මම සිනමාව ගැන හොයනවා

 ඡායාරූපය:

මම සිනමාව ගැන හොයනවා

දැවෙන විහඟුන් අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර

වෙනත් දේවල් අදාල නෑ

ජාත්‍යන්තර සම්මාන දිනු, සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ, 'දැවෙන විහඟුන්' වෘත්තාන්ත චිත්‍රපටයමෙම මස 29 වැනිදා සිට රීගල්, ලිඩෝ ඇතුළු සෙල් (CEL) සහ රිත්මා මණ්ඩලයේ සිනමාශාලාවල ප්‍රදර්ශනය ඇරඹේ.

දැවෙන විහඟුන් චිත්‍රපටය සංජීව පුෂ්පකුමාරගේ දෙවැනි වෘතාන්ත චිත්‍රපටයයි.මෑත වර්ෂවලදී ඉහළම ජාත්‍යන්තර අවධානය දිනා ගත් ශ්‍රි ලාංකික චිත්‍රපටය වන දැවෙන විහඟුන් ජපානයේ 17 වන ටෝකියෝ ෆිල්ම් එක්ස් අන්තර්ජාතික සිනමා උ‍ළෙලේ දී ජුරියේ සුවිශේෂ සම්මානයත් 15වන ජිනිවා අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම චිත්‍රපයට සඳහා සම්මානය මෙන්ම තරුණ ජුරි සම්මානයත් දිනාගත්තේය. මීට අමතරව ලොස් ඇන්ජලීස් ලෝක ආසියානු සිනමා උළෙලේ හොඳම නිලියට හිමි සම්මානයද දැවෙන විහඟුන් චිත්‍රපටය දිනා ගැනීමට සමත්විය. 46වැනි අන්තර්ජාතික සිනමා උළෙලේදි ඉහළම ප්‍රේක්ෂක මනාපය දිනු චිත්‍රපට අතර 17වැනි ස්ථානය දිනා ගැනීමට දැවෙන විහඟුන් චිත්‍රපටය සමත්වුයේ චිත්‍රපට 167ක් අතරිනි. දැවෙන විහඟුන් ගැන මෙන්ම ශ්‍රී ලංකේය සිනමාව ගැන එහි අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර 'රැස' සමඟ කතාබහට එක් විය.

මොකද්ද මේ 'දැවෙන විහඟුන්' කියන්නේ?

මේ චිත්‍රපටියේ තියෙන්නේ 1989 අග භාගයේදී නැගෙනහිර පළාතේ ගම්මානයක තමන්ගේ ස්වාමියා අහිමි වුණාට පස්සේ මවක් සහ තමන්ගේ තාත්තා අහිමි වුණු එම පවුලේ වැඩිමහල් දියණිය එකතු වෙලා තමන්ගේ පවුල ආරක්ෂා කිරීමට දරන ප්‍රයත්නය.

ඔබේ පෙර නිර්මාණ හා සසඳන විට, පෙර විකල්ප ධාරාවේ නිර්මාණයට වඩා මේ නිර්මාණය වෙනස්. ඒ වෙනස කරන්න හේතුව මොකක් ද?

මේ චිත්‍රපටයෙන් කතාවක් කියන්න තමයි මම උත්සාහ කරලා තියෙන්නේ. සිනමා ශිල්ප හරඹවලට වඩා කිසියම් කතාවක් කියන්න උත්සාහා කළේ. මුල මැද අග ආඛ්‍යානයක් තියෙන, නිශ්චිත චරිත කීපයක් පවතින සහ ඒ චරිතවල විකාශය තමයි මේ චිත්‍රපටයේ අන්තර්ගත වෙන්නේ. මගේ මුල් චිත්‍රපටවලට පැවතුණු සෞන්දර්ය භාවිතාවලට වඩා වෙනස් සෞන්දර්ය භාවිතාවක් තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ. පෙර අත්දැකීම් එක්ක නිර්මාණකරණයේ අලුත් මානයෙන් සොයා යෑමට උත්සාහ අපි උත්සාහ කළා.

ඒ කියන්නේ මේ චිත්‍රපටය ඔබේ අත්දැකීම් එක්ක කරපු නිර්මාණයක්?

මේක මනුෂ්‍ය ජීවිතය සහ මනුෂ්‍යයන් සමාජය තුළ මුහුණ දෙන ජීවන උවදුර දැකලා, ඒකෙන් ඇති වුණු කම්පනය තුළින් නිර්මාණය වුණු චිත්‍රපටයක්.

විකල්ප ධාරාවේ නිර්මාණ ගැන කතා කරද්දි ලංකාවේ සමාජය පුරුදු වෙලා තියෙනවා ඒ චිත්‍රපටි එක ගොඩකට දාන්න. සමහර විට එම චිත්‍රපටය නොබලා ඔවුන් එසේ කරනවා වෙන්නත් පුළුවන්. සිනමාකරුවෙක් විදිහට මේ ගැන මොකද හිතෙන්නේ?

