මාරම්බරී වේදිකාවට ආවේ වසර තිස්පහකට පසුව

 ඡායාරූපය:

මාරම්බරී වේදිකාවට ආවේ වසර තිස්පහකට පසුව

විශාරද එඩ්වඩ් ජයකොඩි

ලාංකේය ගායන ක්ෂේත්‍රය තුළ එක්තරා යුගයක් බිහි කළ ගායන ශිල්පියෙක්, සංගීතඥයෙක් ලෙස එඩ්වඩ් ජයකොඩි හැඳින්විය හැකිය. සුභාවිත ගීතයට නවමු හැඩයක් එක් කරමින් ගැයූ ප්‍රේමාන්විත ගීත, ළමා ගීත, ඈ නොයෙක් විඳ ගීත රැසක උරුමකරුවෙකි ඔහු. එඩ්වඩ් ජයකොඩිගේ ඒකපුද්ගල ප්‍රසංගය වන "මාරම්බරී" එළඹෙන 16 වැනිදා මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. ඒ පිළිබඳව විමසීමට අප මෙවර ගායනවේදී විශාරද එඩ්වඩ් ජයකොඩි හට ආරාධනා කළෙමු.

මාරම්බරී ප්‍රසංගයත් සමඟ ඔබ බලාපොරොත්තු වුණේ අලුත් ප්‍රවේශයක් ද?

සාමාන්‍යයෙන් කලාකරුවෙකුට, සංගීතඥයෙකුට හෝ ගායකයෙකුට තියෙන ලොකුම කඩයිමක්, කූඨප්‍රාප්තියක් තමයි ඒකපුද්ගල ප්‍රසංගයක් පැවැත්වීම. අපි පසල් යන කාලේ ඒකපුද්ගල ප්‍රසංග නරඹලා තියෙනවා. සනත් සර්ගේ, අමරදේව සර්ගේ, වික්ටර් රත්නායක මහත්මයාගේ, නන්දා මාලනී මහත්මියගේ ඒකපුද්ගල ප්‍රසංග වගේම අමරා - දයාරත්න යුවලගේ ද්විපුද්ගල ප්‍රසංග අපි පාසල් යන කාලේ නරඹලා තියෙනවා. අපිට ඒ කාලේ ඒවා විශ්වකර්ම වැඩ වගෙයි පෙනුණේ. ඒ කාලේ අනාගතේ ගැන අපි සිහින මවනවා. ගුවන්විදුලියේ ගීතයක් ගයන්න, ඒකපුද්ගල ප්‍රසංගයක් කරන්න පාසල් යන කාලේ සංගීත විෂයක් හැටියට හදාරපු අපි හීන දැක්කා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේදී ප්‍රවීණ ගායකයන්ගේ ප්‍රසංගවලට අත්වැල් ගායනය සඳහා සහභාගි වුණා. එවිට අපේ සිහිනය ටිකෙන් ටික හැබෑ වෙන්න පටන්ගත්තා. ඒ ප්‍රසංග එක්ක අපි රට වටේම ගියා. මම ක්ෂේත්‍රයට ඇවිත් වසර 35කට පසුව "මාරම්බරී" ප්‍රසංගය ආරම්භ කළා.

අපි දැකලා තියෙනවා ගීතයක් දෙකක් ගායනා කරපු අය ඒකපුද්ගල ප්‍රසංග පවත්වනවා. ඒ අභියෝගය භාරගන්න එක හොඳයි. නමුත් එය දිගටම පවත්වාගෙන යෑම කෙනෙකුට අපහසුයි. පැය දෙක හමාරක කාලයක් ගීත ගයමින් ප්‍රේක්ෂකයාව තමා වෙත නතු කරගන්න මම වසර 35ක් විවිධ දේවල් එකතු කරගත්තා. සරල ගීත, රාගධාරී සංගීතය ආශ්‍රයෙන් කළ ගීත, බටහිර සංගීතය ආශ්‍රයෙන් කළ ගීත, ජන සංගීතය ඇසුරෙන් කළ ගීත, චිත්‍රපට ගීත, ටෙලිනාට්‍ය ගීත වේදිකා නාට්‍ය ගීත මේ සියල්ලම එක් රැස් කළා. මේ ගීත අතර ආදර ගීත, දේශාභිමානි ගීත, ළමා ගීත, ආගමික සංකල්පිත ගීත, සොබාදහම හා බැඳුණු ගීත, යුග ගීත ආදිය. වසර 35ක් ගෙවී යන විට මගේ මල්ල මේ සියල්ලෙන්ම පිරී තිබුණා. මේ විවිධ ආරේ ගීත අන්තර්ගත අත්දැකීමක් තමයි මම අවසාන වශයෙන් ප්‍රේක්ෂකයන්ට තිළිණ කරන්නේ. අවසාන වශයෙන් මම අවදානමක් අරගෙන 2010 වර්ෂයේදී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි "මාරම්බරී" ප්‍රසංගය පටන්ගත්තා.

