ඇති වෙන නැති වෙන බලයත් එක්ක සෙල්ලං දාන The Equalizer

 ඡායාරූපය:

ඇති වෙන නැති වෙන බලයත් එක්ක සෙල්ලං දාන The Equalizer

මේ එළඹිලා තියෙන්නේ රටේ සංක්‍රාන්තික කාලයක්. රටක් සහ රටක ජනතාව නොසිතපු මොහොතක රටේ එකවර දේශපාලන පරිවර්තන කිහිපයක්ම සිදුවන සහ සිදුවෙමින් පවතින කාලයක්. කැමරාවකට හසුකර සංස්කරණය කරගත හැකි නම් එක්තරා විදිහකට සිනමා කෘතියක්. සිනමා කෘතියක් කියන්නේ සම්පුර්ණ සත්‍ය සිදුවීම් කිහිපයක එකතුවක් නොව, එය සත්‍ය සිදුවීම් හෝ ප්‍රබන්ධ නිර්මාණයක් බවට අවසානයේ පත්වීමයි. රටේ මේ මොහොතත් සත්‍යක්ද ප්‍රබන්ධයක්දැයි සිතාගත නොහැකි සිනමා කෘතියක් වැනිය.

මේ රටේ ඇති වන කතා මැද්දේ සිනමාව ගැන පරණ රස ආරංචියක දෙවන දිග හැරුමක් ගැන ලැබුණු ආරංචිය නම් සත්‍යයක්. Action Film බලන ඕනේ කෙනෙක් මං හිතන්නේ The Equalizer film එක නම් මඟහරින්නේ නැතුව ඇති. කොහොමත් ඩෙන්සිල් වොෂින්ටන් ඉන්න ෆිල්ම් එකක් කියන්නේ මඟහැරලා ඉන්න පොඩ්ඩක් අමාරුයි.

The Equalizer පළවෙනි කතාවේ ගොඩනැඟෙන්නෙත් හරි අපුරු විදිහක ක්‍රියාදාම ෆිල්ම් එකක් වුණත් හරිම සංවේදී හැඟීම්බර කතාවක් තමයි පළමු කොටසේ ගොඩනැඟෙන්නේ. ජීවිතය ගැට ගහගන්න තමන්ගේ ශරීරය විකුනලා ඉන් ඉතා පිඩා විඳින තරුණියක් ඉන් මුදවා ගන්නට ඇය හා මිතුරු වන ඩෙන්සිල් ඇය නගර සොබනියක් බව දැන දැනත් ඇයට බොහෝ ගෞවරවනීය ලෙස කතා කරනවා. එය අපේ වැනි සමාජයක ලෙහෙසියෙන් සිදු නොවන සිදුවීමක්. එතැන් සිට ප්‍රධාන චරිතය හොබවන ඩෙන්සිල් සටන් කරන්නේ සමාජ අසාධාරණයන් වෙනුවෙන් මිස තමන් වෙනුවෙන් නොවේ. The Equalizer දෙවන දිගහැරුමට පැමිනේද්දීත් පළමු වන කොටසට හානි නොවන සහ පළමු කොටසේ අප තුළ ඇති කළ ආශාක්ත භාවයද එලෙසම රඳවා ගන්න අධ්‍යක්ෂවරයා ඉතාමත් දක්ෂ වෙනවා.

