සිංහල ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ වත්මන් ස්වභාවය

 ඡායාරූපය:

සිංහල ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ වත්මන් ස්වභාවය

උදාහරණ ලෙස ප්‍රදීප් ධර්මදාස විසින් අධ්‍යක්ෂණය කරන "දෙයියන්ගේ රටේ" ටෙලිනාට්‍ය ගතහොත් ඒ තුළින් ගම්‍ය වනුයේ සාස්තර, දේවාල මඟින් මිනිසුන් මුලාකර මුදල් කොල්ලකෑම පිළිබඳවත් පුහු මාන්නය, අහංකාරකමට වඩා මිනිසුන් බබළවන්නේ අව්‍යාජකමින් බවත්ය. සැබැවින්ම මෙම කරැණු කලා නිර්මාණයක් තුළින් මතු කළ යුතු ඒවා වෙයි. ප්‍රේක්ෂකයන්ද මෙම නිර්මාණය මුලදී ඉතා හොඳ නිර්මාණයක් වශයෙන් අගය කළත් ඉදිරියට කොටස් ගලාගෙන යාමේදී පටන්ගැන්මේදී තිබූ රසවත්කම, හරවත් බව හා සජීවී බව අඩු වී ගොස් කතාවට සම්බන්ධ නැති අවශේෂ සිදුවීම්ද සමඟින් ⁣එකතැන දුවන ටෙලිනාට්‍යක් බවට පත්විය.

සාරංග මෙන්ඩිස් අධ්‍යක්ෂණය කරන "දෙවෙනි ඉනිමද" දැනට වඩා ගුණාත්මක බවින් යුතුව මුල්කාලයේදී නිර්මාණය කළහ. විශේෂයෙන් තම ලෙයින් ජාතක කළ දරුවා පාරට ඇද දමා ඔහුව වෛරක්කාරයෙකු ලෙස සලකා තම අනෙක් දරුවාට හොඳින් සැලකීම නාට්‍යයේ මුල් කොටස්වලින් ප්‍රේක්ෂකයාට තීව්‍රර ලෙස දැනෙන පරිදි ඉදිරිපත්කර තිබින. නමුත් එම සංකල්පය පසෙකලා කතාවේ සිදුවීම් එකතැන ඇදෙන ගතිය වැඩිවීම හා බොලඳ ගතිය දැඩි ලෙස නිරූපණය වීම නිසා මුලදී තිබූ ගුණාත්මකබාවය පිරිහුණි. මෙවැනි ආකාරයේ හේතූන් මත පසුගිය දවස්වල "දෙවෙනි ඉනිමෙන්" බිමල් ජයකොඩි හා ශනුද්‍රි ප්‍රියසාද් ඉවත් විය. රංගන ශිල්පීන් වශයෙන් ඔවුන් ගත් තීරණය සැබැවින්ම අගය කළ යුතුය. මන්ද නිර්මාණයක් අයාලේ යනවා නම් එය නිවැරැදි මාවතට යොමු කිරීමට උත්සාහ කිරීම හෝ මුදල්, ප්‍රසිද්ධිය නොතකා එයට දායක නොවීමට තීරණය කිරීම නිර්මාණයටත් ක්ෂේත්‍රයටත් ඔවුන් කරන සාධාරණයකි.

ලිලන්ත කුමාරසිරි අධ්‍යක්ෂණය කළ "කණාමැදිරියෝ" ටෙලිනාට්‍ය තුළින්ද ගම්‍ය කරනු ලැබුවේ සමාජය තුළින් මිත්‍යාව බැහැර කිරීම හා අප ජීවත් වන පරිසරය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දිවයන කතා සංකල්පයකි. මෙම නිර්මාණය ඉතාමත් හරවත් බවින්, කුතුහලයෙන් හා රසාස්වාදයෙන් යුතුව ඉදිරියට ගිය නමුත් කතාව මදක් ගලාගෙන යනවිට ගුණාත්මක බව හීන වී අවසානයේ ටෙලිනාට්‍ය නිමවූයේ කිසිදු හරාත්මක බවක් හා රසවින්ඳනාත්මක බවක් නොමැතිවය. මේ සඳහන් කර ඇත්තේ උදාහරණ කිහිපයක් පමණි. මෑතකාලයේ බොහෝ ටෙලි නිර්මාණ ගුණාත්මකව පටන්ගෙන කතාව මදක් ගලාගෙන යන විටදී ඉතාමත් දුර්වලව ඔහේ ගලාගෙන ගොස් හරයක්, රසාස්වාදයක් හා නිර්මාණශීලිත්වයක් නොමැතිව අවසන් වන ආකාරයේ නිර්මාණ බවට පත්ව ඇත.