සාම්ප්‍රදායික ප්‍රසංග කලාවෙන් "මාරම්බරී" ප්‍රසංගය වෙන් වෙන්නේ කොහොමද?

අපි දැකපු ඒකපුද්ගල ප්‍රසංග කලාව සාම්ප්‍රදායිකයි. මේ ප්‍රසංගයත් සාම්ප්‍රදායිකයි. නමුත් එය මට අවශ්‍ය ආකාරයට පියවර කිහිපයක් සකස් කරගත්තා. ශිල්පියා කිසිවක් කතා නොකරන නිවේදකයා පමණක් කතා කරන ප්‍රසංග තමයි අපි මුල් කාලයේදී දැක්කේ. පසුව ඒක වෙනස් වුණා. ගීතයට පාදක වුණු අත්දැකීම්, ගීතය රචනා වුණු හැටි, තනුව හැදුණු හැටි වගේ දේවල් දැනගන්න ප්‍රේක්ෂකයෝ කැමතියි. මගේ ප්‍රසංගයටත් මම ඒ වගේ අදහස් බෙදා ගැනීමක් අන්තර්ගත කළා. ඒක අහන්න ප්‍රේක්ෂකයෝ කැමතියි. එවිට ගීතයෙන් ලැබුණු රසවින්දනය වැඩියි. මේ කතා තිබුණාට ඒවා ඉදිරිපත් කරන්න ශෛලියක් තියෙන්න ඕනේ. ඒ නිසා උචිත ශෛලියක් අනුව තෝරාගත්ත ගීත කීපයක ප්‍රස්තුතය, නිර්මාණය වුණු හැටි ආදී අදහස් දැක්වීමක් තියෙනවා. ඒ වගේම මමත් චරිතාත් ළමයින් එක්ක ගොඩක් වැඩ කරලා තියෙනවා. අපි ගායනා කළ ළමා ගීත රාශියක් තියෙනවා. වැඩිහිටියන්ට පමණක් ගීත ගායනා කරලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. වර්තමානයේ ඉන්න දරුවන් මේ සුභාවිත ගීත අසන්නට නැඹුරු කරන්න ඕනේ. ඒ නිසා මාරම්බරී ප්‍රසංගයේදී දරුවන් එක්කම මම ළමා ගීත ගායනා කරනවා. කිසිම ඒකපුද්ගල ප්‍රසංගයක දරුවන් වේදිකාවට එකතු කරගන්නේ නැහැ. ළමයින් එක්ක මෙච්චර වැඩ කරපු අපි ඒකපුද්ගල ප්‍රසංගයකදී විතරක් ළමයින් අත්හරින්න හොඳ නැහැ කියලා හිතුවා.

මෙවර "මාරම්බරී" ප්‍රසංගයේ සුවිශේෂතා මොනවාද?

මෙවර ප්‍රසංගය නුගේගොඩ අනුලා විද්‍යාලයෙන් කරන නිසා අනුලා විද්‍යාලයේ සමස්ත ලංකා සංගීත තරගවලින් ස්ථාන දිනාගත් දුවක් ඉන්නවා නම් මා සමඟ ගීතයක් ගායනා කරන්න පාසලෙන් අවසර ලැබිලා තියෙනවා. ඒ වගේම මගේ ළමා ගීතවලට පාසලේ සෞන්දර්ය අංශයේ ගුරුවරුන් සියල්ලම එකතුවෙලා දායකත්වය ලබාදෙනවා. ඒ සඳහා වේදිකා නිර්මාණය, රංග වින්‍යාස, ගායනය මේ සියල්ල ඔවුන්ගේ අධීක්ෂණය යටතේ සිදු වෙන්නේ.

මාරම්බරී ප්‍රසංගයට දායක වෙන කණ්ඩායම ගැනත් සිහිපත් කරමු?

මාත් සමඟ යුග ගායනයට එකතු වෙනවා බිරිඳ චරිතා ප්‍රියදර්ශනි, ශාරන්‍යා ජයකොඩි, චන්දීප ජයකොඩි, කථනය ප්‍රවීණ මාධ්‍යවේදී වසන්ත රෝහණගෙන්. සංගීත අධ්‍යක්ෂණය සංගීතවේදී සුසිල් අමරසිංහගෙන්. මම ගීත ගායනා කළාට මේ පසුපස විශාල පිරිසක් ඉන්නවා. අනුලා විද්‍යලයෙන් කරන මාරම්බරී ප්‍රසංගය මට විශේෂයි. අනුලා විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු ආදි ශිෂ්‍ය සංගමයට මම ස්තූතිවන්ත වෙනවා.

ඔබේ නව නිර්මාණයක් කරන්න කාලේ හරි කියලා හිතෙන්නේ නැද්ද?

