හීන් ගඟෙන් එගොඩ වෙලා මීමුරේ මීගහ යටට…

 ඡායාරූපය:

හීන් ගඟෙන් එගොඩ වෙලා මීමුරේ මීගහ යටට…

සුද්දන්ට "කෝබර්ට්ස් ගැප්" වුණු අට්ටලමෙට්ටුවේ හුළං කපොල්ල

මෙම ලිපියේ පළමු කොටස පසුගිය සතියේ "රැස" පුවත්පතේ පළවිය. අද පළවන්නේ දෙවැනි කොටසයි.

නකල්ස් කැලේ මැද්දෙන් හුන්නස්ගිරියේ ඉඳලා මීමුරේට කිලෝමීටර් තිස්නවයක් තියෙනවා… මේකෙන් පළමු කිලොමීටර් දාහතරම යන්නේ රජයේ වතුයායවල් මැද්දෙන්… ඒ වතුවල තේ, පයිනස්, වන වගාවන් තියෙනවා… ඒ වතුයාය කෙළවරේදි තමයි ලූල්වත්ත හන්දිය හමුවෙන්නේ…. මේ දුර ලොකු නැග්මක් නෑ. පාරත් අවදානම් නෑ. ලංගම බස් එකක් පවා වැඩ කරනවා.

ලූල්වත්තේ තේ කඩේ, අවුරුදු විස්සක තිහක කාලෙක ඉඳන් නකල්ස්වලට එන හුදකලා සංචාරකයින් අතර ප්‍රසිද්ධ කඩයක්. දැන්නම් කඩේ කරන්නේ තුන්වැනි පරම්පරාව…. දෙවැනි පරම්පරාවේ රාජා අයියා "සුද්දො" එක්ක කැලේ යනවා…. කොළඹ ලොකු ලොකු ට්‍රැවල් කම්පැනි හරහා , වනගත පා ගමන් අරමුණු කරගෙන නකල්ස් එන විදේශීය සංචාරකයන්ව ගැරඬි ඇල්ලට, අලුගල්ලෙනට ගෙනියන්නේ "රාජා අයියා". ලූල්වත්තේ කඩේ ඊස්ට් රොටියයි, කොච්චි ලුණු මිරිසයි ලෝක ප්‍රසිද්ධයි… මොකද හායි හූයි කියමින් ඒ රොටී කාපු සුද්දෝ තමන්ගේ බ්ලොග්වල රොටී ගැන ලියපු නිසා…. අපේ නඩේ ලූල්වත්තේ කඩේ මඟහැරිය නිසා, අපිට ඒ රොටියේ රස පහස විඳින්න බැරිව ගියා…

"නුවර නැවතෙන සුද්දන්ව, කොම්පැනියේ වාහන වලින් රංගලට ගෙනත් දානවා… එතැන ඉඳන් සිතියම් බලාගෙන පයින් හරි බයිසිකල්වල හරි එන සුද්දෝ, දවල් වෙද්දි හරි හවස් වෙද්දි හරි මෙතැනට එනවා… සමහරු රෑ කූඩාරමක් ගහගෙන ඉන්නවා… ඊට පස්සේ ගැරඬි ඇල්ල හරි අලුගල්ලෙන හරි යනවා…. ඊට පස්සේ කොම්පැනියේ වාහනවලින් ඇවිත් ආපහු අරන් යනවා…." රාජා අයියා කලින් දවසක වනගත චාරිකාවලට එන සුද්දන්ගේ චාරිකා කාලසටහන අපිට කිව්වේ ඒ විදියට.

පාරේ අමාරුම හරිය පටන්ගන්නේ ලූල්වත්තෙන්. අංශක හැටක විතර කන්ද.. වාහන දෙකක් මාරු වෙන්න බැරි පටු පාර… වැලමිටි වංගු, එකක් පහුවෙනකොට තව එකක්. ගමන අමාරු වුණාට බලන්න ලස්සනයි. හාත්පස දර්ශනේ ෆොටෝවලට පංකාදු පහයි…

පාරට තාර දාන නිසා නැවතුණු වාහනයෙන් බැහැපු ශාලික, කැමරාව ඒ මේ අත හරවමින් ෆොටෝ ගත්තේ ඒ සොඳුරු දසුන් මඟහරින්න බැරි නිසා….

