'ඝරසරප' 22 දා කොළඹදී

 ඡායාරූපය:

'ඝරසරප' 22 දා කොළඹදී

ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි නිර්මාණය කළ නවතම සිනමාපටය වන 'ඝරසරප' හි මාධ්‍ය දර්ශනය මේ මස 22 දා කොළඹ තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්වේ.

චිත්‍රපටය නිෂ්පාදනය කොට අත්තේ අර්ජුන කමලනාත් විසින් වන අතර කමල් අද්දරආරච්චි, ජැක්සන් ඇන්තනි, සංගීතා වීරරත්න, ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු , අමීෂා කාවින්ධි, කාවින්ද්‍යා අධිකාරි, දෙවනක පොරගේ, ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වී තිබේ.

“මාරම්බරී” 22 වැනිදා කොළඹ දී

මෙරට සුභාවිත ගීතයේ මංසලකුණක් ලෙස සැලකෙන ප්‍රවීන සංගීතවේදී විශාරද එඩ්වඩ් ජයකොඩි ගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය “මාරම්බරී” එළඹෙන 22 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතය.

ඒ එදින සවස 6.30 ට කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදීය.

විශාරද චරිතා ප්‍රියදර්ශනී පිරිස් හා ශාරන්‍යා ජයකොඩි ද ප්‍රසංගය සඳහා ගායනයෙන් එක් වන අතර එහි සංගීත අධ්‍යක්ෂණය සුසිල් අමරසිංහ විසිනි.

මෙවර “මාරම්බරී” සංවිධාන වන්නේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සේවක සුබ සාධක සංගමයට ආධාර පිණිසය.

අනුප් වේගාගේ ‘චංචලතා‘ පැරඩයිස් රෝඩ් ගැලරි කැෆේ හිදී

අනුප් වේගාගේ සිතුවම් ප්‍රදර්ශනයක් වන ‘චංචලතා‘ පැරඩයිස් රෝඩ් ගැලරි කැෆේ හිදී පසුගිය 31 වනදා ආරම්භ වූ අතර

එය එළඹෙන 27 වැනිදා දක්වා දිනපතා උදෑසන 6 සිට රාත්‍රී 8 දක්වා පැවැත්වීමට නියමිතය. ඔහුගේ නිර්මාණ දැකබලා ගැනීමට මෙන්ම ඒවා මිලදී ගැනීමට ද මෙහිදී අවස්ථාව ලැබෙනු ඇත.

ඉසිපතන විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ අනුප් මුල්කාලයේදී එළවළු හා පළතුරු ආදිය යොදාගනිමින් කැටයම් නිර්මාණකරණයේ යෙදුණේය. ඉන්පසුව, හෝටල් හා සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ වන ඔහු මෙරට මෙන්ම විදේශයන්හි ද රැකියාවේ නිරත වී ඇත.

දැවෙන විහඟුන් 29 සිට තිරයට

ජාත්‍යන්තර සම්මාන දිනු සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ දැවෙන විහඟුන් වෘත්තාන්ත චිත්‍රපටය

මෙම මස 29 වැනිදා සිට රීගල්, ලිඩෝ ඇතුළු සෙල් (CEL) සහ රිත්මා මණ්ඩලයේ සිනමාශාලාවල ප්‍රදර්ශනය සඳහා සූදානම්ව තිබේ.

නොසිතු මොහොතක නන්නාදුනන අවිගත් පිරිසක් තම ස්වාමියා සහ පියා ඝාතනය කිරීමෙන් පසු තම දරුවන්ට සහ සහෝදර සහෝදරියන්ට යහපත් ජීවිතයක් උදාකර දීම වෙනුවෙන් කැපවෙන උදාර මවක් සහ ඇගේ තරුණ දියණිය වටා ගෙතී ඇති දැවෙන විහඟුන් කැපවීම සහ පරිත්‍යාගය පිළිබඳ වීර කාව්‍යයකි.

දැවෙන විහඟුන් චිත්‍රපටය සංජීව පුෂ්පකුමාරගේ දෙවැනි වෘත්තාන්ත චිත්‍රපටයයි. සමනලී ෆොන්සේකා, චාන්දනී සෙනවිරත්න, මහේන්ද්‍ර පෙරේරා, අනෝමා ජනාදරී, ලීයෝනි කොතලාවල, ශ්‍යාම් ප්‍රනාන්දු, දසුන් පතිරණ, පුබුදු චතුරංග, ධර්මප්‍රිය ඩයස්, තිස්ස බණ්ඩාරනායක, ප්‍රියංකා සමරවීර, දර්ශන් ධර්මරාජ්, සංජීව දිසානායක රංගනයෙන් දායකවන දැවෙන විහඟුන් චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය කාලිංග දේශප්‍රියගෙනි. ඇදුම් නිර්මාණය අජන්ත අලහකෝන්, කලා අධ්‍යක්ෂණය පියතිස්ස අකුරම්බොඩ, වේශ නිරූපණය ප්‍රියන්ත දිසානායක, සංස්කරණය අජිත් රාමණායක සහ කැතරිනා වර්තේනා, වර්ණ සංයෝජනය එළි අකෝකා, ශබ්ද පරිපාලනය ප්‍රියන්ත කළුආරච්චි සහ නිකොලා දාහලින් විසින් සිදුකර තිබේ.

මාතෘකා