇල්ලෙන් පහළ තටාකය අඩි 20ක් විතර ගැඹුරුයි… තැන් දෙකක වතුර මට්ටමට කිට්ටුවෙන් ගල් තලාව… ඒ හරියට පැන්නොත් අනතුරක් වෙන්න පුළුවන්..”

අබේකෝන් අයියා, දැනහුරුවෙන්, දැක හුරුවෙන් පැහැදිලි කරනවා… ඒත් එතැනට ආව ගොඩ දෙනෙක් අවදානම නොසලකා සැහැල්ලුවෙන් කටයුතු කරනවා.. විනෝද වෙනවා… සෙල්ෆි ගන්නවා… වැඩ කෝටියයි.

අපි පරෙස්සමට දොළ පාරෙන් එගොඩ වෙලා පහළම දිය ඇල්ල ගාවටත් ගියා… අබේකෝන් අයියා කියන විදියට එතැන අඩි විස්සකට වැඩි ගැඹුරු තටාකයක්… දිය ඇල්ලේ උස අඩි තිහක්. පළමුවෙනි තටාකයේ හැර අනෙක් තටාක දෙකේම ජල ක්‍රීඩා කරනවා නම් ජීවිතාරක්ෂක කබා පැලඳිය යුතු බව තමයි, අබේකෝන් අයියාගේ මතය. ඒත් දිය ඇල්ලෙන් පැනපු ගොඩක් දෙනෙක් ජීවිතාරක්ෂක කබා පැලඳ සිටියේ නැහැ.

“ඇයි එයාල කබා නැතිව එන්නේ…. එයාලට මඟපෙන්වන අය නැද්ද?”

“මේ ගමේ නවාතැන්වලදි එන අයට අනිවාර්යයෙන් ලයිෆ් ජැකට් දෙනවා… ඒත් සමහරු වියදමක් යන නිසා නවාතැන් නොගෙන, කෙලින්ම දොළ පාර ළඟට එනවා… මීමුරේට පිටින් නවාතැන් ගන්න අය එතැනින් ඉවත්වෙලා තමයි මෙහෙට එන්නේ… එතකොට ජැකට් දෙන වගකීමක් නවාතැන්වල අයට නෑ… ගමේ කොහේ නවාතැන් ගත්තු කෙනෙකුට වුණත් නවාතැනේ අයිතිකරු ජැකට් අනිවාර්යයෙන් දෙනවා… මඟපෙන්වන්නකුත් දෙනවා… ගමේ තැන් ගැන දන්නේ ගමේ මිනිස්සු තමයි… පිටින් එන අය සැහැල්ලුවට හිතනවා…. මේ අවුරුද්දට මෙතනදි තුන්දෙනෙක් දියේ ගිලිලා මැරුණා… ඒ හැමෝම ගමේ මඟපෙන්වන්නෙක් නැතිව ආව අය…”

සවස්වනතුරු ඒ විනෝදය දකිමින් විමසුමෙන් සිටි අප ගොම්මනේ යළි අබේකෝන් අයියාගේ නිවසට පැමිණියෙමු. කළුවර වනගොමුවේ සැඟවුණු බකුසු බකමූණන්ගේ හඬ වෙනුවට තැන තැන ගොනුවූ සංචාරකයන්ගෙන් ඇසෙන සින්දු සාජ්ජවල තාලයත්, මී මල් පුසුඹ වෙනුවට රහමෙර පානයන්ගේ සුවඳත්, මස් පුළුටු බැදෙන සුවඳත් විඳිමින් රෑ වේලට තැනුණු පොල්රොටී කිහිපයක රස බැලූ අපි නින්දට වැටුණේ පසුවදා උදයෙන්ම මීමුරෙන් පිටවෙන අටියෙනි.

(අප මීමුරෙන් පිටව ආදා දහවල් තවත් තරුණ ජීවිතයක් තාලිකටේදී අහිමිව ගොස් තිබුණා… ඔවුනුත් තාලිකටට ගොස් තිබුණේ ජීවිතාරක්ෂක කබා හෝ මඟපෙන්වන්නකු නැතිවයි. මීමුරේ යන ඔබ ඔබේ පහසුකම් සපයන්නාගෙන් විමසිය යුත්තේ නවාතැනේ ලැබෙන පහසුකම්වල උසස් බව ගැන නොවේ, ජීවිතාරක්ෂක කබා සහ මඟපෙන්වන්නකු ලබාදෙනවාද යන්න ගැනයි.)

ඔබටත් තනිව හෝ කණ්ඩායමක් සමග ලංකාවේ ඕනෑම අස්සක මුල්ලක වෙනස් ආරක සංචාරයක් සංවිධානය කරගන්නට අවශ්‍ය නම් Eternal Traveller අප අමතන්න… එසේම රැස පුවත්පත වෙනුවෙන් MegaaHike කණ්ඩායම සමග අපූරු සංචාර වල යෙදෙන්නට අවශ්‍ය නම් අපත් සමඟ එකතු වන්න… අපේ මීළඟ චාරිකාව අනුරාධපුරයට…. Eternal Traveller අපේ සංචාර ගැන ඔබේ අදහසත් අපිට වැදගත්.... කතා කරන්න අපිට...

ප්‍රදීප් - 076 66 42 607 / 077 90 16 752

දුලිප් - 0777 043 804 / 0759 043 804

 

සටහන - [ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ] [email protected]

ඡායාරූප - [Eternal Traveller වෙනුවෙන්

ශාලික මධුශංක]

 

මාතෘකා