මාරම්බරී 100 වැනි ප්‍රසංගය පසුගියදා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණා. එදා චරිතාගේත් මගේත් ගීත ඇතුළත් සංයුක්ත තැටි හතක් නිකුත් කළා. එහි මගේ සහ චරිතාගේ නවතම ගීත අන්තර්ගත වෙනවා. ඊට අමතරව චිත්‍රපට කීපයක අලුත් ගීත ගායනා කළා. ඒ වගේම නවක රචකයන්ගේ ගීත රාශියක් ගායනා කළා. ඉදිරියේදීත් පටිගත කිරීම් කිහිපයක් කරන්න නියමිතයි.

නව පරපුරේ ගීත රචනා ගැන ඔබේ අදහස මොකක්ද?

මහගම සේකර, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මඩවල එස්. රත්නායක වගේ විශිෂ්ට මට්ටමේ ගීත රචකයන් තමයි පාසල් යන කාලේ අපිට මතක. ප්‍රශස්ත සාහිත්‍ය භාවිතාවක් ඇසුරෙන් තමයි ඔවුන් ගීත රචනා කළේ. වර්තමානයේ නව පරපුෙර් ගිත රචනා ගණනාවක් තියෙනවා. ඒත් ශාස්ත්‍රීය ඇසුරෙන් සාහිත්‍ය පදනම මත ගීත නිර්මාණය කරන රචකයෝ ඉන්නේ ඉතා අඩු ප්‍රතිශතයක්. ඉක්මණින් ජනප්‍රිය වෙන්න කුමක් හෝ ලියලා කුමන හෝ නාද මාලාවක් දාලා ගායනා කරනවා. නමුත් සාහිත්‍ය ඇසුරෙන් ගීත රචනා කරන ගීත රචකයොත් මේ අතරේ ඉන්නවා.

නව පරපුරේ ගායකයන් ගැන ඔබට මොකද හිතෙන්නේ?

නව පරපුරේ දක්ෂ ගායකයන් සංගීතඥයන් ඉන්නවා. අපිත් කාලයක් නව පරපුරේ හිටියා. එතකොට අපි අනුගමනය කළේ අපේ ජ්‍යේෂ්ඨ ගායකයන්. අපිට වරමක් තිබුණා ගුවන්විදුලියේ. එහිදී අපිට ඕනේ ඕනේ දේ ගායනා කරන්න ලැබුණේ නැහැ. සමීක්ෂණ මණ්ඩල රාශියකට අපේ ගායනා ඉදිරිපත් කරලා තමයි ප්‍රචාරයට සුදුසුකම ලබන්නේ. ඒ නිසා අපි උත්සාහ කළා හොඳම දේ ඉදිරිපත් කරන්න. ඒත් දැන් ඕනෙම දෙයක් ප්‍රචාරය කරන්න ඕනේ තරම් නාළිකා තියෙනවා. හොඳ ස්වර පරාසයක් තියෙන, නිවැරදි ස්‍රැතියට ගයන ගායකයෝ ඉන්නවා. සමහර අය හොඳ නිර්මාණ ඉදිරිපත් කරනවා. සමහරු හොඳ නිර්මාණ ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙද්දි අවර ගණයේ ගීත ඉදිරිපත් කරනවා. නිසි මඟ පෙන්වීමක් ඔවුන්ට ලැනෙන්නේ නැහැ. එය කණගාටුවට කරුණක්.

එයට ජ්‍යේෂ්ඨ කලාකරුවෙක් ලෙස ඔබත් වගකිවයුතුයි නේද?

මගේ මාරම්බරී ප්‍රසංගයේ අත්වැල් ගායනා කණ්ඩායමක් ඉන්නවා. තරුණ වාදක මණ්ඩලයක් ඉන්නවා. නිතරම දරුවන් එක්ක වැඩ කරන අතරම දරුවන්ට රසවින්දනය උගන්වනවා. මම මට පුළුවන් විදියට මගෙන් විය යුතු සේවය කරනවා. මම ප්‍රායෝගිකව නව පරපුර එක්ක වැඩ කටයුතු කරන කෙනෙක්. අප්‍රේල් මාසයේ නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වීමට නියමිත මාරම්බරී 125 ප්‍රසංගයටත් නව පරපුරේ කීප දෙනෙකු එක් කරගන්න සැලසුම් කරලා තියෙනවා.

අවසාන වශයෙන් ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

16 වෙනිදා මාරම්බරී ප්‍රසංගය සඳහා මේ වනවිට සූදානම් වෙනවා. මාරම්බරී ප්‍රසංග කීපයක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි. ඒ වගේම නුගේගොඩ ව්‍යාපාරික හා වෘත්තිකයන්ගේ එකමුතුවෙන් නැවත වරක් "නෙතු දැහැන්" ප්‍රසංගය පැවැත්වීමට නියමිතයි. ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කළ එන්. උදර කුමාර නිෂ්පාදනය කළ "අතුරු මිතුරු හරි අපූරු" චිත්‍රපටයේ ගීත ගායනා කළා. එය මේ වන විට තිරගත වෙනවා. ඊට අමතරව මම සංගීතය පිළිබඳ ඉගෙන ගත් දේවල් දරුවන්ට උගන්වනවා.

[නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා