සඳ කිනිති නැමී අප දෙසට හැරී : ලක්ෂ්මන් විජේසේකර අතිශය ප්‍රථම ඒක පුද්ගල ප්‍රාසාංගික සම්ප්‍රාප්තිය | ඇස පාදන රැස


සඳ කිනිති නැමී අප දෙසට හැරී : ලක්ෂ්මන් විජේසේකර අතිශය ප්‍රථම ඒක පුද්ගල ප්‍රාසාංගික සම්ප්‍රාප්තිය

 ඡායාරූපය:

සඳ කිනිති නැමී අප දෙසට හැරී : ලක්ෂ්මන් විජේසේකර අතිශය ප්‍රථම ඒක පුද්ගල ප්‍රාසාංගික සම්ප්‍රාප්තිය

ජීවිතය තදින් අල්ලා බදා ගත් කල දෑත් වේදනාවෙන් රිදුම් දෙයි. සැහැල්ලුවෙන් ගන්නා ජීවිතය අතැගිලි අතරින් ලිස්සා ගොස් නොදැනීම බිම පතිත වෙයි. ජීවත් වීමේ බරත්, අත් හැරීමේ සැහැල්ලුවත් අප එකවර සමබර කර ගත යුත්තේ කෙලෙසින්ද? අපේ අනපේක්ෂිත පැනයට ඔහු සැහැල්ලුවෙන් සිනාසෙයි. එයම මොන තරම් බරක්ද?

'හැත්තෑවත් වයසක්ද?' කියා ඇස් දෙකෙන් අසමින් සිනාසෙන මිනිසෙක් දැන් අප ඉදිරිපිට සිටියි. නම ලක්ෂ්මන් විජේසේකරය. එපමණය!

'සුපෙම් හැගුම් ඔබෙන් එපා මිතුරු දම් විනා' යනුවෙන්, අසන ලද ප්‍රශ්නවලට ප්‍රතිචාර ලෙස උත්තර ලැබෙද්දී හදවතින් හඬා වැළපෙන යුගයක් අතීතයේ අප සතුව තිබිණ. 'නවුකාවකි මා ඈත සමුදුරේ' ලෙස සිතා හිත හදා ගැනීමට තරම් සංයමයක් එකල මෝදු වී තිබුණේ නැත. නමුත් ලක්ෂ්මන් විජේසේකර අන්තරා කොටසින් මතුව විත් හෙමින් සීරුවේ අපේ හිත් පිරිමැද්දේය.

මෙන්න මෙහෙමය.

'තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසිදින අප හමු නොවන බව දනිම්
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්'

ඉතින් අපි හිත හදා ගත්තෙමු. දැන් මේ අප ඉදිරියේ සිටින්නේ එහෙව් මිනිසෙකි. අවුරුදුම හැත්තෑවක් මෙහෙව් දූපතක හක්කලං ගැහීම කිසිසේත් සුව පහසු කටයුත්තක් නොවේ. තර්කයක් නැත. ඉදින් එය සැමරිය යුතුමය.
නමුත් ඔහුගේම ක්‍රමයටය.

"මේ මාර්තු දාහතර වෙනිදට මට වයස අවුරුදු හැත්තෑවක් සම්පුර්ණ වෙනව. ඉතින් මගේ දුවයි පුතයි යෝජනා කළා හැත්තෑ වන උපන් දිනය සහ හතළිස් වසරක් සංගීත ක්ෂේත්‍රයේ ආපු ගමන වෙනුවෙන් පොඩි ඒක පුද්ගල ප්‍රසංගයක් කරමු කියල. ඇත්තටම කවදාවත් මම ඒක පුද්ගල ප්‍රසංගයක් කරන්න කල්පනා කරල තිබුණෙ නැහැ. නමුත් මේ ළමයි දෙන්නගේ උනන්දුව නිසාම මමත් අන්තිමට වැඩේට කැමති වුණා. දැන් ඒ සඳහා සියල්ලම සුදානම්. අපි එය නම් කළේ 'සඳ කිනිති නැමී' යනුවෙන්. මේ 17 වනදා හවස 7.00ට නෙලුම් පොකුණ රඟහලේ තමයි වැඩේ තියෙන්නේ. රෝහණ වීරසිංහ එදාට ප්‍රසංගය සංගීතවත් කරනවා." ඔහු සුපුරුදු සැහැල්ලුවෙන්ම තොරතුරු එකින් එක අප ඉදිරිපිට දිග හරියි.

'පොළොවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ' හිඳ මේ තරම් හිරු, සඳු, තරු, අහස සහ රාත්‍රිය ගැන ගී ගැයූ මිනිසෙකු ඇද්දැයි අප අතීතය කළඹා සොයා දැන ගත යුතුය. විටෙක එය අතිශය ලයාන්විත කර්ණරසායනයකි. මෙලෙසය.

'සඳ කිනිති නැමී
විල් දියට එබී
සොයයි සේයාව සඳේ...'

තව විටෙක එය ආදරණීය බෙදා හදා ගැනීමකි. හද බඳින ස්වරයෙනි.

'ඔබ මට තරුවකි ඝනදුරු රැයකදි
දිදුලන සඳ ලෙස ගුවන අරා '

'ලා හිරු මඩලයි මා අබියස ඔබ
බැස යන්නේ නැති සසර පුරා'

තව තැනක සියුම් ශෘංගාර රසයෙනි.

'තිසර කැදැල්ලේ
නුරා ලදැල්ලේ
හිනැහෙමු අපි දෙන්නා
මිනිස් හඬක් නැති
පාළු දුපතේ
තනිවෙමු අපි දෙන්නා'

ඉඳ හිටෙක 'දුපතේ' සිදුවන, සිදුකරන 'කුඩුකේඩුකම්' පිළිබඳ දරුණුතම කම්පාවකිනි.

'ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු
ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු
පොළොවේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සු
කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සු'

බොහෝ තැන විරහවෙනි.

'දෑත දෙපාලන ගිගිරි සරින්
මා කැඳවා නොතැවෙන්
සිව් සිය ගව් දුර ඇදෙන ලෙසින්
සෝක සුසුම් නොහෙලන්'

එහෙම බලන විට මෙය කිසි දිනෙක අවසන් කළ නොහැකි ගවේෂණයකි. නමුත් ගීතවල හිමිකරුවා තවමත් සන්සුන්ම සිනාවෙනි.

"ඒ වුණාට මම ගොඩක් සින්දු කියල නැහැ. වැඩිම වුණොත් මම කියපු සින්දු පනහක් ඇති. ඒ අතරේ යුග ගීතත් ගණනක් තියෙනවා. එදාට මාත් එක්ක ඒ

යුග ගීත ගයනා කරන්න නිර්මලා රණතුංග, ප්‍රදීපා ධර්මදාස, සමිතා මුදුන්කොටුව සහ චන්ද්‍රලේඛා පෙරේරා වෙනුවට වින්ඩි දුවත් එකතු වෙනවා."

අතීතයේ දිනයක අපට 'කඳුලින් සිනාසෙමූ' යැයි යෝජනා කළ ලක්ෂ්මන් විජේසේකරට කියන්නත්, අපට අසන්නත් දෑ බොහොමයකි. නමුත් ඒ කිසිවකට ඉඩ නොතබාම මේ කාර්යබහුල නිමේෂයේ ඉතා කෙටි පිළිසඳරකින් අනතුරුව අපි ඔහුට සුබ පතා, තාවකාලිකව සමුගෙන, නික්ම එන්නෙමු. ඇත්ත තමයි! හැත්තෑවත් වයසක්ද..?

[කසුන් සමරතුංග]

මාතෘකා