අපිත් අපේ ජීවිත ඇතුළේ, අපේ රට ඇතුළේ වීරයන් හොයමින් ඉන්න කාලයක් මේ. ඉතින් අපිට යුරෝපයේ සිනමාව ඇතුළේ හරි මිනිස් ජීවිත වෙනුවෙන් මැදිහත්වීම් කරන මිනිස්සු දැක්කම ඇහැට සහ හිතට අමුතු සනීපයක් දැනෙනවා. The Equalizer චිත්‍රපටයේ තිබෙන සුවිශේෂත්වය තමයි ක්‍රියාදාම චිත්‍රපටයක් වුවත් ඒ තුළ දිග හැරෙන බොහෝ දෙබස් ඉතාම තර්කානුකුල සහ වටිනා අදහස් ඒ තුළ ගැබ් වීමයි. ඩෙන්සිල්... පළමු චිත්‍රපටයේ වගේම දෙවන චිත්‍රපටයෙත් ඔහුට ඔහු තුළ ඇති වන ප්‍රතිපත්තිගරුක බව අවංකකම ඇති කිරීමට ඔහුගේ පොත් කියවීම ඉවහල් වන බවක් අපට චිත්‍රපටයේ දිහා බලන් ඉඳීමේදී දැනෙනවා. මෙම චිත්‍රපටය කොටස් වශයෙන් බෙදාගතහොත් නිර්භීතකම, අවංකකම, කල්‍යාණ මිත්‍රත්වය, ඉවසීම, සරලව ජීවත්වීම, සෑම මොහොතකම බලය නැති තැනට තමාගේ බලය ශක්තියක් ලෙස පෙනී සිටීමට කරන මැදිහත්වීම ක්‍රියාදාම චිත්‍රපටයකින් එහා ගිය බොහෝ දේවල් ජීවිතයට එකතු කරන විදිහේ අමුතුම චිත්‍රපටයක් ලෙස මට මේ චිත්‍රපටය හැඟෙනවා.

එක අවස්ථාවක ඉතා ප්‍රචණ්ඩ කළු ජාතික තරුණයෙක් තමා තුළ තිබෙන හැකියාව යටපත් කරන පාතාලය දෙසට නැඹුරු වීමට යාමේදී බොහොම ඉවසීමෙන් එය දකින සහ තේරුම් ගත්ත ඩෙන්සිල් ඉතා සුක්ෂම ලෙස ඔහුව ඉන් මුදා ගන්නට කටයුතු කරනවා. සමහර අවස්ථාවලදි එම තරුණයාව පොත් කියවීමට ඔහු පොළඹවනවා. ඒ වගේම සැබෑ මිත්‍රත්වය වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කිරීමටත් ඔහු පසුබට වෙන්නේ නැ.

චිත්‍රපටයේ තිබෙන බොහෝ තැන් විග්‍රහ කරන්නට ගියොත් මේ සිනමාපටය රසවිඳින්න හිතාගෙන ඉන්න අයට කරන අසාධාරණයක් වෙන්න පුළුවන් ඒ නිසා ඒ ගැන වැඩිය කතා කරන්නේ නැතුව ඉන්නම්. කොහොම වුණත් මේ සිනමාපටයේ මම ඩෙන්සිල් ලෙස හැඳින්වුයේ ඔහුගේ සැබෑ ජීවිතයේ ඇත්ත නමත් එක්ක. මොකද ඒ නමත් එක්ක හැඳින්වීමෙන් මේ කතාව තවත් ඔබට ළං කරන්න හැකි වෙයි කියලා මම විස්වාස කරපු නිසා.

මේ සිනමාපටය නරඹන්න හිතෙන කෙනෙක්ට මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපි ජීවත් වන වටපිටාවේදී අපි හැම මොහොතකම අවදියෙන් සිටියොත් අන් අයට වන අසාධාරණයන් වගේම අපට සිදුවෙන මඟහැරීම් හඳුනාගන්න පුළුවන් වෙනවා. මේ ක්‍රියාදාම චිත්‍රපටය මට කොතරම් සංවේදී වුණාද කිවහොත් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන ඩෙන්සිල් චිත්‍රපටය අවසන් කරන්නේද සිදුවීම් කියන්නේ පුංචි වුණත් ලොකු වුණත් අපේ ජීවිතවලට එක ලෙස බලපාන බව පෙන්වමින්.

[ෂදිශා ධර්මප්‍රේම]

මාතෘකා