ඒක ඉතාම නරක තත්ත්වයක්. ඒක සෞන්දර්යවේදය සහ අපේ අධ්‍යාපනයේ තියෙන නොදියුණු තත්වය නිසා තමයි ඒ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. ඒ කිසිම නිර්මාණකරුවෙක් ව්‍යාපෘතිවලට වැඩ කරන අය නෙමෙයි. ඒ අය තමන්ට අවශ්‍ය ප්‍රකාශනයක් තමයි ඒ නිර්මාණ හරහා කරන්නේ. ඒ ප්‍රකාශනවල ස්වභාවය එකිනෙකට වෙනස්. අපි භාවිතා කරන වස්තු සන්දර්භ අනුව, අපි ඒ වෙලාවේ භාවිතා කරන සෞන්දර්යවේදය අනුව, ඒ වෙලාවේ අපි දරන දේශපාලන දෘෂ්ටිය අනුව දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඒත් අවාසනාවන්ත තත්ත්වය තමයි ඔබ කිව්වා වගේ මේ චිත්‍රපටය කියන්නේ මොකක්ද කියලා සමහරු දැනටමත් තීරණය කරලා ඉවරයි.

ඔබේ පෙර නිර්මාණයේ ලිංගික දර්ශන ඇතුළත් වුණේ මාකටින් උපක්‍රමයක් නිසා කියලා සමාජයේ කතාබහට ලක් වුණා. මේ චිත්‍රපටයේත් එවැනි මාකටින් උපක්‍රම තියෙනවා ද?

නැහැ. අපිට චිත්‍රපටයක් කරන්න විශාල මුදලක් වැය වෙනවා. මට මේ චිත්‍රපටියට ලක්ෂ 225ක මුදලක් වැය වෙලා තියෙනවා. ඒ අතරින් ලක්ෂ 160ක විතර මුදලක් ආධාර ලෙස මට විදේශයන්ගෙන් මේ චිත්‍රපටය සඳහා. ඉතුරු ලක්ෂ 65ම මම වියදම් කරපු සල්ලි. ඒ අපි සල්ලි හොයන්න ඕනේ. ඒකට තමයි මහජනයාට අපි මේක ප්‍රදර්ශනය කරන්නේ. එසේ කරන විට විවිධ ආකාරයේ වෙළඳ උපක්‍රම භාවිතා කරනවා. නමුත් මේ චිත්‍රපටිය උපක්‍රමයක් නෙමෙයි. මේ චිත්‍රපටිය මගේ හදවත කම්පා කරපු අවස්ථාවක ප්‍රතිඵලක්.

මේ චිත්‍රපටය සඳහා දායක වුණු රංගන ශිල්පීන් ගැන කිව්වොත්?

ප්‍රකට කියමනක් තියෙනවා. ' චිත්‍රපටියක හොඳ නළු නිළියෝ ඉන්නවා නම් ඒක 90%ක් සාර්ථක වෙනවා' කියලා. ඇත්තටම ඒකේ සත්‍යයක් තියෙනවා. අපිට මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ට ගෙනයාම සඳහා තියෙන හොඳම මෙවලම තමයි නළු නිළියන්ගේ ප්‍රකාශන ශක්තිය. ඒ නිසා මම තීරණය කළා අදාළ චරිතවලට සුදුසුම අය තෝරගන්න. උදාහරණයක් විදිහට මේ චිත්‍රපටයේ තියෙනවා පොලිස් නිලධාරියෙක්ගේ චරිතයක් තත්පර 40ක් විතරයි ඒ දර්ශන තියෙන්නේ. ඒ දර්ශනයට මම තෝරගත්තේ ධර්මප්‍රිය ඩයස්ව. ඔහු ඉතාම නිහතමානී වුණා ඒ දර්ශනය රඟපාන්න. ඒ වගේ ලංකාවේ ඉන්න හොඳම නළු නිළියෝ තමයි මම තෝරගත්තේ. සමනලී ෆොන්සේකා, චාන්දනී සෙනෙවිරත්න, පුබුදු චතුරංග, ශ්‍යාම් ප්‍රනාන්දු, දර්ශන් ධර්මරාජ් මේ වගේ හොඳ නළු නිළියෝ පිරිසක් එක්ක තමයි මම මේ චිත්‍රපටය නිර්මාණය කළේ.

ලංකාවේ සිනමා කර්මාන්තයේ නිෂ්පාදකයාගේ භූමිකාව විය යුත්තේ කුමක් ද? විදෙස් නිෂ්පාදකයන් කරා ශ්‍රී ලාංකීය සිනමාකරුවා යන්න වෙලා තියෙන්නේ ඇයි?

නිෂ්පාදකයා කියන්නේ සල්ලි දාන කෙනා විතරක් නෙමෙයි. නිෂ්පාදකයාත් අධ්‍යක්ෂවරයා වගේම වැදගත් කාර්යභාර්යක් කරන කෙනෙක්. නිෂ්පාදකයා තමයි මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කළමණාකරණය කරන්නේ සහ සමස්ත නිර්මාණයේ වගකීම දරන්නේ. අධ්‍යක්ෂවරයාට හොඳ නිෂ්පාදකයෙක් ඉන්නවා කියන්නේ ඔහුට විශාල සහනයක් ඒක. අපිට වෙලා තියෙන ගැටලුව තමයි චිත්‍රපටියේ නිර්මාණාත්මක පැත්ත වගේම අනෙක් දේවල් ගැනත් කල්පනා කරන්න වෙලා.