කඳු නැඟිල්ලේ උච්චතම තැන තමයි අට්ටලමෙට්ටුව. නකල්ස් කැලේට අසීමිතව ආදරය කරපු සුද්දා මෙතෙනට කියන්නේ "කෝබර්ට්ස් ගැප්" කියල. අට්ටලමෙට්ටුව කියන අපූරු නම පට බැඳෙන්න හේතු වුණේ මෙතැන සිද්ධ වෙන අපූරු ස්වභාවික සිද්ධියක් නිසා… ලංකාවට හුළං හමන ප්‍රධාන දිශාවන් දෙකක් තියෙනවා… එකක් තමයි ඊසාන දිග සුළං. අනෙක නිරිත දිග සුළං. මේ හුළං හමන කාලය අනුව රටේ කාලගුණය වෙනස් වෙනවා… සමබර වෙනවා… රටේ වියළි කලාපෙට වැඩි වැස්ස ලැබෙන්නේ ඊසාන දිග සුළඟින්. බෙංගාල බොක්ක දිශාවෙන් රටට ඇතුළුවන ඒ සුළඟ වියළි කලාපේ පහුකරගෙන, තෙත් කලාපෙට එන්නෙ මධ්‍ය කඳුකරයේ තියෙන හුළං කපොළු අතරින්. අරාබි මුහුද පැත්තෙන් එන නිරිත දිග සුළඟත් වියළි කලාපෙට යන්නේ ඒ විදියට තමයි. අට්ටලමෙට්ටුව කියන්නේ අන්න ඒ විදියේ හුළං කපොල්ලක්.

හුන්නස්ගිරියේ ඉඳන් මීමුරේට පාර කැපෙන්න කලින්, අඩිපාර දිගේ අට්ටලමෙට්ටුවට ආව මීමුරේ, කයිකාවල මිනිස්සු එතැනින් වැටුණු වනගත වතු පාරක් දිගේ රංගල හරහා තෙල්දෙණිය පැත්තට ගියා. අදටත් ඒ වතුපාරේ සළකුණු අට්ටලමෙට්ටුවේ දකින්න පුළුවන්.

අට්ටලමෙට්ටුව මේ වන විට විදෙස් සංචාරකයන් වෙනුවෙන් නවාතැන් දෙන සංචාරක හෝටලයක් සහිත ස්ථානයක්. දේශීය සංචාරකයන් වෙනුවෙන් අහාරපානත් එතැනින් ගන්න පුළුවන්. හැබැයි ටිකක් විතර ගණන්. නකල්ස් කැලේ රක්ෂිතයක් වෙන්නේ අවුරුදු විස්සකට විතර කලින්. වනවගාව සඳහා නැවත නිදහස ලැබෙන්නෙත් ඊට පස්සේ…. ඒත් රක්ෂිතයක් වෙන්න කලින් මුල් බැහැගත්තු වාණිජ දේපළ රක්ෂිතයෙන් නිදහස් කරලා තමයි මායිම් සලකුණු කරන්නේ.. ඒ නිසා දැනටත් කැලේ මැද අක්කර පනහක පමණ උපරිමයක් දක්වා පැතිරුණු පෞද්ගලික ඉඩම් හඳුනාගන්න පුළුවන්.

"ඉස්සර සිද්ධීක් මුදලාලි තමයි මේ පැත්තේ ලොකුම වෙළෙන්දා… එයාට අක්කර තුන්සීයකට වැඩිය ඉඩම් තිබ්බා… එනසාල් තමයි වගා කළේ… ලයින් කාමර ගහල දෙමළ මිනිස්සු නවත්තගෙන වතුවල වැඩ කෙරෙව්වා… දැනටත් මේ කඳු මුදුන්වල ලයින් කාමර තියෙනවා… එයාලට දැන් නම් අයිති අක්කර පනහක් විතර තමයි…" එහෙම කිව්වෙ අපේ වාහනයේ රියැදුරු සුදු මල්ලී.