එසේම මෑත කාලයේ නිර්මාණකරුවන් කරන ප්‍රධාන වැරැද්දක් වනුයේ තමාගේ හීනමානයෙන් නිර්මාණ කිරීමයි. එනම් නිර්මාණකරුවා ප්‍රිය කරන ඔහු හොඳ යැයි කියා සලකන කතා සංකල්පයක් නිර්මාණය කිරීමයි. නිර්මාණයක් ඉදිරිපත් කරනුයේ ප්‍රේක්ෂකයන් වෙතය. එබැවින් ප්‍රේක්ෂක රසාඥතාවය හඳුනාගෙන ඔවුන් ප්‍රිය කරන නාට්‍යයක් නිර්මාණය කිරීමයි අධ්‍යක්ෂකවරුන් සිදුකළ යුත්තේ. මේ වනවිට බොහෝ ප්‍රේක්ෂකයන්ට අවශ්‍ය පිරිමින් විසින් ගැහැණුන්ද, ගැහැණුන් විසින් පිරිමින්ද අයිති කරගැනීමට වෙරදරන පෙම් අරගලයකට පමණක් කොටුවූ නිර්මාණවලට වඩා සැබෑ සමාජය හා ගැටෙන මහපොළවේ ජීවත් වන චරිතයන් ගැන කියවෙන නිර්මාණයන්ය. නමුත් එවැනි සංකල්පයන් ගොඩැනැඟුවද මුල මැද අග නිසි ලෙස ගලපා ගනිමින් ගුණාත්මක බව රැකගනිමින් නිර්මාණ කිරීමට පිටපත් රචකයන්, අධ්‍යක්ෂකවරුන් හා රංගන ශිල්පීන් අසමත් වී ඇති බව මෑත කාලයේ ඇතැම් නිර්මාණ දෙස බැලූවිට පෙනේ.

ටෙලිනාට්‍ය නිර්මාණය කිරීම සදහා මුදල් යොදවන ඇතම් නිෂ්පාදකවරුගෙන් මේ පිළිබඳව විමසා සිටි විට ඔවුන්ද පවසන්නේ වර්තමානයේ ටෙලිනාට්‍යවලින් ලාභ ලැබීමට නොහැකි බවත් හරිආකාරයෙන් නිර්මාණකරණයේ යෙදෙන පිටපත් රචකයන්, අධ්‍යක්ෂකවරැන් සහ රංගන ශිල්පීන් සිටින්නේ ඉතාමත් අල්ප වශයෙන් බවත්ය.

එසේම නිර්මාණවලට දායක වන වත්මන් පරපුරේ රංගන ශිල්පීන් ගැන සඳහන් කළහොත් සෑම ආකාරයේ චරිතයක්ම දක්ෂ ලෙස නිරූපණය කළ හැකි චරිතාංග නළු නිළියන් සිටින්නේ ඉතාමත් අල්ප වශයෙනි. සමහරක් එකම ආකාරයේ චරිතවලටම කොටුවී සිටියි. තවත් සමහරෙක් රඟපානු ලබන්නේ චරිතයට අනුරූප නොවී කිසිදු භාවාත්මක හැඟීමක් හෝ සජීවී බවක් නොමැතිවය. මේ ආකාරයේ දුර්වලතා හේතුවෙන් පිටපත් රචකයන්, අධ්‍යක්ෂකවරුන් හා රංගන ශිල්පීන් හානි පමුණවන්නේ තමන් නිර්මාණය කරන හා රංගනයෙන් දායකවන නිර්මාණය⁣ට පමණක් නොව මුළු මහත් කලා ක්⁣ෂේත්‍රයටමය. ක්ෂේත්‍ර පිළිබඳ පිටතට පෙනෙනෙ ප්‍රතිරූපය, ප්‍රේක්ෂකයන්ට, නිෂ්පාදකවරුන්ට සහ කලා නිර්මාණවලට සහාය වන අනෙකුත් පුද්ගලයන්ට දැනෙන්නෙ ඉතාමත් දුර්වල ලෙස අජීවී ආකාරයෙන් එක තැන දුවන එකක් ලෙසය. මේ හේතුවෙන් ප්‍රේක්ෂකයන්ද, නිර්මාණ සඳහා මුදල් යොදවන නිෂ්පාදකවරුද විශාල වශයෙන් ක්ෂේත්‍රයෙන් ඈත්වීමක්ද දක්නට ලැබේ.

ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ට රසාස්වාදයක් හරයක් ගෙන දෙන්නක් මෙන්ම අධ්‍යක්ෂවරයා ප්‍රමුඛ නිර්මාණ කණ්ඩායමට හා රංගන ශිල්පීන්ට එය විශිෂ්ට කර්මාන්තයකි. සරලව කිවහොත් ලංකාවේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය විශාල මිනිසෙකු බඳුය. මේ වනවිට එම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය නම් වූ මිනිසාගේ ක⁣ශේරුකාව ඇදවී පළුදු වී කඩා වැටී ති⁣බේ. එම කශේරුකාව නැවත ගොඩනැංවීමට හැකියාව තිබුණද එසේ නොකිරීම කනගාටුවට මෙන්ම ගැටළුවටද කාරණයක් වශයෙන් මෙම ලිපිය මගින් හුවා දැක්වමි.

මාතෘකා