ඊශ්‍රායලයේ සිනමාව කාලයක් නැත්තටම නැති වෙලා තිබුණා. ඒත් ඒ රටේ බලධාරීන් කළේ මුලින්ම නිෂ්පාදකයන්ට පුහුණුවක් ලබා දෙන්න කටයුතු කරපු එක. අද වෙනකොට ඊශ්‍රායලයේ සිනමාව, ලෝක සිනමාව තුළ ඉදිරියෙන්ම තියෙනවා.

සිනමා නිර්මාණයක් හරහා සමාජයට පණිවිඩයක් දිය යුතුයි කියන පිරිසක් ඉන්නවා. ඔබ හිතන විදිහට සිනමා නිර්මාණයක් හරහා සමාජයට පණිවිඩයක් දිය යුතුයි ද?

සිනමා නිර්මාණයකින් පණිවිඩයක් දිය යුතුයි කියන එක පරණ සාකච්ඡාවක්. ඒත් පරණ වුණාට එක අවලංගුයි කියලා මම කියන්නේ නැහැ. නමුත් මම ඒ වගේ සාකච්ඡාවල ඉන්න කෙනෙක් නෙමෙයි. මම කරන්නේ මනුෂ්‍ය ස්වභාවය පිළිබඳ මම ලබපු අත්දැකීම් සමාජය සමඟ බෙදාගැනීමේ අරමුණින් මම පිළිගන්න සෞන්දර්යවේදයන් භාවිතා කරමින් ඒක ප්‍රකාශ කරන්නයි මම වෙහෙසෙන්නේ. ඒකෙන් පණිවිඩයක් දෙන්නත් පුළුවන් නොදෙන්නත් පුළුවන්. මගේ විශ්වාසය තියෙන්නේ මට මොන තරම් සෞන්දර්යාත්මකව මේ දේ කරන්න පුළුවන්ද කියන එක. ලෝකයේ ප්‍රකට සිනමාකරුවෝ තමන්ගේ විෂය ගැන හොයනවා මිසක අනවශ්‍ය දේවල් සාකච්ඡා කරන්නේ නැහැ. ඔවුන් ඉන්නේ සිනමාකරණය කියන සාකච්ඡාවේ. සිනමාව කරනවා නම් අපි සිනමාව කියන කාරණාවට තමයි අවධානය යොමු කරන්න ඕනේ.

දැවෙන විහඟුන් කවුරු වෙනුවෙන් කරපු නිර්මාණයක් ද?

දැවෙන විහඟුන් ඇත්තටම මම වෙනුවෙන් කරපු චිත්‍රපටයක්. මගේ ආත්ම තෘප්තිය සඳහා කරපු චිත්‍රපටයක්. ඉන් පසුව මේක මුළුමහත් ලෝකයටම අයිති චිත්‍රපටයක්. ලෝකයම අගය කරපු විචාරය කරපු චිත්‍රපටයක්. මේ චිත්‍රපටය දැන් ප්‍රේක්ෂක සමාජයට අයිති චිත්‍රපටයක්. අපි බලමු මේ චිත්‍රපටය ගැන ඔවුන් මොනවද කියන්නේ කියලා.

ඊළඟ නිර්මාණය කිරීමේදී යම් පර්යේෂණයක් සමඟ නව අත්දැකීම් එක්ක කරන්න බලාපොරොත්තු වෙනවා ද?

මම හැම වෙලාවෙම ශාස්ත්‍රාලීය අධ්‍යාපනය ගැන විශ්වාස කරන කෙනෙක්. ඒ නිසා මම මගේ කාලයෙන් වැඩි ප්‍රමාණයක් යොමු කරන්නේ ඉගෙන ගැනීම සඳහා. බලමු අපි කොහොම ද ඉදිරියට වෙන්නේ කියලා. මගේ ඉතාම ප්‍රියජනක ව්‍යාපෘතියක් තියෙනවා ලෙනාඩ් වුල්ෆ් ගැන. ඒක ටිකක් විශාල ව්‍යාපෘතියක්. ඒ වැඩකටයුතු සඳහා වෙහෙසෙනවා.

දැවෙන විහගුන් නරඹන්න බලාපොරොත්තු පැමිණෙන ප්‍රේක්ෂකයාට මොනවද කියන්න තියෙන්නේ?

මේ චිත්‍රපටය බලපු ගොඩාක් අය කිව්වේ මේ චිත්‍රපටය ඔවුන්ගේ හදවත් කම්පා කළා කියන එක. ඔවුන් ගොඩක් සංවේදී වුණා. මම කියනවා ප්‍රේක්ෂකයන්ට මේ චිත්‍රපටය බලන්න එන්න කියලා.

[මංජුල සමරසේකර]

මාතෘකා