සිද්ධීක් මුදලාලි ගැන කතන්දර ගොඩක් මීමුරේ පැත්තේ තියෙනවා… ඒ කාලේ මීමුරේ මිනිස්සුන්ගේ පෙට්ටගම් සල්ලි කොළවලින් ඉතිරුණේ සිද්ධීක් මුදලාලිගේ මැදිහත් වීම් නිසා… කළුපහන කන්දේ තැන් තැන්වලත්, තමන්ගේ ඉඩම්වලත් වවපු එනසාල් ටික ඇටයක් නෑර මිලදී ගත්ත නම් ඒ සිද්ධීක් මුදලාලි තමයි…

"ඉස්සර මීමුරේට පණිවිඩයක් යන්නේ සතියකින් හමාරකින්… යුද්ධේ වගේ දේවල් නැති නිසා, පණිවිඩ දැනගන්න හදිසියක් තිබුණෙත් නෑ… රටේ ලෝකේ වෙන දේවල්වල බලපෑමක් මීමුරේට නැති නිසා මිනිස්සුත් තමන්ගේ පාඩුවේ හුදකලාව ජීවත් වුණා.. එනසාල් නිසා පෙට්ටගම් පිරෙන්න සල්ලි තිබුණට කරන්න දෙයක් තිබුණේ නෑ.. හැත්තෑව දශකයේ දවසක හදිසි තීරණයක් විදියට රටේ මුදල් නෝට්ටු අවලංගු කිරීමක් සිද්ධ වුණා… මේ ගැන ආරංචිය මීමුරේට ආවෙ නෑ… ඒ වගේම ඒ සල්ලි නිසි විදියට හුවමාරු කරලා තමන්ගේ වත්කම් වැඩිකරගන්න දැනුමක් එයාලට තිබුණෙත් නෑ… අන්තිමේ පෙට්ටගම්වල තිබුණු සල්ලි කාලයත් එක්කම නිකම්ම නිකම් කඩදාසි ටිකක් වුණා…" ඔය අපූරු කතාව කාලෙකට කලින් මීමුරේදි අහපු එකක්… සිද්ධීක් මුදලාලි නිසා තමයි ඒ ගැන මතක් වුණේ.

අට්ටලමෙට්ටුවෙන් පස්සේ දිගටම බැස්ම. පාර හොඳටම හේදිලා ගිහින්. ගිය අවුරුද්දේ තාර දැම්මේ මේ පැත්තට… ඒත් අද වෙනකොට ඉතිරි වෙලා තියෙන්නේ ගල් කැබිලිතිත්, වැස්සට හෑරුණු අඩියක් විතර පළල, එතරම්ම ගැඹුරු ඈගිලිත් (වැසි ජලය ගලා ගිය කානූ විතරයි.

"මෙහෙට වහින වැස්සත් එක්ක පාරවල් වල තාර, ගල් ඉතිරි වෙන්නේ නෑ… කඳුවල තියෙන මහ ගල් පවා පහළට ගහගෙන යන තරම් හයියෙන් වහිනවා… පාරට වඩා හොඳට හදන්න ඕන දෙපැත්තේ කානු. දහඅට වංගුවේ හැදුව වගේ… ඊට පස්සේ තමයි පාර හදන්න ඕන."

අට්ටලමෙට්ටුවෙන් පස්සේ කයිකාවලට යනකම් බැස්ම. හැබැයි අසීරුම බැස්ම තියෙන්නේ කරඹකැටියට විතරයි. එතැනින් එහාට තියෙන්නේ සාමාන්‍ය බැස්ම. කරඹකැටියත් ප්‍රසිද්ධ එහි තියෙන එකම තේ කඩය නිසා… අලුගල්ලෙනට හැරෙන හන්දියේ තියෙන ඒ කඩේ දැක්කහම අතීතයත් වර්තමානයත් එකට කැටිවුණු අපූරු හැඟීමක් හිතට එනවා…

'ඇළි හත' තියෙන්නේ කරඹකැටියේ කඩේට පහළින්. ඒකත් මඟ නොහැරම බලන්න ඕන තැනක්. නකල්ස් කඳු පන්තියේ නැඟෙනහිර බෑවුමෙන් ගලන ප්‍රධානම ඇළක් වෙන, මහඔය සුලු දුරකදි පුංචි පුංචි ඇළි හතක් විදියට පහළට කඩා වැටෙන නිසා තමයි එතැනට ඇළි හත කියන්නේ… ලස්සන තැනක්. හැබැයි මාර්ගෝපදේශකයෙක්, ජීවිතාරක්ෂකයෙක් නැතිව පීනන්න විතරක් දැනගෙන එතැන සෙල්ලම් කරන එක නම් හොඳ දෙයක් නොවෙයි.

ගොඩක් දුර වාහනේ ආව නිසා, නඩේ කට්ටිය ඇළි හත ගාවදි බිමට බැස්සා…

ඇළි හතට පස්සේ හමුවෙන්නේ ගම්මාන. මුලින්ම පුස්සේ ඇළ. ඊට පස්සේ කයිකාවල. ගම්මාන පටන් ගන්නවත් එක්කම රැල්ලට එන සංචාරකයන් වෙනුවෙන් තැනුණු නවාතැනුත් පෝළිමට… හැබැයි නවාතැන්පොළවල් හැම එකකම ගහල තියෙන්නේ මීමුරේ කියලා… පුස්සේ ඇළ ඉඳන් මීමුරේට කිලෝමීටර් දහයකට වැඩියි. මේ හරියේ නවාතැනක නවතිනවා කියන්නේ කතරගම කියල හිතාගෙන ගිහින් තිස්සමහාරාමයේ නවතින අත්දැකීමක්. හැබැයි මේ හරියේ නැවතුණහම මීමුරේ නොගිහින් බලන්න යන්න පුළුවන් තැන් තියෙනවා… නාන්න විනෝද වෙන්න පුළුවන් තැනුත් තියෙනවා…

"මීමුරේ ගම පටන් ගන්නේ කිලෝමීටර් තිස්හතකින්. ගම මැද්දට කිලෝමීටර් තිස්නවයක් තියෙනවා… මේ හරියට තියෙන්නේ කිලෝමීටර් විසිහතක් විතර… ඒත් අමාරු පාරක අසීරුවෙන් වාහනය පැදගෙන එන රියදුරන්, මහන්සිය නිවාගන්නත් එක්ක මේ හරියේ නවතිනවා… හැබැයි ඉතින් ඇත්ත මීමුරේට තව ගොඩක් දුරයි… ඇත්ත මීමුරේ බලන්න නම් ඊළඟ දවසේ හරි ඉතිරි දුර ගෙවාගෙන මීමුරේට ගිහින්, හවස ආපහු සම්පූර්ණ දුර හුන්නස්ගිරියට යන්න වෙනවා…"

මඟ දෙපස ගස් ගල් තියෙන හුදකළා ගුප්ත පාරක එන ආගන්තුකයෙක් මේ කාරණා ගැන දැනුවත් නෑ… වාරයක් දෙවාරයක් ගිහින් තියෙන නිසා මට මේ මීමුරේ නෙවෙයි කියල පැහැදිලි කරගන්න පුළුවන් වුණත් අලුතෙන්ම මීමුරේ එන කෙනෙක් තමන් තවමත් මීමුරේට ළඟා නොවුණු බව දැනගන්නේ කොහොමද?

"මීමුරේ හඳුනගන්න තියෙන හොඳම සලකුණ තමයි, ලකේගල. අට්ටලමෙට්ටුව පැන්න තැන ඉඳන් ලකේගල පෙණුනත්, හැමෝටම මතක රූපයේ විදියට කොණ්ඩ කැවුමක් වගේ උස්ව ලකේගල පේන්නේ මීමුරේ ගමේදි විතරයි. ඒක තමයි නියම මීමුරේ හඳුනගන්න පුළුවන් විදිහ."

ටිකෙන් ටික මීමුරේට ළං වෙද්දි, මීහරක් බානක් බැඳගෙන වැඩ කරන ගොවීන්, කලින් කන්නේ අස්වැන්න උඩු හුළඟෙන් පාහින ගෙවිලියන් දැකගන්න ලැබෙනවා… ඈත කඳුවල දුම නොනඟින එනසාල් පෝරණු තාමත් එහෙමමයි. එනසාල් වගාව දැන් මේ ඉසව්වේ සිද්ධ වෙන්නේ නෑ… ඒ වෙනුවට ප්‍රධාන වගාව වී සහ ගම්මිරිස්.

ගල්ගෙඩි එක උඩ එක ගොඩ ගහල වැටියක් හදල තමන්ගේ ඉඩමේ සීමා හදන අපූරු තාක්ෂණයක් අතීත මීමුරේ තිබිලා තියෙනවා… මේ ගල් වැටි තනපු වතු පිටි පහු කරගෙන අපි මීමුරේට ළඟාවෙන බව තමයි සුදු මල්ලිගෙන් කියවුණේ..

කයිකාවලදි, මහවැලි ගඟේ ප්‍රධාන අතුගංගාවක් වෙන හීන් ගඟ පහුවෙනවා… කාලයකට කලින් අත්වැටක් නොතිබුණු හීන්ගඟේ පාලමට දැන් අත්වැටක් තියෙනවා… මේ අවුරුදු දෙක තුනේදි මීමුරේ පාරේ පාලම් දෙක තුනක් හැදුණු බවත්, විදුලිබලය ලැබුණු බවත් එයින් ගමේ මිනිස්සුන්ගේ අපහසුතා මඟහැරුණු බවත් අපිට කිව්වේ සුදු මල්ලි…

"ඉතින් අපි කළින් එද්දි කරන්ට් එක තිබුණනේ…"

"ඔව් ඒ කාලේ ගමේ තිබුණු කුඩා විදුලි බලාගාරෙකින් රාත්‍රියට විතරක් විදුලිය දුන්නා...දැන් හැම වෙලේම කරන්ට් එන තියෙනවා…"

කළුපහන කන්ද පැනල පල්ලම් බහින අපිට දැන් පුරුදු හැඩේට ලකේගල පේනවා… ඒ කියන්නේ අපි ඉන්නේ මීමුරේ. වෙලාව හවස දෙකට කිට්ටුයි… අතරමඟ ප්‍රමාදවීම් හැරුණහම පැය දෙකහමාරක-තුනක වාහන ගමනක්…

"මෙතන තමයි මිගහ යට… මීමුරේ හන්දිය…. මෙතැනින් එහාට ගමන පයින් තමයි…." වාහනේ එන්ජිම නිවා දාපු සුදු මල්ලි වාහනෙන් බැස්සා…

අපි දැන් ඉන්නේ මීමුරේ…..

ඔබටත් තනිව හෝ කණ්ඩායමක් සමග ලංකාවේ ඕනෑම අස්සක මුල්ලක වෙනස් ආරක සංචාරයක් සංවිධානය කරගන්නට අවශ්‍ය නම් Eternal Traveller අප අමතන්න… එසේම රැස පුවත්පත වෙනුවෙන් MegaaHike කණ්ඩායම සමග අපූරු සංචාර වල යෙදෙන්නට අවශ්‍ය නම් අපත් සමඟ එකතු වන්න… අපේ මීළඟ චාරිකාව අනුරාධපුරයට…. Eternal Traveller අපේ සංචාර ගැන ඔබේ අදහසත් අපිට වැදගත්.... කතා කරන්න අපිට...

ප්‍රදීප් 076 66 42 607 / 077 90 16 752

දුලිප් 0777 043 804 / 0759 043 804

 

සටහන - [ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ]

[email protected]

ඡායාරූප -Eternal Traveller වෙනුවෙන්

[ශාලික මධුශංක]

මාතෘකා